දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල) ආතරයිටීස් රෝගීන් සඳහා මාස තුනක කාලයක සිට ඖෂධ හිඟයක් බලපා ඇති බව ‘මව්රට’ මගින් අවස්ථා ගණනාවකදී හෙළිකළද ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන් නිසි පියවරක් ගෙන නොමැති බව රෝගීහු පවසති. එම රෝගීන් සඳහා මාස දෙකකට වරක් ලබාදෙන ඖෂධ ලැයිස්තුවද රතු පෑන් පහරින් ඖෂධවේදීන් කපාහරිමින් රෝගීන්ට පවසන්නේ සලකුණු කරන ඖෂධ පෞද්ගලික අලෙවිසල්වලින් ලබාගන්නා ලෙසයි. Sri Lanka Latest News
අදාළ රෝගීන්ට සතියේ සෑම ඉරිදා දිනකම ඖෂධ පහක් එකවර ලබාගත යුතු ඖෂධයක් වන Methotrexate ඖෂධය කළුබෝවිල රෝහලේ නොමැති බවයි රෝගීන් පවසන්නේ. එම ඖෂධය සොයා පෞද්ගලික ඔසුසල්වලට ගියද එහි සිටින සේවකයන් පවසන්නේ එය මාස ගණනාවක් තිස්සේ ලංකාවට ගෙන්වා තැති බවයි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ අදාළ ඖෂධ වර්ගය හඳුනාගත හැකි ලෙස වට්ස්ඇප් ඡායාරූපයක් තමාට එවන ලෙසයි. මීට පෙර එම රෝහලේ පැවැති අඩුපාඩු සමහරකට විසඳුම් ලබාදී ඇති බව ඔහු පැවැසුවද එවැන්නක් පසුගිය සතිය වනතුරු ලැබී නැති බව රෝගීහු පැවැසූහ.
මේ පිළිබඳ ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ දැනට විශ්‍රාම ගොස් ඇති වෛද්‍යවරයකු දැන්වූ පරිදි අදාළ ඖෂධ ගෙන්වන සමාගමේ බලපත්‍ර අලුත් කිරීමට පියවර ගත් බවයි.
එහෙත් අදාළ ඖෂධ කවදා ලැබේදෝ යන සැකය මත රෝගීන් ඊට සමාන ආදේශක ඖෂධයක් වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා ඇතත් එයද මේ දක්වා ලැබී නොමැති බව රෝගීහු පැවැසූහ.
ප්‍රේමලාල් විජේරත්න










