ප්‍රවීණත්වයට පත් සම්මානනීය සිනමා නිළි ස්වර්ණා මල්ලවාරච්චි ගැන ලියැවෙන කෙටි සටහනක් වෙනුවෙනුයි මේ සූදානම. ඒ සඳහා ආරම්භය ගැනීමට ස්වර්ණා ගැන අලුතෙන් වර්ණනා කරන්නට අවැසි නැත. ඈ කවුදැයි මොනවද කරන්නේ කියා විස්තර ලියන්නට මෙහි පැරා ගණන් වෙන් කරන්නට වුවමනා නැත.(Sri Lanka Latest News)
කොටින්ම කියනවා නම් සුගතපාල සෙනරත් යාපාගේ ‘හන්තානේ කතාව’ චිත්‍රපටය හරහා පැමිණි ඇගේ දිගුකාලීන සිනමාගමනය ගැන අටුවා ටීකා අලුතෙන් ලියන්නට කොහොමවත් අවැසි නොවන්නේය. සරලව කියනවා නම්, ස්වර්ණා මල්ලවාරච්චිට සම කළ හැකි කිසිවකු නැත. ස්වර්ණා මල්ලවාරච්චිගේ අසමසම රංගන ප්‍රතිභාව වෙනුවෙන් සොයාගත හැකි විකල්පද නැත. ඒ තරමටම ස්වර්ණා මල්ලවාරච්චි නම් මේ අපූර්වතම කලාකාරිය අද්විතීයය. අග්‍රගණ්‍යය.
සිනමා නිර්මාණයක්වත් ළඟපාතක නැතිව තිබියදී ස්වර්ණා ගැන ඇගේ රංග කුසලතාව ගැන අලුතෙන් සටහනක් තබන්නට හේතු වූයේ පසුගිය විසිවැනිදාවේ ඔස්ටේ්‍රලියාවේ බි්‍රස්බේන් නුවරදී ඈ වෙනුවෙන් පැවැති උපහාර උළෙල නිසාය. කිසිදු ආයතනයක හෝ සංගමයක අනුග්‍රහයක් නැතිව විදේශීය රටක පළමුවරට පැවැත්වුණු මෙම උපහාර උළෙල සංවිධාන කළේ චන්ද්‍රකාන්ති වික්‍රමසිංහ සහ රම්‍යා තෙන්නකෝන් සමග ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් විසින්ය.
ප්‍රධාන දේශනය කවීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසිරි වීරවර්ධන විසින් මෙහෙයවූ අතර, ස්වර්ණා මල්ලවාරච්චිගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූ ‘දඩයම’ චිත්‍රපටයද අවසානයේ මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි. සුවිශේෂවම ඈ වෙනුවෙන් මෙවැනි උපහාර උළෙලක් පැවැත්වීමට හේතු වූයේ අඩසියවසක් ගෙවුණු ඇගේ සිනමා දිවි ගමනට ශුභාශිංසන ප්‍රාර්ථනා කිරීම සඳහාය. ඒ පිළිබඳ මුහුණු පොතේ පළවූ පෝස්ටුව වෙනුවෙන් මේ කීර්තිධර සිනමා තාරකාවට උණුසුම්ව සුබ පැතුම් එක්කරමින් කමෙන්ට් බොහොමයක් සටහන්ව තිබුණු අතර, ඇතැමුන් එහිදී තම තමන්ගේ නිදහස් අදහස්ද ප්‍රකාශ කොට තිබිණි.
‘අඩසියවසක් ප්‍රවීණ නිළි ස්වර්ණා මල්ලවාරච්චි සිනමාවට කළ මෙහෙවර වෙනුවෙන් අපේ රටේ මෙවැනි උපහාර උළෙලක් සංවිධාන නොකිරීම කනගාටුවකි.’
‘ශ්‍රී ලංකා නළු නිළි සංගමය කොහිද? මෙවැනි උපහාර උළෙලක් පැවැත්විය යුත්තේ ඔවුන් නොවේද?’
‘අඩසියවසක සිනමාගමනය වෙනුවෙන් ප්‍රවීණ නිළි ස්වර්ණාට උපහාර පැවැත්විය යුත්තේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ අනුග්‍රහයෙන් නොවේද?’
චෝදනාත්මක ස්වරූපයේ එවැනි කමෙන්ටුද ඒ අතර විය. කියන්නත් වාගේ ඒ කතා සහ චෝදනා බොරු යැයි කියා කියන්නට බැරිය. වැරැදිය කියා කියන්නටද බැරිය. ඒ කමෙන්ටු සටහන් කළ අය විමසා සිටියා සේම ප්‍රවීණ සම්මානනීය නිළි ස්වර්ණා මල්ලවාරච්චි තම සිනමාගමනයෙහි අවුරුදු පනහ ස්වර්ණමය මොහොත වෙනුවෙන් උපහාර උත්සවයක් පැවැත්විය යුතු බව සිංහල සිනමාවට නෑකම් කියන අපේ කලාකරුවන්ට අමතක වූයේ ඇයි? ශ්‍රී ලංකා නළු නිළි සංගමය කියා එකක් ලංකාවේ තියෙනවා නම් මෙතරම් අමරණීය සිදුවීමක් ඔවුනට අමතකව ගියේ ඇයි?
පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින කලාකාරයකුටවත් ස්වර්ණා මල්ලවාරච්චිගේ අභිමානනීය සිනමා ගමන වෙනුවෙන් යමක් කරන්නට තිබුණා නොවේද? සිනමාවට සම්බන්ධ හැමෝටම වාගේ එවැන්නක් අමතකව යෑම ලොකු අඩුපාඩුවකි. අත්වැරැද්දකි. අපේ රටේ අපේම කලාකරුවන් වෙතින් ස්වර්ණා මල්ලවාරච්චි වැනි ප්‍රවීණ නිළියකට එහෙම අත්වැරැද්දක් සිදුවීම අතිශයින්ම කනගාටුදායකය.
ඒ වාගේම ඒ අත්වැරැද්ද හරිගස්සන්නට ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් අත්වැල් බැඳගැනීම ඔවුන් ලද අභිමානයක් නොවේද? තවත් පැත්තකින් බලනවා නම් ඉතා ඵලදායී මෙහෙවරක් කොට ඔවුන් හිමිකරගත් ඒ අභිමානය ශ්‍රී ලාංකේය නළු නිළි සංගමයට, ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවට මෙන්ම සිනමාව සමග සම්බන්ධකම් පවත්වන කලාකරුවන්ටද එක්තරා ආකාරයක අතුල්පහරක් නොවේද?
ශ්‍රී ලංකා ආණ්ඩුව ගැන හෝ දේශපාලකයන් ගැන මෙතැනදී කතා කිරීමෙන් පලක් නැත. දේශපාලකයා සහ කලාකරුවන් අතර හොඳ මිත්‍රත්වයක් ගොඩනැගුණා නම් රාජපක්ෂලාට සහ අනෙකුත් පක්ෂවලට ගැතිකම් කොට පාර්ලිමේන්තුවට ගිය කලාකරුවන්ට තම සහෝදර කලාකරුවන් මෙන්ම තමාද කලාකරුවකු බව කවදාවත් අමතක වන්නේ නැත.
මෙහිදී තවත් කරුණක් සඳහන් කළ යුතුය. ඒ මේ රටේ සිටින කලා සංවිධාන, නළු නිළි සංගම් පවා මේ කටයුත්ත මඟහැර සිටීමය. කොටින්ම කියනවා නම් නළු නිළියන් අගය කළ යුතු චිත්‍රපට සංස්ථාවට පවා ස්වර්ණා අමතකව ගොස් තිබිණි. අද ඔවුන් සියලු දෙනා එක්ව කරන්නේ එම විශිෂ්ට නළු නිළියන් අගය කිරීම පසෙක තබා ඊයේ පෙරේදා එළියට ආ තරුණ නළු නිළියන් කරේ තබාගෙන වසරකට වරක් වේදිකාවට නංවා ‘රිදී රැයක්’ වැනි වැනි ප්‍රසංග පවත්වමින් බාල් නැටීමය. ඒ ප්‍රසංගවලින් වවාගෙන කෑමය. පැරැණි නළු නිළියන්ගේ ගීතවලට අලුත් නළු නිළියන්ගේ මුහුණු දමා නැටවීමය.
අනෙක් අතට ජ්‍යෙෂ්ඨ නළු නිළියන්ට සලකන ආකාරය නොදන්නේ නම් ඒ ගැන යම් තරමකින් හෝ පාඩමක් ඉගෙන ගැනීමට ඉන්දියාව දෙස බැළිම හොඳටම ප්‍රමාණවත්ය. මන්ද ඉන්දියාව සිය ජ්‍යෙෂ්ඨ නළු නිළියන්ට සලකන්නේ දෙවියන්ට සලකනවා හා සමාන ආකාරයටය. ඔවුන් සිය ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ව ආරක්ෂා කරන්නේ මැණික් කැට ආරක්ෂා කරන ආකාරයටය. රජයේ ඉහළම සම්මාන මේ ජ්‍යෙෂ්ඨ නළු නිළියන් වෙත ලබාදීමට ඉන්දියාව කටයුතු කරනු ලබයි. ඒ අතින් අපේ බලධාරීන් සිටින්නේ ගවු ගණනක දුරින්ය.
කොහොමත් සිදුවූ වැරැද්ද දැන් පාස්සන්නට නොහැකිය. එහෙමය කියා සිතට දැනෙන ලැජ්ජාව හෝ හීනමානය අමතක කරන්නටද බැරිය. ස්වර්ණා වැනි අසහාය කලාකාරියකගේ සිනමා ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවක් සිය සහෝදර කලාකරුවන් අතින් මඟහැරී ගියා නම් අපේ අනෙකුත් කලාකරුවන් ගැන කවර කතාද? ස්වර්ණා මල්ලවාරච්චි යනු සිංහල සිනමාවට ස්වර්ණමය යුගයක් තිළිණ කළ ප්‍රතිභාපූර්ණ නිළියකි. ඇය කිසි විටෙක ප්‍රසිද්ධිය පසුපස නොගිය, මාධ්‍ය පසුපස නොගිය සරල කලාකාරියකි. ශ්‍රී ලංකා නළු නිළි සංගමය හෝ චිත්‍රපට සංස්ථාව වෙතින් ඇයගේ කලා ජීවිතයෙහි සුවිශේෂ සන්ධිස්ථානයක් මෙලෙස මඟහැර දැමීම අශෝභන සිදුවීමකි.
සියල්ල සිදුවී හමාරය. ස්වර්ණා අඩසියවස සැමරූ ඔබේ ස්වර්ණමය සිනමා ජීවිතයට ‘මව්රට’ අප ඉතසිතින් සුබ පතන්නෙමු.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු