සාමාන්‍යයෙන් පොකුණක වැවෙන්නේ ඕලු, නෙලුම්, මානෙල් වගේ මල් වර්ග. නමුත් අපි අද ඔබට පෙන්නන්න හදන්නේ මිනිහෙකුට වුණත් නැගලා ඉන්න පුළුවන් පත්‍ර සහිත පොකුණක වැවෙන ශාකයක් ගැන. මොකක්ද මේ ශාකය? අන්තර්ජාලයෙන් මේවා දැකලා තිබුණාට කවුරුවත් මේවා ලංකාවේ දැකලා නෑ. ඒ ගැන කියන්න අපි ඇවිත් ඉන්නේ කටුගස්තොට කොණ්ඩදෙණිය දේවමිත්ත විහාරස්ථානයට. විහාරාධිපති පූජ්‍ය නුගවෙල සුමනදේව ස්වාමින්වහන්සේත් අපි සමග ඉන්නවා.(Sri Lanka Latest News)
අවසරයි අපේ හාමුදුරුවනේ, මොකක්ද මේ අරුමපුදුම ශාකය. අපට ඒ ගැන විස්තර ටිකක් කියන්න?
මේක මානෙල් වර්ගයේ ශාකයක්. වෙනිසියුලාව, බොලීවියාව, ගයනාව, බ්‍රසීලය වගේ රටවල් අතරින් ගලාගෙන යන ඇමසන් ගඟේ නොගැඹුරු ප්‍රදේශවල තමයි ශාකය වැඩි වශයෙන් දැකගන්න ලැබෙන්නේ. Victoria Water Lily ලෙස තමයි මෙය හඳුන්වන්නේ. මේකෙ පත්‍ර මීටර් තුනහමාරක් විතර පළලට වැඩෙනවා. ලංකාවේ වැව්වල මේ ශාකය දකින්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්.
මේ ශාකය ඔබවහන්සේගේ විහාරස්ථානයට ලැබෙන්නේ කොහොමද?
මම ඔය සම්බන්ධ වීඩියෝ එකක් දැක්කා අන්තර්ජාලයේ. මට හිතුණා මේ ශාකය ලංකාවේ කොහෙ හරි තියෙනවද කියලා හොයලා බලන්න. ඒ වගේම මම මේ ගැන අධ්‍යයනයක් කළා. ඒ අනුව සිංප්පූරුවේ මේ මල් විකුණන තැනකින් මට ඒක ගෙන්වා ගන්න පුළුවන් වුණා.
මේ ශාකයේ විශේෂත්වය මොකක්ද?
මේ පත්‍රයකට කිලෝග්‍රෑම් 35ක් 40ක් බර දරන්න පුළුවන්. හොඳින් වැඩිච්ච පත්‍රයකට කිලෝග්‍රෑම් 60ක වගේ බරක් දරන්න පුළුවන් කියලා මේ ගැන පර්යේෂණ කරපු උද්භිද විද්‍යාඥයෝ සඳහන් කරලා තියෙනවා.
අපේ රටේ තියෙන ඕලු, නෙලුම් ශාකවල පත්‍ර පැතලී. නමුත් මේ ශාකයේ පත්‍ර බේසමක හැඩයක් නේද තියෙන්නේ?
ඔව්. මේ පත්‍ර සෙන්ටිමීටර් 30ක් විතර උඩට බේසමක හැඩයට නෙරාගෙන එනවා. කෙනෙක් හිතන්න පුළුවන් මේක ඇතුළේ වතුර පිරිලා, මදුරුවො බෝවෙන්න පුළුවන් නේද කියලා. නමුත් මේකෙ එහෙම වෙන්නෙ නෑ. මේ ශාකය සොබාදහමේ විශිෂ්ට නිර්මාණයක්. පත්‍රය වටේට බේසමක හැඩයට උඩට නෙරා ඇවිත් තිබුණට, සෑම පත්‍රයකම එක තැනකින් පුංචි විවරයක් තියෙනවා. ඒ නිසා ඒ තුළ වතුර එකතුවෙන්නෙ නෑ.
වැටෙන වතුර නැවත පොකුණටම එකතු වෙනවා. ඉස්සිලා තියෙන සෙන්ටිමීටර් 30ක වගේ කොටස ළා රතුපැහැයෙන් යුක්තයි. යට කටු සහිතයි. ඒ නිසා මත්ස්‍යයන්ට ඒවා ආහාරයට ගන්න බෑ. නමුත් පත්‍රය කුඩා කාලෙදී ඒක ආහාරයට ගන්න මත්ස්‍යයෝ හරි කැමැතියි. ඒ නිසා මාළුන්ගෙන් බේරගන්න ටිකක් අපහසුයි. අනෙක් විශේෂත්වය තමයි මේ පත්‍රය යට ඇල්ගී වැවෙන්නෙ නෑ. ඒ නිසා ඒ යට මත්ස්‍යයෝ රැඳෙන්නෙ නැහැ.
මම ගහකොළ හිටවන්න හරි කැමැතියි. විහාරස්ථානයේ අපට තියෙන ඉඩකඩ අනුව මම බොහොම දුර්ලභ ශාක හිටවන්න උත්සාහ කළා. ඒකෙ එක පියවරක් තමයි Victoria Water Lily ශාකය අපේ පොකුණේ සිටෙව්වේ.
ශාකයේ පත්‍ර වගේම මලත් විශාලයිද?
මලක් සෙන්ටිමීටර් 30ක් වගේ දිගින් යුක්තව හැදෙනවා. මලේ තියෙන විශේෂත්වය තමයි මලක් තියෙන්නේ එක දවසයි. පිපෙන්නේ රාත්‍රී කාලයේදී. මේ මානෙල් මල් වර්ග තුනක් තියෙනවා ඇමසෝනිකා, ඔලිවියානා, කුසියානා කියලා. මේ වර්ග තුනේම මල් පිපෙන්නේ සුදු පාටට. හැබැයි ඉර අවරට යනවත් එක්කම මල රෝස පැහැයට හැරෙනවා. ඊට පස්සේ තද දම්පාටට හැරිලා රාත්‍රී කාලයේදී පරවෙලා යනවා. මේ මල පරාගණය වෙන්නේ කුරුමිණියන්ගෙන්. ඕලු, මානෙල් ශාක පත්‍රවලින් සහ අලෙන් බෝවෙනවා. නමුත් මේ ශාකය එහෙම බෝවෙන්නේ නෑ. ඒකයි මේක දුර්ලභ.
මේක පරාගණය වෙන්න අඩුම තරමෙන් ගස් දෙකක්වත් තියෙන්න ඕනෙ. මේ මානෙල් මල පිපුණාම රාත්‍රී කාලයට ඒකෙන් අන්නාසි ගෙඩියක් කපද්දී එන සුවඳට සමාන සුවඳක් වහනය වෙනවා. ඒ සුවඳට කුරුමිණියෝ එනවා. කුරුමිණියා ආපු ගමන් මල ඇකිළෙනවා. උදේට නැවත සම්පූර්ණයෙන්ම මල පිපෙනවා. මල පිපුනට පස්සේ කුරුමිණියෝ ඉගිලිලා යනවා. එහෙම ගිහින් තවත් මලක වැහුවාම තමයි මල පරාගණය වෙන්නේ. ඒ වගේම හොඳින් පිපුණු මලක ඇට තියෙනවා. ඒ ඇට අරගෙන තවත් තැනක මේවා පැළකර ගන්නත් පුළුවන්.
මේ ශාකයේ ඉතිහාසය ගැනත් ඔබවහන්සේ සොයා බැලීමක් කළාද?
ඇත්තටම මේක 1801 වර්ෂයේදී තමයි මුල් වරට සොයාගෙන තියෙන්නේ. Victoria Water Lily කියලා මේකට නම තියලා තියෙන්නේ එංගලන්තයේ හිටපු උද්භිද විද්‍යාඥයෙක් වුණු ජෝර්ජ් ලිලී. මහ රැජිනට දක්වන උපහාරයක් විදියට තමයි ඔහු මේකට Victoria Water Lily කියන නම තියන්නේ.
මේ ලිපිය කියවන අයටත් මේ ශාකය ලබාගන්න කැමැත්තක් ඇතිවෙන්න පුළුවන්. ඒ අය කොහොමද මේ ශාකයක් ලබාගන්නේ?
මගේ ළඟත් මේ ශාකයේ පැළ කිහිපයක් මේ වෙද්දී තියෙනවා. ඒ වෙනුවෙන් ගන්න කෙනා ලොකු මිලක් දරන්න සිදුවෙනවා. එහෙම නැත්නම් මම මේ ශාකය ගෙන්වාගත්ත කුරුණෑගල සරසි ආයතනයට කතා කරලා ඒ හරහාත් මිලදී ගන්න පුළුවන්.
විහාරස්ථානයට ඇවිත් මේ අරුමපුදුම ශාකය නරඹන්න ආසාවෙන් ඉන්න අයට, මෙහි එන ගමන් මාර්ගය කියන්න හාමුදුරුවනේ?
කටුගස්තොට නගරයේ ඉඳන් විහාරස්ථානයට කිලෝමීටරයක දුරක් තියෙනවා. දේවමිත්ත විහාරය කියලා කිව්වාම ඕනෙම කෙනෙක් මේ තැනට එන පාර පෙන්වයි.
Nilame යූටියුබ් නාලිකාවෙනි.










