වැරැදිලා වෙඩි තියලා, රබර් උණ්ඩ මාරු වෙලා, ඇඟේ වෙඩි පාරවල් හයක්…
ඓතිහාසිකවම සීතාට වුණේ අසාධාරණයක් කියලා මේ ලිපිය ලියන්න කලින් මට හිතුණා. ඒ, රාමා සහ සීතාගේ කතන්දරේ ඇතුළේ, රාවණලගේ රාමලාගේ යුද්ධ ඇතුළේ අසරණ වෙන්නේ සීතා. හැබැයි මේ ඒ සීතා නෙවෙයි. මේ සීතා ඇතින්න.(Sri Lanka Latest News)
සීතා ඇතින්නට වෙඩි තියනවා. ඒක වනජීවී එකට අනුව වෙඩි වැදීමක්. හැබැයි අපට අනුව වෙඩි තැබීමක්. වනජීවී සහ එහි නිලධාරීන්ට අනුව ජීව උණ්ඩ සහ රබර් උණ්ඩ කොයි එකත් එකයි වගේ. හැබැයි අපට අනුව නම් මේ රබර් උණ්ඩ නෙවෙයි ජීව උණ්ඩ. ජීව උණ්ඩවලින් මරණයක් සිදුකරන්න පුළුවන්. රබර් උණ්ඩවලින් බය කිරීමක්, පලවා හැරීමක් සිදුකරන්න පුළුවන්.
ඒවා නිකුත් කරන්නේ සහ ඒවා භාවිත කරන්නේ විවිධ විවිධ කාරණාවලට. රාජ්‍ය සේවකයෙක් නම් නිලධාරියෙක් නම් ඔහු සේවයේ ඉද්දී කිසිසේත්ම බීමතින් සිටිය යුතු නැහැ. මේ නිලධාරියා බීමතින් සිටි බව පසුව ඔප්පු වෙලා තියෙනවා. කොහොම නමුත් දැන් ඇතින්නගේ පපුවටම වෙඩි තියලා. බොහෝ තැන්වල ඇතින්න සම්බන්ධව විවිධ කතන්දර කියැවුණත් හැබෑවටම අද වෙද්දී ඇතින්නගේ තත්ත්වය ඉතාම භයානකයි.
මේ කතන්දරේ හොයද්දී අපට අහන්න දකින්න ලැබුණු තොරතුරු එමටයි. ඒවා ඉතා කනගාටුදායකයි. මේ වනවිට මහනුවර දළදා මාලිගාවේ පශුවෛද්‍ය ඒකකයේ තරිඳු විජේකෝන් මහතා ඇතුළු වෛද්‍යවරු සීතාගේ එක්ස් රේ ලබාගැනීම සඳහා කටයුතු සූදානම් කරමින් ඉන්නවා. ශරීරයේ වෙඩි පහරවල් හයකට වැඩි ප්‍රමාණයක් තිබෙන බව තමයි දැනගන්න තියෙන්නේ.
මේ වෙද්දී සීතා ඉන්නේ යම් තරමකට සුව වේවි යැයි බලාපොරොත්තු තැබිය හැකි මට්ටමක කියලා සමහර තැන්වල දැකපු කතන්දරවලින් හඳුනගන්න ලැබෙනවා. කොහොම නමුත් දැන් සීතා යම් තරමකට කෑම බීම ලබාගන්නා තැනට පත්වෙලා තියෙනවා කියලත් අහන්න ලැබුණා. හැබැයි මේ වනවජීවී නිලධාරියා පැය 15ක් යද්දී නිදහස් වුණු බව සමාජ මාධ්‍යවල සඳහන් වෙලා තිබුණා. මේක වෙන්නේ කොහොමද කියන එක අපි දන්නේ නෑ. කොහොම වුණත් සීතාට වෙඩිතැබීම කියලා කියන්නේ ඉතා බරපතළ සහ නරක තත්ත්වයක්. ඔහු මෙලෙස වෙඩිතබා තිබෙන්නේ සීතාව ඝාතනය කිරීමේ අරමුණෙන්ද කියලා සැකයි. පශුවෛද්‍ය අශෝක දංගල්ල මහතා විසින් අවශ්‍ය ප්‍රතිකාර සිදුකරනවා.
අපට නොතේරෙන කාරණාව තමයි මේ හීලෑ අලියෙක් හඳුනාගන්න බැරි තරමටම මෙච්චර බබාලද වනජීවී එකේ සේවය කරන්නේ කියන එක. මේකෙ තියෙන භයානකම දේ වෙන්නේ මේ අය මීට පෙර කී තැනකදී මේ විදියටම වනාන්තරයේ ඉන්න අලින්ට වෙඩි තියනවා ඇද්ද කියන එක. මේ වෙද්දී වන අලි කී දෙනෙක් මේ අයගේ වෙඩිපහරවල් නිසා මියගිහින් ඇද්ද කියන එක. ඒ අලි සම්බන්ධයෙන් කතා කරන්න, සටන් කරන්න, ඒ වෙනුවෙන් පෙරමුණ ගන්න කවුරුවත් එන්නේ නැති බව අපි දන්නවා. මේ වෙලාවේ සීතා ගැන විතරක් නෙවෙයි කතා කරනවා නම් අලි මරණ, අලින්ට වෙච්ච අසාධාරණකම් ඕනෙ තරම් තියෙනවා.
මේ වෙලාවේ මම අපේ රටේ ප්‍රකට නිළියක්, නිවේදිකාවක් සහ හොඳ සමාජ කියවීමක් සහිත ඒ වගේම දක්ෂ මාධ්‍යවේදිනියක් වෙච්ච උමා අසේනිගේ ෆේස්බුක් පිටුව නිකමට බැලුවා. ඒකෙ දිගින් දිගටම තියෙනවා අලින්ට වෙඩි තියපුවා, අලින්ව ඝාතනය කරපුවා, අලින්ට හිංසා කරපුවා. මේවා කොතැනින් කෙළවර වෙයිද, කොතැනින් පටන් අරන් මේ කතා ලියලා ඉවර කරන්නද කියලා ලියුම්කරු වෙච්ච මට තේරෙන්නෙ නෑ.
මේ සීතාගේ කතන්දරය ඉතා භයානක සහ නරක තත්ත්වයක්. වනජීවී නිලධාරීන් බීමතින් සතුන්ට වෙඩි තියනවා නම්, එහෙම වෙඩි තියන්න වනජීවී නිලධාරීන්ට දීලා තියෙන අයිතිය මොකක්ද? හිමිකරුවෙකු සිටින ඇතින්නකට වෙඩිතියපු නිසා ඈව බේරගන්න අපට සටන් කරන්න පුළුවන්. ඈට වෙඩි තියන්නේ මනුෂ්‍ය වාසය සහ ඇතා දිහා බලාගෙන ඉන්න මිනිස්සු සිටින තැනකදී නිසා මේ සම්බන්ධයෙන් අපට පියවර ගන්න පුළුවන්.
නමුත් කැලේදී වෙඩිවැදුණු අලි ඇත්තු ගොඩක් අපට හමුවෙනවා. ඒ අතරින් සමහර අලි ඇත්තු මියගිහින්. සමහරුන්ගෙ දළ කපාගෙන ගිහින්. සමහර අලි අතුරුදන් වෙලා. එහෙම අලි කිහිප දෙනෙක් ගැන බොහෝ තැන්වල සඳහන් වෙලා තියෙනවා. ඒ අතරින් සමහර අලි බොහොම හීලා සත්තු. අපි ඒ සතුන්ගේ නම් සඳහන් කරන්නේ නැත්තේ අලින් ඝාතනය කරන අයගේ මීළඟ ඉලක්කය ඒ අහිංසක අලියා වෙන්න පුළුවන් නිසා.
මේ විදියට බලද්දී මේ සත්තුන්ට වෙඩි වැදුණේ වනජීවි එක හරහාද කියන එකත් අපට සැකයි. ඒකට හේතුව මේ විදියට බීමතින් ගිහිල්ලා වෙඩිතියලා ඒක සාධාරණීකරණය කරනවා නම්, ඔවුන්ට පැය 15ක් යන්න කලින් නිදහස් වෙලා ගෙදර යන්න පුළුවන් නම්, ඔවුන් බය වෙන එකක් නෑ නැවත වරක් අලියෙක්ට වෙඩි තියන්න. කැලේ මීට වඩා පොඩි සත්තු ඕනෙ තරම් ඉන්නවා.
මහ සතාට මෙහෙම වෙඩි තියනවා නම්, පොඩි සත්තු කී දෙනෙක් මේ වගේ බීමත් නිලධාරීන් අතින් ඝාතනය වෙනවද කියලා අපට සැකයක් තියෙනවා. ඒ සැකය සාධාරණ බව කියවන ඔබටත් හිතෙනවා ඇති. ඒකට හේතුව මේක සෙල්ලම් කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. තුවක්කුව දීලා තියෙන්නේ සත්තු මරන්න නෙවෙයි. සත්තු මරණ මිනිස්සුන්ගෙන් සත්තුන්ව ආරක්ෂා කරන්න. තුවක්කු දීලා තියෙන්නේ සතුන්ව පලවා හරින්න. අවශ්‍යම වුණොත් පාවිච්චි කරන්න. අපි දන්නා පරිදි වනජීවී නිලධාරියෙක්ට කිසිම අයිතියක් නෑ සතෙක්ව මරලා දාන්න.
මිනිස්සුන්ගෙන් සත්තු ආරක්ෂා කිරීම තමයි වනජීවී නිලධාරීන්ගේ වගකීම වෙන්නේ. වනජීවීන්ගෙන් මිනිස්සු ආරක්ෂා කිරීම කියන එක දෙවැනි කාරණය. පළමු කාරණය වෙන්නේ සත්තු ආරක්ෂා කරන එක. එහෙම නම් සත්තු ආරක්ෂා කරන්න ඉන්න අය මේ විදියට සත්තුන්ට වෙඩිතිබ්බම ගමේ ගොඩේ කතාවක් තමයි අපට මතක් වෙන්නේ. ‘වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව’. වනජීවීන් සම්බන්ධයෙන් ඉන්න නිලධාරී මහත්වරුනි. මේ මොහොතේ කොන්ද පණ ඇතුව වැඩකරලා පියවරක් ගත්තේ නැත්නම්, මුළු ලෝකෙටම පේන්නේ ඔබේ හෙලුව. අපි ඔබට මතක් කරන්නවා, මේ වරද යළි නොවෙන විදියට වැඩ නොකළොත් මිනිස්සු ඔබ ඉදිරියේ හිටගන්නා දවස වැඩි ඈතක නෙවෙයි කියලා.
ජීවන පහන් තිළිණ










