1986 ලංකාවට ආපු චීන ජනාධිපති ඛස ඞස්බබස්බය. ඉන් පසු චීන ජනාධිපතිවරයෙක් ලංකාවේ සංචාරයකට ආවේ නැත. 1986ට පසු ලංකාවට ආ පළමු චීන ජනාධිපති ඞස න්සබචසබටය. ඞස න්සබචසබට ලංකාවට ආවේ චීන ජනාධිපතිවරයෙක් ලංකාවට ඇවිත් වසර 28කට පසුවය. වසර 28කට පසු චීන ජනාධිපතිවරයෙක් ලංකාවට එන්න තීරණය කරන්නේ ඒ වෙනකොට චීනයට ලංකාව උපායමාර්ගිකව වැදගත් රටක් බවට චීනය තීරණය කළ නිසාය.
එසේ තීරණය කොට ලංකාවට වසර 28කට පසු එන්නේ පිං ජින්වින්ය. ඔහු චීනයේ ජනාධිපති ධුරයට පත් වන්නේ 2012දීය. ඔහු ලංකාවට එන්නේ 2014දීය. ඔහුගේ නිල කාලයේ දෙවැනි වසරේදීය. හිටපු චීන ජනාධිපති Li Xiannian ලංකාවට එන්නේත්, ඉන්දියාව සහ ලංකාව අතර සීතල යුද්ධය උණුසුම් වෙන කාලයකය. එකල මෙරට ජනාධිපති ජේ.ආර්.ය. උතුරේ දෙමළ ප්රශ්නය මුල් කරගෙන ඒ වන විට ජේ.ආර්. ඉන්දියාව සමග ලොකු ගැටුමක් හදාගෙන තිබිණි. ඉන්දියාව ලංකාවේ දෙමළ සන්නද්ධ කල්ලිවලට උදව් කළ අතර, චීනය ජේ.ආර්.ගේ ආණ්ඩුවට දෙමළ සන්නද්ධ කල්ලිවලට එරෙහිව යුද්ධය ජයගන්න ණයට ආයුධ දුන්නේය. මේ වගේම 2014දී පිං ජින්පින් චීන ජනාධිපති ලංකාවට එන්නේ ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ලංකාවේ චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉන්දියාව සමග ලොකු ගැටුමකට මැදිවී සිටින වෙලාවකය. ලංකාවේ චීන ව්‍යාපෘති ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් යැයි ඉන්දියාව කියද්දී පින් ජින්පින් ලංකාවට ආවේ කොළඹ වරාය නගරයට මුල්ගල තියන්නටය. පින් ජින්පින් ලංකාවට ඇවිත් ජනාධිපති මහින්ද හමුවී කීවේ චීන ජනතාව චීන සිහිනය සැබෑ කරගන්නවා සේ ලංකාවේ ජනතාවට මහින්ද දර්ශනය සාර්ථක කරගන්න චීනය උදව් කරන්න කැමැති බවය. චීන ජනාධිපති ලංකාවට ආවේ 2014 සැප්තැම්බර් 19ය. ඔහු මහින්දගේ ආණ්ඩුව ඒ වන විට මුහුණදී සිටි ඌව පළාත් සභා ඡන්දය දිනන්න ලංකාවේ තෙල් මිල අඩුකරන්න සහන පැකේජයක් එනවුන්ස් කළේය. මහින්ද සැලසුම් කර තිබුණේ ඌව පළාත් සභාව දිනා හදිසි ජනාධිපතිවරණයකට යන්නටය. චීන ජනාධිපති සහන පැකේජය එනවුන්ස් කළේ මහින්දට ජනාධිපතිවරණය දිනන්න උදව් කරන්නටය.
මහින්ද පරාජය විය. චීන ජනාධිපති විවෘත කළ වරාය නගරයේ මුල්ගල පමණක් ඉතිරි විය. තමන්ව පරාජයට පත්කළේ ඉන්දීය ඔත්තු සේවා යැයි මහින්ද චෝදනා කළේය. චීනය ලංකාව එක්ක ගනුදෙනු කරන්න මහින්ද එන තෙක් බලා සිටියේ නැත. චීනය මෛත්‍රී-රනිල් ආණ්ඩුවට සමීප වී හම්බන්තොට වරාය බද්දට ගත්තේය.
කොළඹ වරාය නගරය යළිත් පටන් ගත්තේය. 2019 යළිත් රාජපක්ෂවරු බලයට ආවේය. ගෝඨාභය ජනාධිපති විය. මහින්ද අගමැති විය. චීනය කීවේ තමන්ගේ පරණ මිත්‍රයා බලයට පැමිණීම ගැන සතුටු වන බවය. චීනය නව ජනාධිපති ගෝඨාභයට චීනයට එන්න ආරාධනා කළේය.
ගෝඨාභය ඉන්දියාවට බයේ චීන ගමන මඟහැරියේය. මහින්ද එන්න කැමැති වුණත් චීනයට ඕනෑ වුණේ ජනාධිපති ගෙන්වා ගන්නටය. ආර්ථිකය කඩාගෙන වැටෙද්දී ගෝඨාභය චීනයෙන් ආධාර ඉල්ලුවේය. චීනය ගෝඨාභය දුටුවේ ඉන්දීය හිතවාදියකු ලෙසය. අවසානයේ මහින්ද චීන අගමැතිට කතා කළේය. චීන අගමැති ආධාර දෙන්න කොන්දේසි ඉදිරිපත් කළේය.
ගෝඨාභය ඒ කොන්දේසිවලට එකඟ නොවීය. ඔහු ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කොට අයි.එම්.එෆ්. යන්න තීරණය කළේය. අරගලය පටන් ගත්තේය. මහින්දට ඉවත් වෙන්න සිදුවිය. පසුව බැසිල්ටත් ගෝඨාභයටත් රාජපක්ෂ පවුලටම ඉවත් වෙන්න සිදුවිය.
චීන ජනාධිපති තෙවැනි වරටත් චීන කොමියුනිස්ට් පක්ෂ ලේකම් වන විට මහින්දට ජනාධිපති, අගමැති හෝ විපක්ෂ නායක ධුරයවත් නැත.
අද මහින්ද ජනප්‍රියත් නැත. චීන කොමියුනිස්ට් පක්ෂය වගේ හදන්න ගිය ඔහුගේ පොදුජන පෙරමුණ පක්ෂය කෑලි කෑලිවලට කැඩී ඇත. දේශපාලන වශයෙන් අසරණ වී සිටින මහින්ද චීන ජනාධිපතිවරයා සේ තෙවැනි වරටත් චීන නායකයා වීම ගැන සුබ පැතුම් එක්කර තිබිණි.
එයට ප්‍රතිචාර දක්වමින් ලංකාවේ චීන තානාපති කාර්යාලය චීන කොමියුනිස්ට් පක්ෂය පොදුජන පෙරමුණ සමග ඉදිරියටත් එක්ව වැඩ කිරීමට සූදානම් බව පවසා තිබිණි.
කඩාවැටී තිබෙන පොදුජන පෙරමුණ නැගිට්ටන්න චීනයට පුළුවන්ද? ලංකාවේ චීන මිත්‍රයා මහින්දව රැකගන්න චීනයට පුළුවන්ද? ඒ සඳහා චීනය පළමුවෙන් ලංකාවේ දේශපාලනය වෙනස් කරන හැටි ගැන ඉන්දියාවේ නවදිල්ලි සවුත් බ්ලොක් එකෙන් ටියුෂන් ගත යුතුය.
උපුල් ජෝෂප් ප්‍රනාන්දු










