2005ට පෙර ලංකාවේ දේශපාලනයේ යූ.ඇන්.පී.ය සමීප වූයේ ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයටය. ශ්‍රීලනිපය සමීප වූයේ ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයටය. 1988 ජනාධිපතිවරණයේදී එකල ජේ.ආර්.ගේ ආණ්ඩුවේ ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි කීවේ ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති රේගන් වාර දෙකක් ජනාධිපති වී ඔහුගේ උප ජනාධිපති බුෂ් ඊළඟ වාරයේ ජනාධිපති වූවා සේ ලංකාවේ ජේ.ආර්. වාර දෙකක් ජනාධිපති වී ඔහුගේ අගමැති ප්‍රේමදාස ඊළඟ වාරයේ ජනාධිපති වන බවය. බුෂ් ජනාධිපති වූවා සේ ප්‍රේමදාස ජනාධිපති විය. 1992 ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී වසර 12කට පසු ඩිමොක්‍රටික් අපේක්ෂක බිල් ක්ලින්ටන් ජනාධිපති වූ විට ලංකාවේ ශ්‍රීලනිපය සතුටට පත්විය.
ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂය වසර 12කට පසු බලයට ආවා සේ ලංකාවේ ශ්‍රීලනිපය වසර 17කට පසු බලයට එනවා යැයි ශ්‍රීලනිපය කීවේය. කිව්වා වගේම ශ්‍රීලනිපය 1994 බලයට පත්විය. 1994 ජනාධිපති වූ චන්ද්‍රිකා ඇමෙරිකාව සමග සමීප සබඳතා පැවැත්වූවාය. ඇය ජනාධිපති වූ අලුතම වාගේ ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ බිරිය හිලරි ක්ලින්ටන් ලංකාවට ආවාය. මේ කාලයේ විපක්ෂයේ සිටි යූ.ඇන්.පී.ය බල බලා සිටියේ ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂය බලයට එන තෙක්ය. 2000 බුෂ් ජනාධිපති වූ විට යූ.ඇන්.පී. නායක රනිල් සතුටට පත්විය. රේගන්ගේ කාලයට පසු ලංකාවේ නායකයෙක් ධවල මන්දිරයේදී ඇමෙරිකානු ජනාධිපති හමුවූයේ බුෂ්ගේ කාලයේය. රනිල් ධවල මන්දිරයට ගොස් බුෂ් හමුවිය. 2008 ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී පළමු වරට යූ.ඇන්.පී.යේ රනිල් වික්‍රමසිංහත් ශ්‍රීලනිපයේ නව නායක මහින්ද රාජපක්ෂත් රිපබ්ලිකන් පක්ෂය දිනවනවාට කැමැති විය. මහින්ද, රිපබ්ලිකන් පක්ෂය ජය ගන්නවාට කැමැති වූයේ දෙමළ ඩයස්පෝරාව ඔබාමාට සහාය පළ කළ නිසාය. යුද්ධය දිනන්න ඇමෙරිකාවේ සහාය ගන්න නම් රිපබ්ලිකන් පක්ෂය ජයගත යුතු යැයි මහින්ද සිතුවේය. එහෙත් දින්නේ ඔබාමාය. මහින්ද කෙසේ හෝ යුද්ධය දින්නේ ඉන්දියාවේ සහයෙන් ඔබාමාගේ ආණ්ඩුව නිහඬ කරලාය. ඒත් යුද්ධය ජයගැනීමෙන් පසු ඔබාමාගේ ආණ්ඩුව මහින්දගේ ආණ්ඩුවට එරෙහිව මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කළේය. මෙම චෝදනාවලින් බේරී ඇමෙරිකාවේ සහාය ගන්න මහින්දගේ ආණ්ඩුව ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ සෙනට් සභිකයන්ගේ සහාය පැතුවේය. 2009 දී ඇමෙරිකානු සෙනට් සභිකයන් පිරිසක් සෙනට් ෆොරීන් රිලේෂන් කමිටියට වාර්තාවක් ඉදිරිපත් කරමින් කීවේ ලංකාව ඇමෙරිකාවට උපායිකව වැදගත් බවත්, ලංකාව චීන ග්‍රහණයට හසුවන්නට ඉඩ නොදී ඇමෙරිකාව ලංකාවට උදව් කළ යුතු බවත්ය. එදා විපක්ෂ නායකව සිටි රනිල් මේ වාර්තාවට කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් අද ජනාධිපති ධුරයට පත්වී සිටින රනිල් ඇමෙරිකානු හවුස් රෙප්‍රසෙන්ටේටිව් මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂය ජයගනු ඇතැයි දැඩි විශ්වාසයකින් පසුවූ බවට ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරයි. රනිල්ට, බයිඩන්ගේ ආණ්ඩුව දිනාගැනීම අසීරු වී ඇති නිසා රිපබ්ලිකන් පක්ෂය යූ.එස්. හවුස් රෙප්‍රසෙන්ටේටිව් මැතිවරණයෙන් ජයගතහොත් රිපබ්ලිකන් සෙනට් මන්ත්‍රීවරු හරහා බයිඩන්ගේ ආණ්ඩුවට රනිල්ගේ ආණ්ඩුවට උදව් කරන ලෙස බලපෑම් කිරීම රනිල්ගේ උපාය වී තිබිණි. ඒත් සෙනට් බලය බයිඩන්ට හිමිවීමත්, හවුස් රෙප්‍රසෙන්ටේටිව් මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂයට ලොකු ජයක් නොලැබීමත් නිසා රනිල්ගේ බලාපොරොත්තුව බිඳවැටී තිබේ. මැතිවරණයට පෙර රනිල් රිපබ්ලිකන් පක්ෂ සබඳකම් වර්ධනය කරගනිමින් සිටි බවත්, ඡන්ද ප්‍රතිඵල දැඩි වුවමනාවෙන් නිරීක්ෂණය කළ බවත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි. සමන්තා පවර් හරහා බයිඩන් දිනාගැනීම රනිල්ගේ කලින් උපාය විය. එය අසාර්ථක විය. මෙවර ඔහුගේ උපාය වූයේ යූ.එස්. හවුස් රෙප්‍රසෙන්ටේටිව් මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂය දිනන තෙක් සිටීමය. එයත් අසාර්ථක වීම නිසා ඔහු වෙනත් විකල්ප මාර්ග සොයන්න පටන්ගෙන තිබේ.
උපුල් ජෝෂප් ප්‍රනාන්දු