මොකක් හරි පෝලිමක හිටියද මේ දවස්වල? මං අහන්නෙ ඔයා. ලිපිය කියවන කෙනා. මං දැක්කනෙ පෝලිමේ ඉන්නවා. ගෑස් පෝලිමේ, කිරි පිටි පෝලිමේ, හාල් පෝලිමේ, ඩීසල් පෝලිමේ හිටියද? පෙට්‍රල් හිඟයක් නැතත් පෙට්‍රල් පෝලිමකුත් තියෙනවනෙ. ඒකෙ හරි හිටියද? නෑ, ඔයා මොකක් හරි පෝලිමක හිටපු නැති කෙනෙක් වෙන්න බෑ. අඩුම තරමෙ ඔයාලගෙ ගෙදර කෙනෙක් හරි මොනව හරි පෝලිමක ඉන්න ඕනෙ. කොළඹින් පිටට ගියාම ලොකුවටම තියෙන පෝලිමක් තමයි පොහොර පෝලිම. පොහොර ගන්න පෝලිමේ හිටපු මිනිස්සු. ඉන්ජෙක්ෂන් එක ගහගන්නත් පෝලිමේ ඉන්න වුණානෙ පහුගිය දවස්වල අපට. මේ පෝලිම් සංස්කෘතිය ආවෙ කවද්ද? ආපු දවසක් නම් දන්නෙ නෑ, කොහොම වුණත් දැන් අපට පෝලිම හුරු වෙලා.
පෝලිමේ ඉඳලා ඉඳලා ඇති වෙලා වුණත් කරන්න දෙයක් නෑ. හැමදාම අපට සිද්ධ වෙලා තියෙන්නේ මොකක් හරි පෝලිමක ඉඳලා දේවල් ටික ගන්න. මේක ලේසි පහසු දේකුත් නෙවෙයි. හැබැයි ඒකෙ පොඩි වෙනම ආතල් එකකුත් තියෙනවා. වැඩිපුරම පෝලිම් ගැන කතාකරන්න අපි පටන් ගත්තේ පහුගිය දවස්වල අපට හම්බවෙච්ච අලුත්ම අලුත් පෝලිම හින්දා. ඒ තමයි ඩීසල් පෝලිම. ඩීසල් පෝලිමේ කතා, ඩීසල් පෝලිමේ විවිධ ක්‍රීඩා, ඩීසල් පෝලිමේ වෙන වෙන ආතල්, මේ හැම දේම අපි දැක්කා.
ඩීසල් පෝලිමේ නම් කතන්දර එමටයි. සමහරු ඩීසල් පෝලිමට වෙලා ඉඳගෙන ආතල් එකක් ගන්නවා. සින්දු කියනවා, නටනවා, සමහර වෙලාවට පෝලිමට ගෙනල්ලා මොනව හරි කනවා. සමහර තැන්වල අපි යනකොට දැක්කා ඕමි ගහනවා. රෑ නතර වෙච්ච කට්ටිය. හැබැයි මේක අපට පේන්නේ රෝමය ගිනිගනිද්දී නීරෝ වීණාව වාදනය කළා වගේ වැඩක් කියලා. නැව ගැලුණත් නැට්ටෙ බජව් කියලා කියන්නේ. මොකද හේතුව මේ යන්නේ ඉතා ඛේදජනක ඉරණමකට. අපට සියල්ල නැතිවෙලා යමින් තියෙන්නේ. අපි සාමාන්‍ය මිනිස්සු විදියට බලාපොරොත්තු වෙන්නේ ඉතා පුංචි දේවල් ටිකක්. උයාගෙන පිහාගෙන කෑම කන එක, නැත්නම් ගෙදරට අවශ්‍ය විදුලි බලය, අපේ ජීවිතේ සාමාන්‍ය අවශ්‍යතා ටික ඉෂ්ට කරගන්න එක තමයි අපේ ඉලක්කය. දැන් මොකද වෙලා තියෙන්නේ. මිනිස්සු මාර කතන්දර කියනවා. පහුගිය දවසක එක්තරා හිතවතියක් මට කතා කරලා කියනවා දානයක් තියෙනවා දානෙට උයාගන්න ගෑස් සිලින්ඩරයක් හොයලා දෙන්න කියලා. ලොකු උදව්වක් ඉල්ලගන්න කියලා කතා කළේ. මිනිස්සු උදව්වට ඉල්ලන්නෙ ගෑස් සිලින්ඩර්. සමහර මිනිස්සුන්ගෙ ටෙලිෆෝන් ඕෆ් කරලා. ඇයි ඒ? ඩීසල් හොයාගන්න කතා කරන නිසා. යමක් කමක් කරන්න පුළුවන් මිනිස්සු බවට දැන් පත්වෙලා තියෙන්නේ ඩීසල් ලීටර් තුන හතරක් හොයාගන්න පුළුවන් අය, ගෑස් සිලින්ඩරයක් හොයාගන්න පුළුවන් අය. ඒ තමයි යමක් කමක් කරගන්න පුළුවන් මිනිස්සු. ෆුල් ටෑන්ක් ඩීසල් ගහගත්තොත් ඒ තරම් කෙරුමෙක් මේ ලෝකෙ නැති තැනට පත්වෙලා තියෙන්නේ.
දැන් මේ සියල්ලම අපි බලාපොරොත්තු වුණාට වඩා වෙනස් නරක දේශපාලන අත්දැකීම්. රටක් විදියට මෙහෙම වුණොත් අපි කොහෙටද යන්නේ? මිනිස්සුන්ට ගෑස් නැති නිසා මිනිස්සු භූමිතෙල් ළිප් ගෙනාවා. සමහරු හොට් ප්ලේට් ගෙනාවා ගෙදර උයන්න. ඒ කියන්නේ කරන්ට් එකෙන් හෝ භූමිතෙල්වලින් උයන්න සැලසුමක් හදාගන්න. ඔබට මතක ඇති නේ භූමිතෙල් ළිප රුපියල් 6000ට 7000ට ගණන් ගිය කාලෙ. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? දැන් මේ ගෑස් ළිප කියන විකල්පයට ගෙදර ගෙනාපු භූමිතෙල් ළිපට භූමිතෙල් නෑ. ඒ වගේම ගෙදරට ගෙනාපු හොට් ප්ලේට් එකට එහෙම නැත්නම් විදුලියෙන් උයන්න පුළුවන් මොකක් හරි උපකරණයට විදුලිය නෑ. දවසකට කිහිප වතාවක් විදුලිය කපනවා. සැලසුමක් නෑ. කරන්ට් එක කපන්නේ කීයටද කියලා කලින් දැනුම් දීලා තිබුණට අමාරුවෙන් අර ලේඛනයෙ අපේ අංකය කොතැනද කියලා හොයාගත්තට දැන් වෙලා තියෙන්නේ මේ හොයාගත්ත අංකෙට අනුව කරන්ට් එක නොකපන එක. මේ සියල්ලත් එක්ක මිනිස්සුන්ට තමන්ගෙ ජීවිතේ පවත්වාගෙන යෑම ගැටලුවක් වෙලා.
පෞද්ගලික බස් රථ දුවන්න බෑ තෙල් නැති නිසා කියලා ඒගොල්ලො කියනවා. ඒ වගේම දුම්රියට අවශ්‍ය තෙල් ටික නෑ. එතකොට මේ සියල්ලත් එක්ක අඩාළ වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගෙ ජන ජීවිතය. කොළඹ කරන්ට් එක කපන්නෙ නෑ. කොළඹ මිනිස්සුන්ට අවශ්‍ය විදුලිය තියෙනවා. හැබැයි ගමේ මිනස්සුන්ට ඒක නෑ. උයන්න පිහන්න බැරි ප්‍රශ්න තියෙන්නේ, දර ටික හොයාගන්න බැරි කොළඹ මිනිස්සුන්ට විතරක් නෙවෙයි.
ගොඩක් අය කියනවා අපේ ගෙවල්වල දරවලින් උයන්න ළිපක් නෑ, ළිපක් හදන්න තැනකුත් නෑ කියලා. මෙහෙම ප්‍රශ්නවලින් පීඩාවට පත්වෙච්ච මිනිස්සු දහස් ගානක් ඉන්නවා. කන්න බොන්න තියා පාන් ගෙඩියක් හොයාගන්න බැරුව දුක් විඳින මිනිස්සු. පාන් ගෙඩිය කිව්වාම මතක් වුණේ, ඉදිරියට පාන් නැතුව යනවා. ඇයි ඒ? පාන් පිටි ප්‍රශ්නයක් තියෙනවා. පාන් පිටි ප්‍රශ්නයක් නම් පාන් නෑ. එතකොට හාල් සම්බන්ධ ප්‍රශ්නයක් ඉතා ඉක්මනට එනවා කියලා අපේ රටේ ඉන්න හාල් සම්බන්ධ දැනුමක් තියෙන අය කියලා තිබුණා. එතකොට හාල් ප්‍රශ්නයක් එනවා. හාල් කිලෝව රුපියල් 200ට යනවා අවුරුදු වෙද්දි කියලා කිව්වාම මිනිස්සුන්ට තිබුණු එකම විකල්පෙ පාන්. දැන් පානුත් නෑ හාලුත් නෑ. එතකොට පානුත්, හාලුත් නැති වුණාට පස්සේ මිනිස්සුන්ට ආහාර භෝග සම්බන්ධ විශාල ප්‍රශ්න නිර්මාණය වෙනවා. එක ප්‍රශ්නයක් තමයි පොල් නැති වීම. පොහොර නැති නිසා ඇතිවෙච්ච බඩ ඉරිඟු ප්‍රශ්නය. මේක දිහා බලද්දි අපට පේනවා බඩ ඉරිඟු ප්‍රශ්නෙ නම් මොකක්ද කියලා. බඩ ඉරිඟු කන්නෙ කවුද? බඩ ඉරිඟු කරලක් දෙකක් තම්බගෙන කන්න අපට ඉතින් බඩ ඉරිඟු කඩ කොච්චර නම් තියෙනවද පාර දිගට? ප්‍රශ්න හරිම සරලයි. රුපියල් 40ට තිබිච්ච බඩ ඉරිඟු කරල රුපියල් 70ට ගිහිල්ලා. ඒක ඇත්ත.
හැබැයි 40ට ගියත් 70ට ගියත් බඩ ඉරිඟු කරලක් කියන්නේ පොඩි දෙයක්නෙ. බඩ ඉරිඟු කරලක් කන එක සාමාන්‍ය දෙයක්. ඒක ඇත්තටම ප්‍රශ්නයක්ද? නෑ. හොඳට කල්පනාවෙන් ඇහැ ඇරලා බලන්න. දැන් බිත්තරයක මිල කීයද? බිත්තරයක් සාමාන්‍යයෙන් රුපියල් 25 සීමාවට ඇවිල්ලා තියෙන්නේ. මේ රුපියල් 13ට 14 තිබිච්ච බිත්තරේ. බිත්තරයක් රුපියල් 25ට, 26ට ගියාට මොකද නේද? බිත්තර කකා ජීවත් වෙනවයැ. මතක තියාගන්න සෑම ආහාර ද්‍රව්‍යයකටම බිත්තරවල මිල බලපානවා. ගොඩක් වෙලාවට. එතකොට බිත්තරවල මිල හුඟක් ආහාර ද්‍රව්‍යවලට බලපානවා නම් ඉන් පස්සේ නිර්මාණය වෙන්නේ අපට තියෙන තෙල් ප්‍රශ්නය. තෙල් ප්‍රශ්නය ඇතුළේ ගොඩක් වෙලාවට එළවළු, හාල් ඒ සියල්ලෙම මිල වැඩි වෙනවා. ඒකට හේතුව තෙල් නැතිවීම නිසා ඉතා දුෂ්කර ව්‍යායාමයකින් පස්සේ තමයි ගොඩක් වෙලාවට එළවළු ටික පලතුරු ටික කොළඹට ගේන්නේ. මේ එළවළු පලතුරු කොළඹ ගේන වාහනවලට තෙල් ගහගන්නේ අමාරුවෙන්. එහෙම අමාරුවෙන් තෙල් ගහගෙන කොළඹට ගේන එළවළු ටිකේ ගාන වැඩි කළා කියලා තරහා වෙන්න බෑ. එහෙනම් තව ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. මේ ප්‍රශ්න සියල්ලටම උත්තර හොයන්න අපට බෑ. මේක ප්‍රශ්න පත්‍රයක්. ජීවිතේ කියන්නේ ප්‍රශ්න තමයි. හැබැයි මෙච්චර ප්‍රශ්න ඒවි කියලා අපි ජීවිතේටවත් හිතුවෙ නෑ. ඒ නිසා දැන් අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ කියලා මේ ලිපිය මම ඉවර කරන්නම්. වෙන කියන්න දෙයක් නැති නිසා…
ජීවන පහන් තිළිණ










