කොරෝනා වසංගතයේ අහිතකර ආර්ථික බලපෑම හේතුවෙන් ලොව පුවත්පත් රජු ලෙස සැලකෙන රූපර්ට් මර්ඩොක් මහතාට අයත් ඔස්ට්‍රේලියානු පුවත්පත් 112ක් වසා දැමීමට පියවර ගෙන ඇත.
මෙහිදී පුවත්පත් 36ක් සම්පූර්ණයෙන්ම මුද්‍රණය කිරීම අත්හිටුවා ඇති මර්ඩොක් මහතා අනෙක් පුවත්පත් 76 මුද්‍රණය නොකොට අන්තර්ජාල ප්‍රකාශනයන්ට හෙවත් e-paper සංස්කරණයට පමණක් සීමා කොට තිබේ.
BBC පුවත් සේවය අනාවරණය කොට ඇත්තේ කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් එකී පුවත්පත්වලට ලැබෙන වෙළෙද දැන්වීම් අත්හිටුවමින් බොහෝ සමාගම් අන්තර්ජාල ප්‍රචාරණයන්ට යොමු වීම මේ සදහා බලපා ඇති බවකි.
මීට අමතරව වෙනත් රටවලද පුවත්පත් වෙළෙදපොළ දැවැන්ත කඩාවැටීමකට ලක් වෙමින් තිබෙන බවත්, ඇතැම් පුවත්පත් සමාගම් සිය පුවත්පත් වසා දමා හෝ සේවක පිරිස් අවම කරමින් සිටින බවත් BBC ප්‍රවෘත්ති සේවය අනාවරණය කරයි.
ලංකාවේ පත්තරවලටත් අමාරුයි…

ලොව අනෙක් රටවල් හා සමානවම ලංකාවේද මේ වනවිට පුවත්පත් ක්ෂේත්‍රය බරපතළ අර්බූදයකට මුහුණ පා සිටින අතර පුවත්පත් අලෙවිය ශීඝ්‍ර කඩාවැටීමකට ලක්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
වෙනදා ලක්ෂ ගණනින් මුද්‍රණය කළ ඇතැම් පුවත්පත් මේ වනවිට දහස් ගණනින් මුද්‍රණය කරන තරමට ඒවායේ අලෙවිය පහත බැස ඇත.
‘මව්රට’ ලංකාවෙත් e-paper රැල්ලක් හදයි…
මේ අර්බූදය කල් තියාම හදුනාගත් ‘මව්රට’ පුවත්පත ඉකුත් කොරෝනා වසංගත සමයේදී ලංකාවේ පළමුවරට ඩිජිටල් විප්ලවයක් සිදු කරමින් e-paper සංකල්පයට ප්‍රමුඛස්ථානයක් ලබා දී කටයුතු කිරීමට පියවර ගත්තෙමු.
අපගේ එම ව්‍යායාමය කෙතරම් සාර්ථක වූයේද යත් මුල් සති 6 තුළ ‘මව්රට’ e-paper සංස්කරණය ලක්ෂ 28ක පාඨක පිරිසක් කියවා තිබිණ.
මේ වනවිට එය ලක්ෂ 50ද ඉක්මවා ගොස් ඇති බව නිල සංඛ්‍යාලේඛන මගින් තහවුරු කර තිබේ.
ඒ අනුව ‘මව්රට’ e-paper සංස්කරණය මේ වනවිට ලංකාවේ අංක එකේ e-paper සංස්කරණය බවට පත්ව ඇති බව සදහන් කළ යුතුව ඇත.










