වසර 2500ක් ඉක්මවන ලාංකේය ඉතිහාසය කෙතරම් හොඳින් පිරික්සා බැලුවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තරම් අප ලෝකය ඉදිරියේ බාල්දු කළ වෙනත් කාරණාවක් සොයාගත නොහැක. ශ්‍රී ලංකාව ලොව පිළිගත් මානව හිමිකම් කිසිත් නොතකන ගෝත්‍රික ජන කොටසක් ලෙසින් ලෝකය ඉදිරියේ අපහාසයට ලක් කළ මෙම පනත කටුගා දමන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඇතුළු ගෝලීය සංවිධාන රැසක් මෙරටට පවසන්නෙ කලක සිටය. හඳුන්වා දුන් දින සිට ලෝකයම කටුගා දමන්නැයි පවසන මෙකී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනත් පනතක් හඳුන්වා දෙමින් අහෝසි කරන්නට දැන් ආණ්ඩුව තුළ සූදානමක් ඇත්තේය. එහෙත් දැන් දැන් විවිධ වූ පාර්ශ්ව පවසන පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ගෙන එන්නට යන ත්‍රස්තවාදය පාලනය කිරීමේ පනත මෙරට සම්මත වූ පසු මෙරට ජනයාට සිදුවන්නේ ඉඟුරු දී මිරිස් ගත් රජ දරුවන්ට සිදුවූ දෙයමය.
දැනට තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ගෙන එන්නට යන නව පනත මගින් ලංකිකයෝ පසුවූයේ ඉමහත් බලාපොරොත්තුසහගතවය. ලෝකය ඉදිරියේ කළු පැල්ලමක් බවට පත්ව තිබූ ජන පීඩක පනතක් ඉවත් කිරීම ගැන සැවොම පසුවූයේ සතුටිනි. මේ වන විට එකී පනත කෙටුම්පත් කර අවසානය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර නැතත් මේ වන විට ඒ සම්බන්ධව සමාජ කතිකාවක් ගොඩනැගෙමින් තිබේ. ඒ අනුව විෂය ප්‍රාමාණිකයන් පවසනුයේ යෝජිත ත්රස්තවාදය පාලනය කිරීමේ පනත (ප්‍රතිත්‍රස්ත පනත) මගින් දෙකෝටි විසිලක්ෂයක ශ්‍රී ලාංකිකයන් තම මවු බිම තුළම සිරකරුවන් බවට පත්වන බවයි. එමතුදු නොව මෙම පනත පවතින ආණ්ඩුව සදාකාලික කර පවත්වාගෙන යාමේ වුවමනාවෙන් කෙටුම්පත් කර ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ අවම මුලික අයිතිවාසිකම් පවා ඉන් බරපතළ ලෙස උල්ලංඝනය වන බවත් ඔවුහු පෙන්වාදෙති.
මේ වන විටත් යෝජිත ත්රස්තවාදය පාලනය කිරීමේ පනතට එරෙහිව පුළුල් වේදිකාවක් නිර්මාණය වෙමින් තිබේ. නීිතිඥයන්, වෘත්තිකයන්, කලාකරුවන්, වෘත්තීය සමිති ක්‍රියාධරයන් මෙන්ම පූජ්‍ය පක්ෂයද මේ වන විටත් එහි තම අදහස් පළකරමින් සිටියි. ආණ්ඩුවේ නව පනතට එරෙහිව අදහස් දක්වන සමගි තරුණ නීතිඥයෝ සංවිධානය පවසනුයේ මෙම පනත සම්මත වූ පසු රටේ ප්‍රජාතන්ත්‍රවාදය නම් දෙයක් ඉතිරි වන්නේ නැති බවයි. එම සංවිධානයේ නීතිඥ තිවංක ආටිගල පවසනුයේ මෙම පනත මගින් සමාජ මාධ්‍යද ඇතුළුව සියලු මාධ්‍ය පාලනය කිරීම ආණ්ඩුවේ අරමුණ බවයි. ‘මේ පනතින් මාධ්‍ය පාලනයට අවශ්‍ය වන්නේ බොහොම සුළු දෙයක් විතරයි. ආණ්ඩුව විවේචනය කරන පෝස්ට් එකකට හිනාවක් හරි දැම්මොත් ඇවිල්ලා අරගෙන යන්න පුළුවන්. ගිහින් රඳවා ගන්න පුළුවන්. මේකෙන් රජයට විරුද්ධ අදහස් දක්වන ඕනෑම කෙනෙක් අයුතු ලෙස රජයේ පාලනයට යටත් කිරීමට පුළුවන්’ නීතිඥ තිවංක ආටිගල පවසන්නේය.
මේ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත් යටතේ මාධ්‍ය සහ ජනමාධ්‍ය පාලනයට අවශ්‍ය වන්නේ ඉතාම සුළු කරුණු පමණි. ඕනෑම ප්‍රකාශනයක් ත්‍රස්තවාදී ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශ කර ඒ පිළිබඳ වැඩිදුරටත් කටයුතු කිරීමේ හැකියාව පොලිසියට සහ හමුදාවට හිමිවෙයි. එමෙන්ම එවැනි ප්‍රකාශන ත්‍රස්තවාදයට උල්පන්දම් දීමක් ලෙස අර්ථ දක්වමින් එවා පළකළ මාධ්‍ය පමණක් නොව සමාජ මාධ්‍ය හිමිකරුවන් සහ එම ප්‍රකශය සඳහා ධනාත්මක ප්‍රතිචාර දැක්වූවන් (ලයික් කළ) පවා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ බලය පොලිසියට සහ හමුදාවට හිමිවෙයි. දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් හමුදාව මගින් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පැය 24ක් ඉක්මවීමට පෙර පොලිසියට භාරදිය යුතුය. එමෙන්ම ඒ පිළිබඳ මානව හිමිකම් කොමිසමද දැනුවත් කර අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.
එහෙත් නව පනත මගින් හමුදාවට සැකකරුවෙක් පැය 24ක් තම භාරයේ රඳවාගත හැක. පොලිසියට භාරදිය යුත්තේ ඉන් පසුවය. පොලිසියටද තවත් පැය 24ක් රඳවාගත හැක. අධිකරණයට ඉදිරිපත් කිරීම සහ මානව හිමිකම් කොමිසම දැනුවත් කිරීම කරනුයේ ඉන් පසුවය. ඒ අනුව අත්අඩංගුවට පත් සැකකරුවෙක් ඉන්නා තැනක් හෝ ඔහු පිළිබඳ වැඩිමනත් තොරතුරු භාරකරුවන්ට දැනගන්නට අවම වශයෙන් පැය 72කට වැඩි කාලයක් ගතවෙයි. එමෙන්ම හමුදාව මගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී අත්අඩංගුවට අගත්තේ කවුද, ඊට අදාළ අනුඛණ්ඩයේ අණදෙන නිලධාරියා කවුද, සැකකරු රඳවා ඇත්තේ කොහේද යන කිසිවක් දැනගැනීමට භාරකරුවන්ට නොහැක.
යෝජිත ත්රස්තවාදය පාලනය කිරීමේ පනත ගැන අදහස් දක්වන්නට ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය පසුගියදා මාධ්‍ය හමුවක් පැවැත්වීය. එහිදී අදහස් දැක්වූ නීතිඥ හර්ෂණ නානායක්කාර පැවැසූවේ මෙම පනත සම්මත වූ පසු මිලියන 22ක ශ්‍රී ලාංකිකයනට සිරගේක සිටියා නම් මීට හොඳ බව සිතෙනු ඒකාන්ත බවය. එමෙන්ම මේ පනත සම්මත වූ පසු මේ රටේ ඉතිරි වන්නේ ත්‍රස්තවාදය පමණක් බවත් අත පය දිගහැර යමක් කළ හැක්කේ ජනාධිපතිවරයාට සහ පොලිසියට පමණක් බවත් ඔහු පැවැසීය.
මේ වන විට ක්‍රියත්මක වෙමින් පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් රඳවා ගැනීමේ නියෝග නිකුත් කිරීමේ බලතල තිබුණේ ආරක්ෂක ඇමැතිවරයාට පමණක් වුවත් නව පනතින් ඒ බලතල නියෝජ්‍ය පොලිස්පතිවරුනටද ලබාදී ඇති බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය පවසයි. සාමකාමී උද්ඝෝෂණයකට කරන කැඳවීමක් පවා ත්‍රස්ත ක්‍රියාවක් ලෙස අර්ථ දක්වා එම කැඳවීම කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය හිමිවෙයි. ඊට අමතරව එවැනි කැඳවීමකට සහභාගි වන්නන් අයුතු ජනරාශියකට සහභාගි වීමේ චෝදනාවට අත්අඩංගුවට ගැනීමටද පොලිසියට නව පනතින් බලය දී තිබේ. මේ පනත සම්මත වුවහොත් මින් ඉදිරියට වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, ගොවියන්, සමාජ ක්‍රියාකාරිකයන් වැනි සියලු කොටස් අහෝසි වී යන බවත් රට උග්‍ර ජනතා මර්දනයක් ක්‍රියාත්මක වන මස් මඩුවක තත්ත්වයට පත්වන බවත් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ පවසති.
නව පනත ගැන අදහස් දක්වන සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය පවසනුයේ ආණ්ඩුව හිතුවක්කාරී ගමනක් යන බවත්, ඊට එරෙහිව මහජනයාට විරෝධතාවය දැක්වීමට ඇති අයිතිය අහුරා දමා ඔවුන් කුදළාගෙන ගොස් හිරේ දැමීම ආණ්ඩුවේ නව පනතේ අරමුණ බවයි. එමෙන්ම ත්‍රස්තවාදය පාලනය කිරීමේ පනත, මේ වන විට ක්‍රියාත්මකව පැවතියේ නම් සිරස සහ සියත වැනි නාලිකා වසාදමා බොහෝ කල් බව එම සංවිධානය පවසයි. නව පනතින් මාධ්‍ය මර්දනය කරනවා පමණක් නොව ඒවායේ දේපළ පවා පවරාගැනීමට ආණ්ඩුවට බලතල හිමිවන බවත් එම සංවිධානය පෙන්වා දෙයි.
හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනුයේ මෙතරම් දරුණු පනතක් පසුගිය දශක දෙක තුළ ලංකාවේ ක්‍රියත්මක කර නැති බවයි. පැවැති පනතට එ.ජා. මානව හිමිකම් කොමිසම පවා දැඩි විරෝධය පළකර ඇති බවත්, එම පනත අවලංගු කිරීමට ලෝකය ලංකාවට බලකළ බවත් ඔහු පවසයි. ආණ්ඩුව පවසනුයේ එම පනතට විකල්පයක් ලෙස නව පනත ගෙන එන බවයි. එහෙත් මේ පනත පැවති පනතට වඩා කිහිප ගුණයකින් බරපතළ එකක් බව ඔහු අවධාරණය කරයි.
වැඩකරන ජනතාවට සිය වෘත්තීය අයිතීන් ලබාගැනීමට ඇති වැඩවර්ජන අයිතිය මර්දනය කරන්නට ආණ්ඩුව අත්‍යාවශ්‍ය සේවා යොදාගැනීම සාමාන්‍ය සම්ප්‍රදායක් වී ඇති බවත්, අද වනවිට ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය සේවා ලයිස්තුව යාර ගණනින් දිග්ගැස්සී ඇති බවත් පෙන්ව දෙන මහාචාර්ය පීරිස්, නව පනතින් අත්‍යාවශ්‍ය සේවා කොන්දේසි කඩ කළ සියලු දෙනා විසි වසරකට බන්ධනාගාරගත කර ඔවුනගේ රැකියා අහිමි කිරීමට ආණ්ඩුවට බලය පැවරෙන බවත් පවසයි. ඊට අමතරව අත්‍යාවශ්‍ය සේවා කොන්දේසි කඩකරන්නන්ගේ නිවාස සහ දේපළ පවරා ගැනීමට සහ ඔවුනගේ බැංකුගත මුදල් පවා රාජසන්තක කිරීමට ආණ්ඩුවට බලය පැවරෙන බවද ඔහු පෙන්වා දෙයි.
අත්‍යාවශ්‍ය සේවා කොන්දේසි උල්ලංඝනය කළ සේවකයන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසන නව පනතේ ත්‍රස්ත ක්‍රියා නිර්වචනය කර ඇත්තේ ඉතා බරපතළ ආකාරයටය. පවතින රජයට එරෙහිව කරන සංවිධානත්මක විරෝධතාවන් ත්‍රස්ත ක්‍රියාවන් ලෙස එහි දක්වා ඇත. එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුවට එරෙහිව පවත්වන විරෝධතාවන් හෝ පෙළපාළියක් වැනි දෙයක් පුවත්පතක වර්තා කිරීම පවා ත්‍රස්තවාදයට අනුබල දීමක් ලෙස නව පනතේ 6 වැනි වගන්තිය යටතේ දක්වා ඇත. ඊට පනවා ඇති දඬුවම වසර 15ක සිර දඬුවමක් සහ දේපළ රාජසන්තක කිරීමය.
ත්‍රස්තවාදය පාලනය කිරීමේ පනතට එරෙහිව අදහස් දක්වන අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසනුයේ මෙම පනත සම්මත කරගැනීමට ඉඩ දීමෙන් භයානක ප්‍රතිඵල අත්විය හැකි බවයි. පනතේ හානිකර බව ගැන වැඩිදුරටත් අදහස් දක්වන කාදිනල් හිමිපාණෝ මෙසේ පවසති. ‘නව ත්‍රස්ත විරෝධී පනත පසුගිය මාර්තු 17 වැනිදා ගැසට් කරන්න යෙදුණා. ඒකේ අර්ථකථනය කිරීමේ බලය ගොඩක් දුරට දීලා තියෙන්නේ පාලනය කරන අයට. මේ පනතේම කොටසක තියෙනවා ‘මිසලේනියස් ඕඩර්ස්’ කියලා. ඒකෙන් සම්පූර්ණයෙන්ම ජනාධිපතිගේ අතට තමයි නීතියේ බලය දීලා තියෙන්නේ. ඕනෑම සංවිධානයක් තහනම් කිරීමේ බලය එතුමාට පවරලා තියෙනවා. එතකොට දේශපාලන පක්ෂයක් තහනම් කරන්න පුළුවන්. ඒ පක්ෂය ත්‍රස්තවාදී වැඩ කරනවා කියලා මවලා ඒක තහනම් කරන්න පුළුවන්.’
‘මේ පනත ගෙන ඒමේ අරමුණ ආණ්ඩුවට එරෙහි විරෝධතා පාලනය කිරීම බවත්, පනතේ 3.2.F වගන්තියෙන් අත්‍යාවශ්‍ය සේවාවලට බාධා කිරීම, 3.2.H වගන්තියෙන් මහජන සොඛ්‍ය සේවා අනතුරට දැමීම, 3.2.L වගන්තියෙන් මහජනතාවගේ ආරක්ෂාවට බාධා කිරීම හා නීත්‍යනුකූල නොවන රැස්වීම් පැවැත්වීම ත්‍රස්ත ක්‍රියා ලෙස හඳුන්වා තිබීමෙන් ඒ බව තහවුරු වෙන බවත් කාදිනල් හිමියෝ පෙන්වා දෙති. ‘රැස්වීම් තියන්න, වර්ජන කරන්න බැහැ එවැනි ක්‍රියා ත්‍රස්තවාදය ලෙස පනතේ හඳුන්වාදෙනවා. ඒ වගේම පළමුවරට මෙවැනි චෝදනාවලට වරදකරු වන කෙනෙකුට මරණ දඬුවම ලබාදෙන්න පුළුවන් ප්‍රතිපාදන මේ පනතේ තියනවා.’ කදිනල් හිමියෝ වැඩිදුරටත් පැවසූහ.
මීට අමතරව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර පවසනුයේ නව ත්‍රස්ත පාලන පනතට එරෙහිව අධිකරණයට යාමට තම පක්ෂය බලාපොරොත්තු වන බවයි. ඊට අමතරව ද්‍රවිඩ ජාතික සන්ධානයද ආණ්ඩුවේ නව පනතට සිය විරුද්ධත්වය පළ කරමින් පසුගිය 6 වැනිදා දවැන්ත සම්මන්ත්‍රණයක් පැවැත්වීය.
නිර්මාල් දේවසුරේන්‍ද්‍ර










