වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා ලෙස දශක දෙකකට ආසන්න කාලයක් විවිධ අගමැතිවරු, ජනාධිපතිවරු යටතේ දේශපාලන සටනේ නියැළී සිටි අයෙකි. ඇතැම් අවස්ථාවල ඔහුට අගමැති ධුරයට උරුමකම් කියන්නට අවස්ථාව ලැබුණද, ඒ ඉතා කෙටි කාලයකටය. රාජ්‍ය නායකයා වීමේ ඔහුගේ සිහිනය එලෙස බිඳවැටුණේ වරක් දෙවරක් නොවේ. එහෙත් ඒ සියලු අවස්ථාවලදී විපක්ෂයේ නායකත්වයත්, එජාප නායකත්වයත් අතැර නොගොස්, ආණ්ඩු පක්ෂයෙන් එල්ල වූ සියලු අභියෝගවලට, බාධාකිරීම්වලට මුහුණ දෙන්නට ඔහු පසුබට වූයේද නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා එදා එජාපයේ නායකයා ලෙසත්, විපක්ෂ නායකයා ලෙසත් කටයුතු කරද්දී වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එජාපයේ පැවරී තිබුණේ එතරම් භාරදූර වගකීමක් නොවේ. දේශපාලන කැපිලිවලට නිරන්තරයෙන් මුහුණ දෙන්නට සජිත් ප්‍රේමදාස මහතාට සිදුවූ බවට එකල එජාප ජ්‍යෙෂ්ඨයෝ පවා නිතර මැසිවිලි නැගූහ. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්‍රයා වීම නිසාම සජිත් ප්‍රේමදාස මහතාට එලෙස පක්ෂයේ ඉහළ තනතුරු නොලැබුණු බවද බොහෝ දෙනාගේ මතය විය. ඒ කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හොබවන්නට රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ පුත් සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාව උදාවී තිබෙනවා. ඒ, එදා විපක්ෂ නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස කටයුතු කරන පසුබිමකයි.
‘හුස්මක්’, ‘සක්වල’ වැනි ප්‍රජා සත්කාර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් මෑතකාලීන ශ්‍රී ලාංකේය දේශපාලනයේ ප්‍රධාන විපක්ෂයේ භූමිකාව පැහැදිලි වෙනසකට ලක්කළ සජිත් ප්‍රේමදාස නම් මේ අපූරු මිනිසා සිය ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳ සුවිශේෂ හෙළිදරව්වක් පසුගියදා සිදුකළා. ඒ, Newsfirst Sri Lanka නාලිකාවේ 10 questions වැඩසටහනට සහභාගි වෙමින්. එම සාකච්ඡාව Newsfirst Sri Lanka යූටියුබ් නාලිකාවෙන් උපුටා ගෙන ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු.
නිර්භීතකම කියන්නේ නායකත්වයේ ගුණාංගයක්. එළියේ කතාවක් තියෙනවා සජිත් ප්‍රේමදාස නිර්භීත නෑ වගේ කියලා. මොකද ඒ?
ඕනෙ කෙනකුට ඕනෙ කතාවක් කියන්න පුළුවන්. නිර්භීත නැත්නම් ගෝඨාභය රාජපක්ෂ එක්ක තරගයට ඉදිරිපත් වෙන්නේ නෑනේ. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මහ බැංකු හොරකමෙන් පස්සේ ඉතා අසීරු දේශපාලන වාතාවරණයක් තුළ අපි අභියෝගය භාරගන්නවා. හැබැයි සදාචාරසම්පන්න නොවන දේ මට කරන්න බෑ. මගේ නිර්භීතකමද, ජවසම්පන්නකමද, කාර්යශූරත්වයද කියන එක සදාචාරසම්පන්න රාමුවක් තුළ ඉඳගෙන තමයි මම ක්‍රියාත්මක කරන්නේ.
ඒ වෙනුවෙන් ඔබ අඩියක් පස්සට තියෙනවද?
මම හැම අඩියක්ම ඉස්සරහට තියන්නේ ප්‍රතිපත්තිගරුකව.
අපට මතකයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාලේ ඔබතුමාට අගමැති ධුරය භාරගන්න අවස්ථා කිහිපයකදී ආරාධනා කළා කියලා කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කාලෙත් ආරාධනා කළා කියලා කිව්වා. නමුත් ඔබ ගියේ නෑ. ඒ නිසා වෙන්න ඇති එළියේ ඔබතුමා ගැන එහෙම මතයක් තියෙන්නේ?
එහෙම හිතනවා නම් කවුරු හරි ඒක ඉතා ප්‍රතිගාමී අමනෝඥ මතයක්. මම කොහොමද ජන වරමක් ලබපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වෙලා සිටින මොහොතක අනීතිකව එවක ජනාධිපතිවරයා එතුමාව අයින් කළාට පස්සේ සහ අයින් කරන්නට පෙර මට ආරාධනා කළා 71ක් වතාවක් අගමැති වෙන්න. මම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා. එවක මගේ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමාගේ නායකත්වයෙන් තමයි අපට 2015 ජනාධිපතිවරණ වරමත්, ඒ වසරේම මහ මැතිවරණ වරමත් ලැබුණේ. එවැනි තත්ත්වයක් තුළ කොහොමද මම තනතුරුවලට තියෙන යම් කිසි ගිජුකමක් තුළ ප්‍රතිපත්ති පාවාදෙන්නේ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයත් මට නිරතුරුවම ආරාධනා කළා තනතුරු භාරගන්න එන්න කියලා. අපි රට වටේම කියාගෙන ගියේ ‘ගෝඨා ගෝ හෝම්’ කියලා. මට මතකයි නුවර ඉඳලා කොළඹට පාගමනකුත් අපි ආවා. ගෝඨාභය රාජපක්ෂගේ වැරැදි ප්‍රතිපත්තිවලට විරුද්ධව. එහෙම ඇවිල්ලා කොහොමද මම ඔහු ළඟටම ගිහින් අගමැති හැටියට දිවුරුම් දීලා වගකීම් ක්‍රියාත්මක කරන්නේ ජනවරමක් නැතුව?
අසීලාචාර, පහත්, මහත්මා නොවන, ප්‍රතිපත්තිගරුක නොවන දේශපාලනඥයන්ට ඒකෙ ප්‍රශ්නයක් නැතුව ඇති. නමුත් මට තියෙනවා එතැන බරපතළ ප්‍රශ්නයක්. මම බොහොම පැහැදිලිව එකක් කියන්නම්. ජනාධිපතිද, අගමැතිද, ඇමැතිද, කුමන හෝ තනතුරක් අපි ලබාගන්න ඕනෙ ජන වරමකින් මිස දේශපාලන කුමන්ත්‍රණයකින් නෙවෙයි.
හැබැයි ඔබට රට වෙනුවෙන් යමක් කරන්න තිබුණා කියලා හිතෙන්නේ නැද්ද?
රට වෙනුවෙන් මම අදත් යුතුමක් ඉටුකරනවා. රට වෙනුවෙන් විපක්ෂ නායකවරයා හැටියට යුතුකමක් කරනවා. හැබැයි රට වෙනුවෙන් මම යුතුකම කරන්නේ අගමැති හැටියටද, ජනාධිපති හැටියටද කියන එක තීන්දු කරන්නේ මහජනතාව. එහෙම නැතුව අගනුවර වායුසමීකරණය කරපු කාමරයක ඉහළ මහලේ ඉඳගෙන තුන් හතර දෙනෙක් එකතු වෙලා ගැටගහන කුමන්ත්‍රණයක් හරහා නෙවෙයි. එහෙම මේ රටේ තනතුරු දරන්න මම සූදානම් නෑ.
අපි දැක්කා අසීරු මොහොතක ගෝඨාභය මහත්මයා අගමැති ධුරය ඔබට භාරගන්න කියද්දී ඔබ භාරගත්තේ නෑ. වික්‍රමසිංහ මහත්තයා අගමැති ධුරය භාරගෙන, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තනතුරෙන් ගියාට පස්සේ ජනාධිපති ධුරය භාරගෙන, අයි.එම්.එෆ්. එකත් එක්ක සාකච්ඡා කරලා ආර්ථිකය හදන්න සාධනීය පියවරක් තියලා රට ඉස්සරහට ගෙනියනවා. ඔබටත් මේ ගමන යන්න තිබුණනේ?
එතකොට ඔබ මට කියන්නේ රාජපක්ෂ පරපුරටත්, රාජපක්ෂ පවුල් සංස්ථාවටත් වහල් වෙලා ඒගොල්ලෝ කියන ආකාරයට හිස නමාගෙන වැඩ කටයුතු කරන්න කියලද? මට එහෙම කරන්න බෑ. එහෙම කරන්න වරමක් නෑ. අපට වරමක් ලබාදුන්නේ ජනාධිපතිවරණයෙත්, මහමැතිවරණයෙත් විපක්ෂ පාර්ශ්වය වෙනුවෙන් කටයුතු කරන්න. පැහැදිලිවම මහමැතිවරණයකින් වරමක් ලැබෙන කොට, ජනාධිපතිවරණයකින් වරමක් ලැබෙන කොට ඔබ හිතනවද මම ජනාධිපති වෙන්න බෑ, අගමැති වෙන්න බෑ කියලා ආපස්සට යනවා කියලා? කිසිසේත්ම නෑ. ඉගෙන ගන්න ප්‍රතිපත්තිගරුකව වැඩක් කරන්න. ප්‍රතිපත්තිගරුක ක්‍රමවේදය මේ රටේ වඩාත්ම වැදගත් වෙන කාලය මේ නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙම නැතුව ලාභ ප්‍රයෝජන සඳහා තනතුරුවලට තිබෙන ආශාව තුළ මම සූදානම් නෑ මගේ ආත්මය පාවා දෙන්න. අපි 2020 පෙබරවාරි මාසේ අලුත් පක්ෂයක් හැටියට ලියාපදිංචි වෙලා මාස හය හතක් තුළ මහමැතිවරණයකට මුහුණ දීලා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට අලුත් පක්ෂයක් හැටියට ඡන්ද ලක්ෂ 27කට වැඩි ප්‍රමාණයක්, මන්ත්‍රීවරු 54කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඔබ කියන්නේ මට ඒ ජන වරම පාවාදෙන්න කියලද? අපට වෙනම කතාකරන්න පුළුවන් අභියෝග භාරගැනීම ගැන. නමුත් පැහැදිලිවම මම එකක් කියන්න කැමැතියි. මේ රටේ ප්‍රතිපත්තිගරුක දේශපාලනය අත්‍යාවශ්‍යම යුගයකයි අපි මේ සිටින්නේ. ඒ ගමන යන්න මම සූදානම්.
ඔබ විශ්වාස කරනවද ජනතාව ඔබට අවස්ථාව දෙයි කියලා?
මගේ විශ්වාසයක් තියෙනවා. ජනතාවගේ වරම තුළ අපිව පිළිගන්න පුළුවන්. අපිව ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. ජනතාව පිළිගන්නකොටත් අපි සූදානම් ජනවරමට ගරු කරන්න. ජනතාව ප්‍රතික්ෂේප කළොත් ඒකටත් සූදානම්.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම තිබුණා නම් මොකක්ද වෙන්නේ?
අපේ තක්සේරුව මේ රටේ පළාත් පාලන ආයතන අතිබහුතරයක් අපි ජයග්‍රහණය කරනවා.
බයක් තිබුණේ නැද්ද?
මොනවටද බය වෙන්නේ? බයක් තිබුණා නම් අපි මෙච්චර මැතිවරණ දිනාගන්න නීති ක්ෂේත්‍රයෙන්, මහ පාරට බැහැලා, පාර්ලිමේන්තුව තුළ මේ තරම් මෙහෙයුමක් අපි කරන්නේ නෑ. අපේ මහලේකම්තුමා අධිකරණයට ගිහිල්ලානේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් ගත්තේ ඡන්දයට වෙන් කරපු සල්ලි ටික ඒ විදියටම පාවිච්චි කරන්න කියලා. අපි තමයි මේ ඡන්දය ලබාගැනීමේ සටනේ ශූරයෝ සහ වීරයෝ.
දේශපාලන වේදිකාව තුළ කරන කතාවල අපි දැක්කේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ විවේචනය කරනවට වඩා ඔබේ කණ්ඩායම වෙනත් දේශපාලන පක්ෂයක් විවේචනය කරනවා. ඒකයි අපට හිතුණේ බයවෙලා වගේ කියලා?
පැහැදිලිවම වැදගත් වෙනවා දේශපාලන ක්ෂේත්‍රය තුළ අපි දරන මතය සහ ප්‍රතිපක්ෂ පාර්ශ්ව දරන මතයන් අතර තියෙන වෙනස, අපේ වැඩපිළිවෙළ, අපේ සැලැස්ම වගේම ප්‍රතිපක්ෂ කණ්ඩායම්වල අඩුපාඩු, දුර්වලතාවන් ගැන සාකච්ඡා කිරීම. ඒක ප්‍රබුද්ධ සාකච්ඡාවක්. ඒකෙ කිසි ගැටලුවක් මම දකින්නේ නෑ.
එක පක්ෂයක් විතරයි දැක්කේ?
ඒක මම හිතන්නේ කවුරු හරි වැරැදියට අහගෙන ඉන්න ඇති. අපි පක්ෂ ගණනාවකම අඩුපාඩු ගැන සාකච්ඡා කළා.
විපක්ෂ නායක භූමිකාව ඔබෙන් ඉටුවෙනවා කියලා ඔබ හිතනවද?
මට හැකි ප්‍රමාණයෙන්, මගේ කණ්ඩායමත් එක්ක කරන්න පුළුවන් උපරිමය, යම් යම් සීමාවන් තුළ, යම් යම් අවස්ථාවල සාම්ප්‍රදායික රාමුවෙන් පිට පැනලා අපි අපේ යුතුකම සහ වගකීම ඉටු කරනවා.
මොනවද ඒ සීමාවන් කියලා ඔබ අදහස් කළේ?
සම්පත් විදියට ගත්තොත් අපේ පක්ෂයට අසීමිත සම්පත් නැහැ. අපි වැරැදි ආකාරයට මූල්‍ය ශක්තිය වර්ධනය කරගන්නේ නෑ. අද කැම්පේන් එකක් කරනකොට කොච්චර වියදමක් යනවද කියලා ඔබතුමා දන්නවා. මාධ්‍ය ක්ෂේත්‍රයට, සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයට කොච්චර වියදම් යනවද? ඒවා තමයි අපට තියෙන සීමා.
අපට පේන්නේ නෑ විපක්ෂයක් විදියට සමහර දේවලට ප්‍රබල හඬක් නගනවා. වෘත්තීය සමිති බදු පනත සම්බන්ධයෙන් හඬ නගනවා. හැබැයි අපි දැක්කේ නෑ විපක්ෂයේ ප්‍රබල හඬක්. ප්‍රති ත්‍රස්ත පනතක් ගේනවා. නමුත් විපක්ෂයේ ප්‍රබල හඬක් නෑ. මේ ආදී විවිධ කාරණාවලදී අපට පේනවා විපක්ෂය සහ විපක්ෂ නායකවරයා අඩිය ආපස්සට අරගෙන කියලා?
යම් යම් පුද්ගලයන්ගේ දේශපාලන රුචිකත්වය තුළ අපි කරන දේ සහ නොකරන දේ පේන්න පුළුවන්. මේ හැම අංශයක් තුළදීම මේ රටේ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටත්, මහ පාරෙත්, අධිකරණයෙත් ඔය හැම අංශයක් තුළම අපට කළ හැකි උපරිමය අපි කරනවා. යම් යම් පුද්ගලයන් ඒවා අර්ථකථනය කරනකොට තම තමන්ගේ දේශපාලන මතිමතාන්තර මත ඒවා නොපෙනෙන්නට පුළුවන්. නමුත් අපි විශ්වාස කරනවා ඒ කර්තව්‍යය අපි පුළුවන් උපරිම ආකාරයට ඉෂ්ට කරනවා කියලා.
නමුත් අපට එහෙම දෙයක් පේන්නේ නෑ. බදු පනත සම්බන්ධයෙන් තාම වෘත්තීය සමිතිවල විරෝධයක් තියෙනවා?
අපට වැඩ කරන්න වෙලා තියෙන්නේ අපට ලබාදුන් ජන වරම තුළ. ඒ ජන වරම තුළ අපට ලබාදුන්නා යම් පාර්ලිමේන්තු නියෝජනයක්. අපි ඒ ශක්තිය වර්ධනය කරමින් අපට පුළුවන් හැම ආකාරයකින්ම අපි ඒ දේ කරනවා. නමුත් ඔබ දැනගන්න ඕනේ අපි අද මුහුණ දෙන්නේ ඉතා මුරණ්ඩු, දරදඬු, මර්දනකාරී, රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන රජයක. ඒ නිසා අපි මහජනතාවගේ පැත්තෙන් වැඩකටයුතු ක්‍රියාත්මක කිරීමේදී අපි උපරිම ආකාරයෙන් අපේ යුකුකම් ඉෂ්ට කරනවා. අපි කිසිම දෙයක් නොකර ඉන්නේ නෑ.
ඔබේ වගකීමක්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න එක?
අනිවාර්යයෙන්ම. අනිත් අය ඔක්කොම බලාගෙන ඉන්නකොට අපේ පක්ෂයනේ අධිකරණය හරහා මැතිවරණය දිනාගත්තේ. මැතිවරණය දිනාගැනීමේ ප්‍රධාන පෙරගමන්කරුවා අපිනේ.
නමුත් ඔබ කියන විදියට මර්දනයක් තියෙනවා නම්, ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙලා තියෙනවා නම් ඒ සඳහා ලොකු හඬක් විපක්ෂයෙන් අපට පේන්නේ නෑ?
හඬකට වැඩිය වැදගත්ම දේ තමයි මැතිවරණය දිනාගන්න එක. මිනිස්සුන්ගේ හඬට ලොකුම තැන ලැබෙන්නේ මැතිවරණයකදී.
හැබැයි ලැබුණේ නෑනේ?
ලැබුණේ නැති එකට අපට දොස් කියලා හරියන්නේ නෑනේ, අනීතිකව මේ වගේ වරමක් නැති ආණ්ඩුවක් කටයුතු කරනකොට. ඉදිරියට වෙලාව එනවා. මේ රටේ මහජනතාව මහ පාරට බැහැලා 69 ලක්ෂයක වරමක් තිබුණු කණ්ඩායමක් වෙනස් කරපු ආකාරයට වරමක් නොමැති කණ්ඩායමටත් අනිවාර්යයෙන්ම ජන බලයෙන් ගෙදර යන කාලය නිර්මාණය වෙනවා.
ඔබ කිව්වා රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවේගන යනවා, මර්දනය ඇතිවේගන එනවා කියලා. ඒ සඳහා ඔබ ගන්නා ක්‍රියාමාර්ග මොනවද?
අපේ පළමු කාර්යය තමයි මේ මැතිවරණය දිනාගැනීම. මේ ආණ්ඩුවේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරලා තියෙනවා. ඒ තුළ ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කරලා තියෙනවා. අපි ඒක දිනාගැනීම උදෙසා අධිකරණය හරහා, පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත යම් යම් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරලා තියෙනවා. මම පිළිගන්නවා අපි තියපු හැම අඩියකම යම් ජයග්‍රහණයක් ලබනකොට, මැතිවරණ කොමිසම දින තීන්දු කරනකොට, අධිකරණය යහපත් තීන්දු ලබාදෙනකොට රජය මොනයම් හෝ ක්‍රමයකින් ඒක වළක්වලා තිබෙනවා. සමහරු කියන්න පුළුවන් අඩි දෙකක් ඉස්සරහට තියලා අඩි ගානක් පස්සට යනවා කියලා. මම ඒක පිළිගන්නවා. නමුත් අපි පසුබසින්නේ නෑ. අපි ධෛර්යවන්තයි. අපි අපේ ගමන නතර කරන්නේ නෑ. ඉහළ පොලී අනුපාතයක් තුළ කර්මාන්ත ක්ෂේත්‍රය කඩාවැටිලා. අලුත් ව්‍යාපාර ආරම්භ වෙන්නේ නෑ. දරුවන්ට සපත්තු කුට්ටම, පොත් බෑග්, පාසල් උපකරණ නෑ. දරුවෝ පන්ති කාමරවල කලන්තෙ හැදිලා වැටෙනවා. මවුවරුන්ට පෝෂණ මල්ල ලැබෙන්නේ නෑ. මේ හැම අංශයක් තුළම අපි ලොකු අරගලයක් කරනවා. ඒ අරගලය අපි ජන වරමකින් අනිවාර්යයෙන්ම ජයග්‍රහණ කරනවා.
සජිත් ෆේල්ද?
ඒක තීරණය කරන්න ඕනේ ජනතාවනේ.
එහෙම කතාවක් අපට ඇහුණා පසුගිය දවසක?
එහෙම කතාවක් මම පිළි නොගන්න නිසානේ මැතිවරණයක් තියන්න කියන්නේ. මැතිවරණයනේ පාස් ද ෆේල් ද කියන ප්‍රශ්නයට හොඳම උත්තරය. මැතිවරණවලට බය කට්ටිය තමයි ෆේල් වෙනවට බය. විශිෂ්ට ලෙස පාස් වීම ගැන මට සුපිරි විශ්වාසයක් තියෙනවා. ඒකයි අපි ඡන්දයක් ඉල්ලන්නේ.
ඡන්දයක් තිබ්බොත් පාස් වෙනවද?
තරයේ විශ්වාස කරනවා.
ඔබේ රට හදන කණ්ඩායම කවුද?
රට හදන කණ්ඩායම අපේ පාර්ලිමේන්තු කණ්ඩායම, අපේ බුද්ධි මණ්ඩපය, අපේ වෘත්තීයවේදීන්ගේ කණ්ඩායම, ඒ වගේම අපේ පක්ෂය තුළ විශිෂ්ටයන් කොට්ඨාසයක් සිටිනවා විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයන්. අපි විෂයානුබද්ධව ඒ කණ්ඩායම ස්ථාපනය කරලා තියෙනවා. අපි හැම ක්ෂේත්‍රයකටම ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරලා තියෙනවා. ඒ ප්‍රතිපත්තියේ එක් අංගයක් තමයි ඔබට දකින්න ලැබෙන්නේ අපේ ඉකොනොමික් බ්ලූ ප්‍රින්ට් එක හරහා. මේ රටේ ප්‍රශ්න සියල්ලක්ම ආර්ථික ප්‍රශ්නම පමණක් නෙවෙයි. ආර්ථික, සමාජයීය, මානව, දේශපාලන මේ අංශ ගණනාවක්ම ආවරණය වීම සඳහා අපි සතුව හොඳ ටීම් එකක් ඉන්නවා. අපි සතුව තමයි මේ රට ගොඩගන්න පුළුවන් නිපුණතාව, හැකියාව තිබෙන හොඳම කණ්ඩායම ඉන්නේ.
ඒ කණ්ඩායම ඔබට විශ්වාසද?
අබ මල් රේණුවක තරම්වත් අවිශ්වාසයක් නෑ.
මොකද ඒ කණ්ඩායමට විවිධ ආරාධනා ලැබෙන බව අපට එහෙන් මෙහෙන් ආරංචි වෙනවා?
මට මාව විශ්වාසයි. මට මගේ කණ්ඩායම විශ්වාසයි. ඉතින් මටත් ආරාධනා ලැබුණනේ. මටත් කිව්වනේ 71ක් වතාවක් අගමැති වෙන්න කියලා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා. මටත් දිවා රෑ නැතුව ගෝඨාභය ජනාධිපතිතුමත් පණිවුඩ එව්වනේ අගමැතිකම ගන්න කියලා.
දැන් ඒ ආරාධනාව නැද්ද?
නැහැ. හැමෝම දන්නවනේ මගේ ප්‍රතිපත්තිය. මගේ ප්‍රතිපත්තියත් දන්නවා, පක්ෂයේ ප්‍රතිපත්තයත් දන්නවා. අපේ පක්ෂය තුළ වරදාන, වරප්‍රසාද, තනතුරු සහ මුදලට විකිණෙන සිල්ලර දේශපාලනයක් කරන පුද්ගලයන් නැහැ කියලා මම තරයේ විශ්වාස කරනවා.
ඒ කණ්ඩායම ඔබත් එක්ක ඉඳීවිද?
මම විශ්වාස කරනවා. මා පිළිබඳවත්, මගේ කණ්ඩායම පිළිබඳවත් මට සුපිරි විශ්වාසයක් තියෙනවා. මම ආපහු හැරි හැරී පස්ස බල බලා බියගුලු ගමනක් යන පුද්ගලයෙක් නෙවෙයි. කී දෙනෙක් ආවද ආණ්ඩු පාර්ශ්වයේ ඉඳලා විපක්ෂයට? තව එන්න ඉන්නවා. කතාව යන්නේ එක පැත්තකින් තව පැත්තකට කියලා. ඇත්තටම ඉස්සරහට බලාගෙන ඉන්න පුළුවන්. එතකොට තේරෙයි කොයි පැත්තෙන් කොයි පැත්තටද කියලා. හැබැයි එන එන හැම එක්කෙනාම එකතු කරගන්න අපේ සූදානමක් නෑ. ඒ අයගේ දක්ෂතාව, හැකියාව තුළ තමයි අපි එකතු කරගන්නේ.
මම නැවත අහනවා ඔබේ කණ්ඩායමේ කවුරුත් ආණ්ඩුවට සහාය දෙන්න යන්නේ නැද්ද?
නැහැ.
මොකද එහෙම කතාවක් තියෙනවා?
කතා කොච්චර තියෙනවාද. කතාවක් තිබ්බනේ සජිත් ප්‍රේමදාස අගමැතිකම භාරගන්නවා කියලත්. මට මතකයි දින 52 කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙනකොට මම රනිල් වික්‍රමසිංහ නායකතුමාට කතා කරලා, මම ගියා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණගැහිලා කියන්න කරුණාකරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැතිකම භාරදෙන්න කියලා. ඉතින් මම ගිහින් ඒක කියනකොට මට ලැබෙන්නේ නෑ, ඔයා අගමැති වෙන්න කියන ආරාධනාව. බොහෝ දෙනා දන්නවා මගේ ප්‍රතිපත්තිය. අපි සක්විති රජකම දෙනවා කිව්වත් මේ රටේ මිනිස්සු පාවා දෙන්නේ නෑ. නිවැරැදි ප්‍රබුද්ධ දේශපාලන ගමනක් යන්න අපි සූදානම්.
මම කිව්වේ ඔබ ගැන නෙවෙයි, ඔබේ කණ්ඩායම ගැන?
ඔව්, මගේ කණ්ඩායමත් එහෙම තමයි. මගේ කණ්ඩායමයි, මමයි කිසි වෙනසක් නෑ. අපි ඔක්කොම එකයි. මමත් ටීම් එකේ පුද්ගලයෙක්නේ. අපි ඔක්කොම එකට ඉන්නේ. අපේ පක්ෂය තුළ තියෙනවා උපරිම ප්‍රජාතන්ත්‍රවාදය. සමහරු කියයි අපි රටක් හැටියට පරිණත මදි කියලා. අපේ පක්ෂය තුළ හර බැර දෙකම සාකච්ඡා කරලා, හොඳ නොහොඳකම් සාකච්ඡා කරනවා. විවිධ අයට විවිධ මත තියෙනවා. නමුත් අවසානයේ අපි ආණ්ඩුවකට යන්නේ ජන වරමක් තුළින් පමණමයි.
යන කෙනකුට දැන් යන්න පුළුවන්ද?
මම කාවවත් නතර කරගෙන නෑ.
හැබැයි ඔබට විශ්වාසයි කවුරුවත් යන්නේ නෑ කියලා නේද?
ඇයි පුන පුනාම අහන්නේ? මතක තියාගන්න. මම අනිත් නායකයෝ වගේ නෙවෙයි, මට අවශ්‍ය නෑ මගේ මන්ත්‍රීවරු සිංගප්පූරුවට යවන්න බාගනී කියලා බයට. මතකද කාලයක් තිබුණා නේද වර්තමාන ජනාධිපතිතුමා ඒ කාලේ විපක්ෂ නායක. මන්ත්‍රීවරු 15ක් හෝ 20ක් සිංගප්පූරු යැව්වනේ පොදු පෙරමුණට යයි කියලා බයට. ඔබ හිතනවද මම එහෙම දේවල් කරනවා කියලා? එහෙම කරන දේශපාලන නායකයෙක් නෙවෙයි මම. මට සුපිරි විශ්වාසයක් තියෙනවා මගේ කණ්ඩායම මාත් එක්ක අපිත් එක්ක පුද්ගලික හේතු මත නෙවෙයි, ප්‍රතිපත්තියට ගරු කරලා එකට ඉන්නවා කියලා.
ඇයි ජනාධිපතිතුමාට සහාය නොදෙන්නේ? ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේම ආරාධනා ගණනාවක්ම කළා. ඇයි ඔහුට ඔබේ පක්ෂයේ සහාය නොදෙන්නේ?
කොහොමද සහාය දෙන්නේ නෑ කියලා කියන්නේ? අපි සහාය ලබා නොදුන්නා නම් 21 වැනි සංශෝධනය බිහි වෙනවද? වෙනසකට තියෙන්නේ අපි සහාය දෙන්නේ නිවැරැදි දේට. රටේ පැත්තෙන් හරි දෙයක් වෙනවා නම් අපි ඒකට සහාය ලබා දෙනවා. එතුමා අපට ආරාධනා කරපු හැම වෙලාවකදීම අපි කිව්වේ මැති ඇමැතිකම්, රාජ්‍ය නියෝජ්‍ය ඇමැතිකම් රටට බරක්. ඒ නිසා අපි ඉන්න තැනම ඉඳගෙන රට දැය වෙනුවෙන්, ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය, කර්මාන්ත, කෘෂිකර්මාන්තය, වාරි ක්ෂේත්‍රය වගේ හැම ක්ෂේත්‍රයක්ම දියුණු කරන්න අපි උදව් කරන්නම් කියලා. අපි කිව්වා කෝප්-කෝපා කමිටුවල සභාපතිකම් අපට දෙන්න, අපි උදව් කරන්නම් කියලා. කෝ ඒක ක්‍රියාත්මක වුණේ නෑනේ. ඉන්න කට්ටියවත් අයින් කළානේ. හර්ෂ ද සිල්වාවත් අයින් කළානේ. කබීර් හෂීන්වත් අයින් කළානේ. තමන්ගේ ගෝල බාලයන්නේ දාන්නේ පාර්ලිමේන්තු කමිටුවලටත්. එක එක දේවල් කියන්න පුළුවන්. නමුත් කියන දේ ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම දෙයක් අපට පේන්නේ නෑ. අපට පේන්නේ එක එක මාධ්‍ය ගේම් ගගහා යන එක. බොරු ප්‍රවෘත්ති දානවා. බොරු ප්‍රවෘත්ති ප්ලාන්ට් කරනවා. සමාජ මාධ්‍යවල එක එක දේවල් ප්ලාන්ට් කරනවා. ගොබෙල්ස් න්‍යාය අනුගමනය කරමින් හිට්ලර්ගේ මාධ්‍ය ක්‍රියාකාරිකයා වගේ බොරුව වපුරමින් මිනිස්සු නොමඟ යවමින් රට මංමුළා කරන රාජ්‍ය පාලනයක් අද තියෙන්නේ. අපි සූදානම් රජයට උදව් කරන්න නෙවෙයි, රටට ජනතාව උදව් කරන්න. ඒ උදෙසා හොඳ ප්‍රතිපත්තිවලදී අපි උදව් කරනවා. ප්‍රති ත්‍රස්ත පනත, අසාධාරණ බදු සූත්‍රය, අසාධාරණ පොලී අනුපාත කළමනාකරණය, අසාධාරණ ලෙස විදුලි බිල නැංවීම වැනි වැරැදි කාරණාවලට අපි තරයේ විරුද්ධ වෙනවා. අපි හැම වෙලාවෙම ඉන්නේ ජනතාවගේ පැත්තේ. රටේ පැත්තේ. එහෙම දේශපාලනඥයන්ගේ පැත්තේ නෙවෙයි.
රට හොඳ දිශානතියකට යනවද?
එහෙම දෙයක් මට පේන්නේ නෑ. ආර්ථික පැත්ත ගත්තොත්, දේශපාලන පැත්ත ගත්තොත්, සමාජයීය පැත්ත ගත්තොත් කොහොමද රට හොඳ දිශාවක් කරා ගමන් කරනවා කියන්නේ? මේ රටේ මිනිස්සු ඉතා භයානක තත්ත්වයකට මුහුණ දීලා ඉන්නේ. වේල් තුන කාපු අය දෙකයි කන්නේ. වේල් දෙකක් කාපු අය එක වේලයි කන්නේ. මේ රටේ නිහඬ බහුතරයේ හඬට තැනක් නෑ. රැකී රක්ෂා නැති වෙනවා. බුද්ධිගලනය ඉතා ශීඝ්‍ර ලෙස ක්‍රියාත්මක වෙනවා. ඔබ දන්නවද අනුරාධපුර රෝහලේ එක සෙක්ෂන් එකක් වහලා තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු ගණනාවක් පිටරට යෑම නිසා. ඖෂධ හිඟයක් තියෙනවා. සැත්කම් කෙරෙන්නේ නෑ. ගර්භණී මවුවරුන්ගේ පෝෂණ තත්ත්වය පහළ වැටිලා. පාසල් දරුවන්ට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ නෑ. අධ්‍යාපන ක්‍රමවේදය රටට ඔබින්නේ නෑ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවිය යුතු දැවැන්ත ප්‍රතිසංස්කරණ සිදුවෙන්නේ නෑ. කොටින්ම කියනවා නම් එක්ස්ප්‍රස් පර්ල් විනාශයේ අපේ රටට ලැබිය යුතු වන්දි ටික ලබාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද මේ රට හරි දිශාවට යොමු කරන්නේ? හැම අතකින්ම අපි දේශපාලන, ආර්ථික, සමාජයීය අගාධයකට වැටිලා ඉවරයි. පතුලටම වැටෙනවා කියන එක පේනවා හැර මේ අන්ධකාරය තුළ එළියක් නම් පේන්නේ නෑ.
ඔබ කියන විදියට ජනාධිපතිවරණයක් තියලා, ජනතාව ඔබට ඡන්දය දීලා, ඔබව ජනාධිපති පුටුවේ වාඩි කළොත් ඔබ මේක කණපිට පෙරළනවද?
අභියෝගාත්මකයි. ලේසි පහසු නෑ. නමුත් අපට පුළුවන් මේ යන ගමනට වඩා ශක්තිමත්, වඩා කාර්යක්ෂම, මිනිස්සුන්ගේ කර පිට මීට වඩා අඩු බරක් පටවලා, හැමෝම කැපකිරීම් කරලා හොඳ ගමනක් යන්න. මේ යන ගමන තුළ වාසිය පාලකයන්ට විතරයි.
අද කතා වෙන්නේ තව ඇමැතිකම් කීයක් දෙනවද, ගෙවල් පිච්චුණු මන්ත්‍රීවරුන්ගේ වන්දිය ගෙවනවද, පාර්ලිමේන්තුවේ කාලය සම්පූර්ණයෙන්ම අවසන් වෙලා මැතිවරණයකට යනවද, මේවද ප්‍රශ්න? මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න අසීමිතයි. අද තියෙන්නේ ජන පීඩක පාලනයක්. මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ.
මම අහන්නේ ඔබ මේ ක්‍රමය කණපිට පෙරළනවද කියලා? ඕනෙම පුද්ගලයකුට තියෙනවා මම මෙතැනට ආවොත් මේ විදියට තමයි මම හැසිරෙන්නේ කියලා. ඒ වගේ ඔබටත් ඇති අදහසක්?
බොරු සුන්දර චිත්‍රයක් මම නිර්මාණය කරන්නේ නෑ. මේ යන ක්‍රමයට වඩා සැනසිලිදායක, වඩා සෞභාග්‍යසම්පන්න ගමනක් යන්න අපට හැකියාව ලැබෙනවා. මේ රජය ලොකුවට පම්පෝරි ගහනවා අයි.එම්.එෆ්. එකත් එක්ක මහ ලොකු ගිවිසුමක් අස්සන් කරගත්තා කියලා. නමුත් ඒක ජනතාවගේ පැත්තෙන් හිතලා අස්සන් කරලා නෑ. ජනතාව තවදුරටත් පීඩාවට, අසහනයට පත්කරන ගමනක් මේ ක්‍රියාත්මක වෙන්නේ. දිවංගත මගේ පියාණනුත් අයි.එම්.එෆ්. කොන්දේසිවලට එකඟ වුණා. හැබැයි 43 ලක්ෂයක් පාසල් දූදරුවන්ගේ නිල ඇඳුම් කප්පාදු කළේ නෑ. ඔවුන්ගේ දිවා ආහාරය නතර කළේ නෑ. ‘ගම්උදාව’ නතර කළේ නෑ. ලෝක බැංකුවෙන් ‘ජනසවිය’ වැඩසටහනට ආධාර ලබාගත්තා. ඒවා ණය නෙවෙයි ආධාර. ඒ නිසා අයි.එම්.එෆ්. එකට යන එකේ ප්‍රතිපත්තිමය ගැටලුවක් නෑ. නමුත් අයි.එම්.එෆ්. එකත් එක්ක ගනුදෙනු කරන ආකාරය පිළිබඳ, මිනිස්සුන්ගේ පැත්තෙන් නොසිතා අයි.එම්.එෆ්. ගිවිසුම නිර්මාණය කිරීමේ සම්පූර්ණ වගකීම මේ ආණ්ඩුව සතුයි.
මේක කියන්න ලේසියි. නමුත් කරන්න ගියාම තමයි අමාරු. ඔබ මේ වෙලාවේ බලයේ හිටියා නම් ඔබ මීට වඩා හොඳට කරනවද?
මම විපක්ෂයේ ඉඳලා කරලා පෙන්නලා තියෙන දේවල් මදිද? දැන් 75 වසරක් ගැන කතා කරනවනේ. කවදද විපක්ෂයක් රටට වැඩක් කළේ? අපි ‘සක්වල’ වැඩසටහන තුළින් අධ්‍යාපන ක්ෂේත්‍රයට වැඩ කරලා නැද්ද? ‘හුස්ම’ වැඩසටහන තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉදිරියට අරගෙන නැද්ද? ස්මාර්ට් බෝඩ්, පරිගණක, ප්‍රින්ටර් පාසල්වලට ලබාදීම හරහා අපි ඩිජිටල් විප්ලවය මහපොළොවේ යථාර්ථයක් කරනවා. අද ඩිජිටල් විප්ලවය කියලා තියෙන්නේ සම්මන්ත්‍රණනේ. මේ රටේ පාසල් 10,150කින් විද්‍යා විෂය ධාරාව ක්‍රියාත්මක වෙන්නේ පාසල් 1000ක පමණයි. අපි පාසල් ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් ශක්තිමත් කරනවා. රජයේ පාසල්වලට බස් රථ 70ක් ලබාදීලා තියෙනවා රුපියල් ලක්ෂ 3,442ක් වටිනා. රජයේ රෝහල් 56කට අපි ලබාදීලා තියෙනවා ලක්ෂ 1,917ක් වටිනා උපකරණ, බේත්හේත්.
චානක ලියනගේ