අද අපි කැලෑ කොලමෙන් කතා කරන්න යන්නේ දශක ගණනාවක් තිස්සේ නිලධාරීන් බලධාරීන් විසින් නිසි පිළියම් නොයෙදූ තවත් පාරිසරික හා වනජීවී ඛේදවාචකයක් ගැනයි. මෙය මෙරට ඉතිහාසයේ දීර්ඝතම අලි – මිනිස් ගැටුමේ ශෝචනීය කතාව විය හැකියි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව, පොල්පිතිගම, ගිරිබාව, ගල්ගමුව, ඇහැටුවැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගම්මාන රැසකට මේ වන විට වන අලි චර්ජනය එල්ලවී තිබෙනවා. මේ අතර ගල්ගමුව සහ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විශේෂයි. එම කොට්ඨාස දෙකට අයත් ගම්මාන පුරා නිරන්තරයෙන් වන අලි විසින් ජීවිත හානි, දේපළ හානි වගා හානි කිරීම් මෙන්ම අනෙකුත් නිශ්චල චංචල දේපළ හානි කිරීම් අනෙක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට වඩා ඉහළ මට්ටමක පවතියි. වසරේ වැඩිම කාලයක් මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා වනගත බිම් තීරුවල වන අලින් තම ජීවිත ගතකිරීම ඊට හේතුවයි. වසරේ මාස 12න් මාස 08ක් පමණ කාලයක් වන අලි සිය වාසභූමි ලෙස මේ වන විට භාවිත කරනු ලබන්නේ ඉහත සඳහන් කළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයයි. වැව් ඉහත්තාවේ පිහිටි වන රොදවල් වන අතර කහල්ල පල්ලෙකැලේ හැර කිසිදු රක්ෂිතයක් හෝ වන තීරුවක් වන අලින් සඳහා වෙන් කර නොමැති වීම, අක්‍රමවත් ජනාවාස ඉදිකිරීම මෙම අලි මිනිස් ගැටුමට උග්‍ර හේතුවක් වී තිබෙනවා.
වියළි කාලගුණය පවතින මැයි, ජුනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවල වන අලි රංචු විශාල වශයෙන් ගම්මාන ආශ්‍රිතව පිහිටි වැව් වෙත පැමිණීමත්, එම වන අලි ආහාර සොයා රාත්‍රී කාලයේ ගම්වැදීමත් නිසා ජීවිත හානි ඇතුළු බරපතළ සිදුවීම් නිරන්තරව වාර්තා වනවා. වෙඩිතැබීම්, වගා ළිංවලට වන අලින් ඇද වැටීම් මෙන්ම වන අලි පහරදීම්ද දැකගත හැකියි.
උස්සගල, සියඹලන්ගමුව, මහගල්ගමුව, අතරගල්ල, අඹකොලවැව, පාළුකඩවල, මැඩියාව වැනි වැව්වල පමණක් වියළි කාලයේ ජලය රැඳී තිබීම නිසා එම වැව් ආශ්‍රිතව වන අලි 150 – 200 වැනි විශාල රංචු දැකගත හැකියි. මෙම ප්‍රදේශවලින් වන අලි 550ක පමණ පිරිසක් රංචු වශයෙන් සිටින බව වාර්තා වනවා.
වසර ගණනාවක් වන අලි තම වාසභූමි ලෙස භාවිත කළ පාළුකඩවල වැව් ඉස්මත්තේ පිහිටි වනාන්තර කොටස අතීතයේ සන්නසක් මගින් නාකොලගනේ රජමහා විහාරයට පූජා කර ඇතැයි පවසමින් එහි විහාරාධිපති හිමියන් විවිධ ව්‍යාපෘති සඳහා ව්‍යාපාරිකයන් වෙත මෙම වන කොටස බදුදී තිබෙනවා. මේ හේතුවෙන් අලි මිනිස් ගැටුමේ වර්ධනයක් මෙන්ම වන අලින්ගේ හැසිරීම් රටාවේ ආවේගකාරී ප්‍රවේශයක්ද දැකගත හැකියි. රජවරු වෙහෙර විහාර සඳහා ඉඩම් පූජා කිරීමේ නිසි අරමුණ නොදත් භික්ෂුන්වහන්සේලා පරිසර සමතුලිතතාවට බරපතළ විනාශයක් නිර්මාණය කරමින් ඇත.
වසරේ වැඩි කාලයක් වන අලින් රැඳෙන වැවක් ලෙසද පාළුකඩවල වැව සඳහන් කළ හැකිය. දෙස් විදෙස් ඡායාරූප ශිල්පීන් වන අලින් සොයා පාළුකඩවල වැවට පැමිණෙන අතර, මේ වන විට පාළුකඩවල වැව් ඉස්මත්ත වන අලින්ට අහිමි වෙමින් පවතී.
තම නිසංසල නිහඬ ජීවිත රටාව වෙනුවට මරණ වරෙන්තුව අතේ තබාගෙන ජීවත් වන්නට උත්සාහ දරන වන අලින්ට මෙන්ම ගැමියන්ගේ ජීවිත ආරක්ෂාව සැලසීම බලධාරීන්ගේ යුතුකම හා වගකීම බව අප අවධාරණය කර සිටිමු.
දැනට ලංකාවේ සිටින ඇතුන් අතරින් විශාලම ඇතා ලෙස සැලකෙන කාවන්තිස්ස ඇතා ඇතුළු වන අලි රංචුව මෙම පාළුකඩවල වැව් ඉස්මත්තේ පිහිටි කැලෑ රොදේ සිටින අයුරු මෙම ඡායාරූපයේ දැක්වේ. මේ ඇතාටද එල්ලවී ඇති ජීවිත තර්ජන විශාල බව වාර්තා වනවා. මෙම ඡායාරූපය මීට සති දෙකකට පමණ පෙර මා විසින් ගන්නා ලද්දකි.
හක්කපටස් ආහාරයට ගැනීම නිසා තුවාල ලැබූ කුඩා අලි පැටවකුත් මෙම අලි රංචුව තුළ සිටින අතර, එම සත්වයාට ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීන් පැමිණියද අලි රංචුවේ විශාලත්වය හේතුවෙන් ප්‍රතිකාර කිරීමට නොහැකි වී තිබෙනවා. එසේම බඳින තුවක්කුවල වෙඩි වැදීම නිසා තුවාල ලැබුණු අලි පැටවුන් කිහිප දෙනකුද මේ අලි රංචුවේදී අපට දැකගන්නට ලැබුණු අතර මෙවැනි වටිනා වනජීවී සම්පත් ආරක්ෂා කිරීමට බලධාරීන් ක්‍රියා නොකිරීම ඉතා කනගාටුදායක තත්ත්වයකි.

සමන් හල්ලොලුව










