මාසෙකදි 168ක් දූෂණය වෙලාලු… දරුවො 22 ගැබ්ගෙනලු…
දරුවො අනාරක්ෂිතයි නම් ඒ රටේ සාමයෙන් හෝ සමාදානයෙන් වැඩක් නෑ. ඒ රටේ ආණ්ඩුවෙන් වැඩක් නෑ. පොලීසියෙන් හෝ වෙනත් ආරක්ෂක අංශයකින් වැඩක් නෑ. මේ රටේ වැඩි හිටියන්ගෙන් වැඩක් නෑ. මවුපියන්ගෙන් වැඩක් නෑ.(Sri Lanka Latest News)
මාසයක් ඇතුළත අවුරුදු 16ට අඩු දැරියන් 168 දෙනෙකු අපයෝජනයට ලක්කර ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ කියනවා. මේ සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් වෙන්නෙ වාර්තා වූ ඒවා විතරයි. වාර්තා නොවූ ඒවා ඕනෑ තරම් ඇති. කාටවත්ම නොකියපු කතා ඇති. ඇමැතිතුමිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේ ඉන් දැරියන් 22ක් ගර්භණී තත්ත්වයට පත්වෙලා කියලා. ඒ දරුවො හෙට තවත් දරුවො බිහි කරනවා. තම දූෂණය කරපු අපරාධකාරයෙක්ගෙ ලේවලින් ඉපදුණු දරුවෙක් ඈ රකින්න ඕනෙ. එහෙම දරුවෙක්ව නැති කරන්න නීතිමය ක්‍රමයක් ලංකාවෙ නෑ. එහෙම නීතියක් නැත්තම් අඩුම තරමෙ ඒ වගේ නරකම අත්දැකීමක් මනුස්සයෙක්ට නොදැනෙන්න පරිසරයක් හදන්න ඕනෙ.
‘2023.09.01 සිට 2023.09.30 දක්වා මාසයක් ඇතුළත වයස අවුරුදු 16ට අඩු දරුවන් 168 දෙනෙක්ව දූෂණයට ලක්වෙලා තිබෙනවා.’
‘ඒ අය අතරින් මේ වන විටත් දරුවන් 22ක් ගර්භණී බවට පත්වෙලා. අපි ඉතාම අවාසනාවන්ත තත්ත්වයක ඉන්නේ.’
මේ වගේ කතා ළමා හා කාන්තා කටයුතු භාරව ඉන්න අමාත්‍යවරිය කියනවා. අපි අහගෙන ඉන්නවා. වෙන කරන්න දෙයක් නෑ.
ලංකාවෙ වැඩිම ලිංගික හිංසන වාර්තා වෙන්නෙ නගරයෙන් නෙමෙයි. ඒ ගමෙන්. ලිංගික හිංසන අතර විශේෂ වෙන කාරණයක් වෙන්නෙ දුප්පත්කම. දුප්පත්කම හෝ මුදල් සඳහා ඇති කෑදරකම නිසා පාසල් වයසේ දරුවන්ව ලිංගික ශ්‍රමිකයන් විදියට පාවිච්චි වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වෙන්නේ වැඩිහිටියන්ගෙ අනුදැනුම මත. මේ වැඩකරවන්නෙ වැඩිහිටියො. අද වෙන කොට ලිංගික ශ්‍රමිකයන් ප්‍රමාණය දෙතුන් ගුණයක් වෙලා. අන්තර්ජාලය ඔස්සෙ දැන්වීම් පළකරන තැනට ලිංගික ශ්‍රමිකයන් දියුණු වෙලා. ඒ වගේම සම්බාහන මධ්‍යස්ථාන හරහා රහසිතව සිදුවෙන ලිංගික කාර්යයන් ඉතාම වැඩියි.
ඒ වගේම වීඩියෝ ඇමතුම් හරහා සිදුවෙන ලිංගික කටයුතු. ඊළඟට සමාජ මාධ්‍ය ඔස්සෙ ගොඩනගන සබඳතා. විශේෂයෙන්ම ටෙලිග්‍රෑම් කණ්ඩායමක් ඔස්සේ ගොඩනැගෙන යාළු මිත්‍රකම්.
ඒ වගේම ප්‍රේම සම්බන්ඳතා. අද වෙනකොට තරුණ තරුණියෙ සබඳතාවක් පටන් අරගෙන සතියෙන් දෙකෙන් යන්නෙ කාමරේකට. අද ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් හැදිලා ඉවරයි.
ඊළඟට මවුපියෝ හේනට ගිය ටිකට, ගාමන්ට් එකට ගිය ටිකට, රස්සාවට ගිය ටිකට ගෙවල්වලට ගෙන්නගන්න පෙම්වතුන්. මේ සියල්ලම ගැටලු. ඊළඟට ඔබ හිතමින් ඉන්නෙ දරුවො අනාරක්ෂිත ප්‍රධාන නගරවල කියලා. ඒත් ඇත්තටම දරුවො අනාරක්ෂිත කාමර ගෙවල් ඇතුළෙ. කාමර ඇතුළෙ.
තේරුම් ගන්න ඕනෙ තත්ත්වය මේක. එහෙම නැතිව නිකම්ම ගණන් හද හදා හිටියට වැඩක් නෑ.
සේයාලව, විද්‍යාලව මරලා දාපු එක ඉතිහාසයට එකතුවෙන කොට තවත් කතන්දර මතුවෙනවා. අම්මා තමන්ගෙ දුවව සල්ලාලයන්ට විකුණපු බව කියවෙනවා. හේනට ගිය ටිකට දරුවො ගැබ් අරගෙන. මේ හැම එකකටම හේතුවක් තියෙනවා. අපි ලිංගිකත්වය මැජික් එකක් කරලා ලිංගික අධ්‍යාපනය ඈතටම අරගෙන ගිහිල්ලා. හෝමෝන වර්ධනය වෙනකොට ශරීරය කියන දේවල් අහනවා මිසක් වෙන කරන්න පුළුවන් දෙයක් නෑ.
ඒ නිසා මේවා කතාවලට විතරක් සීමාකරන්න එපා. නීතියට යටින් සදාචාරයට මෙපිටින් ජීවිතය කියන පාඩම උගන්නමු. හැමෝටම.
කොහොම නමුත් ස්ත්‍රී දූෂණයකදී
● වින්දිතයාගේ වයස
● ලිංගික ක්‍රියාව සිදුවූයේ කාන්තාවගේ හෝ ගැහැනු දරුවාගේ කැමැත්ත ඇතිව ද නැතිව ද යන වග
● වින්දිතයා හා චූදිතයා අතර ඇති සම්බන්ධතාව (උදාහරණ – වෛවාහික/ඥාති/පෙම් සබඳතා/දික්කසාදයට පෙර ස්වාමිපුරුෂයා)
● කාන්තාවට හෝ ගැහැනු දරුවාට සිදුවූ කායික හානිය පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාව ඉතාම වැදගත් වෙනවා. යම් සිදුවීමක් ස්ත්‍රී දූෂණයක් ද නැද්ද කියන එක දැනගන්නෙ මේවා හරහා. තමන්ට සිදුවන්නේ අපරාධයක් යැයි තීරණය කළ නොහැකි වයසක සිටින ගැහැනු දරුවන්ට ආරක්ෂාව සැපයීම සඳහා වයස් සීමා සහිතව නීති හදනවා. මේ විදියෙ අපරාධමය චෝදනා සම්බන්ධයෙන් නීති පවතින්නේ අපරාධ නඩුවිධාන සංග්‍රහය සහ දණ්ඩ නීති සංග්‍රහයේ.
● දූෂණයට ලක්වූ තරුණිය වයස අවුරුදු 16ට අඩු නම්, එය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ලෙස හැඳින්වෙනවා. මෙතැනදී ඒ දරුවගෙ කැමැත්ත හෝ අකැමැත්ත වැදගත් නෑ.
1995 අංක 20 දරන අපරාධ නඩුවිධාන සංග්‍රහ සංශෝධන පනතේ 364 වගන්තියට අනුව, දැරියගේ කැමැත්ත ඇතුව හෝ නැතුව යන මූලික නෛතික සිද්ධාන්ත අදාළ වෙන්නෙ නෑ. අවුරුදු 16ට අඩු තරුණියක සමග ලිංගික සංසර්ගයේ යෙදෙන තැනැත්තකු ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණය යටතේ වරදකරුවෙක්. අවුරුදු හතකට නොඅඩු අවුරුදු විස්සක් නොඉක්මවන බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ දඩ මුදලක් ගෙවීම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ වරදට දඬුවම්.
මේවා අධිකරණමය ක්‍රියාදාමය යටතේ සිදුවෙන්නෙ. ඒ නිසා නීතිය නිදාගෙන නෑ. නමුත් මේ ශක්තිමත්භාවය දැන දැනමත් අපරාධ වෙනවා. පවුල් සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ශ්‍රී ලංකාවේ මුළු ගැබ් ගැනීම්වලින් 6.1%ක් සිදුවන්නේ වයස අවුරුදු 13-19ත් අය අතර බව කියවෙනවා. ඒ නිසා මේක ඒ තරම්ම හොඳ තත්ත්වයක් නෙමේ.
ජීවන පහන් තිළිණ










