ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ කිසිදු ලිපි ගොනුවක් තමන් සතුව නොමැති බව ආගමන විගමන පාලක ආර්.එම්.පී.එස්.බී. රත්නායක මහතා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
2007 වසරේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව පරිගණක ජාල ගත කළ බවද එහිදී ඊට පෙර දෙපාර්තමේන්තුව පැවති කිසිදු ලියැවිල්ලක් විනාශ නොකළ බවද ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින් ශ‍්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙසඉල්ලා ගොනු කර ඇති මෙම රිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.
එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කරුණු දැක්වු ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ 2007 ට පෙර ආගමන දෙපාර්තමේන්තුව සතුව පැවති ලිපි ගොනු විනාශ කර ඇති බවට දැනගන්නට ලැබෙන බවත්, ඒ ගැන නීතිපතිවරයා කිසිවක් ප්‍රකාශනනොකරන බවත්ය. නමුත් ඊට පිළිතුරු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ එම චෝදනා අසත්‍ය බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු කිසිදු ලිපි ගොනුවක් විනාශ කර නොමැති බවත්ය.