සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සිදුවන බරපතළ වංචා දූෂණ සම්බන්ධයෙන් වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් පසුගියදා සිදුකළා. එහිදී වරෙක ඉතා සංවේදීවූ වෛද්‍යවරයා කඳුළු සලමින් අදහස් දක්වන ආකාරයද දැකගත හැකි විය. වෛද්‍ය චමල් සංජීව මහතාගේ එම ආන්දෝලනාත්මක හෙළිදරව්ව ඇතුළත් සම්පූර්ණ කතාව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු.(Sri Lanka Latest News)
අද දවසේ මා කිරීමට නියමිතව තිබූ කතාව මට වෙනස් කරන්න සිදුවෙනවා. මේ රටේ සෞඛ්‍ය ඇමැතිවරයා තවදුරටත් කෙහෙළිය රඹුක්වැල්ල නම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් ඒ විදියට හෙටත් දකින්න ලැබෙනවා නම් ඔබ කොයිතරම් අවාසනාවන්ත රටකද ජීවත් වෙන්නේ කියලා කල්පනා කරන්න වෙනවා. මගේ මේ කතාවෙන් පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජීප් එක නතර කරලා මාව විතරක් නම් අත්අඩංගුවට ගන්නේ මේ රට කොයි තරම් අවාසනාවන්තද කියලා ඔබට කල්පනා කරන්න වෙනවා.
ඔබ දකින්න ඇති අද වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මම කරපු හෙළිදරව්ව නිසා මට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය අද පැමිණිල්ලක් කරලා තියෙනවා. මම මේ සියලු ලිපිගොනු අද හෙළිදරව් කරන්නේ මේ රටේ පාර්ලිමේන්තු මැති ඇමැතිවරු මෙහි සිටින නිසා.
අපි මේ සාකච්ඡා පවත්වන මොහොත වන විටත් සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍යයට කිව්වේ රටේ සෞඛ්‍ය අර්බුදයක් නෑ කියලා. සෞඛ්‍ය දත්ත පද්ධතියක් තියෙනවා ප්‍රොන්ටෝ කියලා. ඒ දත්ත පද්ධතියට ඇතුළු වුණාට පස්සේ ඖෂධ වර්ග 2000කට ආසන්න ප්‍රමාණයක වර්තමාන තොග බලාගන්න පුළුවන්. අපි සෞඛ්‍ය ඇමැතිවරයාට පෙන්නුම් කළා ඒ තොගවල පිටු 300ක 400ක තිබුණේ සීරෝ සීරෝ සීරෝ.
එදා තමයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මුලින්ම පිළිගන්නේ මේ රටේ ඖෂධ හිඟයක් තියෙනවා කියලා. එතකන්ම ඔහු කිව්වා මගේ නිලධාරීන් මට බොරු කිව්වා කියලා. මම මේ සියල්ල සාක්ෂි සහිතව කියන්නේ මේ සියලු ප්‍රකාශ පහුගිය කාලේ ජනමාධ්‍යවල ඒ ආකාරයෙන්ම වාර්තා කරපු නිසා.
සෞඛ්‍ය වෘත්තිකයන්ගේ රට හැර යෑම ගැන අපි පැහැදිලිව කරුණු ඉදිරිපත් කළා. අවාසනාවකට ඒ ගැනත් ක්‍රියාත්මක වුණේ නෑ. ඊළඟට දැන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියනවා තත්ත්වයෙන් බාල ඖෂධ කියලා දෙයක් නැති බව. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල භාවිත කරන ඖෂධ වර්ගවලින් 10න් 1ක් තත්ත්වයෙන් බාල බව, තත්ත්වයෙන් බාල ඖෂධ නිෂ්පාදනය හිතාමතා සිදුකරන සමාගම් පවතින බවත්. එම ඖෂධවල කෘමිනාශක, වල්නාශක ඇතුළත්ව තිබෙන බවත්. Substandard (බාල තත්ත්වයේ) ඖෂධ කියන්නේ වෛද්‍ය ශිෂ්‍යයන් හදාරන මූලික විෂය පථයක්.
අර ෂාෆි සහබ්දීන් පැලෝපීය නාලය මිරිකුවට පස්සේ අම්මලා වඳවෙනවා කියපු වෛද්‍යවරුම, මහාචාර්යවරුම මාධ්‍ය සාකච්ඡා තියලා කියනවා බාල ඖෂධ කියලා දෙයක් නෑ කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානය ලැන්සෙට් වෛද්‍ය සඟරාව සහ ගූගල් ගියාට පස්සේ බාල තත්ත්වයේ ඖෂධ ගැන ජාත්‍යන්තර වාර්තා විශාල ප්‍රමාණයක් තියෙනවා. තත්ත්වයෙන් බාල ඖෂධ නිසා හැම අවුරුද්දකම ලෝකයේ ලක්ෂයත්, ලක්ෂ 10ත් අතර රෝගීන් ප්‍රමාණයක් අතර ඒ වාර්තාවලින් කියැවෙනවා. ඒ සම්බන්ධයෙන් අපි සිංහල මාධ්‍යයෙන් මෙරට ජනමාධ්‍යයට මේ ප්‍රශ්නය ඇතිවෙන්න අවුරුද්දකට විතර කලින් කරපු හෙළිදරව්ව. අද මේක මා නැවත ජනමාධ්‍ය හරහා ප්‍රකාශයට පත්කළා.
සාමාන්‍ය මිලදීගැනීම් යටතේ ඖෂධ මිලදී ගන්න සල්ලි නෑ කියන අමාත්‍යාංශය 1300%ක් වැඩිපුර ගෙවලා හැම ඖෂධයක්ම මිලදී ගන්නවා. මේ ලිපියේ පැහැදිලිවම ඖෂධ වර්ගවල නම් සහ මිල වැඩිවීමේ ප්‍රතිශතය තියෙනවා. ඒ නිසා තමයි ලෝකල් පර්චස් යටතේ සාමාන්‍ය මිලදී ගැනීම්වලට මුදල් වෙන් නොකරන අමාත්‍යාංශය කොහොමද චෙක්පත් නිකුත් කරන්නේ 1300%ක් විතර වැඩි මිලකට ඖෂධ මිලදී ගන්නේ? ඒ නිසා ඔබ විශ්වාස කරනවා නම් මේ රටේ සෞඛ්‍ය අර්බුදය සාමාන්‍ය තත්ත්වයක් කියලා අපි ඒක පිළිගන්නේ නෑ. මේක පැහැදිලිව ඉතාමත් දුර්වල පරිපාලන සහ කළමනාකරණ අර්බුදයක්.
Cefuroxime කියන ඖෂධ මිලදී ගැනීමේදී රුපියල් මිලියන 500ක වංචාවක් වෙන බව අපි කිව්වට පස්සේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අස්සනින් යුක්තව ඒ ගනුදෙනුව නතර කරන්න පියවර ගන්නවා. අවාසනාව කියන්නේ මේ මිලියන 500 ගනුදෙනුව නතර කරලා මිලියන 1,200ක ගනුදෙනුවක් සිදුකරනවා සෞඛ්‍ය අමාත්‍යාංශය. මිලියන 500 ගනුදෙනුව නතර කරනවා ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන්. හැබැයි ඊට පස්සේ සතියේ මිලියන 1,200ක ගනුදෙනුවක් සිදුවෙච්ච බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ජනමාධ්‍යයේදී පිළිගන්නවා. එහෙනම් අපි කොහොමද මේ සෞඛ්‍ය අර්බුදය විසඳන්නේ?
අපේ රටේ ඖෂධ නියාමන අධිකාරියටම සම්බන්ධයි ඖෂධ දත්ත පද්ධතිය. මේ තමයි Cefuroxime වංචාවට අදාළ සියලු ලියකියවිලි. ඩොලර් ශත 25ට ඖෂධ මිලදී ගන්න පුළුවන්කම තියෙද්දී ඩොලර් ශත 75ට මිලදී ගැනීම නිසා එවක අහිමි වෙනවා මිලියන 500ක්. හැබැයි මේක අපේ හෙළිදරව්වෙන් පස්සේ අවසාන වෙනවා. ඒ වගේම මේ සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ අභියාචනා කමිටුව නිර්දේශ කරනවා. එයත් නොසලකා හරිනවා. අවසානයේ ඇමැතිවරයා සහ නිලධාරීන් කිහිප දෙනෙක්ගේ අවශ්‍යතා මත මිලියන 1,200ක ගනුදෙනුවකින් ප්‍රතිජීවක ඖෂධ මිලදී ගැනීම සිදුකරනවා.
අපේ රටේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මේ වන විට ක්‍රියාත්මක වන්නේ නෑ. රුපියල් මිලියන 70ක් වියදම් කරපු දත්ත පද්ධතිය ඉවත් කරනවා. මේ සම්බන්ධව කෝප් කමිටුවේදී කතා කළාම දත්ත පද්ධතියේ ප්‍රශ්නයක් තියෙන බව කියනවා. ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලය වාර්තාවක් දෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණ අංශය කියනවා පවතින දත්ත පද්ධතිය නිවැරැදි කරන්න කියලා. ඒක පරිගණක පිටු 72ක වාර්තාවක්.
සෞඛ්‍ය අමාත්‍යාංශය මේකට 73 වැනි පිටුවක් අමුණලා ජනාධිපතිවරයාට යොමුකරලා අලුතෙන් මිලියන 700ක දත්ත පද්ධතියක් සඳහා අනුමැතිය ලබාගන්නවා. දැන් ඒ දත්ත පද්ධතියත් වැඩකරන්නේ නෑ. එතකොට මිලියන 70 දත්ත පද්ධතිය සම්බන්ධව කොළඹ විශ්වවිද්‍යාලයෙන් දීපු මේ වාර්තාව Status report for computer system of medical supply division of Sri Lanka – Prepared by University of Colombo – school of computing. submitted to medical supply devision. 20 July 2021. මේක පිටු 72ක වාර්තාවක්.
හැබැයි අමාත්‍යාංශයේ කැබිනට් පත්‍රිකාව නිකුත් කරනකොට මේ ප්‍රින්ට්අවුට් එකට 73 වැනි පිටුවක් අමාත්‍යාංශයෙන් එකතු වෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍යයට ඇවිල්ලා කියනවා මම දන්නෙ නෑ ඒ පිටුව එකතු වුණේ කොහොමද කියලා. රූපවාහිනී මාධ්‍ය නාලිකාවකදී එතුමා පිළිගත්තා මේකට අලුතෙන් පිටුපක් එකතු වෙලා තමයි කැබිනට් අනුමැතිය ගත්තේ කියලා. අද ඒ මිලියන 700ක් විතර වියදම් වෙන දත්ත පද්ධතියෙන් අපේ රටේ ඖෂධ හිඟය සම්බන්ධ තොරතුරු අනාවරණ කරගැනීම සහ ඖෂධ හිඟය සම්බන්ධ වගේම සම්පූර්ණ දත්ත පද්ධතිය මේ වෙලාවේ අක්‍රීය වෙලා තියෙනවා.
මම හිතන්නේ මේ තමයි අද සෞඛ්‍ය ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන සිදුවීම. අක්ෂි කාච ලක්ෂයක් මිලදී ගන්න රුපියල් බිලියනයක් වියදම් කිරීම සඳහා ඒ අක්ෂි කාච ලක්ෂය කැබිනට් මණ්ඩලයට දීලා අනුමත කරනවා වෙනුවට අමාත්‍යාංශ ලේකම් ප්‍රසම්පාදනට යොමුකිරීම හරහා අක්ෂි කාච ලක්ෂය 18,000 ඒවා අටකට කඩලා කුඩා ප්‍රසම්පාදන අටක් නිර්මාණය කරනවා. මොකද එක පාරට ගියා නම් මේක යන්නේ කැබිනට් මණ්ඩලයට නිසා.
හිටපු කැබිනට් ඇමැතිවරුත් මෙතන ඉන්න නිසා ඒ ගැන දන්නවා. රුපියල් බිලියනයක ගනුදෙනුවක් කරනකොට ඒක කැබිනට් මණ්ඩලයේ අනුමත වෙන්න ඕනෙ. ඒ නිසා අමාත්‍යාංශය සූක්ෂ්ම වෙනවා මේක කැබිනට් මණ්ඩලයට නොදා අමාත්‍ය ලේකම් මට්ටමෙන් ඉවර කරන්න. අක්ෂි කාච ලක්ෂය මිලදී ගැනීම 18,000 ඒවා 8කට කඩනවා. එතකොට අමාත්‍යාංශ ලේකම් මට්ටමෙන් මේ ගනුදෙනුව විසඳෙනවා. මිල අඩු සමාගමට වඩා මිල වැඩි සමාගමේ වෙනස කෝටි 10ක්. මිල අඩු සමාගම අනුමත කරන්නේ කිව්වට පස්සේ ඒ ලේඛන අතිරේක ලේකම් අනුමත කරන්නේ නෑ.
ඊට පස්සේ මම පෙන්නුම් කළා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මිල වැඩි සමාගමෙන් කරපු ඉල්ලීමට පෞද්ගලිකව මිනිට් එක දානවා. මේ තමයි ඒ මිනිට් එක. (ලේඛනයක් පෙන්වයි) මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීලා තියෙන්නේ. ඒ වගේම මේකෙදී බිඩ් බොන්ඩ් එකක් අස්සන් කරන්නේ නෑ. ඒ වෙනුවට මිලියන 30ක චෙක් එකක් දෙනවා. මේ තියෙන්නේ ඒ චෙක් එක. හැබැයි මේ චෙක් එකත් අගරු චෙක් එකක්. ඒ සම්බන්ධව ඊට පස්සේ අමාත්‍යාංශයේ ගිණුම් කටයුතු භාර කෙනා ලිපියක් නිකුත් කරනවා මේ චෙක් එක අගරුයි කියලා. මේ තමයි අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණනයෙන් නිකුත් කරපු ලිපිය.
අවසාන වශයෙන් මම කියන්නම් අපි දන්නවා මේ රටේ ආන්දෝලනාත්මක සිදුවීමක් වුණා. මේ රට මන්දපෝෂණය පැත්තට යද්දී, සෞඛ්‍ය අමාත්‍යවරයා කියනවා අපේ රටේ මන්දපෝෂණය තියෙන්නේ ජනගහනයෙන් 4%ක් විතරයි කියලා. ඔහු පාර්ලිමේන්තුවේදී අසත්‍යයක් ප්‍රකාශ කරනවා. හැබැයි දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගන්නවා අපේ රටේ සමස්ත මන්දපෝෂණය 50% ඉක්මවා තිබෙන බව.
හැබැයි අවාසනාව කියන්නේ 30%ක්, 50%ක් මන්දපෝෂණය තියෙනවා කියපු මගේ සේවය අත්හිටුවන්න පියවර ගැනීම. මේ සම්බන්ධව අධිකරණය කතා කරද්දී අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියූ දේ තමයි ඇමැතිවරයකුට ඕනෙ දෙයක් කියන්න පුළුවන්, හැබැයි රාජ්‍ය නිලධාරියෙකුට එහෙම කියන්න බෑ කියලා. අවසානයේ අධිකරණය තීන්දු කරනවා රාජ්‍ය නිලධාරීන් අදහස් ප්‍රකාශ කිරීම දේශපාලකයන් අපහසුතාවට පත් නොවන ලෙසට කළ යුතුයි කියලා.
ඒ නිසා අදත් මම ගෙදර. ඒ නිසා පුරවැසියන්ට වගකීමක් තියෙනවා. සමහර සංස්ථා, සමහර සමාගම්, සමහර නිලධාරීන් ඇවිල්ලා ඇමැතිවරුන්ගේ සභාපතිවරුන්ගේ ලේකම්වරුන්ගේ මේස උඩ බෙන්ස් කාර්වල යතුරු තියලා අපිව මර්දනය කරන්න අමාත්‍යාංශ ලේකම්වරුන්ට බලපෑම් කරන රටක්. අපට ඉතාම පහසුවෙන් වෙනත් රටකට යන්න පුළුවන්. ඔස්ටේ්‍රලියාව, එංගලන්තය වගේ රටවලින් අපෙන් අහනවා ඇයි එහෙට එන්නේ නැත්තේ කියලා. මේ රටේ පුරවැසියන් තීරණය කළ යුතුයි හෙටින් පස්සේ මේ රටේ දිශානතිය කුමක්ද කියන එක. අපිව මහ මගදී ඝාතනය කළත් මේ සටන අත් නොහැරිය යුතුයි කියලා මම අවසන් වශයෙන් කියනවා.
චානක ලියනගේ