ජනපතිවරණය නිමාවී සති දෙකකුත් ඉක්ම ගොසිනි. නව රජය පිහිටුවා අමාත්‍යවරුන් දිවුරුම් දී පළමු කැබිනට් රැස්වීමත් පවත්වා ජනතාවට සහන ලබාදීත් අවසන්ය. නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සිය පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවටද ගොස් අවසන්ය. රටම මේ ලෙස වෙනස් වෙද්දී ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ අපේක්ෂකයා වන එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා තවමත් එළිපහළියට බැස නැත. ඔහු ඉන්නා තැනක් ඔහු වෙනුවෙන් පෙනී සිටි ඇතැම් මැති, ඇමැතිවරුන් හෝ දැන සිටියේ නැත. ඔහුට දෙන දුරකතන ඇමැතුම්වලට පවා ඔහු පිළිතුරු ලබාදෙන්නේ නැත. සජිත්ට ඡන්දය ලබාදුන් ලක්ෂ 55ක ජනතාවක් අද බලා සිටින්නේ කොයි මොහොතේ හෝ සජිත් එළියට පැමිණ ඔවුන් වෙනුවෙන් කතා කරන තෙක්ය.
සජිත්ව ඉල්ලා 57ක අස්සන්
මේ ආකාරයට සජිත් ප්‍රසිද්ධ දේශපාලනයෙන් තරමක් ඉවත්ව සිටියද ඔහු වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම ඔහුව විපක්ෂ නායක ධුරයට පත්කරන සටන අතහැර තිබුණේ නැත. ඉකුත් සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප මේ පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් කියා සිටියේ කතානායකවරයාට ලබාදුන් ලිපියේ මන්ත්‍රිවරුන් 45 දෙනකු අස්සන් කර තිබුණා යැයි කියාය. නමුත් පසුගිය සතිය ආරම්භ වන විට මෙසේ සජිත්ව විපක්ෂ නායකකමට ඉල්ලා අස්සන් තැබූ ලිපියේ අස්සන් ගණන 57ක් දක්වා ඉහළ ගොස් තිබිණ. ඊට හේතුවී තිබුණේ හකීම්ගේ සහ මනේ ගනේෂන්ගේ මන්ත්‍රි කණ්ඩායම්ද එම ලිපියට අස්සන් තැබීම නිසාය. ඒ අනුව පසුගිය සතිය ආරම්භ වන විට කතානායක කරු ජයසූරිය මහතාට සජිත්ව විපක්ෂ නායකයා ලෙස පිළිගන්නා ලෙස ඉල්ලමින් හතර වටෙන්ම දැඩි බලපෑමක් එල්ලවන ආකාරයක් දැකගන්නට තිබිණ. විශේෂයෙන්ම පැයෙන් පැයට එජාප මන්ත්‍රිවරුනුත්, පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාත් කරුට කතා කොට කියා සිටියේ පක්ෂයේ බහුතර මන්ත්‍රි කණ්ඩායම සජිත්ව විපක්ෂ නායකයා කරන ලෙසට ලිඛිතව ඉල්ලා තිබියදී පක්ෂ මහලේකම්වරයාගේ ලිපියට පමණක් අවධානය යොමුකිරීම ඉතා අසාධාරණ යැයි කියාය. ඒ අනුව සතිය ආරම්භ වන විට විපක්ෂ නායක ධුරය මුල්කරගෙන කරුද දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින ආකාරයක් දැකගන්නට ලැබිණ.
තවත් ඇදගෙන යන්න එපා: කරුගෙන් රනිල්ට ඉල්ලීමක්
මේ හේතුව නිසාම කරු හා රනිල් අතර අවස්ථා කිහිපයකදීම සාකච්ඡා වට ගණනාවක් දුරකතනය හරහා සිදුවිය. එහිදී කරු රනිල්ට ඉතා කාරුණිකව කියා සිටියේ මන්ත්‍රි කණ්ඩායම සමඟ සාකච්ඡා කොට මේ සම්බන්ධයෙන් අවසන් විසඳුමකට පැමිණෙන්න යැයි කියාය. එහිදී එක් අවස්ථාවක කරු තමන්ට මන්ත්‍රිවරු 57ක අස්සනින් යුතුව ලිපියක් ලැබී ඇති බවත්, එම නිසා තවදුරටත් මෙම ගැටලුව ඉදිරියට ඇදගෙන යෑමට තමන්ට නොහැකි බවත්, එම නිසා විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් නැවත වතාවක් සිතා බලන ලෙසත් රනිල්ට දැනුම්දී සිටීමටද කටයුතු කළේය. ඉන් කරු රනිල්ට නොකියා කීවේ විපක්ෂ නායක සටනින් ඉවත්වන්නට යැයි කියාය.
හරීන් මන්ත්‍රීවරුන් කැදවයි
කෙසේ වෙතත් කරුගේ මේ ඉල්ලීමද සජිත් වෙනුවෙන් පෙනී සිටි මන්ත්‍රි කණ්ඩායමේ කනට වැටෙන්නට වැඩි වේලාවක් ගතවී තිබුණේ නැත. ඒ අනුව කළ යුතු ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සඳහා සජිත් වෙනුවෙන් මුලින්ම පෙනීසිටි මන්ත්‍රිවරයකු වූ හරීන් ප්‍රනාන්දු කණ්ඩායම් රැස්වීමක් කැඳවීමට පියවර ගත්තේය. ඒ පසුගිය ඉරිදා (24දා) දිනය. කොල්ලුපිටියේ පිහිටි Colombo Swimming Clubහිදී රාත්‍රි භෝජන සංග්‍රහයක් සමඟ පැවැති මෙම රැස්වීමට පක්ෂයේ ජාතික සංවිධායකවරයා වූ නවීන් දිසානායක මහතා ගෙන්වා ගැනීමට පිරිසට විශාල වුවමනාවක් තිබිණ. ඒ අනුව එම වැඬේ ඔවුන් භාරදුන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් ආරම්භ කළ ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ’ කැඳවුම්කරුවා ලෙස කටයුතු කරන රවී ජයවර්ධනටය.
යකා නැග්ග නවීන් එවපු කෙටි පණිවුඩය
ඒ අනුව රවී සිය ජංගම දුරකතනයෙන් නවීන්ට ඉංග්‍රීසි භාෂාවෙන් කෙටි පණිවුඩයක් තබමින් කියා සිටියේ කොල්ලුපිටියේ ස්විමින් ක්ලබ්හි සාකච්ජාවක් පැවැත්වෙන බවත්, කෙසේ හෝ ඊට සහභාගි වන ලෙසත්ය. රවීගේ මේ කෙටි පණිවුඩය දුටු සැණින් නවීන්ට යකා නැග්ග ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ අනුව එසැණින් F— යනුවෙන් සිංහල භාෂාවෙන් සටහන් කළ නොහැකි හොඳ ‘සුද්ද ඉංග්‍රීසි’ වචනයක් රවිට යැවූ නවීන් ඊට තමන්ගේ ඇති විරෝධය එළිපිටම පෙන්වා සිටීමට පියවර ගත්තේය. ඒ හරහා නවීන් පෙන්වා දුන්නේ වෙන කිසිවක් නොව මෙසේ කල්ලි කණ්ඩායම් තැන් තැන්වල රැස්වී තබන රැස්වීම්වලට තමන් කිසිසේත්ම සහභාගි නොවන බවත්, සජිත්ගේ රැස්වීම්වලට සජිත්ම කතා නොකොට විවිධ අතරමැදියන් ලවා පණිවුඩ එවීමට ඇති විරෝධයත්ය.
කබීර්ගේ ගෙදරදී සජිත් පිෙලේ බෙදීමක්
මේ ආකාරයට සජිත්ට හිතවත් මන්ත්‍රිවරුන් සජිත් වෙනුවෙන් පෙනී සිටියද සජිත් සම්බන්ධයෙන් ඔවුන්ට විශාල අර්බුදයක් ඒ වන විටත් මතුව තිබිණ. ඒ ජනාධිපතිවරණ පරාජයෙන් පසුව සජිත්ට සිදුව ඇති දේ සම්බන්ධයෙනි. මන්දයත් ඒ වන විටත් සජිත්ව මුණගැසී සාකච්ඡා කිරීමටවත්, සජිත්ට දුරකතන ඇමැතුමක් ලබාදීමටවත් ඇතැමුන්ට අවස්ථාවක් ලැබී නොතිබිණ. ඔවුන් ලබාදුන් දුරකතන ඇමැතුම්වලටවත් පිළිතුරු දීමට සජිත් පියවර ගෙන තිබුණේ නැත. ඔවුන්ට මතුව ඇති ප්‍රශ්නයක් විසඳාගැනීමටවත් සජිත්ව මුණගැසීමේ හැකියාවක් ඔවුනට තිබ්බේ නැත. අවම වශයෙන් ඇතැම් මන්ත්‍රිවරුන් සජිත් ඉන්නා තැනක්වත් නොදැන සිටීම බරපතළ ප්‍රශ්නයක් වී තිබිණ.
මේ තත්ත්වය මත පසුගිය සඳුදා එජාපයේ හිටපු සභාපති කබීර් හෂීම් මහතාගේ නිවසෙහි සජිත්ගේ මන්ත්‍රි කණ්ඩායම රැස්වී සාකච්ඡා කිරීමට පියවර ගත්හ. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ කිසිවෙකුත් නොසිතූ පරිදි සජිත්ගේ මන්ත්‍රි කණ්ඩායම අතර බෙදීමක් මතුවීමය. ඒ, පක්ෂ නායකත්වයට මේ මොහොතේ සුදුසුම පුද්ගලයා වන්නේ සජිත් නොව කරු බවට සජිත්ගේ මන්ත්‍රි කණ්ඩායම තුළින්ම යෝජනාවක් ඉදිරිපත් වීමය. ඊට හේතුවී තිබුණේ ඉකුත් ජනාධිපතිවරණ පරාජයට පක්ෂය තුළ තිබූ සිංහල බෞද්ධ ඡන්ද පදනම දෙදරා ගොස් තිබීම නිසා එය යළි සකස් කළ හැක්කේ රනිල්ටවත්, සජිත්ටවත් නොව කරුට බව සජිත්ගේ මන්ත්‍රි කණ්ඩායම තුළින්ම මතයක් ඉදිරිපත් වීමය. මේ මතය කොතරම් දරුණුවට ආවාද කියනවා අවසානයේදී කබීර්ට පවා එම යෝජනාවට එකඟ නොවී සිටීමට නොහැකි විය.
කරුට පක්ෂය බාරගන්න ඉල්ලීමක්
නමුත් මෙහිදී සුපුරුදු පරිදි හරීන් ප්‍රනාන්දු, අජිත් පී. පෙරේරා, හර්ෂ ද සිල්වා වැනි මන්ත්‍රිවරුන් දැඩි ආවේගශීලීව සජිත් වෙනුවෙන් කතාකරන්නට යෑම නිසා එම රැස්වීම මොහොතක් යෑමට මත්තෙන් විශාල කලබැගෑනියක් බවට පත්වන ආකාරයක් දැකගන්නට තිබිණ. ඔවුන්ගේ මේ හැසිරීම දුටු ඇතැම් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන් කියා සිටියේ ඊයේ පෙරේදා පක්ෂයට පැමිණි මෙවැනි අලුත් මන්ත්‍රිවරුන් මේ ආකාරයෙන් තැන නොතැන නොබලා හැසිරීමට යෑමෙන් දැනට පක්ෂයේ ඇති අර්බුදය වැඩිවනවා විනා අඩු වීමක් සිදු නොවන බවය. කෙසේ වෙතත් මෙම රැස්වීම සජිත් පිල තුළ බෙදීමක් ඇතිවන ආකාරයටම දුරදිග යෑම නිසා අවසානයේදී පිරිසක් තීන්දු කළේ වහාම කරු ජයසූරිය මහතා මුණගැසී පක්ෂ නායකත්වය භාරගන්නා ලෙසට ඔහුගෙන් ඉල්ලා සිටීමටය.
ඒ අනුව වහාම එම පිරිස කරුට කතාකොට හමුවීම සඳහා වේලාවක් ඉල්ලා සිටීමට පියවර ගත්හ. කරුද ඊට වේලාව ලබාදුන් පසු කරු හමුවූ පිරිස පක්ෂය තුළ මතුව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට පියවර ගත්හ. මෙහිදී මුලින්ම කරු සාකච්ඡාව ආරම්භ කළේම සජිත් පිළිබඳව කතාවක් කරමිනි.
හරීන් කියපු 70 පැන්න නාකි ගැන කරු මතක් කරයි
“මට මුලින්ම කියන්න සජිත් දැන් ඉන්නෙ කොහෙද කියල. මේ ප්‍රශ්න අපි විසඳගන්න ඉස්සෙල්ලාම සජිත් එක්ක කතා කරල ඉන්න ඕනෙ. එයා කතා කරන්නෙත් නෑ. අපිට එයාව හම්බවෙන්නත් බෑ. මට නිල කටයුත්තකටවත් එයාව අල්ලගන්න බැරිවුණා. මෙහෙම කොහොමද දේශපාලනය කරන්නෙ…” යනුවෙන් කරු කියද්දී පිරිස පැමිණි කාරණය කරුට කියා සිටියහ. ඒ අනුව පක්ෂයේ නායකත්වය භාරගන්නා ලෙසට පිරිස ඉල්ලද්දී බොහොම සාවදානයෙන් යුතුව අසා සිටීමට පියවර ගත් කරු අවසානයේදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තමාගේ සිතේ ඇති ඇත්තම තත්ත්වය පිරිසට දැනුම්දීමට කටයුතු කළේය.
“මට මේ වෙලාවේ පක්ෂ නායකත්වය භාරගන්න බෑ. මොකද මම සැලැසුම් කරල තිබ්බෙ ඉතාමත්ම ඉක්මණින් දේශපාලනයෙන් සමුගන්න. ඔබතුමාලගෙ තේරීම වුණේ සජිත්වනෙ. ඉතින් ඔබතුමාල සජිත් එක්ක කතා කරල මේක කරගෙන යන්න. අනික මම දැන් හැත්තෑව පැන්න නාකියෙක්නෙ. පහුගිය කාලෙ අපේම සමහරු එහෙමත් කිව්වනෙ” යනුවෙන් කරු තරමක කනගාටුවෙන් යුතුව කියද්දී පිරිස එකිනෙකාගේ මුහුණු දෙස බලාගත්තේ හරීන් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීමේදී කරු සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මතකයට නැගීම නිසාය. එහිදී කරුගේ නම යෝජනා වූ විට හරීන් කියා සිටියේ ‘හැත්තෑව පැන්න නාකිත් එක්ක ඡන්ද කරන්න බැහැ’ යැයි කියාය. කෙසේ වෙතත් හරීන් අමතක කර තිබූ එක් කාරණාවක් වූයේ මේ හැත්තෑව පැන්න කරු පසුගිය සමයේ භාරගත් මැතිවරණ දෙකකින්ම පක්ෂයට විශිෂ්ට ප්‍රතිඵල ලබාදීමට සමත්වූ බවය. ඉන් පළමු මැතිවරණය වූයේ 2003 පළාත් සභා මැතිවරණයය. එහිදී පක්ෂයට විශාල ජයග්‍රහණයක් ලබාදීමට කරු සමත්කම් දැක්වීය. ඉන් අනතුරුව ඌව පළාත් සභා මැතිවරණයය. විපක්ෂයේ සිටියදී කරු එම මැතිවරණය මෙහෙයවූයේ මෙහෙයුම් මණ්ඩලයක් පත්කිරීම හරහාය. එහිදී පළමු වතාවට ඌව මැතිවරණ වේදිකාවට සජිත් සහ රනිල් එකවර රැගෙන ඒමට කරු සමත්විය. කාලයක් පුරා පරාජ රැල්ලකට මුහුණදී තිබූ එජාපය යළි පණගසා ආවේ කරු මෙසේ පක්ෂයට ලබාදුන් පළාත් සභා ජයත් සමගය. කරුගේ මේ දස්කම පිළිබඳව හොඳහැටි දැනගෙන මෙම මන්ත්‍රි කණ්ඩායම පැමිණ කරුගෙන් මෙම ඉල්ලීම කළත් එය ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කළ කරු එක් විශේෂ කාරණාවක් පමණක් ඔවුන්ට දැනුම්දීමට පියවර ගත්තේය. ඒ තමන් කිසිසේත්ම පක්ෂය දෙකඩ වීමට ඉඩ නොතබනවා යැයි කියාය.
කරුගේ ගෙදර රනිල්-සජිත් සාකච්ජාවක්
“මේ පක්ෂයට මගේ පුදුම ආදරයක් තියෙන්නෙ. මේ පක්ෂය කැඩෙන්නෙ නැතිව ඉස්සරහට අරගෙන යන්න මට පුළුවන් හැමදේම මම කරනවා. මම මේ ගැන රනිල් එක්කයි, සජිත් එක්කයි කතා කරල මගේ උපරිමය මම කරන්නම්…” යන්න එහිදී කරු කී කතාව විය. ඒ අනුව ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීමේදී පක්ෂය තුළ මතුවූ අර්බුදයට මැදිහත් වූ ආකාරයටම විපක්ෂ නායකත්වය පිළිබඳව මතුව ඇති අර්බුදයට මැදිහත් වීමට කරු පියවර ගත්තේය. ඒ අනුව කරු කළේ සජිත්, රනිල් සමඟ මුහුණට මුහුණ හමුවක් අඟහරුවාදා (26) දින අමරසේකර මාවතේ පිහිටි තමන්ගේ පෞද්ගලික නිවෙසේ සංවිධාන කිරීමය. ඒ මොහොතේම රනිල් සමඟද ඒ පිළිබඳව කතා කළ කරු සජිත් සම්බන්ධයෙන් කතා කිරීමේ වගකීම ඔහුගේ මන්ත්‍රි කණ්ඩායමට පැවරීමට කටයුතු කළේය. ඒ අනුව සාකච්ඡාව අඟහරුවාදා දින පැවැත්වීමට තීන්දු විය.
රනිල්-මලික් රාජිතගේ ගෙදර තිබ්බ සාකච්ජාව
මේ අතර සඳුදා රාත්‍රියේ රාජිත සේනාරත්න මහතාගේ නිවසේද මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ. ඊට රනිල් මෙන්ම මලික්ද එක්ව සිටියේය.
මෙහිදීද තිදෙනා අතර සාකච්ඡාවට ලක්වූයේ විපක්ෂ නායකත්වය මුල්කරගෙන දැනට පක්ෂය තුළ මතුව ඇති අර්බුදය පිළිබඳවය. මෙහිදී කවදාවත් නොමැතිව ඉතාමත් විවෘත ආකාරයෙන් අදහස් පළකළ රනිල් පළමු වතාවට තමන් පක්ෂ නායකත්වයෙන් සමුගැනීමට සූදානම් බවට වූ ප්‍රකාශය මලික්ටත්, රාජිතටත් දැනුම් දී සිටීමට පියවර ගත්තේය. එමෙන්ම අඟහරුවාදා දින කරු හා සජිත් සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී සියලුම ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරන බවද රනිල් එහිදී පිරිසට දැනුම්දී සිටියේය.
රනිල්ගේ සමුගැනීම ප්‍රකාශයට පත්කරයි
“මම සූදානම් පක්ෂ නායකත්වයෙන් අයින් වෙන්න. හැබැයි මම මෙතැනදි එකම එක දෙයයි ඉල්ලන්නෙ. ඒ පක්ෂය ඇතුළෙ තියෙන මේ අර්බුද ටික ඉවර කරනකම් විපක්ෂ නායකකම මට දෙන්න කියල විතරයි. මම නායකත්වයෙන් ඉවත් වෙන්න සූදානම්. හැබැයි මේ සිද්ධවෙන දේවල් අනුව සජිත් මේකට සුදුසුද කියන ප්‍රශ්නය දැන් හැමෝටම ඇවිල්ල තියෙනවා. මොකද ඡන්දෙන් පරාද වුණාට පස්සෙ අද වනතුරු එයා එළියට ඇවිල්ල අපිත් එක්ක කතා කරල නෑ. අඩුගානෙ එයා ඉන්නෙ කොහෙද කියලවත් කවුරුවත් දන්නෙ නෑ. දෙන කෝල් එකකටවත් එයා ආන්සර් කරන්නෙ නෑ. ඉතින් කොහොමද දේශපාලනය කරන්නෙ. දේශපාලනයෙදි ජය පරාජය දෙකම විඳගන්න පුරුදු වෙන්න ඕනෙ…” යනුවෙන් රනිල් කියද්දී සජිත්ව සටනට ගෙන ඒම සඳහා විශාල කැපකිරීමක් කළ මලික්ද එය පිළිගනිමින් අදහස් දැක්වූ ආකාරයක් පෙනෙන්නට තිබිණ. කෙසේ වෙතත් රනිල් මෙහිදී සාකච්ඡාව අවසන් කළේ කරුගේ නිවෙසේ පැවැත්වෙන සාකච්ඡාවේදී ගැටලුව විසඳාගත හැකි බවට බලාපොරොත්තු තබමිනි.
කෙසේ වෙතත් අඟහරුවාදා දින පැවැත්වීමට නියමිතව තිබූ සජිත්, රනිල්, කරු තීරණාත්මක හමුව දෙස මුළු පක්ෂයම විශාල බලාපොරොත්තුවක් තබාගෙන සිටින ආකාරයක් ඒ වන විට දක්නට ලැබිණ. විශේෂයෙන්ම ඒ වන විටත් රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර තිබූ නිසා සියලුම මන්ත්‍රිවරුන් එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගනිමින් කියා සිටියේ මින් ඉදිරියට පක්ෂ නායකත්වය වෙනස් වී විශාල වෙනසක් පක්ෂය තුළ ඇතිකරගත හැකි යැයි කියාය. රනිල් නායකත්වයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවටත්, එම නායකත්වය කරුට හෝ සජිත්ට භාරදෙනු ඇති බවටත් යන පණිවුඩය අඟහරුවාදා වන විට ගම් මට්ටමටද ගොස් තිබූ නිසා ගමේ පාක්ෂිකයන්ද විශාල උනන්දුවකින් අඟහරුවාදා පැවැත්වෙන රැස්වීම දෙස බලා සිටින ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
සජිත් කරුගේ ගෙදරට නොඑයි
ඒ අනුව යොදාගත් පරිදි නියමිත වේලාවට රනිල්, කරුගේ නිවෙසට පැමිණියේ වැදගත් තීන්දු තීරණ කිහිපයක්ද ඔළුවේ තබාගෙනය. කරුද සිය නිවෙසට පැමිණි රනිල් ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගෙන ආගිය තොරතුරු කතාබහ කරමින් සිටියේ සජිත් පැමිණීමෙන් පසු තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමේ සූදානමින්ය. නමුත් සැලකිය යුතු වේලාවක් බලා සිටියද දෙදෙනාටම සජිත් එන පාටක් දැකගන්නට නොලැබුණු නිසා දෙදෙනාම කළේ ඍජුවම සජිත්ටත්, සජිත්ගේ ළඟම සිටින මන්ත්‍රිවරුන්ටත් දුරකතන ඇමැතුම් ලබාදීමය. එහිදී සජිත්ට දුන් ඇමැතුම්වලට කිසිදු පිළිතුරක් නොලැබුණු අතර, සජිත්ගේ හිතවතුන්ට දුන් ඇමැතුම්වලට ලැබුණු පිළිතුර වූයේ ඔවුන්ටද සජිත්ව අල්ලා ගැනීමට හැකියාවක් නැතැයි කියාය. ඒ අනුව සජිත් මෙම තීරණාත්මක හමුව උවමනාවෙන්ම මඟහරින ආකාරයක් රනිල්ටත්, කරුටත් වැටහිණ. ඒ අනුව එජාපය ඇතුළේ මතුව ඇති අර්බුදය ඉතා සාධනීය ආකාරයට විසඳා ගැනීමට හැකිව තිබූ අගනා අවස්ථාවක් සජිත්ගේ නොපැමිණීම නිසා මෙසේ ඉතා කනගාටුදායක අයුරින් අපතේ ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ අනුව සජිත්ගේ නොපැමිණීම තහවුරු වූ පසු රනිලුත්, කරුත් කතා කළේ තව දින කිහිපයකින් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ආණ්ඩුව සැලැසුම් කර ඇති ආකාරය පිළිබඳවය. එම කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව රනිල් කරුගේ නිවෙසින් පිටව යන ආකාරයක් දැකගන්නට ලැබිණි.
ඉමිතියාස්ගේ ෆෝන් එකෙන් සජිත් කරුට කියපු දේ
කෙසේ වෙතත් සාකච්ඡා අවසන් වී පැය කිහිපයකට පසුව කරුගේ ජංගම දුරකතනයට විශේෂ ඇමැතුමක් ලැබිණ. එහි එහා කෙළවරේ සිටියේ වෙන කවුරුවත් නොව සජිත්ගේ සමීපතමයකු වන හිටපු අමාත්‍ය ඉමිතියාස් බකීර් මාකාර්ය. එසේ කරුට කතා කළ ඉමිතියාස් තමා අසල සජිත් සිටින බවත්, සජිත්ට කරු සමඟ කතා කිරීමට අවශ්‍ය බවත් දැනුම්දී සිටියේය. ඒ අනුව දුරකතනය අතට ගත් සජිත් කරුට කියා සිටියේ “ඔබතුමා පක්ෂ නායකත්වය ගන්න. මම ඔබතුමා යටතේ ඕන දෙයක් කරන්න සූදානම්. හැබැයි මම මොනම තත්ත්වයක් යටතේවත් රනිල් එක්ක සාකච්ඡා කරන්න සූදානම් නෑ…” යැයි කියාය. මෙහිදී සජිත්ගේ කීමට කන් දුන්නද කරු කෙළින්ම සජිත් කළ ක්‍රියාව සම්බන්ධයෙන් සිය නොසතුට පළකිරීමට කටයුතු කළේය. රනිල් විසඳුමක් සහිතව සාකච්ඡා කිරීමට සූදානම් වෙද්දී සජිත් එය මඟහැර යෑම පිළිබඳව කරු සිය කනගාටුවද සජිත්ට පළකර සිටියේය.
මේ ආකාරයට සජිත්ගේ නොපැමිණීම හේතුකොටගෙන සජිත්, කරු, රනිල් සාකච්ඡාව කඩාකප්පල් වී ඇති බව මොහොතක් යෑමට මත්තෙන් සියලුම මන්ත්‍රිවරුන්ගේ කනට වැටී තිබිණ. ජයග්‍රාහී අවසානයක් සම්බන්ධයෙන් බලාපොරොත්තු තබාගෙන සිටි ඒ සියලුදෙනාම එම පුවත දැනගැනීමත් සමඟ විශාල කඩාවැටීමකට ලක්වනු දැකගන්නට ලැබිණ. ඒ සමගම ට්විටර් පණිවුඩයක් තබමින් කරු කර තිබූ ප්‍රකාශයක් මුල්කරගෙන පිරිස තවත් කලබලයට පත්වන ආකාරයක්ද දැකගන්නට ලැබිණ. එහිදී සිය ට්විටර් පණිවුඩය මඟින් කරු කියා තිබුණේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව යමින් එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂ නායකයා වශයෙන් පත්කිරීමට තමන් කටයුතු කරනවා යැයි කියාය. එමෙන්ම පක්ෂය තුළ ඇති අර්බුද පක්ෂ අභ්‍යන්තරය තුළම විසඳගත යුතුව ඇතැයිද කරු සිය ට්විටර් පණිවුඩය මඟින් දැනුම්දීමට කටයුතු කර තිබිණ.
සජිත්ගේ රාේයල් පාක් ලන්ච් එක
මේ අතර සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටි මන්ත්‍රී කණ්ඩායම පසුගිය බ්‍රහස්පතින්දා තවත් එක්තරා විශේෂ කටයුත්තක් සංවිධාන කර තිබිණි. ඒ එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයන් හට සජිත්ගේ රාජගිරියේ පිහිටි රෝයල් පාර්ක් නිවෙසේ දිවා භෝජන සංග්‍රහයක් සූදානම් කිරීමය. මෙම අවස්ථාවට ජනාධිපතිවරණයේදී සජිත්ට සහාය දුන් සියලුම පක්‍ෂ නායකයන්ට ආරාධනා කිරීමට පියවර ගෙන තිබුණු අතර, චම්පික රණවක මහතා හැරුණු විට රවුෆ් හකීම්, රිෂාඞ් බදියුද්දීන්, මනෝ ගනේෂන් ඇතුළු පක්‍ෂ නායකයන් රැසක් ඊට සහභාගි වී සිටියහ. අත්‍යවශ්‍ය කටයුත්තක් හේතුවෙන් තමන්ට ඊට සහභාගි විය නොහැකි බව චම්පික ඔවුන්ට දැනුම් දී තිබිණි.
කෙසේ වෙතත් මෙම දිවාභෝජන සංග්‍රහයේදීද පක්‍ෂ නායකයන් හා සජිත් අතර සාකච්ඡා කෙරුණේ එජාපයේ ප්‍රතිසංවිධාන කටයුතු සහ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන්ය. එහිදී පක්‍ෂ නායකයන් සජිත්ට යෝජනා කර සිටියේ විපක්ෂ නායක ධුරය පමණක් නොව පක්‍ෂ නායකත්වය පවා සජිත්ට ලබා ගැනීමට කටයුතු කළ යුතුය කියාය. සජිත්ද ඊට එකඟතාව පළ කළ නමුත් පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් නම් සජිත් සිටියේ තරමක වෙනස් ස්ථාවරයකය. සජිත්ගේ ස්ථාවරය වූයේ පක්‍ෂ නායකත්වය කතානායක කරු ජයසූරිය මහතාට ලබාදී විපක්‍ෂ නායක ධුරය භාර ගැනීමට තමන් සූදානම් බවකි.
සජිත් සටනට ආයුධ මුවහත් කරයි
“ඔය තනතුරු දෙකම භාරගන්න මම සූදානම්. මොකද එක තනතුරක් විතරක් භාර අරන් රනිල්ට එක තනතුරක් දුන්නොත් කිසි වැඩක් කරගන්න බැරි වෙනවා. ඒ හින්දා ගන්නවා නම් දෙකම ගන්න ඕන. හැබැයි මම නම් කියන්නෙ මේ වෙලාවෙ පක්‍ෂ නායකත්වය කරු ජයසූරිය මහතාට භාර දීලා මම විපක්ෂ නායක ධුරය භාර ගන්නම් කියලයි. මොකද කතානායකතුමාගෙන් මේ පක්‍ෂයට තව විශාල වැඩ කොටසක් ගන්න පුළුවන්. එතුමාට ඒ හයිය තවම තියෙනවා. අනෙක පක්‍ෂ මහලේකම්කමේ ඉඳලා සියලු තනතුරුවල පූර්ණ වෙනසක් වෙන්න ඕනෑ. හැබැයි මම එකක් කියන්නම් මේ කිසිම දෙයක් ගැන රනිල් එක්ක කතා කරන්න නම් මගේ කිසිම කැමැත්තක් නැහැ. මම ඒකට සූදානමුත් නැහැ. මින් ඉදිරියට එතුමා එක්ක මම කිසිම සාකච්ඡාවකට යන්නේ නැහැ. ඔබතුමාලට ඒක භාරයි” යනුවෙන් සජිත් කියද්දී පක්‍ෂ නායකවරුන්ද කියා සිටියේ කතානායකවරයා මුණගැසී විපක්‍ෂ නායක ධුරය සජිත්ට ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන්ද කටයුතු කරන බවකි.
රනිල් 20ක් එක්ක සිරිකොතදී සංඛ්‍යාත්මක විශ්ලේෂණයක
කෙසේවෙතත් මෙම තත්ත්වයත් සමඟ රනිල් කළේ වහාම ඉදිරි දේශපාලන කටයුතු සැලැසුම් කිරීමය. ඒ අනුව තෝරාගත් මන්ත්‍රි කණ්ඩායමක් මුලින්ම සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවූ රනිල් ජනාධිපතිවරණය පරාජයට පත්වීමට බලපෑ හේතු පිළිබඳව විශ්ලේෂණයක් කිරීමට පියවර ගත්තේය. විශේෂයෙන්ම මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් කිරීම රනිල්ගේ මේ හමුවේ අරමුණ විය. ඒ අනුව බදාදා දිනයේ පැවැති මෙම සාකච්ඡාවේදී රනිල් මුලින්ම සිය දේශපාලන අනාගතය පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කිරීමට පියවර ගත්තේය.
“දැන් මම දේශපාලනයෙන් ඉවත් වෙන්න තීන්දු කරලයි තියෙන්නෙ. මේ පක්ෂය දැන් අලුත් කණ්ඩායමකට භාරගන්න කාලෙ ඇවිල්ලා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා කවුද කියල පක්ෂය ඇතුළෙ විශාල අර්බුදයක් මතුවෙච්ච වෙලාවේ මම විශාල කැපකිරීම් කරල පක්ෂය කැඩෙන්නෙ නැති වෙන්න අභියෝගාත්මක තීන්දුවක් ගත්තා. ඒ වගේම මේ වෙලාවෙත් මම පක්ෂය කැඩෙන්නෙ නැතුව ඊළඟ පරම්පරාවට භාරදෙන්න ඕනෙ. එහෙම නැතිව මේ පක්ෂය දෙකට තුනට කැඩිල ගියොත් ඒකෙන් වන්දි ගෙවන්න වෙන්නෙ අපේ පාක්ෂිකයන්ට. ඊළඟ මහ මැතිවරණයට ඉදිරිපත් නොවෙන්න මම තීන්දු කරලයි තියෙන්නෙ. නමුත් මාර්තු වෙනකන් අපිට මේ ගමන යන්න තියෙනවා. එතකන් මම විපක්ෂ නායක ධුරයේ ඉන්නම්. මම නායකත්වය භාරදෙන්නත් සූදානම්. මම ඒක කතානායකතුමා එක්ක තිබ්බ සාකච්ඡාවේදීත් කිව්වා…” යනුවෙන් කී රනිල් පක්ෂයේ නායකත්වය සිංහල බෞද්ධ ජන පදනමක් ඇති, ඉවසීම ඇති, ජය පරාජයේදී නොසැලී සිටින චරිතයකට භාරදීමට කටයුතු කරන බවද පිරිසට දැනුම්දී සිටියේය.
රන්ජන්ට-මංගලට චෝදනා
ඉන් අනතුරුව මන්ත්‍රි කණ්ඩායම සාකච්ඡා කළේ ජනාධිපතිවරණ පරාජයට බලපෑ හේතු සාධක පිළිබඳවය. මෙහිදී සියලු දෙනාම කිසිදු බේදයකින් තොරව පිළිගත් ප්‍රධානම කාරණාව වූයේ මෙවර පරාජයට සිංහල බෞද්ධ ඡන්ද එජාප අපේක්ෂකයාට නොලැබී ගෝඨාභයට හිමිවීම පරාජයට හේතුවූවා යැයි කියාය. විශේෂයෙන්ම බෞද්ධාගමට ප්‍රසිද්ධියේම අවලාද නැඟූ මංගල සමරවීර, රන්ජන් රාමනායක වැනි ඇමැතිවරුන් එහි වගකීම සම්පූර්ණයෙන් භාරගත යුතු බවද එහි සිටි සියල්ලන්ම පාහෝ චෝදනා නැගූ ආකාරයක් දැකගන්නට ලැබිණ. මේ නිසා මහා සංඝරත්නය එජාපය කෙරෙහි සැකයෙන් බැලූ බවත්, ඇතැම් සංඝයා වහන්සේලා එජාපයට එරෙහිව ප්‍රසිද්ධියේම චෝදනා එල්ල කළ බවත් පෙන්වා දුන් ඔවුහු වහාම මෙම තත්ත්වය නිවැරැදි කර ගැනීම සඳහා සිංහල බෞද්ධ බලවේගය විශ්වාස කරන නායකයකුට වැඩි වගකීම් ප්‍රමාණයක් පැවරිය යුතු බවද පෙන්වා දුන්හ. ඒ අනුව ඉදිරියේදී කෙරෙන ප්‍රතිසංවිධාන කටයුතුවලදී එම තත්ත්වය බැරෑරුම්ව සාකච්ඡා කිරීමටද තීන්දු විය.
කරුගෙන් තවත් නිවේදනයක්
මේ අතර විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් යළිත් වතාවක් එජාපය ඇතුළේ කතාබහක් මතුව ආවේ පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන කතානායකවරයා විසින් නිකුත් කළ නිවේදනයත් සමඟය. එම නිවේදනය මඟින් කරු කියා සිටියේ විපක්ෂ නායක ධුරය සජිත්ට ලබාදෙන ලෙස ඉල්ලමින් මන්ත්‍රිවරුන් 57ක් අස්සන් කළ ලිපියක් බදාදා දිනයේදී මන්ත්‍රිවරුන් විසින් තමන්ට ලබාදුන් බවත්, මේ සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය වහාම තමන් වෙත දැනුම්දීමට කටයුතු කරන ලෙසත්ය. එසේ නිල වශයෙන් එම තීන්දුව දැනුම්දීමෙන් පසු පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එය ඊළඟ පාර්ලිමේන්තු දිනයේදී තමන් විසින් ප්‍රකාශයට පත්කිරීමට සූදානමින් සිටින බවද කතානායකවරයා සිය නිවේදනය මඟින් එජාප මහලේකම්වරයා වෙත දැනුම්දීමට පියවර ගෙන තිබිණ.
කතානායකවරයා මෙලෙස ලිපියක් යොමුකොට තිබුණේ පක්ෂ මහලේකම්වරයා වන අකිල විරාජ් කාරියවසම් මහතා විසින් රනිල් විපක්ෂ නායක බවට නම් කරමින් කතානායකවරයා වෙත නිල ලිපියක් යොමුකර තිබියදී වීමද විශේෂ සිදුවීමකි. ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා වන විටත් විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එජාපය ඇතුළේ පැවැති අර්බුදය නිමාවී ඇති ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
චම්පික-මහේෂ් එජාපයට ගන්න සාකච්ජා
මේ අතරවාරයේ එජාප නායකත්ව අර්බුදය සහ විපක්ෂ නායක අර්බුදය පිළිබඳව පක්ෂය සිරවී සිටියදී පක්ෂය තවත් ශක්තිමත් කිරීම සඳහා කිසිවකුත් නොදැන තවත් සාකච්ඡා වටයක්ද ආරම්භ වී තිබිණ. එසේ ආරම්භ වී තිබුණේ එජාපයට පරිබාහිරව සිටින දැනට සමාජයේ විශාල ප්‍රසාදයක් සහ සිංහල බෞද්ධ ජනතාවගේ විශ්වාසය දිනාගෙන සිටින ජනතා නියෝජිතයන් දෙදෙනකු එක්සත් ජාතික පක්ෂයට එකතු කර ගැනීම සඳහාය. එම ජනතා නියෝජිතයන් දෙදෙනා වූයේ වෙන කවුරුවත් නොව ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවකත්, හිටපු හමුදාපතිවරයකු මෙන්ම ඉකුත් ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයකු වූ ජෙනරාල් මහේෂ් සේනානායකත්ය. පසුගිය සති කිහිපය පුරාම එජාපයේ ප්‍රධානීන් කිහිපදෙනකු මේ සම්බන්ධයෙන් චම්පික සහ මහේෂ් සමඟ දිගින් දිගටම සාකච්ඡාවන්හි නිරත වී සිටි අතර ඊට දෙදෙනාගෙන්ම යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය. ඒ අනුව බොහෝදුරට ඉදිරි මහ මැතිවරණයට පෙර පක්ෂය තුළ සිදුවෙන ප්‍රතිසංවිධාන අතර චම්පික සහ මහේෂ් එජාපයට එක්වීමට නියමිත අතර, මේ දෙදෙනාටම වැඩි වගකීම් ප්‍රමාණයක් ලබාදීම සම්බන්ධයෙන්ද එජාප ප්‍රධානීන්ගේ අවධානය යොමුව ඇති බවක්ද දැනගන්නට ඇත.
වාසු කතානායක කතාවෙන් ජංජාලයක්
මේ සියල්ල අතරවාරයේ පසුගිය සතිය වන විට කතානායක ධුරයෙන් කරු ජයසූරිය මහතා ඉවත් කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇති බවට විශාල රාවයක් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිරය යන ආකාරයක් දැකගන්නට ලැබිණි. එසේ කරු ඉවත් කිරීමෙන් පසු එම තනතුරට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන වාසුදේව නානායක්කාර මහතා පත්කිරීමට සූදානමින් සිටින බවත්, වාසුදේව පක්ෂ නායකයකු වශයෙන් සිටියදී කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීමට ජනාධිපතිවරයා පියවර නොගත්තේ මේ හේතුව නිසා බවත් එසේ ගිය කටකතාවලින් වැඩිදුරටත් කියැවිණ. මෙම තත්ත්වය තවත් වර්ධනය වන ආකාරයක් දැකගන්නට ලැබුණේ වාසුදේවද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තාවකාලිකව තමන් මෙම කතානායක ධුරය භාරගැනීමට සූදානම් බව ප්‍රකාශ කිරීමත් සමඟය. එහිදී වාසු කියා සිටියේ තවමත් තමන්ට ඒ සම්බන්ධයෙන් නිල දැනුම්දීමක් කර නැතත් මහ මැතිවරණය පවත්වන තෙක් කතානායක ධුරය භාරගැනීමට තමන් සූදානම් යැයි කියාය.
මෙවැනි තත්ත්වයක් මතුවීමත් සමඟ වහාම රනිල්ට කතා කළ කරු කියා සිටියේ කතානායක ධුරය වාසුට භාරදීම සම්බන්ධයෙන් විශාල රාවයක් පැතිර යන බවත්, ඒ අනුව තමන් එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කරමින්
සිටින බවත්ය. එය තහවුරු කරමින් තවදුරටත් කරු සිය ඉල්ලා අස්වීමේ ලිපියද සූදානම් කිරීමට ඒ වන විටත් කටයුතු කර තිබිණ.
රනිල් ජනාධිපතිටත් කතා කරලා
කෙසේ වෙතත් කලබල නොවන ලෙසට කරුට කියා සිටි රනිල් තමන් කතානායක ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත්, එහිදී කතානායක ධුරය මහ මැතිවරණය තෙක් වෙනස් නොකිරීමට තමන් හා ජනාධිපතිවරයා අතර එකඟතාවක් ඇතිකරගත් බවත් කරුට දැනුම්දී සිටියේය.
ඒ අනුව වහාම රනිල් කළේ අනෙක් පැත්තට ජනාධිපතිවරයාට දුරකතන ඇමැතුමක් ලබාදී මේ සම්බන්ධයෙන් තොරතුරු විමසා සිටීමය. එහිදී රනිල් ගෝඨාට දැනුම්දී සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක් කතානායකවරයා ලෙස කරු ජයසූරිය මහතා තබාගැනීමට පැවැති සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණි බවත්, එම එකඟතාව කඩ නොකරන ලෙසට තමන් ඉල්ලා සිටින බවත්ය. ගෝඨාභය එහිදී රනිල්ට කියා සිටියේ අලුත් කතානායකවරයකු පත්කිරීමට ආණ්ඩුවේ කිසිදු සැලැසුමක් නොමැති බවත්, දෙදෙනා අතර ඇතිකරගත් එකඟතාවය එලෙසින්ම ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත්ය.
ඒ අනුව වහාම නැවැතත් කරුට කතා කළ රනිල් පැතිර යන කටකතාවලට නොරැවටෙන ලෙසත්, කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත නොයවන ලෙසත්, කතානායක ධුරය වෙනස් කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් ගෝඨාභය ඇතුළු ආණ්ඩුවට නොමැති බවත් කරුට දැනුම් දී සිටියේය.
බැසිල් ඊළග මෙහෙයුමට සැරසෙයි
එක්සත් ජාතික පක්ෂය පරාජයෙන් පසුව ප්‍රධාන තනතුරු සඳහා ගහමරා ගන්නා තත්ත්වයක් පෙනෙන්නට තිබුණද පොහොට්ටුවේ න්‍යායාචාර්යවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා නම් සිටියේ වෙනම මෙහෙයුමක නිරතවෙමින්ය. මැතිවරණ සමයේ දිගින් දිගටම රාජකාරි කටයුතුවල අවිවේකීව නිරතව සිටීම නිසා රෝහල්ගතව දින තුනක පමණ කාලයක් වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට සහභාගි වූ බැසිල් ඉන් පසුව නැවතත් කෙළින්ම පැමිණියේ බත්තරමුල්ලේ පිහිටි පොහොට්ටුවේ පක්ෂ කාර්යාලයටය. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව බොහෝ මැති ඇමැතිවරුන් සැමරුම් උත්සව සහ විවේකයෙන් කාලය ගත කළත් බැසිල් ඒ කිසිවකට නොගොස් පක්ෂ කාර්යාලයට වී කළේ ඉකුත් ජනාධිපතිවරණ ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමය. එම ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව ලබන මහ මැතිවරණයේදී පොහොට්ටුවට ගත හැකි ආසන සංඛ්‍යාව සකස් කිරීම බැසිල්ගේ අරමුණ වී තිබිණ. ඒ අනුව දීර්ඝ සංඛ්‍යා විශ්ලේෂණයකින් පසු බැසිල්ට වැටහී ගියේ මෙම ප්‍රතිඵලයම දිස්ත්‍රික්ක මට්ටමින් එළැඹෙන මහ මැතිවරණයේදී පොහොට්ටුවට ලබාගත හැකි වුවහොත් ආසන්න වශයෙන් මන්ත්‍රි ආසන 117ත් 120ත් අතර ප්‍රමාණයක් පොහොට්ටුවට ලබාගත හැකි යැයි කියාය. නමුත් බැසිල්ට අවශ්‍ය වී තිබුණේ මන්ත්‍රි ආසන 120න් නැවතීමට නොව මන්ත්‍රි ආසන 130ත් 140ත් දක්වා මෙම ඡන්ද ප්‍රමාණය ඉහළ නංවා ගැනීමටය. ඒ අනුව අනෙක් සියලුම පක්ෂ අර්බුදයක ගිලී පැවැතියදී එළැඹෙන අප්‍රේල් මාසයේ පැවැත්වෙන මහ මැතිවරණය ඉලක්ක කරගෙන බැසිල් දැන් තියාම ආසන 140ක් දක්වා මන්ත්‍රි ප්‍රමාණය වැඩිකර ගැනීමේ මෙහෙයුමට අතතබා ඇති බවක් දැකගන්නට තිබේ.
පුටුවෙ කෑලිත් නෑ: මහජන්දෙටත් පොහොට්ටුවමයි
ඒ අතරතුර පසුගිය දින කිහිපය පුරාම බැසිල්ව මුණගැසුණු පක්ෂයේ මන්ත්‍රිවරුනුත්, පළාත් සභා, ප්‍රාදේශීය සභා නියෝජිතයනුත් බැසිල්ට එක ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට කටයුතු කළහ. ඒ වෙන කිසිවක් නොව ඉදිරිපත්වූ මැතිවරණ දෙකෙන්ම අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ පොහොට්ටුව සලකුණ යටතේම පොදුජන පෙරමුණ ඊළඟ මහ මැතිවරණයටත් ඉදිරිපත් විය යුතු යැයි කියාය. ඊට හේතුවී තිබුණේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන පොදුජන පෙරමුණත්, ශ්‍රීලනිපයත් අස්සන් තැබූ ගිවිසුමට අනුව එළැඹෙන මහ මැතිවරණය පුටුව ලකුණ යටතේ පැවැත්වීමට එකඟ වී තිබීමය. නමුත් මෙම මන්ත්‍රිවරුන් දැඩිව බැසිල්ට කියා සිටියේ ජයග්‍රාහී පොහොට්ටු ලකුණින් බැහැරව පැරැණි ලකුණක් වූ පුටුවෙන් තරග කිරීමට ගියහොත් රට තුළ ඇති මෙම පිබිදීම කඩාවැටීම වැළැක්විය නොහැකි බවත්, එම නිසා ගිවිසුම් පැත්තකට දමා ජයග්‍රාහී පොහොට්ටුව ලකුණින්ම මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවත්ය.
රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇති ආකාරයට අනුව දැනට ඉතිරිව සිටින ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් දහඅට දෙනාගෙන් සැලකිය යුතු ප්‍රමාණයක්ද සිටින්නේ පුටුව ලකුණින් තරග කරනවාට වඩා පොහොට්ටුව ලකුණ යටතේ තරග කිරීමට කැමැත්තෙන්ය. මීට අමතරව ඇතැම් දිස්ත්‍රික්කවල ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් සම්පූර්ණයෙන් ශ්‍රීලනිපයෙන් ඉවත්වී පොහොට්ටුව යටතේ තරග කිරීමට දැනටමත් එකඟතාවය පළකර ඇති බවක්ද ආරංචිය.
ජනපතිගේ පළමු කැබිනට්ටුවෙන්ම සහන
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වූයේ පසුගිය බදාදා දිනයේදීය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සිය පළමු කැබිනට් රැස්වීමේදීම ජනාධිපතිවරයා ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු වූ පරිදිම සහන සැලැසීමේ වැඩපිළිවෙළට අතගැසීමය. එහිදී ප්‍රධාන පොරොන්දුවක් වූ වැට් බද්ද 8% දක්වා අඩු කළ ජනාධිපතිවරයා තවත් බදු වර්ග රැසක ප්‍රතිශතයන් අඩු කිරීමට සහ ඉවත් කිරීමට පියවර ගැනීම කැපීපෙනන සිදුවීමක් විය.
එමෙන්ම පසුගිය ඉරිදා (24දා) ජනාධිපතිවරයාට විශේෂ දිනයක් විය. ඒ ජනාධිපතිවරයාගේ බිරිය වන අයෝමා රාජපක්ෂ මහත්මියගේ උපන් දිනය එදිනට යෙදී තිබීමය. ඒ අනුව මිරිහානේ පැඟිරිවත්ත පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවෙසට එදින රාජපක්ෂ පවුල නියෝජනය කරන සියලුදෙනාම පැමිණ අයෝමා මැතිනියට උපන්දින ආසිරි පතනු දැකගත හැකි විය. එමෙන්ම උපන් දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාත්, බිරියත් එක්ව ගේ කුරුල්ලන් රංචුවකට නිදහස ලබාදීමේ මහඟු පින්කමකටද එක්විය.
කිසිම ජනාධිපතිවරයෙක් නොකළ දේවල්
මීට අමතරව පසුගිය සතිය ආරම්භයේදී ජනාධිපතිවරයා ඉතිහාසයේ මෙතෙක් කිසිදු ජනාධිපතිවරයකු ගනු නොලැබූ ඉතා වැදගත් තීන්දු තීරණ රැසක් ගනු දැකගන්නට ලැබිණි. ඉන් පළමුවැන්න වූයේ රජයේ සියලු වගකිවයුතු සංස්ථා, දෙපාර්තමේන්තුවලට ප්‍රධානීන් පත්කිරීමේදී ඔවුන් තෝරාගනු ලැබීම සඳහා සයපුද්ගල කමිටුවක් පත්කිරීමය. එමෙන්ම ආණ්ඩුවේ පුවත්පත්වල ප්‍රසිද්ධ දැන්වීම් පලකරමින් එම තනතුරුවලට පත්වීම සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන්ගේ අභිලාෂ කැඳවීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය. ඊට අමතරව සෑම ඇමැතිවරයකුටම එක් උපදේශකයකු පමණක් තබාගත යුතු බවට නියෝගයක් නිකුත් කළ ජනාධිපතිවරයා සියලුම ඇමැතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් සීමාකරගත යුතු බවද දැනුම්දී සිටියේය.
ජනාධිපතිවරයා සිය පළමු විදෙස් සංචාරය සනිටුහන් කරමින් ඉන්දියාව බලා පිටත්ව ගියේ පසුගිය බ්‍රහස්පතින්දා දහවල්ය. වෙනදා නම් හිටපු ජනාධිපතිවරුන් කටුනායක ප්‍රභූ පර්යන්තයෙන්, රතු පලස් මතින්, ආරක්ෂකයන් පිරිවරා බිරිය, දරුවන්, ඥාතීන් ඇතුළු සිය ගණනක නියෝජිත කණ්ඩායමකින් යුතුව විදෙස් සංචාරයන්වල නිරත වුවත් ගෝඨා ඒ සියල්ලන්ටම ආදර්ශයක් ලබාදෙමින් මෙවර අලුත් තාලයකට විදෙස්ගත වන ආකාරයක් දැකගත හැකිවිය. ඒ අනුව මෙවර කටුනායක රතු පලස් තිබුණේ නැත. ආරක්ෂකයන් සිය ගණනක් සිටියේද නැත. බිරිය, දරුවන්, ඥාතීන් ඇතුළු බුරුතු පිටින් රට ගියේද නැත. ප්‍රභූ පර්යන්තය තෝරාගත්තේද නැත. ඒ වෙනුවට ජනාධිපතිවරයා කළේ සාමාන්‍ය මගී පර්යන්තයෙන් සාමාන්‍ය මගියකු මෙන් දහයකට අඩු දූත මණ්ඩලයක්ද සමඟ වැඩි සද්දබද්දයකින් තොරව ඉන්දියාව බලා පිටත්ව යෑමය. මේ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල උණුසුම් ප්‍රතිචාර ජනාධිපතිවරයාට හිමිව තිබූ බවක්ද දැකගත හැකි විය.
මෛත්‍රීගේ මුල්ම රැස්වීම
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශ්‍රාම යෑමෙන් පසු මේ දිනවල සිටින්නේ නැවැතත් සක්‍රීය දේශපාලනයට පැමිණීමේ බලාපොරොත්තුව ඇතිවය. ඒ අනුව පසුගිය කාලය පුරාම ශ්‍රීලනිප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ ශාන්ත බණ්ඩාර, ඩිලාන් පෙරේරා, මලිත් ජයතිලක වැනි මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා අස්වන ලෙසට මෛත්‍රි විසින් කර තිබූ ඉල්ලීම්වලට අනුව ඔවුන් මුලින් ඊට කැමැත්තක් දක්වා තිබුණත් මේ වනවිට ඒ තිදෙනාම සිටින්නේ මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස් නොවී සිටීමේ ස්ථාවරයකය. අවසාන වශයෙන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට තිලංග සුමතිපාල මහතා මෛත්‍රිට එකඟතාව පළ කර තිබුණද නව රජය යටතේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවීම නිසා තිලංගගේ ඉවත් වීමද මේ වන විට ඇත්තේ කෙරෙන පසුබිමකට වඩා නොකෙරෙන පසුබිමකය.
එවැනි තත්ත්වයක් මතුවී තිබියදී පසුගිය සතියේ මෛත්‍රි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පැජට් පාරේ පිහිටි නිල නිවෙසට කැඳවූයේ පක්‍ෂයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය. ඒ වන විටත් කැබිනට් මණ්ඩලය දිවුරුම් දී තිබූ අතර, පොහොට්ටුව සමග ඇතිකරගත් ගිවිසුමට අනුව කැබිනට් ඇමැති ධුර 4ක් ශ්‍රීලනිපයට හිමි විය යුතුව තිබුණත් අමාත්‍ය ධුර 2ක් පමණක් ලබා දීම නිසා බොහෝ මන්ත්‍රීවරුන් සිටියේ තරමක කනගාටුදායක ස්වරූපයකින් බව දැකගන්නට තිබිණි.
කෙසේ වෙතත් සාකච්ඡා ආරම්භ වූ විගස මෛත්‍රි මුලින්ම කළේ එතෙක් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා වෙත පවරා තිබූ තාවකාලික ශ්‍රීලනිප සභාපති ධුරය යළි ස්ථිර ලෙස තමන් වෙත පවරා ගැනීමය. ඉන් අනතුරුව සාකච්ඡාව ඇදී ආවේ ශ්‍රීලනිපයට හිමිවිය යුතු කැබිනට් අමාත්‍ය ධුර නිසි අයුරින් ලබා නොදීම සම්බන්ධයෙන්ය. මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු මෛත්‍රිට ඒ පිළිබඳව චෝදනා කරමින් කතා කරද්දී තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බව කියමින් මෛත්‍රි එහිදී මහා දුක්ගැනවිල්ලක් මන්ත්‍රීවරුන් හමුවේ තබනු දැකගත හැකි විය.
මාව ගණන් ගන්නෙවත් නෑ- මෛත්‍රීගෙන් අදෝනාවක්
‘මට චෝදනාවක් තියෙනවා කැබිනට් ඇමැතිකම් 2ක් විතරක් අපිට දෙන එක මම දැනගෙන හිටියා කියලා. ඔය කතාව එළියට එනකම් මම කිසිම දෙයක් දැනගෙන සිටියේ නැහැ. ඒක දැනගත්ත ගමන් මම ජනාධිපතිතුමාට කතා කළා. මම එතුමාට කිව්වා ගිවිසුමට අනුව අපට කැබිනට් ඇමැතිකම් 4ක් දෙන්න ඕන කියල. නමුත් එතුමා කිව්වේ දැන් ඒක කරන්න බැහැ, කැබිනට් ඇමැතිකම් 2ක් විතරයි ඕගොල්ලන්ට දෙන්න පුළුවන්, දැන් ඔක්කොම ලියකියවිලිත් හදලා ඉවරයි කියලයි. ඉතින් මම මොනවා කරන්නද?’ යනුවෙන් මහා දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළ මෛත්‍රි ඉන් අනතුරුව පක්‍ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමටද පියවර ගත්තේය.
‘දැන් අපිට මහඡන්දෙට ලෑස්ති වෙන්න තියෙනවා. ඒ ඡන්දෙටත් පොහොට්ටුව එක්ක සන්ධානගත වෙලා යන්න අපි තීන්දු කරලා ඉන්නෙ. මම දැනට තීන්දු කරලා තියෙනවා දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් මාලාවක් පවත්වන්න. ඒ හැම දිස්ත්‍රික්කෙටම මමත් යනවා” යනුවෙන් කියමින් මෛත්‍රි පක්‍ෂ ප්‍රතිසංවිධාන සැලසුම මන්ත්‍රිවරුන්ට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.
මෛත්‍රීට කෝටි 800 ගෙදරින් යන්න වෙන ලකුණු
මේ සියල්ල අතරවාරයේ මේ වන විට නැවැත වතාවක් මෛත්‍රිගේ පැජට් පාරේ පිහිටි නිල නිවෙස පිළිබඳ මාතෘකාව කරලියට පැමිණ ඇති බවක් දැනගන්නට තිබේ. ඊට හේතු වී ඇත්තේ මෛත්‍රි විසින් විශ්‍රාම යෑමට ප්‍රථම කැබිනට් පත්‍රිකාවකින් පවරා ගනු ලැබුවා යැයි කියන පැජට් පාරේ පිහිටි මෙම අතිසුඛෝපභෝගී නිල නිවෙස යළි රජයට ගැනීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබීමය. මෙම නිල නිවෙස මුලින් එකක් වශයෙන් පැවැතියද මෛත්‍රි ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඊට යාබද විශාල නිල නිවාස 2ක්ද ඒකාබද්ධ කොට සුවිශල් මැදුරක් ලෙස මෙය පරිවර්තනය කිරීමට පියවර ගෙන තිබිණි. ඒ සඳහා නවීකරණ කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වියදම් කළ බව කියැවුණු අතර, එම නිවාසය කෝටි 800ක් ඉක්මවා වටිනාකමකින් යුක්ත බවද වාර්තා විය.
කෙසේ වෙතත් මේ වන විට දැනගන්නට ලැබී ඇත්තේ අදාළ නිවෙස පවරා ගැනීමේදී නිසි අයුරින් කැබිනට් අනුමැතිය හිමිව නොමැති බවකි. ජනාධිපතිවරණය කැඳවීමට සති කිහිපයක් තියා පැවැති එම කැබිනට් රැස්වීමේදී මුදල් අමාත්‍යවරයා වශයෙන් මංගල සමරවීර මහතා එවැනි කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය හමුවේ වාචිකව ඉදිරිපත් කළා මිස එම පත්‍රිකාව සියලු අමාත්‍යවරුන්ට ලබාදී සම්මත කරගැනීමට පියවර ගෙන තිබුණේ නැති බව කියැවේ. ඒ අනුව ආණ්ඩුවට මේ වන විට යෝජනාවක් ඉදිරිපත්ව ඇත්තේ මෛත්‍රි විශ්‍රාම සුවයෙන් සිටින අදාළ නිල නිවෙස යළි රජයට පවරාගෙන වෙනත් සුදුසු නිල නිවෙසක් මෛත්‍රිට ලබා දිය යුතු බවකි.
කපිල පුංචිමාන්නගේ