සීගිරිය පව්ව මත දැඩි ආරක්ෂිත සිංහ පාදය අසළ දී අලුයම් කාලයේ පුරාවිද්‍යා ආරක්ෂක අංශය, මධ්‍යම සංස්කෘතික අරමුදල ආරක්ෂක අංශය, මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘතීන් නේවාසික කළමනාකාරවරයා අතර ඇති වූ ගැටුමකින් ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කොට සෙසු පිරිස සීගිරිය පොලිසියට පැමිණිලි ඉදිරිපත් කොට තිබේ.
මෙසේ පහරකෑමට ලක්ව සීගිරිය ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල ආරක්ෂක නිලධාරියෙකු වන යු.ජී.සමින්ද කුමාර නැමැති අයෙකි.
ඔහු කියා සිටියේ තමන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක්ෂක නියාමකයකු ලෙස සේවය කරන බවත් තමන් සීගිරියේ සිංහ පාදය ආසන්නයේ රාත්‍රි මුර සේවයේ යෙදී සිටි බවය. මෙදින සේවයේ යෙදී සිටියදි අලුයම හතරට පමණ සුදු පැහැති මෝටර් රථයක් සිංහ පාදයේ ආසන්නයට නිලධාරීන්ට පමණක් ගමන් කළ හැකි මාර්ගයෙන් පැමිණ සිංහපාදය ආසන්නයේ නවතා පුද්ගලයන් දෙදෙනෙකු සිංහපාදය ඉහළට ගමන් කරන අයුරු දුටු බව ය.
පසුව තමන් දුරකථනය හරහා කැටපත් පවුරේ ආරක්ෂාවට සිටි පුරාවිද්‍යා ආරක්ෂක නිලධාරියාත් ඒ ආසන්නම ආරක්ෂක ස්ථානයේ සිටී මධ්‍යම සංස්කෘතික අරමුදල අනෙක් ආරක්ෂක නිලධාරියාට කතා කොට අළුයම් කාලයේ අඳුරේ ගමන් කරන දෙදෙනා සොයා ගිය බවය. එම ගමන් කරන එක් පුද්ගලයෙකු මධ්‍යම සංස්කෘතික අරමුදල නේවාසික ව්‍යාපෘති කළමනාකරු බව හඳුනාගත් බවත් අනෙක් පුද්ගලයා නාදුනන අයකු බව පැවසීය. පසුව තමන්ට සහ අනෙකුත් දෙදෙනාටද මධ්‍යම සංස්කෘතික අරමුදල නේවාසික කළමනාකාරවරයා පහර දුන් බව සඳහන් කළේය.
සෙසු ආරක්ෂක නියාමක දෙදෙනා පලා ගිය බවත් තමන්ට විශාල වශයෙන් පහර දී තමන් දිව යෑමට උත්සාහ කරද්දී සීගිරි ගලෙන් කැලේ පහළට පෙරලී වනයක් මැද සිරවී සිටියදී අනෙකුත් ආරක්ෂක නිලධාරීන් පැමිණ තමන්ව රෝහලට රැගෙන ආ බවත් හෙතෙම පැමිණිලි කොට ඇත.
මේ පිළිබඳව තමන් සීගිරිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් සඳහන් කළේය. පසුව අප සීගිරිය පොලිසියට ගමන් කරද්දී මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘතියේ නේවාසික කළමනාකරු තුසිත හේරත් මහතා සීගිරිය පොලිසියෙන් පැමිණිල්ලක් දමා එළියට එන අයුරු දැක අප ඔහුගෙන් මේ පිළිබඳව විමසීමක් කළෙමු.
ඔහු කියා සිටියේ ආරක්ෂක අංශයේ සේවා පිළිබඳව සොයා බැලීමට තමන් පැමිණි බවය. දෙපිරිස අතර බහින් බස් වීමක් ඇති වූ බවත් සඳහන් කළේය. ආරක්ෂක නිලධාරීන් තමන්ට පහර දුන් බවත් තමන් ඒ පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට රෝහල්ගත වීම සඳහා යන බව හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ සීගිරිය පැවති පරිපාලන ක්‍රමය වෙනස් කිරීම නිසා තමන්ට විවිධ තාඩන පීඩන එල්ල වෙමින් පවතින බව ය. ආරක්ෂක නිලධාරීන් පිළිබඳව සොයා බැලීම සඳහා තමන් ක්‍රියාත්මක වීම නතර කිරීම සඳහා මෙම පිරිස උත්සාහ ගන්නා බව ද හෙතෙම පැවසීය. එහෙත් තවත් නාදුනන පුද්ගලයෙකු අලුයම් කාලයේ ආරක්ෂිත සීගිරිය පව්ව මතට රැගෙන ගියේද යන්න ප්‍රශ්න කිරීමේදී ඊට නිසි පිළිතුරක් ඒ මහතා නොදැක්විය.
එමෙන්ම පොලිසිය ඉදිරිපිටට පැමිණ සිටි සිද්ධියට මුහුණ දුන් තවත් ආරක්ෂක නිලධාරියෙකු වන ශාන්ත හේරත් මහතා කියා සිටියේ අලුයම හතරට පමණ තමන් සිංහපාදය ආසන්නයේ මුර සේවයේ යෙදී සිටි බවය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකරු අධික බීමතින් පැමිණ පරුෂ වචන කියමින් තම ආරක්ෂක නිලධාරීන්ට බැන වැදුණු බව හා පරුෂ වචන කියන ආකාරය ආරක්ෂක නිලධාරින් දුරකථනයක පටිගත කිරීමට උත්සාහ කිරීමේදී මෙම ගැටුම ඇති වී ඇතැයි සඳහන් කළේය .
ව්‍යාපෘති කළමනාකාරවරයා සමග පැමිණි අනෙක් පුද්ගලයා කවුරුන්දැයි ආරක්ෂක නිලධාරීන් වන තමන් විමසීමේ දී ඔහු පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂකවරයෙකු ලෙස හඳුන්වා දුන් බව ද ඒ මහතා පැවැසීය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එවැනි සහකාර අධ්‍යක්ශකවරු මින් පෙර දැක නැති බවය .
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් පවත්වන බවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලට ද මේ බව දන්වා යවන බව හෙතෙම සඳහන් කළේය. ලෝක උරුම සීගිරියේ ආරක්ෂාව පිළිබඳව සිටින පිරිස් මෙන්ම පරිපාලනය සඳහා සිටින පිරිස් මෙයාකාරයෙන් අළුයම් කාලයේ කිසිවෙකුටත් ඇතුලුවීමට හෝ අවසරයක් නොමැති දැඩි ආරක්ෂිත ස්ථානයක ගැටුම් ඇති කර ගැනීම බරපතළ ප්‍රශ්නයක් බව පොලීසිය කියයි.










