දියතලාව යුද හමුදා විද්‍යා පීඨයට පුහුණුවීම් සඳහා පැමිණි කැඩෙට් නිලධාරීන්ට අයිස්, හෂිස් හා ගංජා ආදි මත්ද්‍රව්‍ය අලෙවි කළ පුහුණු උපදේශකයන් හයදෙනකු හා මත්ද්‍රව්‍ය භාවිත කළ කැඩෙට් නිලධාරීන් දහඅට දෙනකු යුද හමුදාවෙන් නෙරපීමට තීරණය කර ඇත.
දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ සිදුවී ඇතැයි කියන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිස් පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස ආරක්ෂක ලේකම්වරයා යුද හමුදාපතිවරයාට දුන් නියෝගයෙන් පසුව මෙම තීරණය ගෙන ඇත. අදාළ චෝදනාවට ලක්වන කිසිඳු අයෙකුට සමාවක් නොලැබෙන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කළේය.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ විසින් මූලික පරීක්ෂණ උසාවියක් මගින් ලබාගත් සාක්ෂි ලේඛන නිරීක්ෂණය කිරීමෙන් පසුව සෙසු නිල පුහුණු උපදේශකයන් හයදෙනෙකු මත්ද්‍රව්‍ය අලෙවිය හා භාවිතය සිදුකර ඇති බව හෙළි වී ඇත. මෙම උපදේශකයන් හයදෙනාම සෙසු නිලයන් (ලාන්ස් කෝප්‍රල්, කෝප්‍රල් හා සාමාන්‍ය සෙබළ) වන අතර ඔවුන් ගංජා පානයට ඇබ්බැහි වී ඇත.
ඉන් පස් දෙනෙකු ගංජා අලෙවි කර ඇති අතර ඉන් තිදෙනකු අයිස් අලෙවියට, භාවිත කිරීමටද හුරු වී සිට ඇත. මේ අතර එක් උපදේශකයකු ගංජා, අයිස් හා හෂිස් මත්ද්‍රව්‍ය තුනම භාවිත කළ බව හා අලෙවි කළ බව පිළිගෙන ඇත. පාඨමාලා අංක 91ට අයත් කැඩෙට් නිලධාරීන් දහඅට දෙනෙකු මෙහිදී හඳුනාගෙන ඇති අතර පහළොස් දෙනෙකු පුහුණු කාලයේදී ගංජා පානය කළ බව පිළිගෙන ඇත. හයදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය පානය කළ බව පිළිගෙන තිබේ. එක් කැඩෙට් නිලධාරියකු අයිස්, ගංජා හා හෂීස් යන තුනම භාවිත කර ඇත. මෙම ජාවාරමට හවුල් වූ බව කියන පුහුණු උපදේශකයකු වන සැරයන්වරයකු විමර්ශන අතරේ හමුදා සේවය අතහැර පලාගොස් තිබේ.
මෙහි උපදේශකවරයකු ලෙස සිටි අයෙකු මීට පෙර පැවැති අංක 89 පාඨමාලිවේදී කැඩෙට් නිලධාරීන්ට මත්පැන් බෝතල් විකුණා හසු වූ අයෙකි. ඔහු මෙවර සිද්ධියේදී අයිස් හා ගංජා දෙකම විකුණා ඇතැයි හෙළි වී ඇත.
එක් උපදේශකයකු විසින් කැඩෙට් නිලධාරීන්ට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව දැනුවත් කර ඒ සඳහා ඔහු පොළඹවා ඇතැයි හෙළි වී ඇත. කොට්ටාව හා වැලිමඩ ප්‍රදේශයේ සිට මෙම මත්ද්‍රව්‍ය කඳවුරට රැගෙන විත් ඇත. කොට්ටාවෙන් රුපියල් දහසක් දී මිලදී ගන්නා අයිස් මත්ද්‍රවය කොටසක් විකුණා ඇත්තේ රුපියල් අටදහසකටය. ගංජා රුපියල් පන්සියේ සිට ඉහළට විකුණා තිබේ.
මෙම ජාවාරමට සම්බන්ධ සෙසු නිල උපදේශකයන්ගෙන් නිලධාරී උපදේශකයකු වන දෙවැනි ලුතිනන්වරයකුද ගංජා හා අයිස් මිලදී ගෙන ඇති බව අනාවරණය වී ඇති අතර ඔහු යුද්ධාධිකරණය හමුවට පැමිණවිමට නිර්දේශ කර ඇත.
නිලධාරී උපදේශකවරුන් වන මේජර්වරුන් පස්දෙනෙකු හා කපිතාන්වරයකු කැඩෙට් නිලධාරීන් නිසි පරිදි අධීක්ෂණ නොකිරීමේ චෝදනාවට සේනා විධායක හමුවට පමුණුවා අවවාද කිරීමට යුද හමුදාපතිවරයා තීරණය කර ඇත.
ඉතා ඉහළ විනයක් ඇතැයි සැලකෙන දියතලාව විද්‍යා පීඨය පවුලේ අයට පවා යාමට ඉඩක් නොමැති බවත් පොලිස් නිෂ්කාශන වාර්තා, බුද්ධි වාර්තා මගින් පවුලේ පසුබිම පවා විපරම් කර බඳවාගත් කැඩෙට් නිලධාරීන් කඳවුර තුළදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නතුවීම ගැන විද්‍යා පීඨයේ සියලු නිලධාරීන් වගකිව යුතු බවත් දෙමාපියෝ චෝදනා කරති.