ශ්‍රී ලංකාවේ විපක්ෂය වන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරියන් දෙදෙනකු ඉලක්ක කරගනිමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සංසරණය වන ආකාරය නිරීක්ෂණය වේ. ඒ පිළිබඳ factcrescendo වෙබ් අඩවිය සිදුකළ විමර්ශනයක් පහත පළවේ.(Sri Lanka Latest News)
සමාජ මාධ්‍ය සටහන්
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන රෝහිණී කවිරත්න සහ තලතා අතුකෝරලට මාධ්‍ය සාකච්ඡාවලට සහභාගි වීම තහනම් කර ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබිණි. ඇතැම් වෙබ් අඩවි ඔස්සේද ඒ පිළිබඳ වාර්තා පළවී තිබුණු අයුරු දැකගන්නට ලැබිණි.
සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම
රෝහිණී කවිරත්න
අප ප්‍රථමයෙන්ම ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන්ම, සමාජ මාධ්‍ය ධාරා හරහාද පරීක්ෂා කළේ, සමගි ජන බලවේගයේ රෝහිණී කවිරත්න මහත්මිය මෑතකදී පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමු සඳහා සහභාගි වී නොතිබුණා ද යන්නයි.
ඒ අනුව අපට දැකගන්නට ලැබුණේ රෝහිණී කවිරත්න මහත්මිය මීට සති කිහිපයකට පෙර, එනම් පෙබරවාරි 01 වැනිදා එම පක්ෂය පවත්වා තිබූ මාධ්‍ය හමුවකට සහභාගි වී තිබූ බවයි. එම මාධ්‍ය හමුවේ තව ත් වීඩියෝවක් රෝහිණී කවිරත්න මහත්මියගේ නිල ෆේස්බුක් පිටුවේද පළකර තිබිණි.
අප මේ පිළිබඳ ඇයගෙන්ද විමසීමක් කළ අතර එහිදී රෝහිණී කවිරත්න මහත්මිය පවසා සිටියේ, සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන තොරතුරු අසත්‍ය බවත්, තමන්ට සජබේ මාධ්‍ය හමු වාරණය කර නොමැති බවත්, තමන් පසුගියදා පක්ෂය විසින් පැවැත් වූ මාධ්‍ය හමුවකටද සහභාගි වූ බවයි.
එමෙන්ම ඇය සිය පක්ෂය නියෝජනය කරමින් මෑතකදී සිදුකර තිබූ වැඩසටහන්වලටද සහභාගි වී තිබූ බව ඇයගේ නිල ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී පෙනීගියේය.
තලතා අතුකෝරල
සමගි ජන බලවේගය මෑතකදී පැවැත්වූ මාධ්‍ය හමු සඳහා මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය සහභාගි වී නොතිබූ නමුත් පක්ෂය නියෝජනය කරමින් පවත්වා තිබූ වැඩසටහන් සඳහා ඇය සහභාගි වී තිබූ බව ඇයගේ නිල ෆේස්බුක් පිටුව හරහා පරීක්ෂා කිරීමේදී දැකගන්නට ලැබිණි.
තලතා අතුකෝරළ මහත්මියගෙන්ද, අප ඉහත සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් විමසීමක් කළ අතර, එහිදී ඇය තහවුරු කළේ එම සටහන් අසත්‍ය බවත්, තමන්ට හෝ පක්ෂයේ කිසිදු අයෙක්ට කිසිදු වාරණයක් පනවා නොමැති බවයි.
සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය
සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශයද ඉහත සමාජ මාධ්‍ය සටහන් ප්‍රතික්ෂේප කරමින් තහවුරු කළේ, මෙය පක්ෂයට මඩගැසීම සඳහා පදනම් විරහිතව එල්ල කරන චෝදනා පමණක් බවයි.
අවසාන නිගමනය
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන තලතා අතුකෝරල සහ රෝහිණී කවිරත්න යන මහත්මීන්ට මාස ගණනක සිට එම පක්ෂයේ නිල මාධ්‍ය හමුවලට පැමිණීම තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ප්‍රකාශ අසත්‍යයකි. අප කළ පරීක්ෂාවේදී මන්ත්‍රීනියන් පක්ෂය විසින් මෑතකදී පැවැත් වූ මාධ්‍ය හමු මෙන්ම වැඩසටහන් සඳහාද සහභාගි වී තිබූ බව අනාවරණය වූ අතර, ඒ බව එම මන්ත්‍රීවරියන් දෙදෙනා මෙන්ම සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශයද තහවුරු කරන ලදී.
factcrescendo වෙබ් අඩවියෙනි