ඉකුත් ජනාධිපතිවරණයේදී කැලණි ගඟෙන් නාග රාජයකු මතුවීමේ සිද්ධිය මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් විය. එහිදී බොහෝ දෙනා මෙම ප්‍රබන්ධය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් දෙරණ මාධ්‍ය ජාලයටත් එහි හිමිකරු වනදිලිත් ජයවීර මහතාටත් චෝදනා එල්ලකල ආකාරයත් දැක ගන්නට හැකිවිය. නමුත් ඒ කිසිම අවස්ථාවකදී දිලිත් ජයවීර මහතා ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ නැත. නමුත් පසුගිය දිනකදී පළමු වතාවට මාධ්‍ය හමුවට පැමිණ දිලිත් ජයවීර මහත කැලණියේ නයි සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළකර තිබුණේ මේ ආකාරයටය.
මේ කවිය ජීවන පහන් තළිණ ලිව්වත් මේ කවිය වෙන කවුරු කිව්වත් රසවත් නෑ ඔබ කියනව තරම්.
මේ කවිය ඉතාමත් වැදගත් වෙන්නෙ චරණ වගේ නිදහස් නාළිකාවක විතරයි මට මේක කියල යන්න පුළුවන් වෙන්නෙ. මට ඒ අවකාශය ලැබෙන්නෙ නෑ තරගකාරී මාධ්‍ය නාළිකාවල. අනෙක මම ප්‍රතිපත්තියක් හැටියට විශ්වාස කරනව මගේ හිමිකාරීත්වය තියෙන නාළිකාවේ මගේ පෞද්ගලික කතාවක් කතා කරන එක එච්චර සදාචාර සම්පන්න නැහැයි කියල.
රෑට බිව්වට පස්සෙ මිනිස්සු කුණුහරුපෙන් බනින මාධ්‍ය අයිතිකාරයෙක් මම. ඒක මම පෞද්ගලිකව අත්විඳපු දෙයක්. අපි ජීවිතයේ ආශ්‍රය කළේ ඒගොල්ලන්නෙ මම මාධ්‍යයට එන්න කලින්. මේ හැමෝම ගැන මම දැකපු මහා පොදු සාධකය තමයි මේ මාධ්‍යකරුවො සටන් කරන්නෙ මාධ්‍ය නිදහස ඉල්ලල. සමහරු කියනව පඩිය නැති වුණත් කමක් නැහැ අපට අපේ වැඩේ කරගන්න දුන්න නම්, හැබැයි අරූ ඇවිල්ල මේකට මෙහෙම හොට දැම්ම කියල තමයි බනින්නෙ. මට සිහිනයක්වත් තිබුණෙ නැහැ මාධ්‍ය හිමිකරුවෙක් වෙන්න. නමුත් ඒ ලැබුණු පළමුවැනි අවස්ථාවෙදිම, පළමුවැනි රැස්වීමේදීම මට මතකයෙන් කියන්න පුළුවන් වසන්ති නානායක්කාර වගේ චරිත, තවත් 14 දෙනෙක් හිටිය. මම ඔවුන්ට කිව්වෙ මේ මාධ්‍ය ආයතනයේ මට හිමිකාරිත්වය තියෙන තුරාවට කිසි දිනෙක ඔය මාධ්‍යයේ ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරුවලට මම සම්බන්ධ වෙන්නෙ නැහැ කියල. මම අවුරුදු 16කට පස්සෙත් දැන් ඒ නාළිකාවේ හයසිය ගණනන් වැඩ කරනව. ඔය ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි මම ජීවිතේට ඔය ප්‍රවෘත්තියකට අතදාල නැහැ කියල.
ප්‍රසිද්ධ කාරණයක් තමයි පසුගිය ජනාධිපතිවරයා බලයට ගේන්න මම පෞද්ගලිකව කැපවුණු කෙනෙක්. ඒක මම හැම තැනම කියලත් තියෙනව, හැමෝම දන්නව. හැබැයි ඒකට නාළිකාව භාවිතා කළා කියන චෝදනාවක් කලින් තිබුණෙ නෑ. නමුත් මේකට චෝදනාවක් එන්න පටන් ගත්ත. මේක එතුමත් දන්නව මමත් දන්නව. ඔහුව බලයට ගේන්න මම අනෙක් සියලුම උපක්‍රම භාවිතා කළත් ඔය උපක්‍රමය මම භාවිතා කළේ නැහැ.
ඒ අතරතුරේදි තමයි මේ නයා එන්නෙ. ඇත්තටම ඡන්දෙත් ඉවර වෙලා කාලයක් ගියාට පස්සෙ තමයි සමාජ මාධ්‍යවල නයෙක් ගැන කතා කරන්න ගත්තෙ. ජනාධිපති වෙලත් සෑහෙන කාලයක් යනකම් මම එහෙම ප්‍රවෘත්තියක් ගැන දැනගෙන හිටයෙවත් නැහැ. සමාජ මාධ්‍යවල ගහනකොට ‘කැලණියෙ නයා, ඩෝං ගාල සද්දයක් ආවා’ කියල සමාජ මාධ්‍යවල එන්න එන්නම මතුවෙන්න ගත්ත. එතකොට තමයි මම මේ ඔර්ජිනල් නිවුස් එක බැලුවෙ. මේක විනාඩි 2කුත් තත්පර ගණනක ප්‍රවෘත්තියක්. මේ ප්‍රවෘත්තියේ තියෙන්නෙ මහාචාර්ය කොල්ලුපිටියෙ සංඝරක්ඛිත හාමුදුරුවො විසින් කරන ප්‍රකාශයක්. මේ ප්‍රකාශය උකහා ගන්නව නාළිකාවේ ප්‍රවෘත්තිවලට. මට ඒකෙ කිසි වරදක් ඒක ආපස්සට බැලුවම පේන්නෙ නෑ. මොකද ඒකෙත් ලොකු ප්‍රවෘත්තියක් තියෙනව මාධ්‍යවේදියගෙ දෘෂ්ටිකෝණයෙන්. මහාචාර්ය හාමුදුරු කෙනෙක්. කැලණිය පන්සලේ නායක හාමුදුරුවො, ඔහුට දේශපාලන ඉතිහාසයකුත් තියෙනව මීට ප්‍රතිවිරුද්ධව. ගිහිල්ල ටක්ගාල අල්ල ගත්ත මයික් එකට වොයිස් කට් එකක්. නියමයි රේටින් උඩ යන ක්‍රමයක් ගිහිල්ල නිවුස්වල ගැහුව. මේක සමාජගත වෙන්නෙ කොහොමද? බොහෝ විට මගේ නමත් ඈඳල තමයි නයා කියන්නෙ. මම මේ සංස්කෘතික ප්‍රවාහයෝ කොටස්කරුවෙක්. මම අතිශය ගරු කරනව මේ සංස්කෘතික ප්‍රවාහයේ සියුම් තැන්වලට. ඒකෙ තියෙන්න පුළුවන් යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්. ඒවට ගරු කරනව. හැබැයි ඒව විිශ්වාස කරන්නෙ නැහැ. මම මගේ ජීවිතයේ කිසිම දවසක නැකැත් පිළිබඳව පස්සෙන් ගිහිල්ල වැඩ කරල නෑ. මම සරලව බුදු දහමේ එන ‘අත්තාහි අත්තනෝ නාතෝ’ ‘මගේ පිහිටට මම පමණයි’. මම අදේවවාදී බෞද්ධ දර්ශනය විශ්වාස කරන කෙනෙක්. ඉතින් මේක කොහොමත් මගේ පරිපථය තුළ නෑ.
හැබැයි මේ නයා ගැන සංවාදය එනකොට මම දැක්ක හරි විද්වත් අය, විවිධ නාළිකාවල මේක විග්‍රහ කරනව. මේ නයා හිටියද, කොහොමද නයා ප්ලාස්ටික් බෝතලේ ඇතුළට ආවෙ, මේ නයා දිගද, සුදුද, කළුද කියල. මම මේ තුළ දැක්ක දෙයක් තමයි යම්කිසි සමාජ ගැටලුවක් ඓතිහාසික ප්‍රශ්නයක් විය හැකියි කියන එක. මොකද මේ ප්‍රවෘත්තිය තුළින් විය හැකිව තිබුණ හා වුණා යැයි කියන දේශපාලනය නෙමෙයි, අතර දිවෙන යටිපෙළට මම සංවේදියි. ඉතින් ඔය සාකච්ඡාව යන අතරතුර මගෙන් ඒ ගැන ප්‍රශ්න කළාමත් මම අහන්නෙ දැන් ඉතින් මේක සාහිත්‍ය නේද කියල. ඒ අතරතුරේ මට හම්බුණා මේ කවිය.
මේ කවිය ලියල තියෙන්නෙ නව පරපුරේ කවියෙක්. ඔහු ඉතාමත් ජනප්‍රියයි තරුණයන් අතර. මාධ්‍ය විෂය උගන්වන ගුරුවරයකු විදිහටත්, මේ ක්ෂේත්‍රයේ බොහෝ අය අතරත් ජනප්‍රිය පුද්ගලයෙක් වන ජීවන පහන් තිළිණ තමයි මේ නයි කවිය ලියල තියෙන්නෙ.
බුදු සාදුව පෙනේ යටින් තියන් හිටපු නයා
මතක නැද්ද කියල දුන්න මුචලින්දය කියා
තව පොඩ්ඩක් බලපු කලට පොතේ පතේ හොයා
සීලව නම් නාග රජෙක්
පණ්ඩ නාග කියල කෙනෙක්
අඟුරට සිටි පුදුම නයෙක්
ගැන තියෙනව ලියා
නයි පමණයි
පෙනුණයි දැනුණයි
හඳුනයි තිබුණයි
නයි නයි නයි
මණිඅක්ඛිත නාග රජුගෙ කතන්දරේ ශුවර්
චූලෝදර මහෝදරගෙ නාග අවුල ශුවර්
දුටුගැමුණුගෙ නාග ලෝකෙ ලව් එක හෙන ශුවර්
නාග වල්ලි අරන් ආපු නයා ගැනත් ශුවර්
රන් කරඬුව පෙනෙන් අරන් ආපු නාග පවර්
ලණු දුන්නම අඹරන් කන ඉතිහාසෙම අවුල්
ලොකු සාදුට ඩෝං ගාලා ඇහුණ සද්දෙ ශුවර්
එහෙනම් බං කැලණි නයා විතරද අන්ශුවර්
මේකෙ තියෙන හාස්‍ය රසය, ඒ වගේම මේකෙ තියෙන උපහාසය කාව්‍යමය සංකල්ප විදිහට ගත්තොත් ඒක හරි ප්‍රශස්ත කවියක්. ඒ වගේම මම හිතුව මේකෙ තියෙන යටි පෙළ කියන්න මට මේක පාවිච්චි කරන්නත් පුළුවන් කියල.
මේකෙ අහන ප්‍රශ්නය බලන්නකො. මේ අහන ප්‍රශ්නය හරි බරපතළ ප්‍රශ්නයක්. හේතුව තමයි ආගම යනු මිථ්‍යාවක්ද? එහෙම නැත්නම් විද්‍යාවක්ද? එහෙමත් නැත්නම් විද්‍යාවක් හෝ මිථ්‍යාවක් අතරද? කියන සංවාදයේ කෑල්ලක්නෙ මේ තියෙන්නෙ. මේක නෙමෙයි සමහර විට සමාජ මාධ්‍යවල මතු කරන ප්‍රශ්නය. සාහිත්‍ය විද්‍යාව හා මිථ්‍යාව අතර අපි පරිකල්පනය කරනව. කවුරුවත් මේකෙ සත්‍ය අහන්නෙ නැහැ. හැබැයි ඒකෙ යම්කිසි සත්‍යයක් ගැබ් වෙලා තියෙන්න පුළුවන්.
මම පෞද්ගලිකව ආගමක් හැටියට නෙමෙයි බුද්ධාගම කියන එක අරන් තියෙන්නෙ. ඒකෙ තියෙන සාරය අරගෙන මම මගේ ජීවිතයට ගලප ගත්ත කෙනෙක්. මගේ ජීවිතයට අදාළ කෑලි ටික විතරයි මම ගන්නෙ. විද්‍යාව දාල ආගමක සත්‍යතාවය හොයන්න පුළුවන්ද. මොන ආගමේද විද්‍යාත්මකව බලල ඒක සත්‍යයි කියල හොයල තියෙන්නෙ. ඒකෙ එහෙම එකක් හොයන්නෙ නැහැනෙ. හැබැයි බොහෝ ආගම්වල මිථ්‍යාව කියන එක බොහෝ සාපේක්ෂයි. තමන් ජීවත්වන ජන සමාජයට සාපේක්ෂයි. තමන්ව ප්‍රශ්න නොකර ඉන්න තමන්ම සම්මුතියකට එනව. ඒක තමයි විශ්වාසය බුද්ධාගම කියන්නෙ ඊට වැඩිය එහාට ගියපු දාර්ශනික ඉගැන්වීමක්. මේක ජනගත කරනකොට තත්කාලීන භාරතීය සමාජය කරන්නා වූ බලපෑම දිගින් දිගටම මේකට ඇවිල්ල තියෙනව. මේ බෞද්ධ ඉගැන්වීම් තුළ තියෙන සාරය, ඒ සූත්‍රවල තියෙන දේවල්, ඊට අමතරව ඒව ජාතක කතා හැටියට සාහිත්‍යයේ එනව. ඊළඟට පන්සල් හැටියට පැවතුම් එනව. මේව ඔක්කොම එකතු වෙලා තමයි මේක යන්නෙ. ඉතින් කවුරු හරි අද ප්‍රශ්න කරනව නම් කැලණියෙ නයා හිටියද නැද්ද කියල කිසියම් හෝ ආගමක් ගැන, කිසියම් හෝ විශ්වාසයක් තියෙන කෙනකුට ඒ ප්‍රශ්න කිරීම තුළම ලොකු අර්බුදයකට එනව කිසිම ඇදහිල්ලක, විශ්වාසයක, ආගමක මේ ප්‍රශ්නය අහන්න බෑ කියල. මම හිතනව මේ සංවාදයත් එක්ක මහින්ද සංඝරක්ඛිත හාමුදුරුවොත් මේ වැඩසටහනට වැඩම කරයි කියල. උන්වහන්සේ වැඩම කරන්නත් ඕනෙ. හේතුව උන්වහන්සේ විතරක් නෙමෙයි. මේ ආගමික භාවිතයේ ඒ ඒ චරිත සියලුදෙනාට වගකීමක් පැවරිලා තියෙනව. බෞද්ධ සාහිත්‍යයේ එන සමහර කතා ගත්තහම, සිදුහත් උපතේදි නෙලුම් මල් හතක් උඩින් ඇවිල්ල ‘අග්ගෝ හමස්මි ලෝකස්ස’ කියල කිව්වහම මේකෙ විද්‍යාත්මක සත්‍යතාවය, කොහොමද කෂේරුකාව වර්ධනය වුණේ, ඉපදුණු ගමන් ඇවිදින්න පුළුවන්ද කියන කාරණා ප්‍රශ්න කිරීමට යන්නෙ නෑ මොකද මේක සාහිත්‍ය බව අපි දන්න නිසා. ඒව බෞද්ධ සාහිත්‍ය හැටියට සලකල තියෙන්නෙ. ඒක ගැටලුවක් කරගෙන නෑ. දැන් අපිට ප්‍රශ්නය තියෙන්න ඕනෙ, කැලණිය පන්සලට ගියාම අපිට මේ බෞද්ධ සාරය උරාගන්න ඒ පරිසරය තියෙනවද කියන එක. එතරම් විෂයානුබද්ධ දැනීමක් නැති මේ බෞද්ධ ආගම ගැන, එතරම් කියවීමක් නැති කෙනකුට මේක සරලව කියන්න උපමා උපමේය භාවිතා කරනව වගේ අපේ කාව්‍යමය භාෂාවෙදි සරල ක්‍රම පාවච්චි කරල තියෙනව. එතකොට ප්‍රාතිහාර්ය පාල තියෙනව බුදු හාමුදුරුවො. ඒක නිකන් ඇහුවම ගොන් පාට් එකක් වගේ නේ. ඒක තමයි ඒකෙ තියෙන සාහිත්‍යය. නමුත් මම සෑහෙන දුරට බෞද්ධ දර්ශනය හදාරපු කෙනෙක් හැටියට මට කියන්න පුළුවන් බෙහෙතක් එක්ක ලස්සනට ඇසුරුම් කරල දෙනව වගේ මේකෙ සාරය ගැනයි අපි කතාකළ යුත්තේ. මේ එළියෙ තියෙන දේ ගැන නෙමෙයි.
මම හිතන්නෙ අනෙකුත් සාම්ප්‍රදායික ආගම්වලටත් ඒක එලෙසම අදාළයි. ඒවායෙ එන දේව සංකල්ප, ඒවායේ එන විස්මිත කතන්දර, ඒව ඔක්කොම සාහිත්‍ය. නමුත් බයිබලයේ හෝ කුරානයේ ඇතුළෙ තියෙන සාරය තමයි වටින්නෙ. ඒකට හානියක් නොවන ආකාරයෙන් තමයි අපි මේ සාකච්ඡාව කළ යුත්තේ.

ජීවන පහන් තිළිණ










