සාමාන්‍යයෙන් ඇසළ මාසයේ සිට වප් මාසය දක්වා යෙදෙන වස් කාලය සමස්ත රටම ආගම භක්තියෙන් උදම්වී ගිය කාලපරිච්ඡේදයකි. පෙර රජ දවස අරියවංස දේශනාව පැවැත්වූයේද මෙම වකවානුවේදීය. මෙම කාලය තුළ භික්ෂුන් වහන්සේලාට සිවුපසයෙන් සංග්‍රහ කිරීමට විශේෂ විධිවිධාන යොදන ලද්දේය. වස් හාර මාසයම කුළුගැන්වුණේ කඨින පූජෝත්සවයන් උත්කර්ෂවත් අයුරින් සිදුකිරීම උදෙසාය. මේ තුන් මස අවසානයේදී වස් සමාදන්ව වැඩසිටි සෑම භික්ෂුන් වහන්සේ නමකටම කඨින චීවර නම් විශේෂ සිවුරක් පූජා කරන ලද්දේය. කඨින චීවරය පූජා කිරීම වූකලී විශේෂ පල ලැබෙන මහානීය පුණ්‍යකර්මයක් ලෙස පිළිගැනිණි.
තෙවැනි දල්ලමොග්ගල්ලාන රජු ලක්දිව සියලු ආරාමයන්ට කඨින චීවර පූජා කළ බව මහාවංශය සඳහන් කරයි. නූතනයෙහි පවා කඨින පිංකම සිංහල බෞද්ධයන්ගේ ආගමික දිවියෙහි අනභිභවනීය, පූජනීය අවස්ථාවක් ලෙස සලකනු ලැබේ.
ආමිස පූජාවන් අතර උසස්ම පූජාව කඨිනයයි. එවැනි පූජාවක් ගෞරවාන්විත උසස් පෙරහැරකින් ගෙන ඒම ඉතා උචිතය. බුදුරදුන් ධරමාන කල්හිද එසේ කළ බවට සාක්ෂි ලැබේ. දකිඛිණාවිභංග සූත්‍ර අටුවාවේ සඳහන් වන අන්දමට මහා ප්‍රජාපතී ගෝතමී දේවිය තමන් විසින් වියන ලද සිවුරු දෙක බුදුරදුන් ප්රමුඛ මහ සඟරුවනට පිදුමට උත්කර්ෂවත් අයුරින් ධජ පතාකාදියෙන් සමලංකෘත වූ මාර්ගයේ වැඩම කරවා ගෙනආ බව කියැවේ. එසේ හෙයින් කඨින පෙරහැර කෙතරම් අනර්ඝ ලෙස කළත් එපමණටම පුණ්‍ය ශක්තිය දියුණු කුසලය කරා වඩා දියුණු කරගත හැකි බව පිළිගැනේ.
අටමහා කුසල්
බෞද්ධ පූජා චාරිත්‍ර අතර අටමහා කුසල් ගණයෙහි ලා සලකන පින්කම් ඉතා ශ්‍රේෂ්ඨ යැයි බොදුනුවන්ගේ පිළිගැනීමයි. ඒවා නම්,
- කඨින පූජාව
- අටපිරිකර පූජාව
- ආවාස පූජාව
- බුද්ධ ප්රමුඛ මහසඟනට දාන පූජාව
- බණ පොත් ලියවා පූජා කිරීම
- කෙත්වතු පූජා කිරීම
- බුදු පිළිම කරවා පූජා කිරීම
- වැසිකිළි කරවා පූජා කිරීම
යනු ඒ අටමහා කුසල් වෙති. මහා කුසලයන් යනු ආනිසංස දීමේ මහා ශක්තියක් ඇති බවයි. සතර අපායේදී නරක ස්ථානයකට පත් නොවී සප්ත කාම ස්වර්ගයෙහි ප්රතිසන්ධිය ලබාදීමට සමත් කුසල කර්මයයි. ඒවා කාමාවචර කුසල නමින්ද බෞද්ධ සාහිත්‍යයෙහි ප්රකටයි. කඨිනය සකස් කිරීම, පූජා කිරීම, ඇතිරීම යන දෑ සියල්ලක්ම එක් දිනක් තුළ සිදුකළ යුතු වේ. එසේම කඨිනය ගෙත්තම් කිරීම විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකිරීම පෞරාණික චාරිත්‍රයයි. බොහෝ අය නූල් ඇමිණීම, මැසීම යනාදී කාර්යයන් මහත් උත්සාහයෙන් සියතින්ම සිදුකරති. මෙබඳු උනන්දුවක් මේ කෙරෙහි දැක්වීමට හේතුව මෙම පින්කමේ මහාර්ඝත්වය සැලකීමෙන්ම සිදු වන්නක් බව කඨිනානිසංස විග්රහ කෙරෙන නාගිතථෙරාපදානය වැනි මූලාශ්‍රවලින් මනාව ගම්‍ය වේ.
අට මහා කුසල් හා බැඳුණු රාජකීය දායකත්වය
බුදුසමය ලක්දිව ප්‍රතිෂ්ඨාපනය වූ දා සිට පෙර රජ දරුවන් එදා මෙදාතුර කඨින පූජා පිංකම ප්‍රධාන කොටැති අටමහා කුසල් සිදුකිරීමෙහිලා අඩු – වැඩි වශයෙන් දායකත්වය දැරූ බව පෙනේ. පසුගිය සියවසෙහි දේශපාලකයකු වශයෙන් හා රාජ්‍ය නායකයකු වශයෙන් දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනපතිතුමන් සේ සම්බුද්ධ ශාසනයෙහි අටමහා කුසල්වලට අයත් සකලවිධ කුසල් දහම් විශිෂ්ටාකාරයෙන් හා උත්කෘෂ්ටාකාරයෙන් රාජ්‍ය මැදිහත්වීමෙනුත්, පෞද්ගලිකවත් සිදුකළ රාජ්‍ය නායකයකු මෑත යුගයේ නොසිටි තරම්ය. අප දන්නා ඉතිහාසය තුළ දේශපාලන වාසි නොතකා අවංකවත්, අව්‍යාජවත් තුනුරුවන් කෙරෙහි අචලප්‍රසාදයෙන් යුතුව බෞද්ධ පුද පූජාවල නියැළුණු රාජ්‍ය නායකයෝ අතිශය විරල වෙති. ඒ අතර රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන්ට ශාසන ඉතිහාසය තුළ හිමිවන ආස්ථානය කිසිවකුටත් අනන්වූ සුවිශේෂ ස්ථානයකි.
විශේෂයෙන් දරිද්‍රතාව මෙරටින් මුලිනුපුටා දැමීම සඳහා දුගී දුප්පත් අසරණ ජනී ජනයා වෙනුවෙන් කාලය, ධනය, ශ්‍රමය ඈ සියල්ල කැප කරමින් ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළ ඒ මහතාගේ පුත්‍ර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඒ මහතාගේ ප්‍රියාදර බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මිය එක්ව වසර ගණනාවක් මුළුල්ලේ සුවිශේෂ කඨින පින්කම් රාශියකට ප්රමුඛ දායකත්වය සපයමින් සිටී.
අඛණ්ඩව වසර පහළොවක් මුළුල්ලේ එම දෙපළ විසින් කඨින පිංකම් පහළොවක් සිදුකොට තිබේ. මෙවර ඓතිහාසික මහියංගන පුදබිම කේන්ද්‍ර කරගනිමින් කඨින පුණ්‍ය මහෝත්සවයට ප්රමුඛ දායකත්වය සපයන්නේ ජලනි ප්‍රේමදාස මහත්මියය.
මෙවර කඨින පිංකමේ තවත් විශේෂතාවයක් තිබේ. ඒ, ඉතා කලාතුරකින් සිදුකළ හැකි පිංකමක් වන අට මහා කුසල් සපිරිපූර්ණ කඨින පිංකමක් ලෙස මෙවර එය පැවැත්වීමයි.
නිවන් දක්නා ජාති දක්වාම දිගු සසර’ ගමන් ගන්නා වූ සත්වයා අග හිඟකම්වලින් තොරව’සැනසීමෙන් සුවදායකව උපනූපන් භවවල සතුටින් වසන්නේ අටමහකුසල් පූර්ණය කළා වූ තරමටය. දුටු දුටුවන් වශීකෘත කරනසුලු ප්‍රියංකර රූප සොබාවකින් සමන්විත වීමටත් කාගෙත් ආදරයට ගෞරවයට පාත්‍ර වන්නා වූ ප්‍රඥාසම්පන්න පෞරුෂයකට හිමිකම් කීමට වාසනාව හා භාග්‍යය උදාකර ගැනීමටත් ඒකාන්ත වශයෙන් අටමහා කුසල් වැඩීම මහෝපකාරී වේ. සපිරිවර ජනයාගෙන් ගැවසීගත්, සකලවිධ භෞතික සම්පත්වලින් ආඪ්‍ය වීමටත් ආධ්‍යාත්මික විමුක්තිය සාක්ෂාත් කිරීමටත් සියලු මං සලසන්නේත් මේ අටමහා කුසල් දහමෙහි නොපමාව යෙදීමත් තුළිනි.
‘මහියංගන රජමහා විහාරස්ථානය හා තන්තිරිමලය රජමහා විහාරය ඇතුළුව ඓතිහාසික විහාරස්ථාන ගණනාවක උපසපන් භික්ෂුන් වහන්සේලා වස් වසවා සාර මසක් තිස්සේ සිවුපසයෙන් සියලු ඇප උපස්ථාන ආදිය සිදුකොට වස්සාවාසික චීවර පූජාව උත්කර්ෂවත් අයුරින් සිදුකිරීමට සියලු විධිවිධාන යොදා තිබේ. ඊට සමගාමීව තත් විහාරස්ථානද්වයේ සකලවිධ ප්‍රතිසංස්කරණාදිය සිදුකොට සැදැහැතියනට බුද්ධාලම්භන ප්‍රීතිය ජනිත කරන අයුරින් මේ මහා කුසල කර්මය සම්පාදනය කොට තිබේ.
අට මහාකුසල්වලින් පළමු වැන්න වූ කඨින පූජාවට අතිරේකව සෙසු මහා කුසල් ගණයට වැටෙන කුසල් සප්තකයද මේ හා සමග සමගාමීව පූර්ණය කෙරේ. ඒ වූ කලී අටපිරිකර පූජාව, ආවාස පූජාව, බුද්ධ ප්රමුඛ භික්ෂු සඟනට දාන පූජාව, බණපොත් ලියවා පූජා කිරීම, කෙත්වතු පූජා කිරීම බුදුපිළිම කරවා පූජා කිරීම හා වැසිකිළි කැසිකිළි කරවා පූජා කිරීම යන අටමහ කුසල් වූ කලී බුද්ධ ශාසනය තුළ සැදැහැතියකුට කළ හැකි උත්තුංග මහනීය පූජාය. නිවන් දක්නා ජාති දක්වා භෞතික වශයෙන් ලැබිය යුතු සකලවිධ සුව පහසුකම් ඒවා තුළින් ජනිත වේ. ප්‍රඥාව මෙහෙයවන්නකු විසින් ‘පරිණාම වසේනේව හෝතු මොක්ඛුපනිස්සයං’ යැයි කී පරිදි මෙකී අටමහා කුසල් ශක්තිය නිවනට ඍජු ලෙස අරමුණු කරගත හැකිවේ.
දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන් මෙන් ඔහුගේ ප්‍රියාදර පුත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමන් හා එම මැතිනිය ප්‍රාථමික ගණයේ පින්කම් වුවද කුසල ගණයට වර්ධනය කළ හැකි තරම් දියුණු මානසිකත්වයකින් හෙබි සබුද්ධික සැදැහැතියෝ වෙති.
මෙහි විශේෂත්වය වන්නේ බොහෝ දුෂ්කරතා මැද ශාසනික කටයුතු අසීරුවෙන් සිදුකරගෙන යන පෙදෙස්වල පවත්නා බෞද්ධ විහාරස්ථාන තෝරාගෙන ඒවාහි කලක සිට පවත්නා අඩුපාඩු සොයාබලා යටිතල පහසුකම් සපයා දීමයි. විහාරස්ථානවලට යන එන මංමාවත් පිළිසකර කිරීම් ආදියෙන් අවට පෙදෙස්වල වසන අසරණ ජනතාවටද පහසුකම් රැසක් සපුරා ගැනීමටද ඉන් ඉඩහසර හිමිවේ. අටමහකුසල් සපුරාලීම වූ කලී පොදුවේ ගිහි පැවිදි දෙපිරිසටම සහන බොහෝමයක් සැලසේ.
ඔවුන් කුසල් දහම් වඩන්නේ අඬබෙර ගසා ප්‍රසිද්ධියේ නොව ලෞකික ලාභාපේක්ෂාවලින් සහමුලින් තොරව බව අපි පෞද්ගලිකවම දනිමු.
ශ්‍රී සම්බුද්ධ ශාසනයෙහි චිර පැවැත්ම උදෙසා’ සජිත් ප්‍රේමදාස මහතා ඉටුකොට ඇත්තේ සුළුපටු මෙහෙවරක් නොවේ. විශේෂයෙන්ම සංස්කෘතික අමාත්‍යවරයා ලෙස වසර 11ක් වැනි කෙටි කාලයක් තුළ ඔහු වෙතින් ඉටුවූ මෙහෙවර අද්විතීයය.
හුදෙක් දේශපාලන අරමුණු උදෙසා මෙන්ම ජනප්‍රියත්වය අරමුණු කොටගෙන ආගමික පිළිවෙත්හි රඟදැක්වීම හා ආගමට මුවාවෙන් දූෂිත කළු චරිත සුදු කරලීමේ අභිලාෂයෙන් ආගම දහම දඩමීමා කොටගත් සමාජයක අප්රකටව අටමහා කුසල් සපිරීම තම පාරමිතාව කොටගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ජලනි ප්‍රේමදාස මහත්මිය ආගමික ප්‍රදර්ශන කාමයෙන් මුසපත් වූවනට මේ තුළින් නිවැරදි මංපෙත් විවර කර දෙමින් බෞද්ධ දර්ශනයේ සදාතනික හරයාත්මක යථාර්ථය හෙළි පෙහෙළි කිරීමටත්, මෙවැනි විධිමත් අභිචාරවිධීන්’ තුළින් නිවැරදි බෞද්ධයකු වීමට අපට ඇරැයුම් කරත්.
මහාචාර්ය ජී. ඒ. ගාමිණී රත්නශ්‍රී
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය










