දින 38කට පසු නතාෂා එදිරිසූරියට ඇප ලැබුණේය. ඒ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නොවේ. කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ පසුගිය 05 වැනිදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී වෛරී ප්‍රකාශ නිකුත් කරමින් බුදු දහමට අපහාස කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටින නතාෂා එදිරිසූරිය යළිත් ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.(Sri Lanka Latest News)
මෙම තීන්දුව අභියෝගයට ලක් කරමින් නතාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කොළඹ මහාධිකරණයට ඇප අයැදුම්පතක් ඉදිරිපත් කළේය. එම ඇප අයැදුම්පත 05 වැනිදා කොළඹ මහාධිකරණයේදී සලකා බැලුවේය. ඒ, මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි ඉදිරියේය.
මහාධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ප්‍රකාශ කළේ ඉකුත් අප්‍රේල් මස කොළඹ පැවැති මෝඩාභිමානය නමැති වැඩසටහනක දී සැකකාරිය කළ ප්‍රකාශයකින් බුදුදහමට අපහාස කළේ යැයි චෝදනා කර අත්අඩංගුවට ගෙන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ඇය රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවය.
ප්‍රහසන වැඩසටහන් ශිල්පිනියක් වන සැකකාරිය සිදුකළ ප්‍රකාශ තුළින් බුදු දහමට හෝ බෞද්ධ දර්ශනයට අපහාස කිරීමේ චේතනාවක් ඇය තුළ නොවූ බව ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය. නමුත් ඇයගේ ප්‍රකාශයෙන් කිසියම් ආගමික කණ්ඩායමකට හෝ ජන කණ්ඩායමකට සිත් රිදීමක් ඇති වූයේ නම් ඒ සම්බන්ධව ඇය සමාව අයැද සිටින බවද ඔහු අධිකරණයට දැන්වූයේය.
අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම තැනැත්තිය මෝඩාභිමානය වැඩසටහන් තුනක් පවත්වා ඇති අතර, තුන්වැනි වැඩසටහන ඇය යොදාගත්තේ බුදු සමයට නිග්‍රහ කිරීමට බවය. ඇය ආගම ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ යැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීවේය.
අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දලීප පීරිස් නතාෂාගේ මානසික රෝගී තත්ත්වයක් පිළිබඳ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ වර්ෂ 2017 සිට විශාදය රෝගයට ප්‍රතිකාර ලබාගන්නා, සියදිවි නසාගැනීමේ ප්රවණතාවන් පෙන්නුම් කරන බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇති සැකකාරිය, ප්‍රහසන වැඩසටහනක් ඉදිරිපත් කිරීමට යෑම කොපමණ භයානකදැයි තේරුම්ගත යුතු බවය.
ඇය මුළු වැඩසටහන පුරාම ඉදිරිපත් කර තිබෙන වචන අසභ්‍ය මෙන්ම අශ්ලීල බවින් යුක්ත බවත්, අසභ්‍ය හා අශ්ලීල වචන සරල කරමින් සමාජගත කිරීම ඇය සිදුකර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීවේය.
තවද මෙවැනි වීඩියෝ පට යූටියුබ් නාලිකාවක උඩුගත කර ඇය වාර්ෂිකව රුපියල් ලක්ෂ 14ක පමණ ආදායමක් උපයාගෙන ඇති බව කිසියම් ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කරමින් ඔහු පැවසුවේය.
මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි එවර එක් ප්‍රශ්නයක් ඇසුවේය.
‘එලෙස උපයා ගන්නා ආදායම නීති විරෝධීද?’
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට ප්‍රකාශ කළේ එලෙස මුදල් උපයා ගැනීම නීති විරෝධී නොවන බවය.
අනතුරුව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මෙම වටිනා විග්‍රහය සිදුකළේ ස්වකීය තීන්දුව ප්‍රකාශ කිරීමට පෙරය.
මෙම තැනැත්තිය ඉදිරිපත් කරන වචන සම්බන්ධව තමන්ටත් ගැටලුවක් ඇති බව කී විනිසුරුවරයා එසේ නමුත් යමක් ඉදිරිපත් කළ පමණින් එය වෛරී ප්‍රකාශයක් වන්නේ කෙසේදැයි විවෘත අධිකරණයේ දී විමසා සිටියේය.
‘විද්‍යාව ගැන තරයේ විශ්වාස කරන පුද්ගලයකුට ආගම්වල තියෙන ඇතැම් කාරණා ප්‍රායෝගික දැයි ප්‍රශ්න කරන්න පුළුවන්. ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නේ කොහොමද? බුදු රජාණන්වහන්සේ පවා තමා යමක් කී පමණින් එය විශ්වාස නොකරන ලෙසත්, හොඳින් සොයාබලා යමක් විශ්වාස කරන ලෙසත් දේශනා කරලා තියෙනවා.’
‘එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත පනතේ 3(1) වගන්තිය යටතේ සඳහන් වෛරී ප්‍රකාශ යන්න අර්ථකථනය කිරීමට සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ නිර්නායක සමගයි. එසේ නොකොට භික්ෂුන් වහන්සේ නමක් හෝ බලවත් පුද්ගලයෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කළ පමණින් වෛරී ප්‍රකාශ යටතේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් තිබෙනවාද යන ප්රශ්නය මතුවෙනවා.
අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරයා කීවේ සැකකාරියගේ ප්‍රකාශය තුළින් මහජන කැලඹීමක් ඇතිවූ බව තහවුරු කෙරෙන කරුණු කිසිවක් ඇය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති බී වාර්තාවේ සඳහන් නොවන බවය.
නතාෂා එදිරිසූරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අවශ්‍ය වන්නේ නැති බවත් ඇය රුපියල් ලක්ෂයක පෞද්ගලික ඇපයක් මත මුදාහරින ලෙසත් කොළඹ මහාධිකරණය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර සිටියා.
ඒ අනුව ඇපකාරිය සම්බන්ධයෙන් වන ඇප කොන්දේසි සපුරාලීම සහ නෛතික කටයුතු සම්පූර්ණ කිරීම අවසන්වනු ඇත.










