ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ යළිත් කතාබහක් ඇති වී තිබේ. මෙම තත්ත්වය මතු වූයේ මාධ්‍යවේදී නිර්මලා කන්නංගර පළකරන ලද ලිපියක් හේතුවෙනි. එම ලිපිය මගින් නාමල් රාජපක්ෂගේ උපාධි සහතිකය පිළිබඳ ප්‍රශ්න කර තිබේ.Sri Lanka Latest News
උපාධි සහතිකය පිළිබඳ ගැටලුව
ඉහත දක්වා ඇති උපාධි සහතිකයට මහාචාර්ය මැල්කම් ගිලීස් නමැති උපකුලපතිවරයා 2009 සැප්තැම්බර් 15 වැනි දින අත්සන් තබා ඇති බව දක්නට ලැබුණද, ඔහු 2009 ජූලි මාසයේදී එම තනතුරෙන් ඉවත් වී තිබේ. ඒ පිළිබඳ ‘ද ගාඩියන්’ වෙබ් අඩවිය 2009 ජූලි 23 වැනිදා වාර්තා කර තිබුණේ,Shock at Resignation of City University vice chancellor යන සිරස්තලය සමගිනි.
ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසුව 2009 වසරේ ජූලි මාසයේ සිට 2010 වසර දක්වා ජූලියස් වෙයින්බර්ග් එහි වැඩබලන උපකුලපතිවරයා ලෙස පත්කෙරිණි. 2010 වසරේදී ශ්‍රීමත් පෝල් කරන් එහි උපකුලපතිවරයා ලෙස පත්කර තිබේ.
මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස නොවැ. 19 වැනිදා පාර්ලිමේන්තුවේදී අදහස් පළකළේය.
‘ඔහු සිටි යුනිවර්සිටි ලන්ඩන් කියන ආයතනයෙන් ලබාගත් උපාධි සහතිකය ඔහු ඉදිරිපත් කරල තියෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ශාස්ත්‍රපති උපාධියට ලියාපදිංචි වීම සඳහා. ඒ උපාධි සහතිකය නිකුත් කරලා තියෙන්නෙ 2009 සැප්තැම්බර් 15. නමුත් ඒ සහතිකයට අස්සන් කරපු උපකුලපතිවරයා ජූලි 23 වැනිදා ඉල්ලා අස්වෙලා තියෙනවා. ඒ උපකුලපතිවරයා ඉල්ලා අස්වෙලා දින 54කට පස්සෙ තමයි, උපාධි සහතිකයේ උපකුලපති ලෙස ඒ පුද්ගලයා අත්සන් කරන්නෙ. ඒ නිසා ඔහුගේ උපාධි සහතිකය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් ඒ වෙබ් අඩවිවලින් මතු කරලා තියෙනවා…’
නීති විද්‍යාලයට ඇතුළත් වීම පිළිබඳ ගැටලුව
මේ අතර, නාමල් රාජපක්ෂ ඉහත කී උපාධි සහතිකය පදනම් කරගෙන නීති විද්‍යාලයට ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන්ද ගැටලුවක් මතුවී තිබේ. නීති විද්‍යාලයට ඇතුළත් වීම සඳහා නාමල් රාජපක්ෂ 2009 සැප්තැම්බර් 25 වැනි දින අයැදුම් කර ඇති අතර, එදිනම ඊට අනුමැතිය ලැබීමත්, නීති විද්‍යාලයට ඇතුළත් කරගැනීමත් සිදුකර තිබීම විශේෂත්වයකි.
මේ සම්බන්ධයෙන්ද අමාත්‍ය නලින්ද ජයතිස්ස අදහස් පළකළේය.
‘ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වෙන්න ලෝ එන්ට්‍රන්ස් එකක් නැතුව ලෝකෙ පිළිගත් නීති උපාධි ලබා දෙන ආයතනවලින් තමයි, ඒ අයට අවස්ථාව තිබෙන්නේ. නමුත් මේ සිටි යුනිවර්සිටි ලන්ඩන්, මේක යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් නෙවෙයි. සිටි යුනිවර්සිටි ලන්ඩන් කියන ඒ ආයතනය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ලියාපදිංචි වෙලා තියෙන්නෙ 2009 ඔක්තෝබර් 15. නමුත් මේ ආයතනයෙන් උපාධියක් ගත්තා යැයි කියන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නීති විද්‍යාලයට ඇතුළත් වීමට ඉල්ලලා තියෙන්නෙ 2009 සැප්තැම්බර් 25. ඇප්ලිකේෂන් එක දාපු දවසෙම ශ්‍රී ලංකා නීති විද්‍යාලය ඒක භාරගෙන තිබෙනවා. සැප්තැම්බර් 25 ඒ ඇප්ලිකේෂන් එක භාරගන්නකොට ඔහු නීති විද්‍යාලයට ඇතුළත් වීම සඳහා මේ ආයතනය ශ්‍රී ලංකා නීති විද්‍යාලය පිළිඅරගෙන නැහැ. ඒක පිළිඅරගෙන තියෙන්නෙ ඔක්තෝබර් 15.’
‘නාමල් රාජපක්ෂට මඩ ගහනවා’ – ඩී.වී. චානක
මේ අතර, අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ප්‍රකාශ කළේ, ආණ්ඩුව ‘අලුත් මඩක් හදලා නාමල් රාජපක්ෂට ගහන’ බවය.
‘ආණ්ඩුව ඇන ගන්නවා කියල දැන ගන්න ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. රටේ ජනතාව දන්නවා හොඳටම ආණ්ඩුව ඇන ගන්නවා කියලා බලාගන්න. පළමුවැනි එක තමයි, අනුර කුමාර දිසානායක මහත්තය පාර්ලිමේන්තුවට දුවගෙන ඇවිල්ලා පැයක් දෙකක් කතා කරනව කියන්නෙ අනිවාර්යයෙන් ආණ්ඩුව ඇනගෙන. එහෙම නැත්නම් අලුත් මඩක් හදලා නාමල් රාජපක්ෂ මැතිතුමාට ගහනව කියන්නෙ ආයෙත් ආණ්ඩුව හොඳටම ඇනගෙන. දැන් 21 රැස්වීම දැකලා ගැරඬින්ට භූමිතෙල් ගැහුවා වගේ තමයි ඉන්නෙ. දැන් ඔබතුමාලා තුනෙන් දෙකක බලයක් අරගෙන ආවට පස්සෙ ඔබතුමාලා ඔය කතාවම කිව්වා. ඔය ලෝ ඩිග්‍රිය ගැන කතා කළානෙ. ඒ වෙලාවෙ ඔබතුමාලා නිකන් හිටියෙ නෑනෙ. ඔබතුමාලා ගියා උසාවියට, මැජිස්ටේ්‍රට් කෝට් නම්බර් වන් එකේ චීෆ් මැජිස්ටේ්‍රට් යටතේ දාලා තියෙනවා බී42852/01/25 යටතේ ඔබතුමාල නඩුවක් දාලා තියෙනවා නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ඒ උපාධිය පිළිබඳව. ඒ වගේම නීති උපාධිය පිළිබඳව. අනේ හරි සරල කාරණයක් නලින්ද ජයතිස්ස මැතිතුමා කියන්නෙ. හොර සයිට් හදාගෙන ඒවයින් මඩ ගහනව වෙනුවට නලින්ද ජයතිස්ස මැතිතුමා හෙට යන්න සීඅයිඩී එකට, දෙන්න මේ කරුණු ටික. එතකොට උසාවියට වාර්තා කරන්න පුළුවන්. නාමල් රාජපක්ෂ මැතිතුමාගෙන් කටඋත්තර ගත්තා, අද වෙනකම් අධිකරණයට කරුණු වාර්තා කරල නෑ.’
නාමල් රාජපක්ෂගේ නීතිඥභාවය පිළිබඳ තවත් චෝදනා
2010 වසරේදී, නීති විද්‍යාලයේ තවත් ශිෂ්‍යයෙකු වූ තුෂාර ජයරත්න නමැත්තෙකු, නාමල් රාජපක්ෂ නීති විද්‍යාල විභාග සඳහා පෙනී සිටීමේදී වංචා කළ බවට චෝදනා කළේය.
නාමල් රාජපක්ෂගේ නීති විද්‍යාල ප්‍රවේශය සම්බන්ධයෙන් මතුවන චෝදනා පිළිබඳව අදහස් විමසීමට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පොදු දුරකතන අංකයට ඇමතූ විට ඊට පිළිතුරු දුන් නිලධාරිනියක පැවැසුවේ, අදාළ කරුණු සම්බන්ධයෙන් අදහස් විමසිය හැක්කේ නීති විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් පමණක් බවය. එහෙත්, ඔහු රැස්වීමක සිටින හෙයින්, ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි බව ඇය පැවැසුවාය. ඔහුගේ ජංගම දුරකතන අංකයද තමන් සතුව නැති බව දැනුම් දුන්නාය.
‘අවලාද අපහාස’
මේ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා නාමල් රාජපක්ෂ දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද, මෙම ලිපිය පළකරන අවස්ථාව වන තෙක් ඊට ප්‍රතිචාරයක් නොලැබිණි. කෙසේ වෙතත්, අදාළ චෝදනා ඔහු දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබේ.
මේ අතර, නාමල් රාජපක්ෂ මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණි.
‘මේ ආණ්ඩුව බලයට පත්වෙලා සති කිහිපයකින් විතර අධිකරණයට බී වාර්තාවක් දාලා මගේ උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අනුමැතිය ගත්තා. ඊට පස්සේ මාස ගණනාවක් මේ සම්බන්ධයෙන් සොයාබැලීම් කරගෙන යනවා. අද වෙන තුරු අධිකරණයට කිසිම දෙයක් වාර්තා කරලා නැහැ. හැබැයි වෙබ් අඩවිවලින් මඩක් ගහනවා. දැන් නුගේගොඩ රැලියට හොඳටම බයවෙලා. බොරු බේගල් ප්‍රචාරය කරනවා. මේ සේරම අවලාද අපහාසවලට 21 වැනිදා උත්තර ලැබේවි.’
නාමල් රාජපක්ෂගේ පාර්ශ්වයෙන් ‘නීතිමය ක්‍රියාමාර්ග’
මේ අතර, නාමල් රාජපක්ෂගේ නීතිඥ වෘත්තිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුවන බවට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරී පසන් කස්තුරි ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලටද අවතීර්ණ වන බවය.
‘අපි විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ පැමිණිල්ල ඉදිරිපත් කළේ, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට. ඒ ආයතනයට අපි පැමිණිලි කළා, ඉතාමත් සංවිධානාත්මක ලෙස නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ නීතිඥ විභාගය සම්බන්ධව ඔහුගේ නීතිඥ වෘත්තිය සම්බන්ධව අසත්‍ය ප්‍රචාර කරමින් සිටිනවා. ඒ සම්බන්ධව ඉක්මන් පියවර ගන්න කියල අපි ඉල්ලීමක් කළා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නත්, නීතිමය කටයුතු සඳහා අවතීර්ණ වෙන්නත් අපි සැලසුම් කරමින් සිටිනවා.’
බීබීසී සිංහල










