“බත් බෙදලා විනාඩි පහක්වත් ගියේ නෑ. උඩහා පැත්තෙන් බුදු අම්මෝ කියලා කෑ ගහනවා ඇහුණා. මහත්තයා දුවගෙන ගියා. නංගිගේ මහත්තයා පොල්ලක් අරන් පස්සෙන් පැන්නුවා. මම යද්දි මහත්තයා පාර අයිනේ වැටිලා හිටියා. පොලු දෙකකින් නංගිගේ මහත්තයයි තාත්තයි දෙන්නම ගහනවා. ඒ අයියාගේ කකුල් දෙකම අල්ලලා මම වැන්දා මගේ මහත්තයට ගහන්න එපා කියලා.
මාව පයින් තල්ලු කරලා කිව්වා මට කරන්න දෙයක් නෑ, මගේ ගෙදරට ඇවිල්ලා මට ඉන්න දෙන්නේ නෑ ඒකයි ගහන්නේ කියලා ගැහුවා. මම ලොකු බබාව අරන් එතැනට ගියා. මෙයා කෑ ගහලා ඇඬුවා සීයේ, සීයද අපේ තාත්තාට ගහන්නේ කියලා. නංගි මාව ඇදගෙන ඇවිල්ලා ගෙදර දොර වැහුවා. උඩහ ගෙදර අක්කා කෙනෙක් ඇවිත් දොර අරිනකොට මගේ මහත්තයාට හොඳටම ගහලා ඉවරයි. මහත්තයා අන්තිමට ඉල්ලුවේ වතුර උගුරක්, මම වතුර පෙව්වත් වතුර පෙවුණේ නැහැ. කට දෙපැත්තෙන් ගලා ගියා. ඇස්දෙක වහගත්තා. අපහු ඇස් ඇරියේ නැහැ”
මේ පසුගියදා අසන්නට ලැබුණු හසලක 7 ඇළ ප්‍රදේශයේ සිදුවූ ඛේදනීය සිද්ධියක්. මේ ඛේදනීය සිද්ධියෙන් ජීවිතය අහිමි වුණේ 343, ලිපිනයේ පදිංචිව සිටි 28 හැවිරිදි සුනිල් නිශ්ශංක නමැති පුද්ගලයෙක්. සිය සැමියා අහිමි වීමේ දුක දරාගැනීමට නොහැකිව සුසුම්ලන බිරියගේ ශෝකයයි අපිට අසන්නට ලැබුණේ. මොහුව ඝාතනය කර තිබුණේ ඔහුගේම මව, පියා, එක් කුසින් උපන් නැගණිය සහ මස්සිනා එකතු වෙලා. නැගණිය පහරදුන්නේ නටන උණුවතුරෙන්. මොවුන්ව හසලක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අවාසනාවන්ත සිද්ධියෙන් බිරිඳට සැමියකු සහ අවුරුදු 3ක් සහ සති 3ක් වයසැති දියණියන් දෙදෙනාට පියා අහිමිව තිබෙනවා. පවුලේ ආරවුලක් දුරදිග යාමෙන් සුනිල්ගේ පියා සහ නැගණියගේ සැමියා පසුගිය අඟහරුවාදා (06) රාත්‍රියේ තම ස්වාමියාට පොලුවලින් පහරදුන් බව ඇය කියා සිටියා.
“මම හසලක පොලිස් හදිසි ඇමතුම් ඒකකයට කළ දැනුම්දීමෙන් පසුව පොලිසිය ඇවිත් සුනිල්ව හසලක රෝහලට ඇතුළත් කළා. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහා රෝහලට යවා තිබුණා. එහිදී මහත්තයා සදහටම අපෙන් සමුගත්තා” යනුවෙනි.
”මගේ ගම හලාවත. මට කවුරුත් නෑ මගේ සහෝදරයා, මගේ යාළුවා, මගේ අම්මායි තාත්තාටයි සියල්ලන්ටම සිටියේ මහත්තයා විතරයි. බබා හම්බවෙලා ඉන්නකොට ඔක්කොම කළේ මගේ මහත්තයා. අද මම තනිවුණා මට කවුරුවත් නැහැ. මමයි මගේ දරුවෝ දෙන්නයි අසරණ වෙලා. මට පුළුවන් නම් උදව් කරන්න. මට මේ ගෙදර මෙයාලා ඉන්න දෙන්නේ නැහැ. මහත්තයා ඉන්නකොටත් කිව්වා ගෙදරින් යන්න කියලා. එයාලට කරදරයි කියලා වතුර බිල් ලයිට් බිල් ඉල්ලලා කරදර කළා. අපි වේලක් ඇර වෙලක් තමයි කෑවේ. මහත්තයාට මාස එකහමාරක් විතර වැඩ තිබුණේ නැහැ.”
අසල්වැසියන් මේ සිද්ධියට හේතුව වශයෙන් කිව්වේ,
“සුනිල්ගේ බිරිඳට දරුවා ලැබුණාම බබා තියාගන්න ගේ ඇතුළේ කාමරයක් ඉල්ලුවා. එතකොට සුනිල්ගේ අම්මා බැන්නේ උඹට කාමර මෙහෙ නැහැ. උඹ පිල්ලෑවේ හිටපන්. උඹ හොද මිනිහෙක් නෙවෙයිනේ කියලා තමයි මේවා කරලා තියෙන්නේ.”
“සුනිල්ට තාත්තයි මස්සිනායි දෙන්නා මාරුවෙන් මාරුවට ගැහුවා. අපි ගහන්න එපා කියලා කෑ ගැහුවා අම්මයි නංගියි වැඳවැටිලා කිව්වේ බේරන්න එපා කියලා. අපට කිව්වා මේ අපේ පවුලේ ප්‍රශ්නයක්, අපි මේක විසඳගන්නම් ඔයාලා මැදිහත් වෙන්න එපා. මේකා අද කොහොම හරි ගහලා මරනවා. නංගි උණු වතුරත් ගැහුවා. පොලිස් ජීප් එක එනකම්ම ගැහුවා…”
මේ අසරණ පවුලට කවුරු හරි කමක් නැහැ උදව් උපකාර කරන්න, පිළිසරණක් වෙන්න කියලා තමයි අපි ගම්වාසීන් විදියට ඉල්ලන්නේ…”
සුනිල් සිය දරු පවුල සමග ජීවත්වූයේ මවුපියන්ට අයත් නිවෙසේ පිටුපස කුඩා කාමරයකයි. සුනිල්ට ස්ථිර ආදායමක් තිබුණේ නැහැ. පවුල ජීවත් කරවූයේ කුලී වැඩ කිරීමෙනි. ස්වාමියා අහිමිවීමෙන් කිසිදු පිහිටක් නොමැතිව බිරිඳට අසරණ තත්ත්වයට පත්ව තිබෙනවා. මියගිය සුනිල්ගේ පියා මව නැගණිය සහ මස්සිනාව අත්අඩංගුවට ගනු ලැබුවා.
තෙල්දෙණිය සහකාර පොලිස් අධිකාරි ටි.ඒ. ඔමේෂ් රන්දික මහතාගේ උපදෙස් මත හසලක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම්.ජී හේරත් ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනු ලැබුවා. අත්අඩංගුවට ගැනීමෙන් පසුව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. සුනිල්ගේ දේහය තැන්පත් කිරීමට සිදුව තිබුණේ ගම්මානයේ ප්‍රජා ශාලාවකය. මේ ඛේදනීය සිද්ධියට විරෝධය පාමින් ගම්මුන් නිහඬ විරෝධතාවක නියැළුණා.
ඒ විරෝධතා පුවරුවල සටහන් කිහිපයක් අතරින් අප නෙත ගැටුණේ “මවු සෙනෙහස පිය සෙනෙහස සහෝදරත්වය කොතැනක සැඟවුණාද?” යනුවෙනි.
මේ සිදුවීම වෙලා පැය ගණනක් ගෙවෙන්නට පෙර තවත් ඛේදනීය සිද්ධියක් කළුතර පළාතොට ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ, පුතා විසින් තමාව දස මාසයක් කුස දරාගෙන සිටිය අම්මාව මැරුව පුවතක්. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුතා කෑම පිසිමින් සිටි තම මවව පොරෝ පහර දී ඝානය සිදුකර තිබුණා. එයින් බරපතළ තුවාල ලැබූ මේ අම්මා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පසුගිය 11 වැනිදා ජීවිතයෙන් සමුගත්තා. ඇගේ නම අනුලා පෙරේරායි. ඉහත සිද්ධීන් දෙකටම හේතුව අද සමාජයේ මිනිසුන් තණ්හාවෙන් පිඩීත වීමයි. මවුපියන් තම දරුවන්ව මරනවා, දරුවෝ මවුපියන්ව මරනවා. සහෝදර සහෝදරියන් ඇනකොටා ගන්නවා.
බොහෝ මවුපියන්ට සිදුවෙන්නේ ජීවිතයේ අවසාන භාගයේ දුක්විඳින්නයි. තමන්ගේ කුසෙන් වදාපු දරුවාට, තාත්තා තමන් ජාතක කළ දරුවාව වගේම තම එක බඩවැල කඩාගෙන ආව නැගණියට, අයියාට උණුවතුරෙන් පහරදෙන්න තරම් මේ සමාජය පිරිහිලාද කියලා අපට හිතාගන්න බැහැ. මේ මිනිසුන්ගේ හිත් කොච්චර කෲරද?
අද සමාජය අත්මාර්ථකාමීත්වය කුහකකම්වලින් පිරිලා. එකිනෙකාගේ උදව් උපකාර සහයෝගිත්වය කියන දේවල් නැතිවෙලා. ඉවසීම කියන දෙයක් ජීවිතවල නැහැ. දරුවන් මවුපියන් අතර ආදරය කරුණාව ළෙන්ගතුකම ගිලිහිලා. තරගකාරිත්වය සමග කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වාම සටන් කරනවා. දරුවෙක් තම අම්මාව මරනවා කියන්නේ ආනන්තරීය පාපකර්මයක්. අපේ රට ධර්මද්වීපයක් කියලා කියන්නේ නමට පමණක්ද යන්න අපට සිතෙන වාර අනන්තයි. අම්මාට අපි සලකන්නේ ගෙදර බුදුන් ලෙසයි. එහෙත් මෙවැනි පාපකර්ම සිදුකරන පුද්ගලයන් අම්මාගේ ඒ ගුණයන් ගැන අංශු මාත්‍රයක්වත් නොසිතන්නේ ඇයි…?
අම්මාගේ තුරුල්ලේ හැදුණු හැටි ලොකුවෙනකොට දරුවන්ට අමතකයි. අම්මාගේ සෙනෙහසට ලෝකේ වචන නැහැ. මේ පුතාට පොඩි කාලේ අතේ කරගැට එනකන් වැඩකරලා කන්න දුන්නේ ඒ අම්මා කියලා මොහොතකට හරි පොරෝ පහර දෙනකොට හිතන්නට තිබුණා. පොඩි කාලේ ඩබගිනි වෙලා දුවගෙන ගියේ ඒ අම්මා ළගට නේද?
අම්මා කෙනෙක් කියන්නේ සෙනෙහසේ ,ආදරයේ උල්පතක්. දරුවෙක් හදන්න අම්මා කෙනෙක් කොච්චර නම් දුක් කන්දරාවක් උහුලන්න අත්ද? ඒ පුතාව බිහිකරන්න දස මාසයක් කුස දැරුව අම්මාව මරන්න අත ඉස්සුවේ කොහොමද? පුංචි කාලේ මේ පුතාව උකුලමත තියලා පොල් කටුවෙන් නාවලා, රෑ නිදිවරලා ලොකු කෙරුවා. අම්මා කෙනෙක් නොකා නොබී දන්කුඩ කාලා දරුවන්ව පෝෂණය කරනවා. අම්මලා හැමදාම වෙහෙසෙන්නේ දරුවන්ගේ කුසගින්න නිවන්නයි. මේ පුතා අම්මාට සදාකාලික ණයගැතියි. අම්මා කෙනකුගේ ගුණ කවදාවත් කියලා නිමා කරන්නට බැරි තරම්. අම්මා කෙනකුගේ දුක දැනෙන්නේ අම්මා ළඟ ඉන්නකොට නෙවෙයි.
අම්මා දරුවන්ව තනි කරලා මේ ලෝකෙන් සමුගෙන ගිය දවසට. මේ පුතත් දහස් වර හිතින් මැරි මැරී උපදියි. අම්මා කියන අකුරු තුනේ වටිනාකම හදවතට දැනෙනකොට අම්මා සමුගෙන ගිහින් ඉවරයි. මේ සංසාර ගමනේ මවුපියන් දරුවන් කියන්නේ එකිනෙකට බැඳී පවතින දංවැල් පුරුක් වගෙයි. මවුපියන්ට දරුවන් නොමැතිවත්, දරුවන්ට මවුපියන් නොමැතිවත්, ජීවත්වන්නට බැහැ. අම්මලා මුලින්ම හිතන්නේ දරුවන්ගේ සතුට ගැනයි. දරුවන් විවාහ වුණාට පස්සේ මවුපියන්ගෙන් වෙන්ව ජීවිතයක් ගොඩනැගිය යුතුයි වගේම අම්මට තාත්තාට සැලකිය යුතුයි. එතකොට තමයි මවුපිය දූදරු සම්බන්ධතාව ගොඩනැගෙන්නේ. අර්ථවත් වෙන්නේ. මවුපියන් තම දරුවන් රකින්නේ තමන්ගේ ඇස්දෙක වගෙයි.
දරුවන්ට කුඩා කාලේ සිටම දුක කියන දේ දැනෙන්න දිය යුතුයි. පුංචි කාලේ ඉඳන්ම දරුවන්ව දහම් පාසල් යවලා ගුණධර්ම ඉගැන්විය යුතුයි. මේ ප්‍රශ්නවලට බොහෝ දුරට බලපාන්නේ ලැබෙන දෙයින් සෑහීමකට පත්වෙලා ජීවත් නොවීමයි. කුඩා කල සිටම දරුවන්ව අල්පේච්ඡ ජීවිතයකට හුරුකළ යුතුයි. ඉඩකඩම් දේපළ අපි මැරෙන දවසට මේ කිසිවක් අරන් යන්නේ නැහැ. යහපත්ව ජීවත් වෙලා ජීවිතෙන් සමුගත යුතුයි.
–නිලන්ති රේණුකා










