ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට ජීවත් වීමට අවශ්‍ය කරන මූලික පහසුකම් ටිකවත් නැති බව අපි දන්නවා. මේ මොහොත වෙනකොට යම් තරමකට හෝ අපි සංවර්ධිත බව අපි විශ්වාස කරනවා. නමුත් ලෝකයේ තියෙන නිර්ණායකවලට අනුව අපි ඉතා දුප්පත් රටක් බව තමයි පිළිගත යුතු කාරණාව.(Sri Lanka Latest News)
2024 අවුරුද්ද අග වෙනකොට ලංකාව දුප්පත් බවේ අඩියටම වැටෙන්න නියමිත බව සමහර සමීක්ෂණවලින් කියැවෙනවා. එහෙම නොවේවායි අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙයිද නැද්ද කියන්න අපි දන්නේ නෑ. ඒකට හේතුව අපි හිතනවට වඩා මේ රටේ දේවල් සිද්ධ වීමේ සම්භාවිතාව ඉතා වැඩි නිසා. කොහොම නමුත් ආශ්චර්යයක් සිද්ධ වෙලා රට පණගහලා ආවොත් ඒක ලොකු දෙයක්.
මේ ලිපියේදී මට මතක් වෙනවා ජී.බී. සේනානායකගේ ‘අපටත් වැසිකිළියක්’ කියන කෙටිකතාව. මේ කෙටිකතාව වගේම අපට මතකයි එක්තරා අවස්ථාවකදී සිබිල් වෙත්තසිංහ රචනා කරපු පොඩි පොතක් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධව ශ්‍රී ලංකාවේ එළිදැක්වුණා. ඒකෙත් සඳහන් වෙලා තිබුණේ වැසිකිළියක් කියන මාතෘකාව. වැසිකිළිය කියන සංකල්පය ලෝකෙ ඉතා වැදගත් දෙයක් විදියට සලකනවා.
ඒක එහෙම සලකන්නේ සෞඛ්‍යාරක්ෂිත බව ගැන සලක්න පටන් ගත්තට පස්සේ. ජාතියක් සෞඛ්‍යාරක්ෂිත නම් ඒ ජාතියට ඉස්සරහට යන්න ලේසියි. සෞඛ්‍යාරක්ෂිත නැත්නම් ඒ ජාතියට සිද්ධ වෙන්නේ බලාගෙන ඉන්නකොට කඩාගෙන වැටෙන්න. ලෝකයේ සමහර රාජ්‍යයන්වල වැඩි ප්‍රතිශතයක් රෝගීන් බවට පත්වුණාම ඔවුන්ට අපහසුයි ජීවිත ඉදිරියට පවත්වාගෙන යන්න.
ඒ නිසා තමයි තිරසර සංවර්ධනය යටතේ සෞඛ්‍ය කියන කාරණාවට විශාල ඉඩක් ලබාදෙන්න තීරණය කරලා තියෙන්නේ. රටක් විදියට ගත්තම අපිට සංවර්ධිතද කියන එක ගැන මිනුමක් විදියට ගන්නවා මේ රටේ ජනගහනයට අවශ්‍ය කරන වෛද්‍යවරු ඉන්නවද, ජනගහනයට අවශ්‍ය තරම් රෝහල් තියෙනවද, රෝහල්වල ඇඳන් තියෙනවා, උපතේදී දරුවන්ගේ බර කොච්චරද, ළදරු මරණ අනුපාතය කොච්චරද, ගර්භණී කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය වගේ දේවල් මැනලා ඒ මත යම් යම් තීරණයන්වලට එළඹෙනවා.
මේ මොහොතේ අපි කතාකරන්න යන්නේ ශ්‍රී ලාංකිකයන්ට වැසිකිළි තිබෙනවාද යන්න ගැන. 2023 අවුරුද්දේ ශ්‍රී ලාංකිකයන්ට වැසිකිළි තිබෙනවාද යන්න පිළිබඳ මාතෘකාවක් කතා කිරීම කියවන ඔබට දැනේවි හරිම ගොං කාරණාවක් බව. නමුත් යථාර්ථය එය නොවන බව මේ ලිපිය කියවීමෙන් පසු ඔබ අවබෝධ කරගනීවි. ඔබ නොදන්නා කාරණාවක් වෙන්නේ ලෝක වැසිකිළි දිනය නමින් දිනයක් නම්කර තිබෙනවා කියන එක.
ලෝක වැසිකිළි දිනය නිර්මාණය වෙන්නේ සිංගප්පූරුවේ. ඔවුන් තමයි මේ සංකල්පය හඳුන්වා දීලා ලෝක වැසිකිළි දිනයක් අවශ්‍ය බවට තීරණය කරන්නේ. එතකොට ඔබට හිතේවි සමහර විට ඇත්තටම සිංගප්පූරුවේ වැසිකිළි ප්‍රශ්නයක් තිබුණාද කියලා. මම හිතන්නේ සිංගප්පූරුවේ වැසිකිළි පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා කියලා. නමුත් සිංප්පූරු වැසියන් දැනගෙන ඉඳලා තියෙනවා ලෝකයේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා.
ලෝකෙ සමහර රාජ්‍යයන්වල නිශ්චිත වැසිකිළියක් නැති මිනිස්සු ඉන්නවා. ලංකාවේ වැසිකිළි නැති මිනිස්සු හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජීවත් වෙන බව පහුගිය කාලේ යම් යම් වාර්තා මගින් හෙළිවුණා. එතැනදී අපට සතුටු වෙන්න තියෙන කාරණාව වෙන්නේ ලංකාවේ ජනාධිපතිවරයෙක්, ජනාධිපතිවරයාගේ පවුලක්, ජනාධිපතිවරයාගේ නිවෙසක් සහිත හම්බන්තොට වැසිකිළි නැති මිනිස්සු ඉන්නවා කියන එක හෙළිදරව් වීම.
මේ වෙනකොට ගත්තොත් නම් විපක්ෂ නායකවරයා ඉන්නෙත් හම්බන්තොට. එතකොට මේ හම්බන්තොට කියලා කියන්නේ පාරවල්වල විතරක් නෙවෙයි නියරවල්වලටත් කොන්ක්‍රීට් අතුරපු ප්‍රදේශයක්. මිනිස්සු විතරක් නෙවෙයි බල්ලෝ බළල්ලු යන්නෙත් කොන්ක්‍රීට් කරපු, ගල් අල්ලපු පාරවල්වල. එහම තත්ත්වයක් යටතේ වැසිකිළි නැති රටක් ගැන හිතන්නවත් අපට බෑ.
අපට මතකයි හීනෙන් වගේ එක කාලෙක අපි හිතුවා ඉක්මනට රට ආසියාවේ ආශ්චර්යය වෙයි කියලා. දැන් ඒ ආශ්චර්යය මතුවෙලා හිතාගන්න බැරි දේවල් මේ රටේ සිද්ධ වෙන නිසා දැන් විශ්වාස කරන්න පුළුවන් අපිට මේ තමයි ආශ්චර්යයේ සුබ නිමිති පහළවෙන කාලෙ කියලා. අන්න ඒ ආශ්චර්යයේම ප්‍රතිඵලයක් විදියට තමයි ඔය වැසිකිළි ප්‍රශ්නයත් දැන් අපට දැනෙන්නේ. කොහොම නමුත් ශ්‍රී ලංකාවේ වැසිකිළි නැතැයි කියන එක සාකච්ඡා කරන්න මේ රටේ දේශපාලකයන්ට එන්න කියන්න සිද්ධ වෙනවා එක වේදිකාවකට. මොකද රට මෙච්චර සුඛිත මුදිත කළේ කොහොමද නැත්නම්, මොන හිතකින්ද කියලා ඒගොල්ලන්ගෙන් අහන්න අවශ්‍ය නිසා.
ජීවන පහන් තිළිණ










