පසුගිය දිනෙක සිරිලක් පුරෙන් වාර්තා වූ අසිරිමත් කෞතුක භාණ්ඩ රැසක හොරකම සම්බන්ධව යළි පූර්වාපර සිද්ධි ගැළපීමක් කරන්නට අප සිතුවෙමු. ඒ, මීට පෙරද මෙසිරිලකෙහි කෞතුක භාණ්ඩ සොරකම් අසීමිතව සිදුව ඇති නිසාය. ඒවායේ අග මුල පැහැදිලි කරන්නට අපටද නොතේරේ. නමුත් හැකි පමණින් පෙර සිද්ධි කිහිපයක් ඔබ හා බෙදාගන්නට අප සිතුවෙමු. එයට හේතුවක් තිබේ. කෞතුක භාණ්ඩ සොරකම් පිටුපස ඇත්තේද වැටත් නියරත් ගොයම් කෑ සේ මතුව එන්නා වූ කතන්දරයකි. වැට කවුරුද, නියර කවුරුද, ගොයම් කවුරුදැයි හඳුනාගැනීම පාඨක ඔබට තම තම නැණ පමණින් කරගත හැකිය. අපට හැක්කේ මේවා කියා පැහැදිලි කිරීම පමණකි.
2012 මාර්තු මාසයේ 16 වැනි දින කොළඹ කෞතුකාගාරයේදී පහත නම් සඳහන් භාණ්ඩ සියල්ලම අතුරුදන් වූ බව ඒ පිළිබඳ නිල වාර්තාවල සඳහන්ව තිබිණි.
අනුරාධපුර සහ මහනුවර යුගවලට අයත් රන් කාසි 68ක්. ඉන් 33ක් අනුරාධපුර යුගයට අයත් බව සඳහන්ව තිබිණි. රන් සමරු කාසි 03ක්ද, රන් පනම් අල්ලන ලද මාලයක්ද, කාසි 27ක්ද, මහනුවර යුගයට අයත් කාසි හා සමරු කාසි, රිදියෙන් කළා වූ කාසි 50ක්ද, අක්ෂර සහිත ඊයම් කාසි 09ක්ද, 1942න් පසුව නිදහස් කරන ලද මුදල් නෝට්ටු 34ක්ද, කොපුව සහිත කඩු 05ක්ද, කොපුව රහිත කඩු 03ක්ද, රන්, රිදී, පිත්තලවලින් නිර්මිත මුදු, රත්නපුර පැල්මඩුල්ලෙන් සොයාගන්නා ලද කාන්තා රූපයක් කොටන ලද කානේලියන් වර්ගයේ පාෂාණ අල්ලන ලද රන් මුදුවක්ද, සැරයටි 02ක්ද, නුගවෙල අදිකාරම්ගේ බඳපටියද මෙසේ අතුරුදන්ව තිබිණි.
කොපුව සහිත කඩු 05 සහ කොපුව රහිත කඩු 03 ක්‍රි.ව. 18-19 සියවස්වලට අයත් බව සඳහන්ව තිබිණි. රන් රිදී සහ පිත්තලවලින් සෑදූ මුදු ක්‍රි.ව. 18-19 සියවස්වලට අයත් ඒවාද, පැල්මඩුල්ලෙන් සොයාගත් කාන්තා රූපයක් සහිත රන් මුදුව ක්‍රි.ව. 03-05 සියවස්වලට අයත් බවද මේ සඳහනේ දක්වා තිබිණි. මෙහි අපූරු මනෝරම්‍ය කතන්දරය කංගැට්ටා නම් පුද්ගලයා විසින් කියා තිබේ.
‘එදා මම කෞතුකාගාරයට ගියා ටිකට් එකක් අරගෙන. හැම තැනම ඇවිදිනකොට තමයි බඩුවක් හොරකම් කරන්න හිතුණේ. ඒකෙ ආරක්ෂාව අන්තිමයි. මං දැක්කා ආරක්ෂිත කැමරා තියෙනවා. මම ඒ වෙලාවෙ එතැන කෞතුක භාණ්ඩ පෙට්ටියක් අරමින් හිටියෙ. කෞතුක භාණ්ඩ බලනව වගේ පෙට්ටිය ඇරියෙ. මං ගොඩක් වෙලා එතැන හිටියා. ආරක්ෂකයො කවුරුත් එතැනට ආවෙ නෑ. ඒ නිසා මම හිතුවා කැමරා වැඩකරන්නෙ නෑ කියලා….’ මේ සර්වබලධාරී වූද, සියල්ල දත් කංගැට්ටා අසිරිමත් දස්කමෙන් යුතුව කෞතුකාගාරයෙන් භාණ්ඩ සොරාගන්නා තුරු කවුරුවත් දැන සිටියේ නැත. කංගැට්ටා කෞතුකාගාරයට යන්නේම ප්‍රවේශ පත්‍රයක්ද රැගෙනය. කංගැට්ටා සොරකමේ යෑමටත් වඩා විශේෂම දේ වන්නේ කොළඹ ජීවත් වුණු කංගැට්ටා හදිසියේ දවසක කිසිම විශේෂත්වයකින් තොරව ප්‍රවේශපත්‍රයක්ද ගෙන කෞතුකාගාරයට ඇතුළු වීමය. එසේ ඇතුළු වූ ඔහු, කෞතුකාගාරයේ පෙට්ටියක් තුළ හැඟවෙනතුරු කෞතුකාගාරයේ නෝනලා මහත්තුරු දන්නේ නැත. කෞතුකාගාරයෙන් කඩු සොරාගත් කංගැට්ටා නිරුපද්‍රිතව ගෙදර යන තෙක් කිසිම ජගතෙක් ඒ ගැන දන්නේද නැත. කංගැට්ටා කඩු සොරකම් කළා යැයි කියා කිහිප වතාවක් මාධ්‍යවල වාර්තා වූ මුත් කංගැට්ටා කඩු සොරකම් කළේ කාගේ වුවමනාව මතද, කංගැට්ටා මේ සඳහා යොමු කළේ කවුදැයි තවම අප දන්නේද නැත. කංගැට්ටෙක් පමණක් කතන්දරයක් සමග ඉතිරි වී තිබේ. කඩු අතුරුදන් වීම රටට පාඩුවක් මිස කෞතුකාගාරයට පාඩුවක් නොවන්නේදැයි අපටද ප්‍රශ්න කරන්නට සිතේ.
මේ සොරකමට වඩා දරුණු සොරකමක් හදිසියේම සිදුවිය. කෝට්ටේ රජමහා විහාරයේ සිදුවීමද මෙවැනිම වූ හද කම්පාකරවන සිත් කීරිගැහෙන සිදුවීමකි. කෝට්ටේ රජමහා විහාරයේ විසූ පිටිගල ජිනසිරි හිමියෝ අසූඑක් වියෙහි පසුවූහ. බොරලැස්ගමුවේ ගුණරතන හිමියන්ට වයස අවුරුදු හැටඑකකි. උන්වහන්සේලා දෙනමම මේ පුරාවස්තු මංකොල්ලයේ ගොදුරු බවට පත්වූහ. අපරාධකාරයෝ මිනීමරුවෝ කියන්නේ ඔවුන් එදා ගියේ කඩුව ගන්නට නොව, හාමුදුරුවන් ළඟ ඇති මුදල් ගන්නට බවය. නමුත් මේ කතන්දරය අගක තියෙන්නේ විහාරස්ථානයේ තිබූ රන් කඩුවය. මේ රන් කඩුවේ සිදුවීමත් උන්වහන්සේලාට හදිසියේ මෙලොව හැර යන්න සිදුවීමත් යන දෙකම සිදුවන්නේ එකම විදියටය. මේ අපරාධකාරයෝ දෙදෙනා කෝට්ටේ රජමහා විහාරස්ථානයට යන්නේ සැලසුමක් සහිතවය. සිවුරු හළ පුද්ගලයකු ගෙන ඔහු පිහියක්ද සඟවාගෙන ඒ සඳහා සූදානම් විය. මේ පිහිය සුපිරි වෙළෙඳසලකින් මිලට ගත් එකකි. ගුණරතන හිමියන් හා මිතුරු බස්නායක නිලමේවරයකුද මේ කතන්දරයට ඈඳුණේය. නමුත් මේ අයගේ සැලසුමේ උන්වහන්සේ ඝාතනය කිරීම තිබුණේද නැද්ද යන්න අප දන්නේ නැත.
81 වැනි වියෙහි පසුවූ ජිනසිරි හිමියෝ හදිසියේ මේ ස්ථානයට පැමිණෙන්නේ උන්වහන්සේට නාන කාමරයට යෑමේ අවශ්‍යතාව නිසාය. එහිදී නොසිතූ ලෙස උන්වහන්සේව මුණගැසීමත් සමග කලබල වන අපරාධකාරයන් උන්වහන්සේව මරාදමා පලායන්නට උත්සාහ කර ඇත. ඒ හඬ ගුණරතන හිමියන්ට ඇසෙන්නේ එවිටය. ඒ සැණින් ගුණරතන හිමියන් ඒ දෙසට යන්නට තැත් කරද්දී උන්වහන්සේ සමග සිටි නිලමේවරයා ඊට බාධා කළේය. එහෙත් උන්වහන්සේ උඩුමහලට පිවිසියහ. ඝාතකයා ගුණරතන හිමියන් ඉදිරියට එන්නේ එවිටය. ගුණරතන හිමියන් කෑගසමින් ඝාතකයා අල්ලා ගත්තේය. ඝාතකයාට කරන්නට දෙයක් නොතිබිණි. ඔහු හිමියන් වෙත කඩාපැන උන්වහන්සේටද පිහි පහර එල්ල කළේය. පිහි පහර කෑ උන්වහන්සේද ඉතා උස් හඬින් කෑ ගසන්නට වූ අතර ඝාතකයා පෑ පැනයනවාත් සමග බස්නායක නිලමේද සිය මෝටර් රථය පදවාගෙන එතැනින් පැන ගියේය. කතන්දරය එතැනින් නිමා වෙද්දී තවත් විශාල අපරාධයක් සමාජයට එකතු විය. ඒ, තවත් එක් පුරාවස්තු මංකොල්ලයක අතුරු කතාවකි.
මෙවැනි වූ සිදුවීම් රාශියක් වාර්තා වෙමින් තිබේ. වරක් ලියුම්කරුට මියනවනයේ රජමහා විහාරස්ථානයේදීද අසන්නට ලැබුණේ එවැනි කතාවකි. මියනවනයේ රජමහා විහාරස්ථානය යනු ශ්‍රී ලංකාවේ අතින් ලියන ලද පන්සිය පනස් ජාතික පොතේ පළමු පිටපත සුරක්ෂිතව තබා ඇති ස්ථානයයි. එයට පිවිසි යම් කිසි පුද්ගලයෙක් ඉතා සංවිධානාත්මකව ප්‍රබල නිලධාරීන්ගේද සහාය හෝ ප්‍රබල නිලධාරීන්ගේ වෙස් ගත් අයගේ සහාය ගෙන මේ විහාරස්ථානයේ තිබූ පුරාවස්තු රාශියක් මේ භික්ෂුන්වහන්සේලා කාමරයක සිරකොට දමා රැගෙන ගියේය.
මෙවැනි සිදුවීම් ඕනෑ තරම් කුරුණෑගල පැත්තෙන් වාර්තා වී තිබේ. ‘සිඳු’ ටෙලිනාට්‍ය රූගත කිරීම නිසා ප්‍රකට තැනක් බවට පත්වූ විහාරස්ථානයක් වන්නේ කබල්ලෑ ලෙන විහාරස්ථානයයි. මේ පන්සලේ සිදුවන්නට ගිය විශාල පුරාවස්තු මංකොල්ලයක් එහි විසූ රාවාඇලේ පොඩි හාමුරුවන්ගේ දක්ෂතාව නිසා වැළකී ගියේය. උන්වහන්සේ විශාල පරිශ්‍රමයක් දරා දැවැන්ත සැලසුමක් දියත් කොට මෙය අල්ලා ගත්තේය. නමුත් මේ කතාවේ හොඳම කොටස වන්නේ උන්වහන්සේ මේ පිළිබඳ බලධාරීන් දැනුවත් කරන්නට ගිය විට මේ සොරකම කරන්නේ බලධාරීන් බව උන්වහන්සේට දැනගන්නට සිදුවීමය. මෙවැනි පුරාවස්තු මංකොල්ලයන් බොහෝ තැන්වලින් වාර්තා වී තිබේ. අවාසනාවකට සිදුවීම පිටුපස සිටියේ බලධාරීන්මය. මේ පිළිබඳ වගකිව යුත්තන්ට පැමිණිලි කරන්නට ගිය විට පැමිණිල්ල භාරගන්නට කෙනකු සිටියේ නැත. පැමිණිල්ල භාරගන්නට සිටි මිනිස්සුම සොරකම සිදුකරන්න පැමිණ සිටියහ. ඒ නිසා කතන්දරය එතෙකින් නිමා විය. මේ රැකගන්නට ඇත්තේ අපේ උරුමයයි. ඊළඟ පරම්පරාවට ලබාදෙන්නට තියෙනා දේවල් ටිකයි. ඒවා විකුණාගෙන කා නම් අපට හෙටට දෙයක් ඉතිරි නොවෙන බව ඉන්තේරුවෙන්ම විශ්වාසය. මෙවැනි කතන්දර ඕනෑ තරම් තිබේ. ඒවා පිළිවෙළට ලියා හඳුන්වා දෙනවාට වඩා කියන්නට ඇත්තේ එකම එක සරල කතාවකි. මේ තොපි විකුණාගෙන කන්නේ අපේ උරුමයයි. ඒ අපේය කියන්නේ මගේ හෝ කියවනා ඔබේ හෝ නොවේ. අපි හැමෝගේමය. එය රැකගන්නට අපි හැමෝටම දැන් අවි ආයුධ ගන්නට සිදුවන බව දැනෙමින් පෙනෙමින් තිබේ.
ජීවන පහන් තිළිණ










