මං මේ රටේ කෙනෙක් නෙවෙයි මේ රටට ආවෙ නැව් නැඟලා. ඒ කොහේ ඉඳන් වුණත් මං දන්නවා මං අයිති මේ රටට. ඒ කියන්නේ ශ්‍රී ලංකාවට. අපේ රටේ මිනිස්සු මට කොච්චර ආදරේද කියන එක මං නිතරම හිතපු දෙයක්. ඒ ආදරේ හැමදාම මඟ තොටේ යන එනකොට, වෙදමහත්තයලගෙ ගෙදරට වෙලා ඉන්නකොට, පෙරහැරේදි, නුවරදි, කොහෙට හරි වෙලා තනියෙන් ඉන්නකොට, ඒ හැම වෙලාවෙදිම මට දැනුණා. මහා වනාන්තරේ වන මං අස්සේ අම්මලගෙ තාත්තලගෙ පරම්පරාවෙ නෑයොත් එක්ක කැලෑ ඇවිදිමින් හිටපු මාව මෙහෙම ගෙනල්ලා නොදන්න රටක නොදන්න තැනක අතරමං කළේ ඇයි කියලා මං පුංචි කාලෙ නිතරම හිතුවා. මට ඕනෙ වුණේ ආපහු මගේ රටට දුවන්න. ඒත් මං දුවන්න තැනක් දැනගෙන හිටියෙ නෑ. මේ රට මට නුපුරුදුයි. මේ රටේ ඉන්න කවුරුවත් මට හුරු නෑ. ඒ තමයි මට පුංචි කාලෙ තිබිච්ච ප්‍රශ්නෙ. කවුරු කොහොම කිව්වත් අලියෙක්ට වනාන්තරේ තරම් වෙන කිසිම තැනක් සුන්දරව දැනෙන්නෙ නෑ. ඒකට හේතුව අපි හැදිලා තියෙන්නේ කැලේට අයිති විදියට. කැලේ හැදිලා තියෙන්නේ අපට ඕනෙ විදියට. කැලේටයි අපිටයි එකට ඉන්න පුළුවන් විදියට අපි දෙගොල්ලොම අපිට ඕනෙ ඕනෙ විදියට වෙනස් වෙනවා. ඒත් සාමාන්‍යයෙන් ගමක් එහෙම වෙන්නේ නෑ. ඒ නිසා මට මුල් කාලෙ ඇත්තටම වුවමනා වුණා මෙතැනින් පැනලා දුවන්න. එහෙම පැනලා දුවන්න බැරි වෙන්න යකඩ දම්වැල් දාලා කකුල් හිරකරනකොට මට හිතුණා අඬන්න. ඇයි මට මෙහෙම කරන්නේ කියලා.
මං කොහෙද තැනක අහලා තිබුණා වැරැදි කරන මිනිස්සුන්ව හිරේට දානවා කියලා. ඒ මිනිස්සුන්වත් දම්වැල්වලින් බැඳලා හිර කරනවද කියල මම දන්නෙ නෑ. හැබැයි මට නිතරම කාගෙන් හරි අහල දැනගන්න ඕනෙ වුණා මාව මෙහෙම හිර කළේ මං කරපු මොන වරදටද කියලා. ඒත් ඒකට උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් මේ කොහේවත් නෑ කියලා දැනගත්තට පස්සේ මං ඒ ප්‍රශ්නෙට උත්තර හොයන එක නතර කරලා දැම්මා. හැබැයි ඊට පස්සේ මම මගේ අලුත් ජීවිතේට ටික ටික හුරු වුණා. ඒ ජීවිතේ කොච්චර සුන්දරද කියලා මට දැනෙන්ට පටන් අරගත්තා. මාව ආදරෙන් බලාගන්න කෙනෙක් මට ලැබුණා. ඒ තමයි වෙදමහත්තයා. හැබැයි මගෙ හොඳම යාළුවා වුණේ වෙදමහත්තයා නෙවෙයි. වෙදමහත්තයගෙ ගෙදර කට්ටිය මට පුළුවන් තරම් ආදරේ දෙනකොට මගේ ළඟින්ම හිටපු කෙනා තමයි කළු මාමා. මට වෙලාවකට හිතෙනවා කළු මාමා කියලා කියන්නේ මගේ නෑදෑයෙක්ද කියලා දැනගන්න. කළු මාමා කොහෙන් ආවද, කාගෙ කවුද කියන්න මම දන්නෙ නෑ. හැබැයි ඉතින් කළු මාමා එයාගෙ පළමුවැනි රාජකාරිය විදියට මගේ ළඟ ඉන්න පටන් අරගත්තා. වෙලාවකට මට කළු මාමා කියන්නේ මල ඇණයක්. ඇයි අප්පා ඉවරයක් නෑ එහෙට දුවනවා, මෙහෙට දුවනවා, මගෙත් එක්කම ඉන්නවා. ඇයි මේ කියලා මට හිතාගන්න බෑ. මොකද මටත් කියලා වැඩ රාජකාරි ඕනෙ තරම් තියෙනවනෙ. ඒ වුණාට මෙයා ඒක තේරුම් අරගන්නෙම නෑ. මෙයාට ඕනෙ හැමදාම මගෙ ළඟ ඉන්න. මම කොහේ ගියත් එයා මගෙත් එක්ක එනවා. මම මොනවා කළත් එයා මගේ ළඟට වෙලා ඉන්නවා. නාවන්න, කන්න බොන්න දෙන්න හැම දේටම කළු මාමා තමයි මගෙ පස්සෙන් වැටුණේ. කොහොම නමුත් ටික ටික කල් යනකොට මට තේරුණා මට මේ රටේ අලුත් රාජකාරි ටිකක් පැවරෙනවා කියලා. මොකද නාන්න ගියාට පස්සේ මං වතුරෙන් බලනවා මම කොච්චර ලස්සනද කියලා. මං උසයි, මහතයි, මගේ දළ බොහොම දිගයි. ඒ නිසා මමලු ආසියාවෙ හිටපු උසම හීලෑ දළ ඇතා.
ඔය අස්මේ මට දවසක් සිද්ධ වුණා අලුත් රාජකාරියකට යන්න. කොහෙද කියලා මම දැනගෙන හිටියෙ නෑ. ගියා ගියා ගියා දවස් ගානක් ගියා. මගෙ කකුල් දෙකට වෙහෙස නොදැනෙන්න හුඟක් තැන්වල නවතිමින්, කෑම බීම කමින් බොමින් තමයි අපි මේ ගමන යන්නේ. හැබැයි වෙදමහත්තයා කැමැති වුණේ නෑ කවදාවත්ම මාව වාහනේකට නග්ගන්න. ඒ නිසා අපි ගියා පයින්ම. යනකොට ටිකෙන් ටික පරිසරය වෙනස් වෙන්න පටන් ගත්තා. ගහකොළ වැල් මල් අස්සෙන් අලුත් මල් මතුවෙන්න පටන් ගත්තා. රෝස පාට මල් පාවඩ එළලා තිබුණු වීදි දිගේ අපි ඇවිද්දා. ඈතින් පේන කඳු මුදුන්වල තිබුණු වලාකුළු මට අත වනනවා වගේ දැනුණා. මට වෙලාවකට මතක් වුණා මගේ පුංචි කාලෙ. ඒ රටේ තිබිච්ච සිහිල, මිහිර ටිකක් මේ වගේ කියලා මට දැනුණා. මට වෙලාවකට අම්මවත් මතක් වුණා. මට සමහර දවස්වලට අම්මව මතක් වෙනවා. අම්මගෙන් මාව වෙන් කළේ ඇයි කියලා මට තාම හිතාගන්න බෑ. මම හිතාගෙන හිටියේ හුඟක් කල් අම්මගෙන් කුක්කු බීලා අම්මා ගාවට වෙලා ඉන්න. අම්මත් එක්ක කැලේ දුවන්න. අම්මා කියලා දුන්නා ඒ දවස්වල වැව් පිටියෙ අයිනට ගිහිල්ලා, වැව් පිටිවල හැන්දෑවට හඳ පායන වෙලාවෙ අහස දිහා බලාගෙන ඉන්නකොට හරි ලස්සනයි කියලා. මම හිතාගෙන හිටියෙ අම්මත් එක්ක එහෙම හඳ දිහා බලාගෙන ඉන්න.
ඒත් මට ආයෙත් කවදාවත් අම්මව දකින්න ලැබෙන්නේ නැති වෙයි කියලා මට ටිකෙන් ටික දැනෙනකොට අම්මාගෙ මතකය හීනයක් වගේ ඈතින් ඈතට පාවෙලා ගියා. මට පෙනුණා ඈත වලාකුළු අස්සේ ඉඳන් අම්මා මට කතා කරනවා. ඒත් මොනව කරන්නද ජීවිතේ තනිකම කියලා කියන්නේ මහ පුදුම දෙයක්. මට අම්මටයි තාත්තටයි දෙන්නටම හිටියෙ කළු මාමා. මං කඳු නැඟගෙන පල්ලම් බැහැගෙන කොහෙදෝ යන අස්සෙ කළු මාමත් හෙණ්ඩුව අරගෙන, කොන්ද කුදු ගහගෙන මගේ පස්සෙන් ආවා. එතකොට ඈතින් පේන කන්දක් පෙන්නලා කවුදෝ මට කිව්වා අර තියෙන්නේ හන්තාන කියලා. හන්තානට එහා පැත්තේ අලුත් හඳක් පායාගෙන එනවා. ඒ හඳයි අපි වැව් පිටියෙ දකින හඳයි දෙකම එක වගේ වෙන්න ඇති කියලා මට හිතුණා. අපි ගියෙ හරිම ලස්සන තැනකට. ලස්සන සුදුපාට ගොඩනැගිල්ලක්. ඒ ගොඩනැගිල්ල වටේම ලස්සන වලාකුළු වගේ බැම්මක්. ඒ බැම්මට ඈතින් පේන රත්තරන් පාට වහලයක්. මොකක්දෝ අමුත්තක් මට දැනුණා.‘ආං පුතේ අතන තමා දළදා හාමුදුරුවො වැඩ ඉන්නේ, වඳින්න’ කියලා කළු මාමා කිව්වාම මම වෙනදා පුරුදු විදියට පන්සලකට ගියාම වඳින විදියට වැන්දා. එදායින් පස්සේ මම කී වතාවක් නුවර ආවද කියලා මට මතක නෑ. කොහොම වුණත් මගේ ගෙදර ගම්පහ වුණාට මගේ ගම නුවර වගේ මට දැනෙන්න ගත්තා. නුවර කියන්නේ මහ පුදුම ලස්සන තැනක්. ඒ ලස්සන මගේ ජීවිතේට කොහෙන් කොහොම යාවුණාද, හාද වුණාද කියලා නොදන්නවා වුණාට මේ නුවර එන ගමන මගේ ජීවිතේ සුන්දරම අත්දැකීම විදියට මට දැනෙන්න පටන්ගත්තා. කකුල්වලට දම්වැල් දාලා හිර කරලා තියෙන එක ඇත්තටම අලියෙකුට හොඳ දෙයක් නෙවෙයි. කොච්චර ලොකු ඇතෙක් වුණත් මේ දම්වැල්වලින් මිදෙන්න බෑ කියන එක හැමදාම දුකක්. අදත් මං ගැන කතා කරන ගොඩක් අය මාව දම්වැල්වලින් බැඳලා තිබිච්ච එක ගැන කනගාටු වෙනවා. මට මගේ ජීවිතය නැති කරපු එක ගැන දුක් වෙනවා. ඒක තමයි ඇත්ත.
ඇත්තටම ඇතෙකුට ඕනෙ කරඬුවක් වඩම්මවන්න නෙවෙයි, ඇතෙක්ට ඕනෙ ඇතෙක්ගෙ වනාන්තරේ ඇතුළේ ඇතෙක් වගේ නිදහසේ ඇවිදින්න. හැබැයි මට ඒක අහිමි කළේ මිනිස්සු. ඒ මිනිස්සුම මාව පූජනීය වස්තුවක් කළා. මිනිස්සු වගේම තමයි අපිත් ආසයි ලස්සනට අඳින්න. අපිත් ආසයි මිනිස්සු අතර වීරයෙක් වෙන්න. අපිත් ආසයි අලි ඇත්තු අතරෙ කැපිලා පේන්න. ඒ නිසා මං දළදා පෙරහැරේ කරඬුව වැඩැම්මුවේ හරිම ආඩම්බරෙන්. දළදා වහන්සේ වෙනුවෙන් එක දවසක්වත් මට වෙන් කරන්න පුළුවන් වෙච්ච එක ගැන මට සතුටුයි.
මිනිස්සු දළදා වහන්සේට වඳිනවා. මිනිස්සු දළදා වහන්සේට ගෞරව කරනවා. දළදා වහන්සේ කියලා කියන්නේ දඹදිව් තලයේ ඉපදිච්ච බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන්වහන්සේ කියලා මම නිතරම අහල තියෙනවා. ඒක නිසා මේ දන්ත ධාතුන්වහන්සේ හරිම පූජනීයයි. එහෙම පූජනීය දන්ත ධාතුන්වහන්සේ මගේ පිටින් වඩම්මවනකොට මිනිස්සු මාව දැකලා වඳිනවා. කන්ද නැගලා මම එනකොට කෑම බීම ඕනෙ තරම් ලෑස්ති කරලා තියෙනවා. මට පුරුදු තැන්වල මං නතර වෙනවා. යාළුවොත් එක්ක කතා කරනවා. ඒගොල්ලො මට කෑම බීම දෙනවා. බඩගින්නක්, නිදිමතක්, පාළුවක් කවදාවත් දැනෙන්නෙ නෑ. වෙහෙස දැනෙනවා කියලා හුඟක් අය හිතාගෙන හිටියට වෙහෙස නොදැනෙන්න මාව කන්දට එක්කගෙන එන්න කළු මාමා වගේම ගොඩක් අය දැනගෙන හිටියා. කන්ද නැඟලා නුවර ඇවිත් නුවර පෙරහැරේ උජාරුවට ඇවිදින එක මට ආඩම්බරයක්. මගෙත් එක්ක යාළු වෙච්ච ඇත් පන්තියේ හිතවත්තු මාව ආදරෙන් පිළිගත්තා. ඒගොල්ලො මාත් එක්ක කතා කළා. කතරගම වාසනා, නුවර ඉන්දිරාජා වගේ අය මගෙ හොඳ යාළුවො.
දවසක් මම සඳගලට අඩිය තියලා ධාතුන් වහන්සේ කරේ තියාගෙන එනකොට පාවඩයක් එහෙට මෙහෙට වෙලා තිබිලා හොඬවැලෙන් හදාගන්න විදිය පින්තූරයක් අරගෙන තිබුණා. ඒ පින්තූරය අරගෙන තිබුණෙ දළදා මාලිගාවේ පින්තූර ගන්න චානක මහත්තයා. යාළුවො එයාට කතා කරන්නේ සෝසු කියලා. මම දන්නෙ චානක මහත්තයා කියලා තමයි. ඉතින් ඒ මහත්තයා ඔය පින්තූරෙ හැම තැනම මිනිස්සු අතරට බෙදාහැරලා තිබුණා. දවසක් මම කන්ද නැගලා නුවර එනකොට අයි.ටී.එන්. එකේ වැඩකරපු සුමනවීර මහත්තයා මාත් එක්ක හුඟාක් දුර ආවා. එයත් ආවෙ පයින්මයි. එයා මම එන හැටි, යන හැටි, කන හැටි, බොන හැටි ඔක්කොම එයාගෙ කැමරාවෙන් වීඩියෝ කළා. එහෙම කරලා අයි.ටී.එන්. එකේ පෙන්නුවට පස්සේ මගේ කතාව තවත් ප්‍රසිද්ධ වුණා.
කොහොම නමුත් දැන් මට යන්න කාලෙ හරි ගිහිල්ලා. ඔයාලත් එක්ක හිටපු කාලෙ හරි සුන්දරයි. මේ රට මාව ආදරෙන් බලාගත්තා. මාව පරිස්සම් කළා. එස්.ටී.එෆ්. එකේ සහෝදර සහෝදරියො මගෙත් එක්ක මං වගේම පයින් ගියා. කළු මාමා මං ඇවිද්ද හැම කිලෝමීටරයක්ම කළු මාමගෙ පුංචි කකුල් දෙකෙන් ඇවිද්දා. කළු මාමට වෙහෙස දැනෙන්නේ කොච්චරද කියලා කවුරුවත් හිතන්න නැතුව ඇති. මම ඇතෙක් වුණාට කළු මාමා ඇතෙක් නෙවෙයි. හැබැයි මට ඇතෙකුටත් වඩා ලොකුවට දැනුණේ කළු මාමව. කළු මාමා තමයි මගේ හයිය. කළු මාමට මං ආදරෙයි. මං දන්නවා මං නැති දවසක කළු මාමා තනිවෙනවා කියලා. කළු මාමා තනි නොකරන්න අපේ රටේ මිනිස්සුන්ට ලොකු වගකීමක් තියෙනවා. මං නැතිව පයින් ඇවිදින කළු මාමට මට තරම් වටිනාකමක් දැනෙන එකක් නෑ. නුවර පෙරහැරේ උජාරුවට මාත් එක්ක ගිය කළු මාමා ඊළඟ අවුරුද්දේ නුවර පෙරහැර බලන්න යන එකක් නෑ. මං දන්නවා කළු මාමට මං නැතුව නුවර යන්න බෑ. හැබැයි මහත්වරුනි, මං නැතුව නුවර එන කළු මාමට මාත් එක්ක නුවර ආපු කළු මාමට වගේම සලකන්න. අලි ඇත්තු හුරතලේට ඇතිකරන්නවත්, අලි ඇත්තුන්ගෙ නිදහස නැති කරන්නවත්, අලි ඇත්තු පෙරහැරේ කරඬුව වඩම්මවන්නවත් එක්කගෙන එන එකට මමත් එකඟ නෑ. හැබැයි දැන් කරන්න දෙයක් නෑ. අපි ඒකට හුරු වෙලා ඉවරයි.
ඒ නිසා මිනිස්සු විදියට අලින්ගෙ ඇත්තුන්ගෙ විතරක් නෙවෙයි සත්තු කාගෙවත් නිදහස නැතිකරන්න එපා. සත්තු වත්තෙ සත්තු ගොඩක් කූඩු කරලා ඉන්නේ වැරැදි කරලා නෙවෙයි. බෝගම්බර හිර ගෙදර මිනිස්සු කූඩු කරලා ඉන්නවා වගේ දෙහිවල සත්තු වත්තෙ සත්තු කූඩු කරලා ඉන්න එක ගැන මට තාම හිතාගන්න බෑ. ඇයි, මිනිස්සු වැරැදි කළාම කූඩු කරනවා වගේ ඇයි මේ සත්තු කූඩු කරන්නේ? ඇයි මේ සත්තුන්ව දම්වැල් දාලා බඳින්නේ? මම ගම්පහට නැදුන්ගමුවට විතරක් නෙවෙයි මුළු රටටම වටිනා වස්තුවක් කියලා කියන ඔයාලම තමයි ඒ සත්තුන්ව හිරකරලා තියන්නේ. මගේ වටේට එස්.ටී.එෆ්. එකේ තුවක්කු ගත්තු මහත්තුරු දාලා කැලේ ඉන්න අලින්ගෙ කැලේ ඉන්න ඇත්තුන්ගෙ දළ කපනකොට ඇයි ඔය මහත්තුරු නිකන් ඉන්නේ? මගේ දළ කපන්න කවුරුවත් එන්නෙ නෑ. මං ඉන්නේ ගෙදර. හැබැයි කැලේ ඉන්න සත්තු කොච්චර පවුද? සත්තු කීදෙනෙක්ව මරල දැම්මද? කී දෙනෙක්ගෙ දළ කැපුවද? ඒවට හවුල් වෙච්ච දේශපාලකයො ලොකු ලොකු මිනිස්සු ඔක්කොම නිදහසේ ඉන්නකොට මගේ වටේ තුවක්කු අරන් එහෙට මෙහෙට ඇවිදිනකොට සමහර විට මටම හිනා ගිය කාලයක් තිබුණා.
කොහොම නමුත් දැන් මගේ කාලෙ ඉවරයි. මට යන්න වෙලා. මං ඔයාලව දාලා යනවා. මං ආයෙ කවදාවත් කන්ද උඩරට නුවර පෙරහැරට එන්නෙ නෑ. මං එනකොම් බලාගෙන ඉන්න හැමෝටම මට කියන්න තියෙන්නේ සමාවෙන්න, කියලා යන්න බැරි වුණාට. ගියපාර පෙරහැර ඉවරවෙලා එනකොට මට ඔය කාටවත් කියලා එන්න බැරි වුණා. මං ආයෙ එන්නෙ නෑ කියලා. මාත් හිතාගෙන හිටියෙ නෑ මට මෙහෙම වෙයි කියලා. ඒත් මේ ජීවිතේ කියලා කියන්නේ මහ පුදුම අනියත දෙයක්නෙ. මම ගිහිල්ලා එන්නම්. හැමදාම, හැමදේම වෙනුවෙන් මගෙත් එක්ක ළඟින් හිටපු, මං යන එනකොට මට වැඳවැටිච්ච, මට කෑම බීම දීපු, මාව ආදරෙන් බලාගත්ත හැමෝටම ස්තුතියි. මං මේ රටට ආදරෙයි. දන්ත ධාතුන්වහන්සේට මම කැමැතියි. මම දළදා කරඬුව වඩම්මවන්න ආයෙත් එන්න ආසයි. ඒත් ආයෙ කවදාවත් මම නුවර එන්නේ නෑ. එහෙනම් හැමෝටම දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි. මම නැදුන්ගමුවේ රාජා…
ජීවන පහන්










