පොඩ්ඩකට පාරට එන්න පුළුවන්ද? අරගලයකට එහෙම නෙවෙයි. එන්නය කිව්වේ වෙනත් කාරණයකටයි. පාරට ආවා නම් ටිකකට වටපිටාව දිහා බලන්න. කී දෙනෙක් නම් සෙල් ෆෝන්වල එල්ලිලාද? බස් නැවතුම, දුම්රියපළ ඒ ඒ ප්‍රවාහන සේවාවල ආසන මත, සාප්පු සංකීර්ණවල, කඩවීදිවල සඳහන් කරපු නොකරපු හැම තැනකම හැමෝම වාගේ සෙල් ෆෝන්වල එල්ලිලා.
මොහොතකට වගේ පොඩි සමීක්ෂණයක යෙදුණොත් ඔය හැම එල්ලීමකම තියෙන්නේ අවශ්‍යතාවකට වඩා ඇබ්බැහි වීමක් කියන එක 100%ක් ස්ථිරයි. බුද්ධිමත්ය යන සම්මතයක් තුළ සතිපතා ප්‍රචාරය වන ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකට පැමිණි මහාචාර්යවරයෙක් දවසක් කියනවා කඩපිලට ආව තරුණ අම්මා කෙනෙක් තමන්ගේ හය හැවිරිදි පුංචි දුව ළමා පත්තරයක් අරන් දෙන්න කියලා එක පොරයට අඬනකොට ඒ අම්මණ්ඩි දරුවට තරවටු කරලා ඒ සල්ලිවල වටිනාකමට ඩේටා කාඩ් එකක් ගත්තලු. එතැන ඒ සිදුවීම තුළ අර අම්මා දරුවට ආදරය නැහැ කියන එකට වැඩිය තිබුණේ ඇගේ ෆේස්බුක් ඇබ්බැහිය හෝ යූටියුබ් ඇබ්බැහියයි.
ටී.වී. එක ගත්තත් ඒ ඇබ්බැහිය ඊට එහා. පිරිමින්ට වැඩිය ගැහැනු පාර්ශ්වය එතැන අසුන්ගෙන ඇති බව අවිවාදිතයි. කතෝලික පූජකතුමන්ලා වාගෙම හාමුදුරුවරුන් ඒ ගැන නිතර දේශනා කරනවා. ගෙදර දොරේ වැඩ යකාට ගියත් බොහොමයක් විවාහක බවලත්තු රෑ හතට ටී.වී. එක ළඟ ඉඳගත්තම ආයෙම නැඟිටින්නේ දහයට. ඒ ඉඳගෙන බලන්නෙත් කමකට නැති කිසිම වැදගැම්මක් නැති නිමාවක් කෙළවරක් නැති තුට්ටු දෙකේ ටෙලි කතන්දර. ඔය කාරණය තුළ තවත් නරකම සිදුවීමක් වන්නේ හය හතර නොදන්නා තමන්ගේ දරු පැටවුන්වත් ටී.වී. එක වටේට තියාගෙන ඒ බහුරූ කෝලම් බලන එකයි. සමහර තැනකදී දරුවා නාට්‍ය රස විඳගන්න අවශ්‍ය නිදහස නොදී කරදර කරන කොට ඇතැම් අම්මලා දරුවන්ට ස්මාර්ට් ෆෝන් එක දෙනවා ගේම් ගහන්න. තව සමහර නිවෙස්වල අම්මා ටී.වී. එකට ඇබ්බැහි වෙලා මෙලෝ සිහියක් නැතුව මැද සාලේ පාට පාට තොරොම්බල් හීනවල අතරමං වෙනකොට ළපටි වයසේ තරුණ දූ පුතුන් එයාලට ගෙදරින් දීලා තියෙන ෆෝන් පාසල් යන වයසට ගැළපෙන්නේ නැති ලෝකවල රසය හොයාගෙන යනවා. අම්මගේ ගෙදර වැඩ කොයික වෙතත් දූ පුතුන්ගේ හෝම් වර්ක් ටික පොත් ගොඩත් එක්ක එහෙම්මම බෑග් එකේ. ඒ සිදුවීම් අතර එක්කෙනෙක් දෙන්නෙක් වූ තව අම්මලා පිරිසක්,
‘යනවා කාමරයට… ගිහින් පාඩම් කරනවා…’ කියලා දරුවන්ට අණ කරලා සද්දෙට ටී.වී. එක දාගන්න තැන් එහෙමත් තියෙනවා. හැබැයි ඉතින් කාමරයට වැදෙන දරුවා ෆෝන් එක අතට අරන් ගේම් ගහනවා මිසක් පාඩමක් හෝ හෝම් වර්ක් කරන වගක් ඒ තැන්වල කවදාවත් දකින්න ලැබෙන්නේ නම් නැහැ. මේ තරමට ටී.වී. එකට ෆෝන් එකට ඇබ්බැහි වෙන්න කලින් ඒ දවස්වල ඒ කියන්නේ අදට දශක ගණනාවකට ඉහත කාලේ අපේ ගෙවල්වල දරුවන්ට අම්මලා තාත්තලා පාඩම් කරන්න හෝම් වර්ක් කරන්න ටයිම් එකක් දුන්නා හවස හයේ ඉඳලා රෑ අට වනතුරු. එහෙම නැත්නම් පහේ ඉඳන් රෑ හත වෙනතුරු. දරුවෝ පොත් පාඩම් කරන කල් හෝ හෝම් වර්ක් කරන කල් අම්මත් ළඟ ඉඳන් උදව් වෙනවා. ඉන් පස්සේ පවුලේ හැමෝම තාත්තත් ගෙදර ආවට පස්සේ කෑම මේසයට ඉඳගන්නවා. රෑ කෑම මේස සංකල්පය හරි සංවේදීයි. සාමකාමීයි. ඒ වාගෙම එකමුතුයි. ඒ එකමුතුකම බැඳීම මත පවුල කියන සුන්දර වස්තු විෂය තුළ ඇති වන ගැටලු සහ නොයෙකුත් ඝට්ටන හුඟාක් දුරට අවම වුණා. දැන් සිදුවෙමින් යන්නේ ඒකෙ අනිත් පැත්ත. රෑට රෑට හැම ගෙදරකම පාහේ අඹුසැමියන් සහ දරුවන් ඇබ්බැහිව තිබෙන රූපවාහිනී සහ ස්මාර්ට් ෆෝන් කලාව නිසා ඉහත කී රාත්‍රී කෑම මේස සංකල්පය යකාට ගිහින්. ඒ යකාට යෑම සිද්ධ වුණේ අදක ඊයෙක නෙවෙයි. තරමක කාලයක ඉඳන්. විශේෂයෙන් පාසල් යන දූ දරුවන්ගේ මනස යකාගෙ කම්මලක් කරන මේ ඇබ්බැහිය හැම තැනකම සිද්ධ වෙනවා. ලංකාවේ විතරක්ම නෙවෙයි. අපට යාබදව තියෙන අසල්වැසි රටක් වෙච්ච ඉන්දියාවෙත් ඒ අවාසනාවන්ත ඇබ්බැහිය ගෙඩි පිටින්ම සිද්ධ වෙනවා.
මේ අවාසනාවන්ත ව්‍යසනයට වගකිව යුත්තේ කවුද?
වගකිව යුත්තන් ගැන හොයනවට වැඩිය සුවිශේෂව දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කර දමන මේ ඇබ්බැහිය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ගත යුතුය. ශ්‍රී ලාංකේය වශයෙන් අපේ රට තුළ නම් එවැනි ක්‍රියාමාර්ගයක් ගන්නා හෝඩුවාවක්වත් තවම අපට දැනී නැත.
අපට අසල්වැසි වූ ඉන්දියාව ඒ වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙනවද?
සත්තකින්ම. ඔන්න ඉන්දියාව ගම් මට්ටමින් ඒ වෙනුවෙන් පළමු පියවර තබා ඇත. එහි ආරම්භය සිදුව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි. තවත් පැහැදිලිව කියනවා නම් මහාරාෂ්ට්‍රයේ සංග්ලි දිස්ත්‍රික්කයේ වඩ්ගෝන් ගම්මානයේ බලධාරීන් ස්මාර්ට් ෆෝන් සහ රූපවාහිනී ඇබ්බැහියෙන් දරු දැරියන් මොහොතකට හෝ මුදාගෙන පොතපත පාඩමට යොමු කරවන මෙහෙවර ආරම්භ කර ඇත.
එය සිදුවන ආකාරය ගැන පැහැදිලි කිරීමක් කරනවා නම්…?
ඇත්තටම කියනවා නම් එය හරිම අපූරු ප්‍රයත්නයක්. කලහකාරී නොවූ තද බවින් තොර මටසිලිටි පියවරක්. එයට අදහස දී ඇත්තේ වඩ්ගෝන් ගම්මානයේ ගම් සභාපති විජේ මෝහිට්ය.
‘මේ නරක ඇබ්බැහියෙන් දරුවන් බේරාගැනීම සඳහා අප ඉතා කදිම උපායක් කල්පනා කළා. කතාබහ කොට දැක්වූ සියලු අදහස්වල අවසානය වූයේ සයිරන් නළා හඬක සුහද විධානයයි. මෙම ඇබ්බැහි වීම මොන විදියට හෝ නවත්වා දැමිය යුතු යැයි යන අදහස ගැන ඉන්දියාවේ නිදහස් දිනය ආසන්නයේ පසුගිය අගෝස්තු 14 වැනිදාවේ ගමේ රැස්වීමේදී හැමෝම එකතුවී සාකච්ඡා කළා. මවුපියන් ගුරුවරුන් සමග ගම්මානයේ වගකිව යුතු නිලයන් දරන හැමෝම එයට ඉතා උනන්දුවෙන් සහභාගි වුණා. ටී.වී. එකට ඇබ්බැහිව සිටින අම්මලාද එතැන සිටියා. මට දැනුණු හැටියෙන් මේ ඇබ්බැහියෙන් දරුවන් මුදන්නටත් තම තමන්ට මිදෙන්නටත් ඔවුනොවුනට ඕනෑකම තිබිලා තියෙනවා. සමහර විට ඔවුනට යම් ආකාරයක ‘මෝටිවේට්’ එකක් මේ සඳහා අවැසිව තිබෙන්නට ඇති. ඔන්න ඒ මෝටිවේට් එක අප ඔවුන්ට දුන්නා…’
සයිරන් නළා හඬෙහි සුහද විධානය ගැන ගම් සභාපති විජේ මෝහිට් බී.බී.සී. හින්දි සේවයට දුන්නේ ඒ විදියේ කතාබහකි.
ඉතින් සයිරන් නළා හඬෙහි විධානාත්මක පියවර අගෝස්තුවේ සිට ක්‍රියාත්මක වෙලාද?
සාකච්ඡාවල පමණක් බොහෝ විට සීමාවීම ලංකාවේ තියරිය වුණාට සංග්ලි දිස්ත්‍රික්කයේ වඩ්ගෝන් ගමේ සභාපතිගේ අණ අගෝස්තු 15 වැනිදා සිටම ක්‍රියාත්මකව තිබිණි. තුන්දහසක පමණ ජනගහනයක් වෙසෙන වඩ්ගෝන්වල හැම පළාතකටම ඇසෙන විදියට සකසා තිබූ සයිරන් නළා හඬ වාදනය විය. ඒ සවස 6.30ටය. එකනෙහිම හැම නිවෙසකම ඇති රූපවාහිනී යන්ත්‍ර සහ ජංගම දුරකතන ක්‍රියා විරහිත කෙරිණි. නැවත රාත්‍රී 8.30ට සයිරන් නළා හඬ ගම් නියම්ගම් පුරා නාද විය. ඒ ක්‍රියා විරහිත කළ රූපවාහිනී සහ ජංගම දුරකතන නැවත ක්‍රියාත්මක කිරීමටය.
වැඩේ හරියටම සිදුවෙනවද?
තවමත් එය ඒ ආකාරයෙන් හරියටම සිදුවේ. වඩ්ගෝන්වල පමණක් නොව, සංග්ලි දිස්ත්‍රික්කයේ තවත් ගම්මාන හරහා එය ක්‍රියාත්මක වෙන්නට ගෙන ඇති බවට තොරතුරු අනාවරණ වෙයි.
ඇබ්බැහි වීමට විරුද්ධව නැගෙන සයිරන් නළා හඬෙහි විධානයට හොඳ ප්‍රතිචාර ලැබිලද?
ඒ ගැන නම් අහන්නත් සතුටුයි. හිතුවාට වැඩිය වඩ්ගෝන් ගම්මානවල වැසියන් එයට ඉතා සුහද සාර්ථක ප්‍රතිචාර දක්වන්නට පටන්ගෙන ඇත.
නිදසුන් අවැසි නම්, ‘කොරෝනා අගුළු දැමීමෙන් අනතුරුව නැවත පාසල් විවෘත කිරීමෙන් පසුව පාසල් දරුවන් ඉතා තදින් ජංගම දුරකතනවලට ඇබ්බැහිව සිටි බව පෙනෙන්නට තිබුණා. පාසල් නිමවෙන තුරු ඔවුන් පුල පුලා බලා සිටියේ ගෙදර ගිහින් ස්මාර්ට් ෆෝනය සමග ගේම් පටන්ගන්නා වෙලාව එන තුරුයි. ඉතා නරක ලෙස දරුවන් එම ඇබ්බැහි වීමට ගොදුරුව සිටියා. නමුත් කියන්න සතුටුයි ගම් සභාපති විජේ මෝහිට්ගේ සයිරන් නළා විධානයත් සමග දරුවන්ගේ යම් උනන්දුවක් පාඩම් පොතට ඇතිව තිබෙනවා. මම දෙවියන්ටත් එතුමාටත් මේ වෙනුවෙන් ස්තුති කරනවා….’
එහෙම අදහස් දැක්වූයේ වඩ්ගෝන්හි ගුරුවරයෙක්.
‘මගේ දරුවන් දෙදෙනා තම තමන්ගේ පාඩම් පොත තඹ තසේකට මායිම් කරන්නෙ නැතුව ඉතා නරක ලෙස එයාලගේ සවස් යාම ස්මාර්ට් ෆෝන් සෙල්ලමට සහ රූපවාහිනියේ කසිකබල් කාටූන්වලට මිඩංගු කොට තිබුණා. ඇත්තටම මට හිතාගන්න බැරි තරම් පුදුමයි. සයිරන් නළාවේ සුහද අණ කිරීම ආරම්භ වූ පසුව නොසිතූ ලෙස කෙමෙන් කෙමෙන් ඔවුන් තම පාඩම් වැඩ සහ හෝම් වර්ක් කෙරෙහි අවධානය දෙන්නට අරන්. ඇත්තටම කාටූන් බලන්නට හෝ ගේම් ගසන්නට පැය දෙකක් අහිමිව යන මොහොත ගැන ඒ අයට කිසිම දුකක් නැති එක මට මහා විමතියක්…’
ඒ සංවේදී අදහස් දැක්වීම ගෙවිලියක වූ වන්දනා මෝහිටේගෙන්.
‘මට ඉන්නේ පුතුන් දෙදෙනෙක්. ඔවුන් පලක් නැති ගේම්වලින් සහ තුට්ටු දෙකේ කාටූන්වලින් පැය දෙකකට හෝ මුදා පාඩම් වැඩ සඳහා යොමු වීම මට විශාල සහනයක්. මගේ බිරිය ඔවුන්ට කෑගසන හඬවත් දැන් මට ඇහෙන්නේ නෑ. සවස 6.30 සහ 8.30 අතර කාලය කියන්නේ අපේ පවුල සමග ගෙවන නිස්කලංක මොහොතක්. මම පත්තරය බලන අතරතුර දරුවන් අසන සමහර ගණිත ගැටලුවලට උත්තර දෙනවා. මගේ බිරිඳ පාඩුවේ ඇගේ වැඩක නිරතව ඉන්නවා. ඇත්තෙන්ම සයිරන් නළාවේ සුහද විධාන සුන්දර හාස්කමක්…’
ඒ, උක් ගොවියකු වූ දිලිප් මෝහිත්ගේ සුහද ප්‍රතිචාරයයි.
ජාතික මානසික සෞඛ්‍ය සහ ස්නායු විiා ආයතනයේ සායනික මනෝ විiාව පිළිබඳ මහාචාර්ය මනෝජ් කුමාර් ෂර්මා පවසා ඇත්තේ පමණට වැඩි රූපවාහිනී සහ සෙල් ෆෝන් රසාස්වදය අත්විඳීම තුළ දූ දරු – මාපිය සබඳතා සහ අඹු සැමි සුහදතා නිතර බිඳවැටුණු බවයි. පෙම් යුවලක් පවා කතා කරනවාට වඩා සෙල් ෆෝන් සුකුරුත්තම් තුළ කාලය ගෙවීමෙන් ඔවුනොවුන් පිළිබඳ වටහා ගැනීම් මෙන්ම තේරුම් ගැනීම්ද හරියාකාරව සිදු නොකරන බව හෙතෙම පැවැසුවේය. මෙම යාන්ත්‍රික ඇබ්බැහිවීම් තුළ සිදුවූ විනාශය අප්‍රමාණයි. රූපවාහිනිය සහ ජංගම දුරකතනය කියන්නේ නරක යැයි හංවඩු ගැසිය යුත්තක් නොවුණද එයට පමණ වඩා ඇබ්බැහි වීම තුළින් පවුලක සතුට, සාමය සහ ඒ බැඳීම්ද විනාශ වී යන බැවින් සයිරන් නළා හඬෙහි සුහද විධානය කදිම උපායක් බවද මහාචාර්යවරයා පවසා තිබිණි.
ආසියානු රටවල් අතරින් ඉන්දියා අන්තර්ජාල සහ රූපවාහිනී සබඳතා අතර ඉදිරියෙන් සිටින රටකි. ඒ නිසා වඩ්ගෝන් ගම්මානය සිසාරා නාදවන ඇබ්බැහි වීමේ විනාශය පැය දෙකකට හෝ සීමා කරන සයිරන් නළාවේ සුහද විධානය ඉන්දියාවේ තවත් ප්‍රාන්ත පුරා නාද කරවන්නට හැකි නම් එය ඉතා හොඳ අදහසක් බවත්, ආතතියට සහ වෙනත් මානසික පීඩනයන්ට ගොදුරුව ඇති තරුණ පිරිස් හටද මෙය ඉතා සහනදායී වෑයමක් බවත් සමීක්ෂණ හරහා හෙළිවී ඇතැයි ද ආචාර්ය ෂර්මා වැඩිදුරටත් පවසා තිබිණි.
මනෝ උපදේශකයන්ද පවසන්නේ පවුල් අතර සාමය සහ එකමුතුකමද මෙම අපූරු මෙහෙවර හරහා වඩා තීව්‍ර වූ බවයි. නැවත එකම මේසයක වාඩිවී එකට රෑ කෑම ගන්නා පවුල් වඩ්ගෝන්හිදී දැකීම සතුටක් බවද ඔවුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබිණි.
‘මෙහි මුල් අදියර ක්‍රියාත්මක කරන්නට යන විට ඇතැමුන් එය විශාල සමච්චලයකට බඳුන් කොට තිබුණා. ඇත්තටම මෙතරම් හොඳ ප්‍රතිචාරයක් සයිරන් නළාවේ සුහද විධානයට ලැබේ යැයි මමවත් හිතුවේ නැහැ…’ ගම් සභාපති විජේ මෝහිට් පසුගිය දවසක බී.බී.සී. හින්දි සේවාව හරහා පැවැසුවේය.
ඉන්දියාවේ විතරක් නොව ලංකාවේද අන්තර්ජාලය සමග බොහෝ සමූහයන් ඇබ්බැහිව සිටිති. එතැන වයස් සීමාවන්ද නැත. ඒ නිසා ලංකාවේ ගමට සහ නගරයටද සයිරන් නළාවක සුහද විධානය අවැසි නොවන්නේද?
එය විහිළුවකැයි ඇතැමුන් කියනු ඇත.
‘මොන පිස්සුද? ලංකාවේ එහෙම දෙයක් හිතාගන්නවත් බැහැ…’ තවත් පිරිසක් එහෙම හිනාවෙනු ඇත.
නමුත්, ලංකාවේ පවුලවලටද හෝම්වර්ක් නොකරන, පාඩම් අතපසු කරන දරු පරපුරට වාගෙම ටී.වී. එක ළඟ පැය ගණන් ගතකරන අම්මලාටද සයිරන් නළා හඬක විධානය අවැසි වේ. එය පවර් කට් එක තරම් දරුණුද නැත. එහෙම කියන්නේ සයිරන් නළා හඬෙහි සුහද විධානය තමාට තමාව පාලනය කරගැනීමට අවැසි කදිම ආත්ම සංයමයක් තිළිණ කරන බැවිනි.
බොහොමයක් මිනිසුන් විවිධ විෂයන් හරහා තම ජීවිතය මඟහැර ගන්නේ ‘සෙල්ෆ් කොන්ට්‍රෝලින්’ හෙවත් තමාට තමාව පාලනය කරගැනීමේ සංයමය නැති නිසාය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු










