ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් පිළිබඳ සලකා බැලීමේදී බොහෝ දෙනකුගේ සිතට නැගෙන්නේ වයස්ගත හෝ වයසින් මුහුකුරා ගිය පුද්ගලයන්ය. ‘හැට පැනපු දේශපාලනඥයන්’ ගැන හෝ ‘දේශපාලනඥයන්ගේ වයස ගැන’ මැතිවරණයක් ආසන්නව නිතැතින්ම කරළියට එන මාතෘකාවක් වුවත්, ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් ජනතා නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේදී වයස පිළිබඳ සැලකිලිමත් වනවාද යන්න විමසා බැලිය යුතු තවත් කාරණයකි.(Sri Lanka Latest News)
ආසන 225කින් සමන්විත ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සංයුතිය ගත්විට වයස අවුරුදු 81ත් 90ත් අතර මන්ත්‍රීවරු සංඛ්‍යාව 4කි. වයස අවුරුදු 71ත් 80ත් අතර මන්ත්‍රීවරු ගණන 10කි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන 74 වැනි වියේ පසුවෙති.
වයස අවුරුදු 61ත් 70ත් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාව 43කි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුවන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 51ත් 60ත් අතර වයස් කාණ්ඩයට අයත් වන අතර එම සංඛ්‍යාව 66කි.
කලින් කලට මන්ත්‍රීවරුන්ගේ වයස පිළිබඳ කාරණය සංවාදයට මතුවන අතර ඇතැම් වයස්ගත මන්ත්‍රීවරුන් සිය ශාරීරික යෝග්‍යතාව පෙන්වීම සඳහා විවිධ ක්‍රීඩාවල නිරතවන අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහරින අවස්ථාද දැකිය හැකිය.
ඒ, කෙසේ වෙතත් වයස්ගත මන්ත්‍රීවරුන් ධුරය දැරීමට සුදුසු ශාරීරික හා මානසික සෞඛ්‍ය තත්ත්වයකින් සිටීද යන්න පිළිබඳ කාරණය ශ්‍රී ලංකාව පමණක් නොව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලද මේවන විට පුළුල් සංවාදයට ලක්ව ඇති මාතෘකාවක් බවට පත්ව තිබේ. ඒ, 2024 වසරේදී ඇමෙරිකාවද ජනාධිපතිවරණයට සූදානම් වීම හේතුවෙනි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ වයස අවුරුදු 80ට වැඩි සහ 70ට වැඩි මන්ත්‍රීවරුන් රැසක් සිටිති.
2024 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා තරග වදින ප්‍රමුඛතම තරගකරුවන් දෙදෙනාම විශ්‍රාම ගත යුතු වයස පසුකර ඇති පසුබිමක වැඩිහිටි දේශපාලනඥයන් නායකත්වය දැරීමේ ඇති වාසි අවාසි පිළිබඳ විවාදයක් ඔඩුදුවමින් තිබේ.
මේ වන විට 96 හැවිරිදි වියේ පසුවන පෝලීන් නිව්මන් එක්සත් ජනපදයේ ෆෙඩරල් විනිසුරුවරියක ලෙස තම ජීවිත කාලය පුරාම කටයුතු කරයි. ඇයට අඛණ්ඩව රැකියාවේ නිරත වීමට අවශ්‍ය වුවද ඇය විශ්‍රාම ගතයුතු බවට අපේක්ෂා කරන සගයන් කිහිප දෙනෙකු සමග නඩු හබයකට මැදිව සිටින්නීය.
දේශපාලන ක්‍ෂේත්‍රයේ සිටින පුද්ගලයන්ට නායකත්වය දීමට නොහැකි තරම් වයස්ගත විය හැකිද යන්න පිළිබඳ වාද විවාද නිරන්තරයෙන් සිදුවන රටක් බවට එක්සත් ජනපදය පත්ව ඇත. 2024 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා තරග වදින ප්‍රමුඛතම තරගකරුවන් වන්නේ, සාමාන්‍ය ඇමෙරිකානුවකුගේ වයස මෙන් දෙගුණයක් වයසැති 80 හැවිරිදි වියේ පසුවන ජෝ බයිඩන් සහ ඇමෙරිකානුවන්ට ඔවුන්ගේ සම්පූර්ණ විශ්‍රාම ප්‍රතිලාභ ලැබිය හැකි වයස වන ‘විශ්‍රාම යා යුතු සාමාන්‍ය වයස’ ඉක්මවා දශකයකට වැඩි කාලයක් පසුකර ඇති 77 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප්ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ, උපතේදී ආයු අපේක්ෂාව 2000 වසරේ අවුරුදු 71.9 සිට 2019 වසර 76.9 දක්වා වසර 4.97කින් වැඩිවී ඇත.
කෙසේ වෙතත් වයෝවෘද්ධ පුද්ගලයන් විසින් පාලනය කරනු ලබන සමාජ සාමාන්‍යයෙන් ඔවුන්ගේ ජනගහනය නියෝජනය නොකරන බවට වන සාකච්ඡා හැරුණු විට, වෙනත් ගැටලු ද තිබේ.
අවධානය යොමුවන එක් ප්‍රධාන කාරණයක් වන්නේ, මානසික යෝග්‍යතාවයි. ස්නායු විද්‍යාව සහ මනෝ විද්‍යාවට අනුව, මිනිසුන් වයසින් වැඩෙත්ම සංජානන ක්‍රියාකාරිත්වය පුළුල් ලෙස වෙනස් වන අතර, එය යමෙකුට නායකත්වය දීමට තරම් වයස ඉක්මවා ඇති ද යන්න තීරණය කිරීම අපහසු කරයි. ඇතැම් කුසලතා වයස සමග හීනවී යන අතර ඇතැම් ඒවා වැඩිදියුණු වේ. අතිශය වයස්ගත ඇතැම් පුද්ගලයන්ට (super agers) ඔවුන්ට වඩා දශක ගණනාවක් වයසින් අඩු පුද්ගලයන්ගේ මානසික තීක්ෂණතාව පවා ඇත. එබැවින්, නායකත්වය දීමට ‘වයස්ගත’ යැයි සලකන වයස් මට්ටම කවරේද? – නැතහොත් මෙය වැරදි ප්‍රශ්නයක්ද?
වයසට යාම මොළයට බලපාන ආකාරය
කාලයත් සමග මොළයේ ධාරිතාව අඩුවී යයි. පුරෝලලාට බාහිකය (prefrontal cortex) යනු, නිරෝගී පුද්ගලයන් තුළ, දශකයකට දළ වශයෙන් 5%ක පමණ වයසට සම්බන්ධ ධාරිතාව අඩුවන මොළයේ කලාපයයි. එය මොළයේ අනෙකුත් කොටස් හා සම්බන්ධ වී ඇති අතර එය සැලසුම් කිරීම්, සංවිධාන කිරීම්, තීරණ ගැනීම් වැනි උසස් මානසික ක්‍රියා කළමනාකරණය කිරීමට උපකාරී වේ. එනම්, ඒවා උෂ්ණත්ව පාලකයකින් සිදුකෙරෙන කාර්යය හෝ සංගීත සංධ්වනියක් මහෙයවන්නකු හා සම්බන්ධ සංකීර්ණ මානසික ක්‍රියාවලීන්ගේ එකතුවක් වැනිය. ගැටලු විසඳීම, ඉලක්ක සැකසීම සහ ආවේග පාලනය වැනි ක්ෂේත්‍රවලට සම්බන්ධ වන නිසා නායකත්ව හැකියාවන් පිළිබඳ සාකච්ඡාවලදී එය ප්‍රධාන කොට සැලකෙයි.
පුද්ගලයෙකු සිය වයස 30 ගණන්වලට එළඹීමත් සමග ඔවුන්ගේ මොළයේ උසස් මානසික ක්‍රියාවල ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් අඩුවන අතර අප වයස 70 ගණන්වලට ඇතුළු වන විට එය වේගවත් වීම සිදුවේ. ශ්වේත ද්‍රව්‍ය ආශ්‍රිතව වැලඳෙන රෝගී තත්ත්වයක් එනම්, මොළයේ ශ්වේත ද්‍රව්‍යවලට හානි වීමෙන් හට ගන්නා රෝගී තත්ත්ව සමූහයක් හේතුවෙන් ද මොළයේ උසස් මානසික ක්‍රියාවල ක්‍රියාකාරීත්වය අඩාළ කරන අතර වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයන්ගෙන් තුනෙන් එකකට පමණ එය බලපායි. උසස් මානසික ක්‍රියා අකර්මණ්‍ය වීම තුළින් ආවේග පාලනයෙන් ගිලිහී යාම සහ සිතුවිලි හා චර්යාවන්හි නැවත නැවත නිරත වීම ආදිය සිදුවීම නිරීක්ෂණය කළ හැකිය.
වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ගෙන් සැලකිය යුතු කොටසකගේ උසස් මානසික ක්‍රියාවල යම් දුර්වලතාවක් දක්නට ලැබෙන අතර, අර්වින්හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ස්නායු දේශපාලන (Center for Neuropolitics) මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මාර්ක් ෆිෂර් පවසන්නේ, ‘මම හිතන්නේ ඒ ගැන අවබෝධයක් ගන්න පුළුවන් දර්ශකය විදියට 65 (වයස) ගන්න එක සාධාරණයි’ යනුවෙනි. මොළයේ අනෙකුත් ව්‍යුහාත්මක වෙනස්කම් ද මෙම වයසේදී ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි වන අතර එක්සත් ජනපද දත්ත භාවිත කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ, පුද්ගලයකුගේ සංජානන ක්‍රියාවලිවල වේගය වයස අවුරුදු 60දී පමණ ක්‍රමයෙන් අඩුවී යන බවය.
නිශ්චිත නොවන දර්ශකයක් වන වයස අවුරුදු 65 අදාළ වන්නේ, උපතේදී සමස්ත ආයු අපේක්ෂාව 76ක් ලෙස සලකන එක්සත් ජනපදයටය. කෙසේ වෙතත්, සැලකිය යුතු ලෙස වෙනස් ආයු අපේක්ෂාවන් සහ සෞඛ්‍ය පද්ධති ඇති රටවල එය වෙනස් විය හැකිය (සහ එක්සත් ජනපදය තුළ දිගු ආයු කාලයට බලපාන සැලකිය යුතු වාර්ගික සහ අනෙකුත් අසමානතාවන් ද ඇත). නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදයේ පිරිමි පුද්ගලයන්ගේ ආයු අපේක්ෂාව 73කි. ලොව වයස්ගතම රාජ්‍ය නායකයා යැයි කියනු ලබන 90 හැවිරිදි පෝල් බියා ජනාධිපති ධුරය දරන කැමරූන්හි පිරිමින්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 60ට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගනියි.
උපතේදී ආයු අපේක්ෂාව යන්නෙන්, පුද්ගලයකු කොපමණ කලක් ජීවත් වනු ඇතිද යන්න පිළිබඳ පූර්ණ අදහසක් ගත නොහැකි වන්නේ, මෙය ළදරු මරණ වැනි සාධක මගින් අඩු වන බැවිණි. නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදයේ 80 හැවිරිදි පුද්ගලයකුට තවත් දශකයක් ජීවත් වීමට අපේක්ෂා කළ හැකිය. මෙයින් අදහස් කරන්නේ, යථාර්ථවාදීව ගත් කල උසස් මානසික ක්‍රියාවල ක්‍රියාකාරිත්වය පරිහානිය පුද්ගලයකුට සැලකිය යුතු ලෙස බලපාන්නේ කවදාද? එය සිදුවනවාද යන්න පිළිබඳ නිශ්චිත වූ නියමයක් නොමැති බවය. ඒ, විශේෂයෙන්, උසස් මානසික ක්‍රියා මිනිසුන් තුළ විවිධ මට්ටමින් ආරම්භ වන නිසාවෙනි.
පුළුල් විචල්‍යතාව
ෆිෂර් පැහැදිලි කරන්නේ, සාමාන්‍යයෙන්, සාමාන්‍ය අගයන් දෙස බැලීමෙන් පමණක් සෞඛ්‍ය සම්පන්න දීර්ඝායු අපේක්ෂාව සහ සංජානන යෝග්‍යතාව පිළිබඳව නිවැරැදි චිත්‍රයක් ලබාගත නොහැකි බව ය. උසස් මානසික ක්‍රියාවල ඇති ‘පුළුල් පුද්ගල විචල්‍යතාව’ ලෙස ඔහු එය හඳුන්වයි. ‘කෙනකුගේ උසස් මානසික ක්‍රියාවල ක්‍රියාකාරිත්වය පිළිබඳ විධිමත් අවබෝධයක් ගන්න පරීක්ෂණ මාලාවක් සිදුකරන එක තමයි සුදුසුම. නමුත් පුද්ගල ක්‍රියාකාරීත්වය අනුව විශාල වෙනසක් සිදු වේවි.’
වෙනස්කම්වලට බලපාන සාධක වන්නේ, හෘද රෝග, අධික කොලෙස්ටරෝල් සහ අධිරුධිර පීඩනය වැනි විවිධ රෝගවලින් පෙළීමය. මේ සියල්ල මොළයේ ක්‍රියාකාරීත්වයට, විශේෂයෙන් උසස් මානසික ක්‍රියාවලට බලපෑම් කළ හැකිය. තවද වයස්ගත වීම සෑම විටම රෝගාබාධ සමග නොපැමිණෙන අතර, එය පවතින රෝගාබාධ උත්සන්න කිරීමට හේතුවක් විය හැකිය.
ෆිෂර්ට අනුව, ‘අධිරුධිර පීඩනය, බොහෝ විට වයසට යාමත් සමග ගත් විට, සමස්තයක් ලෙස මොළයේ වයසට යාමට සහ උසස් මානසික ක්‍රියාවලට වඩාත්ම වැදගත් වගේම, වඩාත්ම බලපාන සාධකය වනවා’. මේ අනුව, අධිරුධිර පීඩනය කල් තියා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම මොළයේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා මැදිහත් විය යුතු වැදගත් ක්ෂේත්‍රයකි. ධනාත්මකව, මෙය ප්‍රතිකාර සහ දැනුම නිතිපතා වැඩිදියුණු වන ක්ෂේත්‍රයක් බව ෆිෂර් පවසයි.
වයස සම්බන්ධ හානි මොළයේ සෑම කොටසකටම එකසේ බලනොපාන අතර හානිවූ මොළයේ කොටස්වලට උපකාර කළ හැකි කොටස්ද පවතියි. මොළය සාමාන්‍යයෙන් නම්‍යශීලී සහ අනුවර්තනය විය හැකි ස්වභාවයක් ගන්නා අතර අප බොහෝ දෙනකුට මොළයේ එක් කොටසක් නිසි පරිදි ක්‍රියා නොකරන අවස්ථාවක එම අඩුව හොඳින් ක්‍රියාකරන වෙනත් කොටසක උපකාරයෙන් අර්ධ වශයෙන් පියවාගත හැකිය. එසේ මොළයේ අනෙක් කොටස්වල උපකාරය ලබාගත නොහැකි පිරිස් ඇල්සයිමර් රෝගී තත්ත්වය හා සමාන තත්ත්වයකට පත්වන බව අර්වින්හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ස්නායු විද්‍යාඥයකු වන මාර්ක් මැප්ස්ටෝන් පැහැදිලි කරයි.
කෙසේ වෙතත්, ඒ සියල්ල අසුබ ආරංචි නොවේ. වයස්ගත මොළ ඇත්ත වශයෙන්ම වඩා හොඳ කාර්යසාධනයක් පෙන්නුම් කරන ඇතැම් අවස්ථා ඇත. නව දැනුම සහ තොරතුරු ග්‍රහණය කරගැනීමේ හැකියාව ක්‍රමයෙන් හීනවී යාම මුල් අවධියේදීම සිදුවන අතර පවතින දැනුම සහ තොරතුරු මෙහෙයවීම මෙන්ම ඒවා මත තීරණ ගැනීමේ හැකියාව පුද්ගලයෙකු සිය 70 වැනි වියට පා තැබීමේදී හොඳින් දියුණු විය හැකිය.
එබැවින්, 70 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් බොහෝ විට 30 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන්ට වඩා සෙමින් නව තොරතුරු ග්‍රහණය කරගත්තද ඔවුන්ට ඒවා අර්ථවත් ලෙස යොදාගැනීම වඩා හොඳින් කළ හැකි වනු ඇත. මැප්ස්ටෝන් පවසන්නේ, සාමාන්‍යයෙන් අවුරුදු 60ක් වයසැති පුද්ගලයන්ට අවුරුදු 20ක් වයසැති පුද්ගලයින්ට වඩා හොඳ වචන මාලාවක් තිබෙන බවත්, ඒ අනුව වචන වඩා හොඳින් ආදේශ කළ හැකි බවත්ය. නිදසුනක් වශයෙන්, එක් අධ්‍යයනයකින් හෙළි වූයේ, පුද්ගලයකුගේ වයස 60 ගණන්වල මැද භාගය දක්වා වචන භාවිත කිරීමේ හැකියාව ඉහළ යන බවය.
‘වයස්ගත පුද්ගලයන්ගේ මොළවල සිද්ධ වෙන දේ තමයි, ඒ අය ජීවිත කාලය තුළ අත්දැකීම්, අධ්‍යාපනය සහ ඉගෙනීම තුළින් ලබාගත් දැනුම සහ කුසලතා කියලා හඳුන් වන දේවල් වැඩිදියුණු වීම’ යැයි බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ දේශපාලන මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥයකු වන රෝස් මැක්ඩර්මොට් පැහැදිලි කරයි. ‘ඔබට මේ ආකාරයේ ස්ථාපනය කරගත්ත මනෝ රටාවන් සහ සිතීමේ ක්‍රම තියෙනවා. ඔබ ඒ වන විටත් ඉහළ දැනුම් මට්ටමක ඉන්න නිසා තරුණ වියට වඩා බොහෝ විට නිර්මාණාත්මකව නව තොරතුරු වඩාත් පහසුවෙන් පවතින දැනුම් ව්‍යුහය තුළට ඇතුළු කර ගන්න පුළුවන්.’
දේශපාලන ජීවිතයේ දක්නට ලැබෙන මනෝමූලික විශේෂතා
‘අතිශය වයස්ගත (super agers)’ ලෙස හැඳින්වෙන ඇතැම් පුද්ගලයෝ, තරුණ බොහෝ දෙනකුට ඇති සංජානන හැකියා (මතකය, ගැටලු විසඳීමේ කුසලතා ආදිය) රඳවා ගැනීමට සමත් වෙති. මොවුන් තමන්ට වඩා දශක දෙකක් හෝ තුනක් තරුණ පිරිස් සතු සංජානන සෞඛ්‍යය ඇති වයස අවුරුදු 80 ගණන්වල සහ ඊට වැඩි පුද්ගලයෝ වෙති. අතිශය වයස්ගත පුද්ගලයන්ගේ මතකයට තීරණාත්මක ලෙස බලපාන මොළයේ කොටසක් වන එන්ටොරයිනල් බාහිකය තුළ විශාල, සෞඛ්‍ය සම්පන්න නියුරෝන දැකිය හැකි වේ. ඔවුන් ඔවුන්ගේ සම වයසේ මිතුරන්ට වඩා මතක සම්බන්ධ පරීක්ෂණවලදී වඩා හොඳ ප්‍රතිඵල පෙන්වීම පුදුමයට කරුණක් නොවෙයි.
ශාරීරික ක්‍රියාකාරකම්, මානසික උත්තේජනය සහ සමාජ සම්බන්ධතා මොළයේ පටක සහ මොළයේ ක්‍රියාකාරීත්වය ආරක්ෂා කරගැනීම සඳහා වැදගත් වේ.
දේශපාලන නායකත්වය ඔස්සේ නිසැකවම අවම වශයෙන් මානසික අභියෝග සහ සමාජ සම්බන්ධතා යන කොටස් ලැබෙන අතර බලවත් පුද්ගලයන්ට මූල්‍ය සුරක්ෂිතභාවය සහ විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් සඳහා ප්‍රවේශය ඇතුළු බොහෝ වරප්‍රසාද ද හිමිවිය හැකිය. ඇතැම් විද්‍යාඥයන් සලකන්නේ, බයිඩන් වැනි නායකයන් අතිශය වයස්ගත පුද්ගලයින් (super agers) ලෙසයි.
කෙසේ වෙතත්, වයස්ගත වීමේදී සාමාන්‍යයෙන් ඇතැම් සංජානන අභියෝගවලට මුහුණ දීමට සිදුවන අතර, එය දේශපාලන නායකයින්ට අමතර ගැටලුවක් බවට පත්විය හැකිය. ‘සිතීමේ සහ ගැටලු විසඳීමේ සංජානන නම්‍යශීලීභාවය කියන්නේ, දේශපාලන නායකයන්ට අවිනිශ්චිතතා යටතේ සහ අවදානම්සහගත අවස්ථාවලදී හොඳ මට්ටමේ තීරණ අරගන්න අත්‍යාවශ්‍ය විශිෂ්ට සංජානන හැකියාවක්’ යැයි කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ සායනික ස්නායු මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක වන බාබරා සහාකියන් සඳහන් කරයි. ‘ඒ වගේම එවැනි තීරණ කඩිනමින් ගන්න ඕනේ.’ කෙසේ වෙතත්, සංජානන නම්‍යශීලීභාවය සාමාන්‍යයෙන් කාලයත් සමග හීනවී යයි.
වයසට සම්බන්ධ ඇතැම් මානසික වෙනස්කම් ඡන්දදායකයන් විශේෂයෙන් කනස්සල්ලට පත් කළ හැකිය. එක් දෙයක් නම්, මොළය වියපත් වීම දේශපාලන ආකල්පවලට බලපෑ හැකි බව පෙනී යයි. මධ්‍ය වයස 95 ලෙස ගෙන දකුණු කැලිෆෝනියාවේ විශ්‍රාමිකයන් සම්බන්ධ කරගෙන ෆිෂර් සහ සගයන් කරන ලද නව අධ්‍යයනයකින් හෙළි වූයේ, සමස්තයක් ලෙස මාස හයක කාලයක් පුරාවට දේශපාලන මතවාදය නොවෙනස්ව පැවතුණද, සංජානන දුර්වලතා ඇති පුද්ගලයන් ඔවුන්ගේ දේශපාලන දිශානතිය සහ ප්‍රතිපත්ති අතර නොගැළපීම් පෙන්නුම් කරන බවය. මෙම සොයාගැනීම පිළිබඳ ෆිෂර් අදහස් දැක්වීය.
‘මේක සංජානන දුර්වලතාවල ප්‍රතිඑලයක් විදියට තමයි පේන්න තියෙන්නේ. ඒ කියන්නේ, කෙනකුගේ දේශපාලනික හැසිරීම ප්‍රකාශිත ප්‍රතිපත්තියට අනුවම සාපේක්ෂ වශයෙන් සිද්ධ වෙන්නේ නැහැ කියන එක.’
කෙසේ වෙතත්, ස්නායු විද්‍යාව සහ දේශපාලන විද්‍යාව යන විෂයයන් ඒකාබද්ධ වූ ක්ෂේත්‍රය වන, ‘මස්තිෂ්ක දේශපාලනය’ සඳහා වෙන් වූ විවේචකයෝ සිටිති. ආබාධ පිළිබඳ හදාරන ඇතැම් විද්වතුන් තර්ක කරන්නේ, උදාහරණයක් ලෙස, දේශපාලන හැසිරීම් සඳහා ජීව විද්‍යාත්මක පැහැදිලි කිරීම් සොයාගැනීම සරල බවය.
දේශපාලන නායකයන්ගේ සංජානන හැකියා පරීක්ෂා කිරීම
වයසට යාමේදී මොළයට ඇතිවන බලපෑම් පිළිබඳ සාක්ෂි සැලකිල්ලට ගනිමින්, ෆිෂර් සහ විවිධ විෂයයන්වලට සම්බන්ධ ඔහුගේ ඇතැම් සගයෝ වයස මත පදනම් නොවන සංජානන පරීක්ෂණවලට දේශපාලනඥයන් භාජනය කරන ලෙස නිර්දේශ කරති. ‘අපි සංජානන පරීක්ෂාව සලකන්නේ, දේශපාලනඥයන් බොහෝ විට සිදුකිරීමට බලාපොරොත්තු වන තම මූල්‍ය හෙළිදරව් කිරීම්වලට සමාන දෙයක් විදියට’ ඔහු පවසයි.
සංජානන ක්‍රියාකාරිත්වය ප්‍රධාන වශයෙන් තක්සේරු කරනු ලබන්නේ, ස්නායු මනෝවිද්‍යාත්මක ඇගයීමක් මගිනි. ප්‍රමිතිගත පරීක්ෂණ සමූහයක් වන ඒවා දින කිහිපයක් පුරා විහිදෙන තරම් සෑම දත්තයක්ම හොඳින් විශේල්ෂණය කෙරෙන හා පුළුල් ඇගයීමක් විය හැකි බව මැප්ස්ටෝන් පැහැදිලි කරයි. වෘත්තීය වෛද්‍ය විශේෂඥයකු සහ අර්වින්හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සායනික පීඨයේ සාමාජිකයකු වන මනිජේ බෙරෙන්ජි විශ්වාස කරන්නේ, දේශපාලනඥයන්ගේ මෙම තක්සේරු කිරීම් සාධනීය සහ සාධාරණ විය හැකි බවය.
කෙසේ වෙතත්, මෙම සංකල්පය ඉතා මතභේදාත්මක වන අතර දේශපාලනීකරණය වී ඇත. රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නිකී හේලි වයස අවුරුදු 75 ඉක්මවූ දේශපාලනඥයන්ට මානසික නිපුණතා පරීක්ෂණවලට භාජන වන ලෙස ඉල්ලා සිටියි. නමුත් මෙය වයස මත පුද්ගලයන් වෙනස් කොට සැලකීමක් (වයස්වාදී) මෙන්ම ක්‍රියාත්මක කිරීමට අපහසු යැයි විවේචනයට ලක්ව ඇත.
මියුනිච්හි තාක්ෂණික විශ්වවිද්‍යාලයේ මනෝ චිකිත්සාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයකු වන හාන්ස් ෆොස්ටල් විශ්වාස කරන්නේ, රාජ්‍ය නායකයකුගේ සංජානන සංකීර්ණත්වය සහ අභියෝග ග්‍රහණය කර ගැනීම තක්සේරුවකට අපහසු වනු ඇති බවය. ‘දෛනික ජීවන ක්‍රියාකාරකම්, දෛනික චර්යාවන් සහ අභියෝගවලදී සංජානන ක්‍රියාකාරීත්වය තීරණාත්මකයි. ඒක කෙටි හෝ දිගු පරීක්ෂණයකදී සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය වගේ නොවෙයි’ ෆොස්ටල් පවසයි. ‘රාජ්‍ය නායකයකුට තියෙන අභියෝග හැම අතින්ම සුවිශේෂයි. ඒ යෝග්‍යතාව, බුද්ධිය, අත්දැකීම් සහ ප්‍රඥාව යන දේවල් එකතු වුණාම එන දේ මැනලා බලන්න කිසිම පරීක්ෂණයකට හැකියාවක් තියෙන එකක් නැහැ.’
මැක්ඩර්මොට්, සිය දෘෂ්ටිකෝණයට අනුව, පරීක්ෂණවල සාර්ථකත්වය ප්‍රමාණවත් වුවත්, එක්සත් ජනපදයේ මෙම අදහස දේශපාලන හේතු මත එය සිදු නොවන බව සිතයි. ඇතැම් දේශපාලනඥයන් වටා ඇති විශ්වාස අන්ත දෙකකට බෙදී ඇති ස්වභාවය අනුව, ‘ඔවුන් පරීක්ෂණයෙන් සමත් වුවහොත්, මහ ජනතාව එය විශ්වාස කරයිද?’ යැයි ඇය සිතින් විමසයි.
වැඩිහිටි දේශපාලනඥයින්ට ඉඩහසර ලබාදීම
2024 වසර ශ්‍රී ලංකාවටද මැතිවරණ වසරකි. එනම් ලබන වසරේදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර බොහෝ විට මහා මැතිවරණයක් හෝ සෙසු මැතිවරණ ද පැවැත්වීමේ හැකියාව ඇත.
ඇතැම් විචාරකයන් එක්සත් ජනපදයේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයන් පිළිබඳ විවාදය දකින්නේ, ‘විෂ සහිත වයස්වාදය’ පිළිබඳ අවධානය යොමු කිරීමට ඇති අවස්ථාවක් ලෙස මෙන්ම පොදුවේ ශ්‍රම බළකායේ සිටින වයස්ගත සේවකයන්ට සහයෝගය දැක්වීමට ඇති අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කරවන්නක් ලෙසිනි. අප කැමැති වුවත් නැතත්, බොහෝ විශේෂඥයන් විශ්වාස කරන්නේ, අනාගතයේදී සෑම කෙනෙකුටම වැඩි කාලයක් රාජකාරී කිරීමට සිදුවනු ඇති බවය.
කෙසේ වෙතත්, අනෙක් පිරිස එකඟ නොවෙති. ඇසෝසියේටඩ් ප්‍රෙස් සහ මහජන කටයුතු සඳහා වූ පර්යේෂණ සංවිධානයක් වන නෝර්ක් මධ්‍යස්ථානය කරන ලද මත විමසුමකට අනුව, බහුතර ඡන්දදායකයෝ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ වයස සැලකිය යුතු කරුණක් ලෙස දකිති. මේ අතර, සීබීඑස් සහ දත්ත විශ්ලේෂණ සමාගමක් වන YouGov විසින් මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බහුතරයක්, වයස අවුරුදු 75 ඉක්මවූ කෙනකු එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙස තනතුරු දැරීම ‘ඉතා අභියෝගාත්මක’ යැයි සිතූ බවය. එනම් එම ප්‍රතිචාරය අනුව බයිඩන් සහ ට්‍රම්ප් යන දෙදෙනාම ඊට නුසුදුස්සන් වනු ඇත.
මහජනයා කුමක් තීරණය කළද, සංජානන පරීක්ෂණ අවසානයේ මෙම ප්‍රශ්නයට අවසන් පිළිතුරක් ලබාදෙනු ඇතැයි සිතීම දුෂ්කරය.
බීබීසී සිංහල වෙබ් අඩවියෙනි.











