වත්මන් ආර්ථික අර්බුදයෙන් දරුණු ලෙස බැටකමින් සිටින ශ්‍රී ලංකාව මේ වන විට මුහුණදී තිබෙන තවත් බරපතළම අභියෝගයක් ලෙස මානව හිමිකම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සඳහන් කළ හැකිය. ගතවූ දශක කිහිපයක කාලය ගත් විට ඒ ඒ කාලවකවානුවල රට පාලනය කළ ආණ්ඩුවලට එම චෝදනා අඩු වැඩි වශයෙන් එල්ල වී ඇති අයුරු නිරීක්ෂණය වන කරුණකි. වසර 30ක යුද්ධයක් අවසාන වී ඇති පසුබිමක යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම්ද පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්විය. එම චෝදනා මේ වන විට තරමක් යටපත්ව පැවැතියද, අප රටට එමගින් සිදුවීමට ඉඩ ඇති දැඩි බලපෑම කිසිසේත් පහව ගොස් නැති බවත්, අළු යට ගිනි පුපුරු මෙන් කොයි මොහොතේ හෝ මහා ගිනි ජාලාවක් බවට පත්විය හැකි බවත් බටහිර රටවලින් නිකුත් වන මානව හිමිකම් සම්බන්ධ නිවේදනවලින් පැහැදිලි වෙයි. මෙම චෝදනා, ශ්‍රී ලංකාව තමන්ගේ පාලනයට නතුකර ගැනීමට වෙර දරන බටහිර රටවල කුමන්ත්‍රණ ලෙස ඇතැම් දේශපාලන කඳවුරු විසින් හඳුන්වන්නට උත්සාහ දැරුවද එලෙස නැගෙන චෝදනා තවදුරටත් බැහැර කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇත්තේ එම චෝදනා හරහා දැඩි අවදානමක මුවවිටටම රට ගමන් කර ඇති නිසායි.
මේ සියලු කරුණු කාරණා හමුවේ ලංකාව අද වන විට මුහුණපා ඇත්තේ දරුණු ආර්ථික අර්බුදයකටයි. ඩොලර් සංචිත හිඟවීම මූලික කරගෙන පැනැඟුණු ඉන්ධන අර්බුදය හේතුවෙන් රටේ සියලු අංශ දැඩි ලෙස කඩාවැටිණි. ආණ්ඩුව මුදල් අච්චුගසමින් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙව්වද, තවත් කොපමණ කාලයක් මෙම අර්බුදය මැද ජීවත් වීමට රටේ සාමාන්‍ය ජනතාවට සිදුවනු ඇද්දැයි කිසිවකුට කිව නොහැකිය. යම් සහනදායී පිළිතුරක් බලාපොරොත්තුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙස බලා සිටිනවා හැර වෙනත් කිසිදු විකල්පයක් ශ්‍රී ලංකාව හමුවේ මේ වන විට නැත. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද සිය ණය මුදල් නිකුත් කිරීම සඳහා අදාළ රටේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන්ද අවධානය යොමුකිරීම සාමාන්‍ය ක්‍රියාවලියකි. ඒ අනුව ප්‍රබල බටහිර රටවල් ගණනාවකින් සැදුම්ලත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අප රටේ සිදුව ඇතැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ කවර මතයක් දරනු ඇද්ද යන්න දැන්මම කිව නොහැකිය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය මෙම මස 12 වැනිදා සිට ඔක්තෝබර් 07 වැනිදා දක්වා ජිනීවාහිදී පැවැත්වීමට නියමිතව ඇත. එහිදී, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මේ වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳ කරුණු දැක්වීම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊට සහභාගි වන අලි සබි්‍ර සහ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරුන් වෙත පැවරී ඇති අභියෝගයයි. කෙසේ වෙතත් පසුගිය මාස කිහිපය මුළුල්ලේම නිරායුධ අරගලකරුවන් වෙත මුදාහැරුණු ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළ මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සාකච්ඡාවට ගැනෙනු ඇති බවත්, ඒ හරහා අප රටට දැඩි බලපෑම්සහගත පියවර කිහිපයක් ගනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ජී.එස්.පී. ප්ලස් සහනය සම්බන්ධයෙන්ද මෙවර මානව හිමිකම් සැසිවාරයේදී විශේෂ තීන්දුවක් ගැනීමට ඉඩ ඇති බව එම මාධ්‍ය වාර්තා කොට තිබිණි. ඒ අනුව ඉදිරියේදී ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වුවහොත් ඒ හරහා අප රටේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවනු ඇති අතර, අපනයන ක්ෂේත්‍රයට ඉන් දැඩි බලපෑමක් එල්ල වීම වැළැක්විය නොහැකි වනු ඇත. මේ සියලු බලපෑම්වලට ප්‍රධාන හේතුවක් ලෙස මෑත කාලීනව සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම් හඳුනාගත හැකිය. ප්‍රධාන පෙළේ යුරෝපා රටවල් එම මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම් හෙළාදකිමින් නිකුත් කළ පණිවුඩවල සඳහන්ව තිබුණේ හදිසි නීතිය පැනවීම තුළින් ශ්‍රී ලංකාවේ පවතින අර්බුද විසඳීමට හැකියාවක් නොමැති බවයි. එසේම එය ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට බාධාවක් බවද ඔවුන් සඳහන් කොට තිබිණි.
ඒ අනුව ලබන 12 වැනිදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එම බටහිර රටවලින් කුමන ප්‍රතිචාරයක් ලැබේදැයි නිශ්චිතව කිව නොහැකි නමුත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ඒ හරහා ශ්‍රී ලංකාවට දැඩි බලපෑම්සහගත ප්‍රතිඵලයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
මෙවන් පසුබිමක් තුළ බටහිර රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයේ විශාල පිරිසක් පසුගිය 28 වැනිදා පෙරවරුවේ ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමේ කාර්යාලය ඉදිරිපිටට රැස්ව උද්ඝෝෂණයක නිරත වූහ. ප්‍රංශය, ඉතාලිය, ස්විට්සර්ලන්තය ඇතුළු බටහිර රටවල් රාශියක සේවය කරන ශ්‍රී ලාංකිකයන් එම විරෝධතාවට එක්ව සිටි අතර, ඔවුන් තමන් සිටින ප්‍රදේශවල සිට බස් රථ මගින් ජිනීවා නුවර බලා පැමිණ තිබීම විශේෂත්වයකි. ‘රනිල් – රාජපක්ෂ සදාචාර විරෝධී ආණ්ඩුවේ මර්දනයට එරෙහිව’ මැයෙන් මෙම විරෝධතාව සංවිධාන කර තිබිණි. විදුලි කප්පාදුව, ඉන්ධන, ගෑස් සහ ඖෂධ හිඟය, අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා ජනතාව මුහුණපා සිටින අභියෝගාත්මක තත්ත්වයද එලෙස රැස්වූ ශ්‍රී ලාංකිකයන්ගේ විරෝධයට ලක්ව තිබිණි. එසේම සාමකාමී රැස්වීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සුරක්ෂිත කරන ලෙසත්, මහජනයා හිතුමතේ අත්අඩංගුවට ගැනීම සහ මාධ්‍ය වාරණ පැනවීම නවතා දමන ලෙසත් එම ජනතාව අවධාරණය කර සිටි අනෙක් කරුණු අතර විය. ඔවුන් සඳහන් කර සිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජන වරමක් නොමැති බවත්, වහාම ආණ්ඩුව විසුරුවාහැර මහ මැතිවරණයක් පවත්වා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු සහ ආණ්ඩුවක් පත්කරගන්නා ලෙසයි.
කෙසේ වෙතත් දැන් රට හමුවේ ඇති මේ මානව හිමිකම් සම්බන්ධ ගැටලුව තව තවත් කල් නොයවා සමථයකට පත්කර ගැනීම රටේ ඉදිරි ගමනට දැඩි ලෙස බලපානු ඇත. පක්ෂ විපක්ෂ වශයෙන් බෙදී බලය උදෙසා තරග කරනවාට වඩා සියලු දෙනා එක්ව මෙම අර්බුදය ජයගැනීමට වෙහෙසෙන්නේ නම් එය වඩාත් ප්‍රතිඵලදායක විය හැකිය. එසේ නොවුණහොත් නුදුරේදීම පැවැත්වෙන මානව හිමිකම් සම්බන්ධ සැසිවාරවලදී ශ්‍රී ලංකාව, ලෝක දේශපාලනයෙන් කොන්වී අසරණ වීම කිසිවකුටත් වැළැක්විය නොහැකි වනු ඇත.
චානක ලියනගේ