අපි කැලෑ කොලමෙන් කතා කරන්නේ වැඩි දෙනකුගේ අවධානයට ලක් නොවන, එහෙත් ඉතා වටිනා පාරිසරික සහ වනජීවී කලාපයක් වන යාන්ඔය නිම්නයයි. උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයට සහ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටා ඇති යාන්ඔය පරිසර කලාපයට යාන්ඔය ජලාශය කෙන්ද්‍ර වී ඇති අතර, එය වර්ෂ 2012දී ඉදිකර ඇත.(Sri Lanka Latest News)
ශ්‍රී ලංකාවේ දිගින් වැඩිම ගංගා අතර පස්වැනි තැන හිමිකර ගන්නා යාන්ඔය දිගින් කිලෝමීටර් 142ක් පමණ වනවා. යාන්ඔය වේල්ල හා බැඳි ජලාශය පරිසර හිතකාමීන්ගේ තෝතැන්නක් ලෙස හැඳින්වීමට පුළුවන. මෙම ප්‍රදේශය වටා පිහිටා ඇති කඳු වළල්ල ජනප්‍රවාද හා පුරාවෘත්ත රාශියකින් පෝෂණය වී තිබෙනවා. වෙහෙරගල කන්ද හා යකිනි බැඳි කන්ද අතර ඉදිකර ඇති වේල්ල ආශ්‍රිතවද මෙම පුරාවෘත්ත ගොඩනැගී ඇත.
යාන්ඔය ජලාශයේ බැම්ම ඉදිකර ඇත්තේ වාහල්කඩ ප්‍රදේශයේය. නියං සමය ආරම්භ වීමත් සමග යාන්ඔය වැව් පිටිය නිරාවරණය වන අතර, ඒත් සමගම වන අලින් ඇතුළු සතා සිවුපාවුන් ආහාරයට ගන්නා තෘණ වර්ග එහි වැවීමද ආරම්භ වෙනවා. එම හේතුවෙන් නියං කාලයට වැඩි වශයෙන් අලි ඇතුන් එම වැව් පිටියට ආහාර සහ ජලය සොයා ඇදී ඒම සිදුවෙනවා. විශාල වැව් පිටියේ තැනින් තැන කණ්ඩායම් වශයෙන් සැරිසරන අලින් එහි සුලබ දසුනක් වන්නේ එම නිසයි.
කෙසේ වෙතත් මෙම සුන්දර පරිසර කලාපය වෙත දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය තවමත් ලැබී නොමැති බව සඳහන් කළ යුතුය. ක්‍රමවත් මාර්ග පද්ධතියක් නොමැති වීම නිසා එහි පිවිසීම ඉතා දුෂ්කර කාර්යයක් වීමද ඊට බලපා ඇත. එම නිසා මෙහි පිවිසීමට සාමාන්‍ය මෝටර් රථවලට නොහැකි බැවින් ෆෝවීල් ජීප් රථයක සහාය ලබාගැනීමට ඔබට සිදුවනු ඇත. එහෙත් වනජීවී ඡායාරූප ශිල්පීන් සහ පරිසරවේදීන් නම් මෙම ප්‍රදේශයේ නිරන්තරව දැකගැනීමට පුළුවන.
යාන්ඔය පරිසර කලාපයට යාබදව කොක්ඇබේ පුරාවිද්‍යා ස්ථානය පිහිටා ඇති අතර, එහි කටාරම් කෙටූ ලෙන් සහ බ්‍රාහ්මී අක්ෂර දැකගන්නට ලැබෙනවා. එම පෞරාණික ලෙන් ලිපිවලින් කියැවෙන්නේ මෙම ස්ථානය අනුරාධපුර මුල් යුගයට අයත් බවයි. මෙගලිතික සුසාන භූමියද පිහිටා ඇත්තේ මෙම ප්‍රදේශය ආසන්නයේමය. ක්‍රි.පූ. 790ත් 770ත් අතර කාලපරිච්ඡේදයට අයත් බවට පුරාවිද්‍යාඥයන් විසින් කාලනිර්ණය කර ඇත.
ජාතික වනෝද්‍යානයකට අවශ්‍ය සියලු සුදුසුකම් සහිත යාන්ඔය නිම්න පාරිසරික ප්‍රදේශයේ මාර්ග පද්ධතිය පිළිසකර කොට, වනජීවී කලාපයක් බවට පත්කොට, නුදුරු අනාගතයේදීම සංචාරකයන් සඳහා විවෘත කරනවා නම් එය වනජීවී දෙපාර්තමේන්තුව සිදුකරන මාහැඟි මෙහෙවරක් වනු ඇත. එසේම එය මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයටද සුවිශාල දායකත්වයක් සලසනු ඇත. සොබා සෞන්දර්යයෙන් සහ වනජීවී විවිධත්වයෙන් ප්‍රමුඛ තැනක් ගන්නා යාන්ඔය සුවිශේෂ පාරිසරික කලාපය සංචාරක ආකර්ෂණය දිනාගන්නා සංචාරක කේන්ද්‍රයක් සේම පරිසර හිතකාමීන්ගේ තෝතැන්නක් වනු දැකීම කැලෑ කොලමේ අපේ අපේක්ෂාවයි.










