පොලිස් සැරයන් ප්‍රියංකර පහුගිය දවසක මියගියා. ඔහු මියගියේ රථ වාහන රාජකාරිය කර කර ඉන්න අතරතුර. රථ වාහන රාජකාරිය කර කර ඉන්න අතරතුරේ වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඔහුගේ ශරීරයේ ගැටෙන වීඩියෝව අපි දැක්කා.(Sri Lanka Latest News)
ඒ වීඩියෝව දැක්කට පස්සේ අපිට ඇත්තටම හරිම කනගාටුවක් දැනුණා. බය හිතුණා. දුක හිතුණා. මේක මනුෂ්‍ය ඝාතනයක් වගේ යැයි අපට දැනුණා. මොකද මේ පොලිස් රාලහාමිව හැප්පෙන්නේ ඔහු කිසිම ආකාරයක වරදක් කරලා නෙවෙයි. කෙනෙක් කියන්න පුළුවන් මේ මනුස්සයා පාර මැද්දේ හිටියා නේ කියලා. ඔහු පොලිස් නිලධාරීන් පාර මැද්දේ ඉන්නවා තමයි. හැබැයි පොලිසිය පාර මැද්දේ ඉඳීම කියන එක නොදන්නා රියැදුරෙක් නම් මේ වාහනේ එලෙව්වේ ඔහුට ලබාදිය යුතු දඬුවම ඔය හන්දියෙම එල්ලලා තියෙන එක.
මොකද ඒකට හේතුව සාමාන්‍යයෙන් පොලිසිය රාජකාරි සිදුකිරීම මේ විදියට තමයි සිදුවෙන්නේ. ඒකෙ පොඩි අවුලක් තියෙනවා තමයි. නමුත් ඒකට වෙන ක්‍රමවේදයක් නිර්මාණය වෙලා නෑ. ඇතැම් වෙලාවට අපි දකිනවා පොලිසියේ රාලහාමිලා මේ රාජකාරියේ නියැළෙන විදිය අතිශය අනාරක්ෂිතයි. මේ විදියටම අනතුරු සිද්ධ වෙච්ච අවස්ථා කිහිපයක් අපි දැකලා තියෙනවා. හැබැයි මේ අනතුරට කිසිම සාධාරණ කාරණයක් කියන්න බෑ. අනතුරට පත්වෙන ආකාරයෙන් ඔහු රැඳී සිටියා හෝ මේ අනතුර ඔහු පාර මැද්දේ හිටපු නිසා සිදුවුණා වගේ දෙයක්.
මේ අනතුර සහ ඒ සම්බන්ධව සිදුවුණු වාර්තාකිරීම් අපි පහුගිය දවස්වල දැක්කා. මේ අනතුර වාර්තා කරන අවස්ථාවේදී කිහිප තැනකදීම අපට දැනගන්න ලැබුණු දෙයක් තමයි මෝටර් රථයේ පැමිණි රියැදුරු සහ ඔහුගේ පවුලේ තත්ත්වය. ඔහුගේ මව සහ පියා වෛද්‍යවරුන්. ඔහුගේ පියා කලක් පොලිස් රෝහලේ රාජකාරි කරපු කෙනෙක් වගේ කාරණා මේ අනතුරත් සමග මතුවුණා. මේක මේ ලංකාවේ තාම නිතර අපි දකින සාමාන්‍ය කාරණයක්. මොකද සිද්ධියකදී ඔහුගේ පවුලේ තත්ත්වය, සමාජ තත්ත්වය, දේශපාලන තත්ත්වය, ආර්ථික තත්ත්වය අපි මේ සිදුවීම සමග ගළපා ගැනීමට උත්සාහ කරනවා.
මෙතැනදී අපි කියනවා ඔහුගේ පවුලේ තත්ත්වය නිසා මේ මරණය ටිකක් සාධාරණීකරණය කරන්න පුළුවන් වගේ කතාවක්. ඔහුගේ පියා නොමිලේ සේවය කළා, වෛද්‍යවරයෙක් ලෙස ඔහු පොලිසියට උදව් කළා, හරි පව් වගේ දේවල්. ඇත්තටම අපි කවදද තේරුම් අරගන්නේ පාරේ යද්දී ඉන්නේ රියැදුරන් මිසක තනතුරු නෙවෙයි කියලා. ඇත්තටම මෙතැනදී සිද්ධ වෙන්නේ පාරේ ගිය රියැදුරකුගේ වාහනයකට පොලිස් නිලධාරියෙක්ව ගැටෙන එක. පාරේ හැම වාහනයකම යන්නේ රියැදුරෝ. රියැදුරා විදියට මේ වැඩ කරන්නේ ඔවුන් සමහර වෙලාවට රෝහලක බෙහෙත් දීලා වෙන්න පුළුවන්.
සමහර වෙලාවක රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති කියලා වෙන්න පුළුවන්, ක්‍රිකට් තරගයකට සහභාගි වෙලා වෙන්න පුළුවන්, ගුරුවරයෙක් විදියට උගන්වලා වෙන්න පුළුවන්, ගරාජයක වැඩ කරලා වෙන්න පුළුවන්. නමුත් ඔවුන් කවුරු වුණත් ඒ මිනිස්සුන්ගේ ඔළුවට යන්න ඕනේ ප්‍රධාන කාරණාව වෙන්න ඕනේ, ‘මම රියැදුරෙක්, මම වාහන පදවනවා’ කියන එක.
ඇත්තටම අපේ රටේ මේ විදියට බොහෝ අනතුරුවලදී තමන්ගේ සමාජ තත්ත්වය, ආර්ථිකය, දේශපාලනය පාවිච්චි කරලා බොහෝ අය ප්‍රශ්නවලින් අයින් වෙලා ගැටුමකදී බේරිලා, එහෙමත් නැත්නම් වරදකදී නිවැරැදිකරුවන් වෙලා පැනලා ගිය අවස්ථා ඕනෙ තරම් දකින්න ලැබෙනවා. මේ සිදුවීමත් අපිට මුලින් පෙනුණේ ඒ වගේ. එහෙම නෑ, පව්, එයාට සම්බන්ධතා තියෙනවා වගේ දේවල් ටිකක් තමයි මේ කතාව ඇතුළේ කියවෙන්න පටන් ගත්තේ.
පොලිසිය වෙනුවෙනුත්, පොලිසිය සාධාරණය ඉටු නොකරනවා නම් අපි ගැන කවර කතාද කියලා අපිට හිතුණා. ඔය වගේ සිද්ධි පොලිසිය පැත්තෙන් වාර්තා වෙච්ච පළමු වතාව නෙවෙයි මේක. ලොකු මිනිහෙක් ඇවිල්ලා පොලිසියට පොඩි සද්දයක් දැම්මොත් පොලිස් පොඩ්ඩා වෙනුවෙන් පොලිසිය කටයුතු නොකරන බව අපි අහලා තියෙනවා, දැකලා තියෙනවා. ඒක නිසා මේ වෙලාවේ එහෙම දෙයක් වෙන්න ඉඩ තියන්න එපා.
මේක හරි අනුවේදනීය කතාවක්. ඔහු නංගි වෙනුවෙන් අරගෙන තිබුණු පොත් ටික තාමත් එතැනම එහෙමම තියෙනවා කියලා එතැනට ආපු දේශබන්දු තෙන්නකෝන් මහත්තයා හරිම සංවේදී ආකාරයෙන් කියනවා අපි දැක්කා. කොහොම නමුත් මේ පොලිස් නිලධාරියාගේ ජීවිතය නැති කළේ අපරීක්ෂාකාරී රියැදුරෙක්. මේ විදියටම අතිශය අපරීක්ෂාකාරී ආකාරයෙන් රියැදුරු රස්සාව කරන මහත්තුරු නෝනලා මේ රටේ ඉන්නවා. ඒ අයට මේ වීඩියෝව පුළුවන් නම් ආයෙ ආයෙත් පෙන්නන්න. ගෙදරින් යන්න කලින් මේ වීඩියෝව ගැන කියලා දෙන්න. මොකද, මේ විදියට මරලා දාන්නෙ අහිංසක මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ හීන, ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තු, ඒ මිනිස්සුන්ගේ ජීවිත ආපහු ගන්න බෑ.
මේ වැරැදි නිවැරැදි කරන්න පොලිසියට අරන් ගියා කියලා, දඩ ගැහුවා කියලා, කූඩුවේ දැම්මා කියලා ඇත්තටම ඒවා නිවැරැදි වෙන්නේ නෑ. මිනිස්සුන්ට පණ දෙන්න පුළුවන් නීතියක් කවුරු හරි ගාව තියෙනවා නම් අන්න එදාට කිසි ප්‍රශ්නයක් නෑ. මේ වැරැදි නිවැරැදි කරගන්න පුළුවන්. ඒත් එහෙම එකක් නෑනේ. අනිත් දේ තමයි පොලිසිය ගැන අපි අපේ හදවතේ තියෙන සමහර කෝන්තර නැති කරගන්න ඕනේ. මොකද සමහර වෙලාවක අපි දැක්කා මේ ගැන දාලා තියෙන ඇතැම් කමෙන්ට්වල පොලිසියට තියෙන චෝදනා.
ඔබ කී පාරක් හිතලා තියෙනවද පොලිසියට මේ වැඩේ කොච්චර එපා වෙනවා ඇද්ද කියලා? පාරවල හිටගෙන, වැස්සට තෙමෙමින්, අවුවට වේළෙමින් ඔවුන් පාරේ වාහන හසුරුවනවා. කමකට නැති රියැදුරෝ පාරේ යන්නේ. බොහෝ වෙලාවට තමන්ට ඕනෙ විදියට වාහන එළවන්නේ. ඒගොල්ලන්ගේ සමාජ තත්ත්වය, දේශපාලනය, තාත්තගේ රස්සාව කියලා ප්‍රශ්නවලින් ගැළවිලා යන මේ හැම දේමත් එක්ක තමයි මේ අයටත් මේ රාජකාරිය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ.
ඒක නිසා කරුණාකරලා තේරුම් අරගන්න පොලිසිය කියන්නෙත් මනුස්සයෝ ඉන්න තැනක්. ඒ මිනිස්සුන්ටත් හදවත් තියෙනවා. ඒ මිනිස්සුන්ටත් පවුල් තියෙනවා. ඒ මිනිස්සුන්ටත් දුක හිතෙනවා. ඒ මිනිස්සුන්ගේ ජීවිතවලටත් බලාපොරොත්තු හීන තියෙනවා. ඒ අහිංසක කොල්ලගේ හීන සියල්ල බිඳවැටිලා පෙට්ටියකින් ගෙදර යන්නේ ඔහු කරපු වරදක් නිසා නෙවෙයි. මේ යුද්ධෙ තියෙන කාලෙකුත් නෙවෙයි.
රටේ තියෙන වෙන කිසිම ප්‍රශ්නයක් නිසා ඔහු ජීවිතෙන් සමුගත්තා නෙවෙයි. පාරේ ගිය නොහික්මුණු මිනිහෙක්ගේ තක්කඩිකමක් නිසයි ඔහු ගෙදර යන්නේ. ඒක නිසා මේ වගේ කතන්දර ආයෙත් ලියන්න ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු. මේවා ඇඟ හිරිවැටෙන කතා, මේවා දුක හිතෙන කතා. මිනිහෙක්ව මරලා දාපු එක ගැන සතුටු නොවී ඔවුන්ගේ තත්ත්වය, ආගම, ජාතිය, කුලය, මව ගැන පස්මහ බැලුම් නොබලා නිවැරැදිව දඬුවම් කරලා මේ වගේ වැරැදි යළි නොවන ආකාරයට අපේ රට යන්තම්වත් ගොඩදාගන්න බලමු කියලා පොලිසියට මතක් කරන ගමන්, අපෙන් සමු අරගෙන යන පොලිස් නිලධාරිතුමන්ට අපි අපේ උත්තමාචාරය පුද කරනවා. රාජකාරිය අතරේ අපෙන් සමු අරගෙන යන ඔබ ගැන අපට හරි කනගාටුයි.
ජීවන පහන් තිළිණ










