ඔන්න එකෝමත් එක රටක හිටියා ගුරුවරයෙක්. අද අපේ කතාවල පුංචි කාලෙ ගුරුවරු ගැන නිතර කතාවෙනවනෙ. එක කතාවක් තමයි ගුරුවරයත් එක්ක ගියපු ගෝලයා තල කාපු කතාව. ඒකෙ හිටියෙ දිසාපාමොක් ඇදුරුතුමා. එයා තමයි ගුරුවරයා. මනමේ නාට්‍යයේ මනමේ කුමරියව, කුමාරයාට සරණපාවා දෙන්නේ එයාගේ තාත්තා. කුමාරිගෙ තාත්තත් ගුරුවරයෙක්. එතකොට කොහාට කූඩු හදපු කතාව මතකද? කුරුල්ලන්ගේ කූඩු හැදිල්ල උගන්නපු වෙලාවේ කොහා ඇවිල්ලා කුරුල්ලන්ගෙන් හැමෝම කූඩු හදන එක ඉගෙනගත්තත්, කොහාට ඉගෙන ගන්න බැරිව ගිය කතාවත් ඔබ අහලා ඇති. මේ විදියට ගුරුවරු ගැන කතන්දර ගොඩක් අපට අහන්න ලැබෙනවා.
එක එක ජාතියේ ගුරුවරු, එක එක කතන්දරවල ඉඳලා තියෙනවා. සමහරු බෝසත් ගුරුවරු. හරිම හොඳ ගුරුවරු. සමහරු දක්ෂ ගුරුවරු. සමහරු මහදැනමුත්තා වගේ ගුරුවරු. ඉතින් ඔය එක එක ජාතියේ ගරුවරු එක එක තැන්වලදී හමුවෙච්ච නිසා අපටත් මේ ගුරුවරයා කියන භූමිකාවේ හරිම එක කෝකද කියලා හොයාගන්න බැරිවෙලා තියෙනවා. සමහරු ටියුෂන් ගුරුවරුන්ට පතුරු යන්න බණිනවා. සමහරු ඉස්කෝලෙ ගුරුවරුන්ට බණිනවා. ඉස්කෝලෙ ගුරුවරු ටියුෂන් කරනවා. ඒකටත් සමහරු බණිනවා. සමහර ටියුෂන් ගුරුවරු ඉස්කෝලෙ උගන්වන්නේ නැති නිසා ඒකටත් සමහරු බණිනවා. සමහර ගුරුවරු ඉස්කෝලෙ විතරක් උගන්වනවා. ඒකට සමහරු බණිනවා. සමහර ගුරුවරු හවසට පන්ති දානවා. ඒකටත් සමහරු බණිනවා. මේ විදියට ගුරුවරුන්ට හැමෝම කොහොම හරි බණිනවා. හැබැයි ඔය බණින හැමෝම ඉගෙනගෙන තියෙන්නෙත් ගුරුවරුන්ගෙන්. ඒ නිසා ඒ බණින අයට බණින්නට කලින් සිංහල ටික හරියට කියලා දීලා තියෙන්නෙත් ගුරුවරයෙක්. ඒක නිසා අපට ගුරුවරුන්ට බණින්න බෑ. ගුරුවරුන්ට චෝදනා කරන්න, ඔවුන් නරකයි කියන්න, වැරැදියි කියන්න අපට අයිතියක් නෑ. හැබැයි අපට ගුරුවරු ගැන කතා කරන්න අයිතියක් තියෙනවා.
මේ වතාවේ කතා කරන්නේ අපට ඉන්න දක්ෂ, ඉතා ඉහළ නමක් දිනාගත්ත ගුරුවරයෙක් ගැන. ඔහු තමයි තිස්ස ජනනායක කියලා කියන්නේ. තිස්ස ජනනායක කියලා කියන්නේ ලංකාවේ ටියුෂන් ක්ෂේත්රය දිග්විජය කරපු ගුරුවරයෙක් කියලා කිව්වොත් තමයි වඩාත්ම හරි. ඒකට හේතුව තමයි තිස්ස ජනනායක සර්ගෙ නම අද නොදන්නා කෙනෙක් නැති වීම. ඇත්තටම ටියුෂන් ගුරුවරයෙක්ගේ වැදගත්ම කාරණාව තමයි ප්‍රසිද්ධිය. තිස්ස ජනනායක සර් අද රටේම ප්‍රසිද්ධයි. ඔහු විෂය කොච්චර හොඳින් උගන්වනවද, නැද්ද කියන එක සම්බන්ධයෙන් තියෙන තර්ක ගැන අපි දන්නේ නෑ. ඒ නිසා අපි ඒ ගැන කියන්න යන්නේ නෑ. මොකද ලියුම්කරු නම් කවදාවත් ජීව විද්‍යාව ඉගෙනගෙන නෑ. තිස්ස ජනනායක සර්ගෙ පන්තියකට සහභාගි වෙලත් නෑ. ඒක නිසා එයා පන්තියෙ උගන්වනවද, නැද්ද, බණ කියනවද, බයිලා කියනවද කියන්න අපි දන්නේ නෑ. හැබැයි බණ වෙනුවට බයිලා වෙනුවට විෂය උගන්වනවා කියලා සමහර ගුරුවරු තමන්ගෙ ඇඩ්වර්ටීස්මන්ට් ඇතුළේ කතා කරලා තියෙනවා නම් අපි දැක්කා. ඒකට හේතුව සමහරු බණ කියන, බයිලා කියන ගුරුවරු හින්දා වෙන්න ඇති. ඒවා අපි දන්නේ නෑ.
දැන් මේ ගුරුවරයා වරක් කියපු කතාවක් එක්ක අපට පොඩ්ඩක් පැටලෙන්න හිතුණා. මොකද මේ පැටලිල්ල එයාට වෙනම ආතල් එකක් බවත් අපි දන්න නිසා. ඔහු කියනවා මේ ෂාෆිගෙ කතාව ඇත්තටම වෙලා නෑලු. ඒක බොරුවක්ලු. ඒක ඩ්‍රාමා එකක්ලු. එතකොට මේ ඩ්‍රාමා එකේ නළුවෝ කවුද? මේ ඩ්‍රාමා එක හැදුවේ කවුද? ස්ක්‍රිප්ට් එක ලිව්වේ කවුද? ඒවා ඉතින් අපට වැඩක් නෑ කියලා කියන්න බෑ. හේතුව මොකද දන්නවද? මේ නාට්‍යයේ අපිත් රඟපාපු නිසා. තිස්ස සර් අපට ආරාධනා නොකළට අපි ඒ නාට්‍යයට අනාරාධිතව සහභාගි වුණා. අපිත් තිස්ස සර්ට වඩා මේ නාට්‍යය ඇතුළේ රඟපෑවා. හැබැයි අපි කරපු දේ රඟපෑම නොවන නිසා, අපට ඒක රඟපෑමක් කියලා දැනෙන්නේ නෑ. අපි ෂාෆි සම්බන්ධව මුල සිට අගට හැම වතාවකම, හැම ලිපියකම ඇත්තම ඇත්ත කිව්වා. අපි ඉස්පිරිතාල ගානේ ගියා. අපි නොදන්වා ඒ අයත් එක්ක රහසින් දේවල් කතා කරනකොට අහගෙන හිටියා. අපි රහසිගතව තොරතුරු හෙව්වා. ඒක තමයි අපේ රස්සාව. ඒ කියන්නේ ඉන්වෙස්ටිගේෂන් ජර්නලිසම්. ගවේෂණාත්මක මාධ්‍ය භාවිතය අපි හරියටම කළා. රෝහලේ කලින් වැඩකරපු අයගෙන් අපි ඇහුවා. රෝහලේ ඔහුත් සමග වැඩකරපු අයගෙන් ඇහුවා. ඒ හැම වෙලාවකම ඔවුන් කිව්වේ නෑ එහෙම දෙයක් වුණේ නෑ කියලා. හැබැයි අපි එහෙම වුණේ නෑ කියලා පුන පුනා කියනකොටත් ලංකාවේ ප්‍රකට ගුරුවරු, ලංකාවේ ප්‍රකට පුද්ගලයෝ බොහෝ දෙනෙක් අපට හැම වෙලාවකම කිව්වේ නෑ එහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. වර්තමාන අමාත්‍යවරයෙක් අපිත් එක්ක නිතර පැටලුණා. ඔහු නිතරම කිව්වා අපි සම්පූර්ණ බොරුකාරයෝ කියලා. මාධ්‍යවල ප්රවෘත්ති පළවුණේ බ්‍රේකින් නිවුස් විදියට. පත්තරවල ඡන්ද ප්‍රතිඵල වගේ ගණන් හිලව් එක්ක හැමදාම ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් පළවුණා. ඉතින් මේක නාට්‍යයක් නම් ඇයි සර් ඒ දවස්වල එහෙම කිව්වේ නැත්තේ? බලන්නකෝ සර්ගෙ පන්ති ආපු ළමයි කී දෙනෙක් නම් නොමග යන්න ඇද්ද? සර්ගෙ පන්ති ආපු ළමන්ගෙ මවුපියෝ කීදෙනෙක් නම් නොමග යන්න ඇද්ද? ගුරුවරයෙක්ගෙ රාජකාරිය වෙන්නේ හරි මග පෙන්නන එකනේ. අපි දන්නේ එහෙමනේ.
විෂය ඉගැන්නිල්ලට අමතරව ඔයාලා වෙන වෙන දේවල් පන්තියේ කියන බව අපි අහලා තියෙනවා. අපි ඒකට විරුද්ධ වෙන්නේ නැත්තේ ළමයෙක්ගෙ ජීවිතේට හරි පාර කියලා දෙන එක ගුරුවරයෙක්ගෙ වගකීමක් යුතුකමක් නිසා. ඒත් මේ ගුරුවරු ඒ යුතුකම වගකීම ඉෂ්ට කරන්නේ නෑ වගේ ගතියක් අපට දැන් පේනවනේ. ඒ කියන්නේ එක්කෝ ඔබතුමාලා, ඔබතුමාලාගේ රාජකාරිය කරලා, විෂය උගන්වලා කට වහගෙන ඉන්න ඕනෙ. එහෙම නැත්නම් හරියට මිනිස්සුන්ට පාර කියලා දෙන්න ඕනෙ. යහ මග කියලා දෙනවා කියලා වැරැදි මගක ළමයින් අරගෙන ගිහින්, ළමයින් හරි පාරේ යනකොට උන්ව වැරැදි පාරක අරගෙන ගිහින්, උන්ගේ ජීවිතත් අවුල් කරලා, ඔයාලා රටත් අවුල් කරලා, කීයක් හරි හොයාගන්නවා නම් මහත්තයෝ ඒක ගුරුකම නෙවෙයි. ඔයිට වඩා හොඳයි යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්රවලින් ගුරුකම් කරන කට්ටිය. මොකද ඒගොල්ලො නම් වැඩ කරන්නේ යක්කු පෙරේතයෝ කුම්භාණ්ඩයෝ එක්ක. ඔයාලා වැඩකරන්නේ මිනිස්සුත් එක්ක. යකෙක් බැඳගෙන වැඩගන්නවා නම්, පෙරේතයෙක් තටුවට ගෙන්නනවා නම් අවුලක් නෑ. හැබැයි මේක එහෙම නෙවෙයි. මේ වැඩ කරන්නේ දරුවොත් එක්ක. මේ දරුවන්ට තමයි මේ රට භාරදෙන්න ඕනෙ. අවුරුදු 75ක් විතර තිස්සේ මේ රට ටිකෙන් ටික කාලා කාලා දැන් ඉතිරි වෙලා තියෙන්නේ ඇටේ විතරයි කියන එකවත් ඔයාලා දරුවන්ට කියලා දෙන්න. ඒ ඇටෙත් සූප්පු කරලා මේක විනාශ කරලා දාලා කොහෙ හරි පිටරටකට තොලොන්චි වෙලා යන පඩංගු දේශපාලකයෝ වෙනුවට අපේ රටට අවශ්‍ය කරන්නේ හරි මිනිස්සු කියන එක ඔයාලා කියලා දෙන්න. ඒ මිනිස්සුන්ගේ පාට මොකක්ද, පක්ෂය මොකක්ද කියන එක ගැන කලබල වෙන්න එපා. මොකද පාට පක්ෂවලින් දේශපාලනය මනින්නේ ඒවයින් තියෙන අතුරු වාසි ගන්න කියලා අපි හැමෝම දන්න නිසා හරි මග කියලා දුන්නාම, හරි විදිය කියලා දුන්නාම දරුවන්ට පුළුවන් ඒක හඳුනාගන්න. එතකොට ෂාෆිලගෙ වඳ සැත්කම් ගැන, වඳ කොත්තු ගැන ආයෙත් කියන්න වෙන එකක් නෑ. ඇත්තටම මිනිස්සුත් වැරැදියි. මේගොල්ලෝ ලණු දුන්නම ඇයි ඒවා අඹරගෙන කන්නේ? අපි හැමදාමත් ඒ ගැන කතා කළා. ලණු දෙන එක ඒ අයට වාසියක්, ඒ අයගේ ව්‍යාපාරයක්. එහෙම නම් ලණු දෙන එකයි, ලණු කන එකයි දෙකම වැරැදියි. ඒත් දැන් මේ මොනවද කියන්නේ? හතරවිලි ලැජ්ජාවයි. කලිසමක් ඇඳගෙන පුළුවන්ද තමන්ම කියපු කතාවක්, ‘නෑ ඒක දැන් ඩ්‍රාමා එකක්’ කියලා? මොකද ඒ ඩ්‍රාමා එක බලපු ඒ ඩ්‍රාමා එකට ආසා වුණු ඒ ඩ්‍රාමා එක නිසා රැවැටුණු හුඟක් අය අපේ රටේ ඉන්නවා.
මහත්තයො මිනිස්සුන්ව රවට්ටන්න එපා. මොකද විශ්වාස කරන අයව රවට්ටන්න එපා. විශ්වාස කරන අය රවට්ටන එක පවු සිද්ධ වෙන වැඩක්. දරුවෝ ආදරේ කරනවා ගුරුවරුන්ට. විශේෂයෙන්ම ටියුෂන් ගුරුවරුන්ට. ටියුෂන් ගුරුවරු කියලා කියන්නේ දැවැන්ත පෞරුෂයක් හිමි මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ පෞරුෂය බිඳලා, කොඳ නාරටිය කඩලා, දේශපාලකයන්ට එහෙයි කියලා, කොන්ද පණ නැති නිවටකම් කරලා තව දුරටත් ඒවා ගැන කටමැත දොඩවනවා නම් ඒ මිනිස්සුන්ට ගුරුවරු කියන නම ගැළපෙනවද? නැද්ද? තීරණය තියෙන්නේ ඔබේ අතේ.

ජීවන පහන් තිළිණ










