“වීරයන් ජීවත්වන්නේ පොඩි (සාමාන්‍ය) මිනිසුන්ගේ හිතේ” යැයි කිසියම් පඬිවරයකු කී කතාවක් තිබේ. ඒ, පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් කිසියම් මෙහෙවරක් කළේ නම් ඒ ඔවුන්ගේ කෘතගුණ සැලකීම සඳහාය.
සාර අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරා බුද්ධත්වයට පත් බුදුරජාණන් වහන්සේ පිරිනිවී වසර 2567ක් ගතව ඇතත් අද පවා උන්වහන්සේට උදේ දාවල් දානය සහ සවස ගිලන්පස පූජාකරන්නේ ඇයි?උන්වහන්සේ ඒ සාර අසංඛ්‍ය කල්ප ලක්‍ෂයම ඇස් ඉස් මස් ලේ දන්දී මහජන සුබසිද්ධිය පතා (බහුජන හිතාය, බහුජන සුඛාය) ඒ උත්තරීතර පදවිය ලබා ගත්තේ මහජනතාවගෙන් අබමල් රේණුවක තරම් හෝ ප්‍රතිලාභයක් අපේක්‍ෂාවකින් තොරව සේවය කළ නිසාය.
වීරයෝ නම් එවැන්නෝය.
මහජන සුබසිද්ධිය සඳහාම ඇපවී කැපවී පේවී පාර්ලිමේන්තුවට ගිය දෙසියවිසිපස් දෙනාම මහජනතාවට “අරහං”ය. මහජනයා ඔවුනට පවසන්නේ “ගෙදර යන්න නොවේ, පලයව්, මකබෑ වෙයව්” යන්නය.
දේශපාලනඥයන්ගේ අනුරූවලට (පඹයන්) කළ කී දෑ අමුතුවෙන් පුන පුනා කිව යුතුද නොවේ. තෙල් ගෑස් පෝලිම්වල දින ගණනාවක් “තැප” සිටින මහජනයාගේ මුවින් පිටවෙන දෙස් දෙවොල් නිමක් නැත. එහෙත් ඒ සෑම සියලු දෙනාගේ මුවින් පිටවුණු එක දෙයක් තිබේ. “එච්චරයි, මිනිහකුට ඉන්නෙ” යන්නය. මහජනයාගේ වචනයෙන්ම කියන්නේ නම් ඒ “රන්ජා”ය. නොහොත් “සද්ද විද්ද පළඟ පතිර රාජපක්‍ෂ අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්ෆොන්සෝ රාමනායකය” කෙටියෙන් රන්ජන් රාමනායකය.
කෙනකු ලෝක පූජිත වීමට මහා දෙයක් කළ යුතු නැත. අවංකව කියන “වචන දෙකක්” හොඳටම සෑහේ.
“මැරෙන හැටි පෙන්නන්නං” යැයි හත් හැවිරිදි පොඩි එකෙක් කීවේය. ඒ පොඩි පුතා අද ඉතිහාසගතය. ඒ “මද්දුම බණ්ඩාය.
මිනිසුන් වශීකරන රූප සොබාවක් රන්ජාට තිබුණත් පොදු මිනිසාගේ හද සංතානයට ඔහු රිංගා ඇත්තේ අන්න ඒ අන්දමේ “වචන දෙකක්” නිසාය.
“මුං ඔක්කොම හොරු මල්ලි” ඒ හද පත්ලෙන්ම කී සත්‍යය.
හෙතෙම සත්‍ය කතා කරන කෙනකු හැටියට පළය (ප්‍රසිද්ධය). ඒ නිසාම හිරේ විලංගුවේද වැටුණේය. ඔහුට කේන්ති ගිය අවස්ථාවක් හෝ කලකිරීමෙන් සිටි අවස්ථාවක් හෝ මා කිසිම දිනෙක දැක නැත.
“අද ඇතුළට දානව කීව නේද?” 2021.01.12 වැනි දින උදේ හතට පමණ හිතවත් මන්ත්‍රීවරයෙක් දුරකතනයෙන් රන්ජන්ගෙන් විමසුවේය.
“අද දාන්නෙ නෑ මල්ලි, තව ඇදෙනවා…” රන්ජන් කීවේය.
“මම ඊයෙ රෑ කීප සැරයක් කතා කළා ෆෝන් එක වැඩ කෙළේ නෑ.”
“මම ෆෝන් එක ඕෆ් කරල ටෙලි නාට්‍ය දෙකක් බැලුවා. මැණික් නදිය ගලා බසී, සාගරය පරදා මම ආසම ටෙලි දෙක” ඒ රන්ජන්ගේ හැටිය.
පසු දා (2021.01.12) බන්ධනාගාරගත කෙරුණු හෙතෙම 2022.08.25 දින එළියට අවුත් තිබේ. එයත් හරියට සුද්දන් 1948 දී අපට නිදහස දුන්නා සේය. මන්ද? ගැටලුසහගතය.
“එළියට දැම්මත් ඔබට ප්‍රජා අයිතිවාසිකම් ලැබිල නෑ කියල කියනවා. අධිකරණ තීන්දුව පරිදි වසර හතකට ඔබේ ප්‍රජා අයිතිය අහෝසියි. ඒ අනුව ඔබට දේශපාලනය කරන්න බැරිලු. ඒ කොන්දේසිය ගැන දැනුවත් කරලද ඔබ එළියට දැම්මෙ…?”
“මටත් ඒක හරිම අපැහැදිලියි. මට සමාව දුන්න ලියුම මම තාම දැක්කෙ නැති නිසා. හාෆ් පාඩන් (සමාව) එකක් ද? ෆුල් පාඩන් එකක්ද? කියන්න දන්නෙ නෑ. ෆැක්ස් එකක් ආවලු, ජනාධිපතිතුමා අස්සන් කරල. මම එළියට දැම්මා. මම දන්නෙ එච්චරයි.
හැබැයි. අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මහත්තයත්, මැතිවරණ කොමසාරිස්තුමත් කියනව මට ඡන්දෙ ඉල්ලන්න පුළුවන් කියල. ඔය කරුණු ටික ගැන මම කතා කළාම විජේදාස රාජපක්‍ෂ අධිකරණ ඇමැතිතුමා කීවෙ එහෙම වුණොත් ඉක්මනටම ඒකත් හදල දෙනව කියල….”
“ඔය කරුණුවලින් පැහැදිලි වෙන්නේ ඔබ දේශපාලනය කරන අපේක්‍ෂාවෙන් ඉන්නව කියන එකයි…?”
“මිනිසා කියන්නේ දේශපාලන සත්වයෙක්. ඒකෙන් පිට පනින්න බෑ. ඕනකමකුත් නෑ. ඒත් මම I am a man of a public (මහජනතාවගේ මිනිහෙක්). ඒ නිසා මම මහජනයා කියන දේට ගරු කරන්න ඕනෙ. මොකද මම මහජන මතයට ගරුකරන නිසා. වැඩි දෙනෙක් තම තමන්ගේ මත ඉදිරිපත් කරනවා.
කට්ටියක් කියනවා එක්සත් ජාතික පක්‍ෂයට එකතු වෙන්න කියල. තවත් කට්ටියක් කියනවා සජිත් මහත්තයගෙ ස.ජ.බෙ.ත් එක්ක ඉන්න කියල. තව කට්ටියක් කියන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එක්ක ඉන්න කියල. ජේ.වී.පී. එකට හේත්තු වෙන්න කියලත් බලපෑම් එනව. පොහොට්ටුවට යන්නත් කියනව. සමහර කට්ටියක් කියනවා කිසිම පක්‍ෂයකට යන්නෙ නැතිව ස්වාධීනව ඉල්ලන්න කියල. තවත් සමහරු කියන්නෙ දේශපාලනේ සම්පූර්ණයෙන්ම අත්හැරල සිනමාවෙම ඉන්න කියල. තවත් අය කියන්නෙ සම්පූර්ණයෙන්ම ලංකාව ගැන හිතින් අස්කරල පිටරටක ගිහින් පදිංචි වෙන්න කියල. මම ඔය දේවල් අතරෙ දෝලනය වෙනවා මිසක් තවම තීන්දුවකට ආවෙ නෑ. මොනවද වෙන්නෙ කියල බලාගෙන ඉන්නවා. මම මුලින්ම කීවනෙ මානවයා වනාහි දේශපාලන සත්වයෙක් කියලා. ඒක හිතෙන් ඉවත් වෙලත් නෑ…”
“ඔබට මනුෂ නානායක්කාර ඇමැතිවරයා තානාපති තනතුරක් දුන්නා…?”
“ඔව්”
“හැබැයි මහජනතාව කියන්නෙ ඔබ ආණ්ඩුවෙන් ඇටවූ උගුලකට අහුවුණා කියලයි….?”
“හෝව්, හෝව්, ඒක නං මට විස්තර ඇතුවම දැනගන්න ඕනැ..”
“මහජනයා අතර මතයක් තියෙනවා, රනිල් මහත්තයා ජනාධිපති පදවියට පත්කළ ප්‍රෝග්‍රෑම් එකේ එක්ස්පර්ට්ල (විශේෂඥයො) මහින්ද සහ බැසිල් කියල. මොකද මේ වෙලාවේ දේශපාලන කරළියෙ ඉන්න දක්‍ෂයා රනිල් මහත්තයා නිසා රටට විදේශීය සහාය ගන්න පුළුවන් එකම තැනැත්තා රනිල් කියලා. රට සංසිඳෙනතුරු එයා නටවලා තමන්ගෙ වැඩ ටික කරවගෙන ඊට පස්ස ආයෙත් මහින්ද නඩේම බලේ ගන්නවලු…”
“ළඟදිම ගෝඨාභය මහත්තයා ආවාම, පාර්ලිමේන්තුවෙ කවුරු හරි අයින්වෙලා, මිනිස්සු නං කියන්නෙ සීතා අරඹෙපොළ අයින් කරල ඒකට ගෝඨා දාලා ටික දවසකින් අගමැතිකමෙන් දිනේෂ් මහත්තයට යන්න කියල එතෙන්ඩ ගෝඨ දාල ඊට පස්සෙ රනිල් මහත්තයගෙ පස්ස පැත්තට ඇනල ගෝඨා ආයෙත් ජනාධිපති පුටුවෙ ඉන්ඳවනවලු. ඊළඟට මහින්ද මහත්තයා අගමැති පුටුවෙ ඉඳගන්නවලු….”
“ඕව ඔක්කොම වලු වලු නේ. ඉතින් මට කියන්න තියෙන්නෙ මම ඒ වාගෙ උගුලකට අහුවුණු කතාව නෙමෙයි. කවුරුත් දන්නව නෙ. මම ඉස්සරත් ආණ්ඩුවෙ අමැතිකම් දරන කාලෙදිත් නොකරන කාලෙදිත් මැදපෙරදිග ශ්‍රමිකයන්ට මොකක් හරි ප්‍රශ්නයක් වුණාම බලන්න ගියානෙ. දැනුත් අන්න ඒ වාගෙ තමයි. මට එදා කාගෙන්වත් බලපෑමක් තිබුණෙත් නෑ. අද ඇත්තෙත් නෑ. මයි කාර් මයි පෙට්‍රල් නෙ…”
“ඒ වුණාට දැන් පෙට්‍රල් හිඟයි නෙ…”
“සජිත් මහත්තය කියල තිබුණා එයාගෙ මන්ත්‍රී රැස්වීම්වලටත් ආරාධනා කළා කියල. ප්‍රතිචාරය මොකක්ද….?”
“නොගිහිල්ල බෑනෙ….”
“ගේම් එක බලන්න ඇවිල්ල අඬනව දැක්ක..?”
“ඇත්ත, මට මා ගැනම දරාගන්න බැරි පුදුමයක් හිතුණා. මට මේ තරම් මහජනයා කැමතිද? ආදරේද කියලා. හැම කෙනෙක්ම වාගෙ මට කතා කළා. ඒ අතරෙදි ඒ සන්තෝසෙ දරාගන්න බැරුව ඇඬුණා…”
“මම දැක්ක මාංචු පිටින් එනවා, චිත්‍රපටය බලද්දිත් මාංචු දාලද හිටියෙ…?”
“නෑ, ඒ වෙලාවෙ ගලවලා හිටියෙ. අනිත් අතට තමන් රඟපාපු චිත්‍රපටයක් හිරකාරයකු හැටියට හිරේ ඉඳන් ඇවිත් බලපු ලෝකයේ එකම පුද්ගලයා මම….”
“ඇයි තමන්ට කියල ඉන්න හිටින්න ගෙයක් දොරක් නැති නළුවා වගේම දේශපාලනඥයා…?”
“ඇත්ත…”
“කියන්න අමතක වෙන්න ගිය තවත් දෙයක් තමයි මට 2021 වර්ෂයේ හොඳම නළුවාට ලැබුණු ඇවෝඩ් එක ලැබුණෙත් හිරේ ඉන්නැද්දි කියන එක”
“උළු ගෙදර හිටපු නිසා ළඟකදි චිත්‍රපටයකට ඉඩකඩ තිබුණද මන්ද..?”
“නෑ,නෑ, මම එහෙ ඉන්නැද්දි චිත්‍රපට හයකට අස්සන් කළා. ළඟදි පටන් ගන්නවා…”
“එහෙ ඉන්නැද්දි පෞද්ගලික වැඩ ටික අඩාළ වෙන්නැති නේද…?”
“අපොයි නෑ. අමාත්‍යාංශවල ඉන්නැද්දි හිටපු ලකී වීරසිංහ කියන ලේකම්වරයායි, භාග්‍යා මොහාට්ටි කියන මගේ හිතවත් වෛද්‍යවරියයි ඒ ඔක්කොම වැඩ ටික අකුරටම කළා…”
චන්ද්‍රසේන මාරසිංහ
(හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ මාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු ලේකම්)