විදුලි බිල වැඩිවීම අපේ රටේ බරපතළ ප්‍රශ්නයක්. මේක පහුගිය කාලවකවානුව තුළ දිගින් දිගටම සිද්ධ වෙච්ච දෙයක්. මේ ප්‍රශ්නයේ තියෙන ගැඹුර සාකච්ඡා කරද්දී අපට පේන එක කාරණයක් තමයි අපි තවමත් දහනය වෙන බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීම. දහනය වී අවසාන වෙන බලශක්ති ප්‍රභවන් භාවිත කිරීම නිසා අපට ඒ සඳහා විශාල වැය බරක් දරන්න සිදුවෙනවා.(Sri Lanka Latest News)
විදුලිය නිෂ්පාදනය සඳහා අපි තවමත් භාවිත කරන්නේ ඩීසල් බලාගාර. ඒක විශාල තෙල් ප්‍රශ්නයක් තියෙද්දී අපි ඒ විදියටම කරගෙන යනවා කිසිම ගැටලුවක් නැතිව, කිසිම අවුලක් හිතන්නේ නැතිව. නොතේරෙන කාරණාව තමයි ලෝකයම සුනිත්‍ය බලශක්තීන් වෙත යද්දී, දහනය නොවන බලශක්තීන් වෙත යද්දී, නැවත නැවත භාවිත කළ හැකි බලශක්ති ප්‍රභවයන් භාවිත කරන්න උත්සාහ කරද්දී අපි අලුතෙනුත් ඩීසල් බලාගාර හදන්න අවසර දෙනවා. ඒක දන්න අය දන්නවා. මේ බලාගාර ඩීසල් බලාගාර ලෙස නිර්මාණය වෙද්දී ඊට විරුද්ධ වෙච්ච අය හිටියා. ඒ අය කිව්වේ මේ විදියට දිගින් දිගටම ඩීසල් යොදාගෙන විදුලිය උත්පාදනය කරගන්න ගියොත් අපිට ඉදිරි කාලයේදී ලොකු අර්බුදයකට යන්න සිද්ධ වෙනවා කියන එක. දැන් මේ අපි යන්නේ ඒ විදියේ අර්බුදයකට තමයි.
විශේෂයෙන්ම ගල් අඟුරු සහ ඩීසල් බලාගාර. එහෙම නැත්නම් ඉන්ධන යොදාගෙන පවත්වාගෙන යන බලාගාර නිසා දැන් අපි ඉන්නේ බරපතළ අර්බුදයක. අපි දන්නවා ලෝකයේ ලොකු යුද්ධයක් ක්‍රියාත්මක වෙමින් යනවා. එතැනදී ප්‍රධාන වශයෙන් යුද්ධ කරන්නේ ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල්. මේ රටවල් විවිධාකාරයෙන් මේ යුද්ධයට මැදිවෙමින් ඉන්නවා. රටවල් කිහිපයක් ඍජුවම මැදිවෙලා ඉවරයි. ඉදිරි කාලයේදීත් මැදපෙරදිග තියෙන රටවල් සමූහයම මේකට යොමු වුණොත් ඉතා ඉක්මනට ගැටලුව දරුණු අතට හැරෙන්න පුළුවන්. ඒක වෙන විදියකට කියනවා නම්, තෙල් නැතුව ගියොත් විදුලිය නිෂ්පාදනය කරන්න බැරිවෙන්න පුළුවන්.
මේකෙ අනෙක් පැත්තේ තියෙන නොදන්න කාරණය තමයි අපි හිතනවා ජල විදුලියෙන් ප්‍රමාණවත් විදුලි උත්පාදනයක් අපට සිද්ධ කරගන්න පුළුවන් වෙනවා කියලා. නමුත් හැම වෙලාවකම ජල විදුලියෙන් අපට පැහැදිලි විදුලි ප්‍රභවයන් ප්‍රමාණයක් නිෂ්පාදනය කරගන්න බැරිවෙලා තියෙනවා, මෙච්චර වහිද්දිත්. ඒ ගැන අමාත්‍යවරයා කියන කාරණාව තමයි තවමත් විදුලිය නිෂ්පාදනය කරන බලාගාර සහිත ජලාශවලට හරියට වැහැලා නෑ කියන එක. ඒක පිළිගන්න වෙනවනේ අපට. හැබැයි සමනල වැව වගේ බලාගාර කිහිපයක් තියෙන ස්ථානවලට තවමත් ප්‍රමාණවත් වැසි ලැබිලා නෑ කියන එක සත්‍යයක්.
නමුත් ප්‍රමාණවත්ව වැස්ස වැටුණත් අපට කොච්චර කාලයකට ඇතිවෙන්න විදුලිය නිෂ්පාදනය කරගන්න පුළුවන්ද, ඒ වගේම ගංවතුර කරදරයක් ඇතිවෙලා තියෙන කාලවලදීත් ඇයි අපට තවමත් අවශ්‍ය කරන විදුලිය අඩුම තරමේ හරි අඩක්වත් මේ වාන්දාන වතුරෙන් නිෂ්පාදනය කරගන්න බැරිවෙලා තියෙන්නේ. මේවා ඔක්කොම ප්‍රශ්න. ලෝකෙ සමහර රටවල් උදම් රළෙන්, මුහුදු රළෙන් විදුලිය නිෂ්පාදනය කරනවා. නමුත් තවමත් අපට ඒක කරගන්න බැරිවෙලා. අපි ඒ වගේ දේකට උත්සාහ කරන්නෙවත් නෑ.
සූර්ය තාපය කියලා කියන්නේ ඉතා හොඳ සුනිත්‍ය බලශක්තියක්. වැය නොවෙන, නිමා නොවෙන බලශක්තියක්. අපේ රටට ඍජුවම හිරු එළිය වැටෙන කාල තමයි වැඩිපුර තියෙන්නේ. පහුගිය වැහි කාලෙ අතරතුර වුණත් අපිට ඉර එළිය නොවැටුණා නෙවෙයි. අපි දන්නවා ලංකාවේ සූර්ය කෝෂ කියන එක සම්බන්ධයෙන් ව්‍යාපෘති කිහිපයක්ම දියත් වුණා. ඒ වගේම අපේ නිවෙසට සූර්ය කෝෂ සවිකරනවා නම් ඒ සඳහා ණය ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුණා. ඒ වගේම පෞද්ගලිකව සූර්ය කෝෂ මගින් නිෂ්පාදනය කරන විදුලිය මිලදී ගැනීමේ ක්‍රමවේදයක් තිබුණා.
මේ සියල්ලම තවමත් ලංකාව ඇතුළේ ක්‍රියාත්මකයි. අපි දන්නෙ නෑ කොයි තරම් සාර්ථකව මේ දේවල් ක්‍රියාත්මක වෙනවද කියලා. කොහොම නමුත් මේ දේවල් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. එහෙම තත්ත්වයක් යටතෙත් ඇයි අපි ජාතික වශයෙන් ප්‍රධාන පද්ධතියට අවශ්‍ය කරන විදුලියෙන් යම් කොටසක් සූර්ය තාපය ඔස්සේ නිෂ්පාදනය කරගන්න උත්සාහ නොකරන්නේ කියන එක අපට තියෙන ප්‍රශ්නයක්.
මේ සියල්ලේම තියෙන සාමාන්‍ය ගැටලුව තමයි අපි කොහොමටවත්ම ක්‍රමවේදයක් ඇතුළේ වැඩ කරන රටක් නොවීම සහ යම් නිශ්චිත ක්‍රමවේදයක් යටතේ වැඩ දියත් වුණත් ඒ සඳහා අවශ්‍ය කරන මූලික උදව්ව බලධාරීන්ගේ පාර්ශ්වයෙන් ලැබෙනවාට වඩා තියෙන්නේ වෙන වෙන වාසි තකා ඒ අය වැඩකිරීම. මේවා කිව්වම සමහරු තරහා වෙන්න පුළුවන්. නමුත් කරන්න දෙයක් නෑ. දැන් ලයිට් බිල වැඩිවෙන්නයි යන්නේ. අපි හිතාගෙන ඉන්නේ. ඇත්තටම වෙලා තියෙන්නේ වැඩිවෙන්න යෑමක් නෙවෙයි, වැඩිවෙලා ඉවරයි. පහුගිය 18 වැනිදා සිට බිල වැඩිවුණා.
ඔබේ මනුකියවන්නා ඔබේ නිවෙසට එන්නේ 18 වැනිදායින් පස්සේ ඒ කියන්නේ 19, 20, 21, 22 යන දිනවල නම් මේ මාසේ ඔබට ලැබෙන විදුලි බිලේ තියෙන්නේම වැඩි වුණු ඒකක ප්‍රමාණයකුත් එක්ක. මේ මිල වැඩිවීම 18%කින් විතර සිදුවෙනවා කියන එකයි දළ වශයෙන් කියැවෙන්නේ. මේකෙ තියෙන ගැටලුව තමයි මිල වැඩිවීම සිද්ධ වෙන්නේ 18%කින් විතරක් නොවීම. ස්ථාවර ගාස්තුවත් මේ හරහා වැඩිවෙලා තියෙනවා. අපි මේ ලිපිය අග කොටසේදී මිල වැඩිවෙන්නේ කොහොමද කියන එක සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් මේ වැඩිවීම බොහෝ වෙලාවට රුපියල් 1000කට ආසන්න මුදලකින් වැඩිවීමක් දක්වා ඉහළ යාහැකි බව තමයි දළ වශයෙන් ගණන් හදනකොට අපට පෙන්න තියෙන්නේ.
මේ ගතවෙමින් යන්නේ ජීවන වියදම දරාගන්න බැරිව මිනිස්සු අන්ත අසරණ වෙච්ච කාලයක්. එහෙම කාලයක විදුලි බිල වැඩිකරන්න මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර දුන්නේ කොහොමද කියන එක ගැන අපට ප්‍රශ්නයක් තියෙනවා. කොහොම නමුත් ජනක රත්නායක මහත්තයා දැන් මහජන උපයෝගිතා කොමිසමේ නෑ. ඔහු තමයි මේ වෙනුවෙන් සටන් කරමින් හිටපු නිලධාරියා. ඔහුව ඉවත් කරලා, දැන් වෙනත් නිලධාරියෙක් ඒ වෙනුවෙන් පත්කරලා තියෙනවා. අපි දන්නේ නෑ මහජන උපයෝගිතා කොමිසම මේ මිල වැඩිකිරීම සම්බන්ධයෙන් අවසර ලබාදෙන්නේ මොන නිර්ණායක යටතේද කියන එක.
අපි අහලා තියෙන්නේ නම් ඔවුන්ට යම් යම් නිර්ණායක ප්‍රමාණයක් දීලා තියෙනවා ජනතාවට ප්‍රශ්නයක් නොවන ආකාරයෙන් මිල වැඩිකිරීම සිද්ධ කරන්න. එහෙම නැතුව පඩි ගෙවාගන්න බැරුව ගියාම හරි, තෙල් මිල ඉහළ ගියාම හරි, වෙනත් මොකක් හරි ප්‍රශ්නයක් වුණාම හරි විදුලි බිල වැඩි නොවිය යුතු කාරණයක් විදියටයි අපි හඳුනාගෙන තියෙන්නේ. මේ මිල වැඩිකිරීම හරහා රටේ ප්‍රධාන ආර්ථිකයට යම් ශක්තියක් එකතු වෙනවා නම් ඒකෙ කිසි ගැටලුවක් නෑ. නමුත් අපිට එහෙම එකක් පේන්නෙත් නෑ.
විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම කියන කොටස ගැනත් අපි මේ මොහොතේ කතා කළ යුතුයි. ඇත්තටම සියලු මහජනතාවට තියෙනවා වගකීමක් රටේ ප්‍රධාන ධාරාවේදී විදුලි බිල වැඩිවෙලා නම්, විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් අපට පාලනය කරගන්න බැරි කාරණා හරහා මේ අය වැඩකරනවා නම් ඔබට තියෙනවා වගකීමක් ඔබේ විදුලි බිල අඩුකරගන්න. අපි දැක්කා සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන එක්තරා පණිවුඩයක්.
ඒ තමයි සවස සහ රාත්‍රී, අලුයම් කාලයේදී විදුලිය භාවිත කිරීමේදී උපක්‍රමශීලී වෙන්න කියලා. නමුත් අපි දන්නා තරමට නම් ඒක සාමාන්‍ය මනුවක් සහිත නිවෙසකට අදාළ වෙන්නේ නෑ. සාමාන්‍ය නිවෙස්වල බොහෝ විට තියෙන්නේ පැරැණි ක්‍රමයේ විදුලි මීටරයක්. ඒ මීටරයේදී ලොකු දෙයක් සිද්ධ වෙන්නේ නෑ අපි ඔය කියන ආකාරයෙන් විදුලිය භාවිත කළා කියලා. ඒකට හේතුව ඔය සියල්ලම එකතු වෙන්නේ එකම ලේඛනයකට. නමුත් අපි අහලා තියෙනවා කොළඹ ආශ්‍රිත ඇතැම් නිවාසවල සහ නිවාස සංකීර්ණවල තියෙනවා විශේෂ මීටරයක්.
ඒ මීටරය සහිත නිවෙස්වලට නම් ඉතින් යම් යම් අවස්ථාවල විදුලිය පාවිච්චි කිරීමේදී යම් වාසියක් ලබාගන්න පුළුවන්. කොහොම වුණත් අපට පේන්න තියෙන්නේ මේ බාධකය පැනගන්න බැරි බාධකයක් කියලා. කොහොමත් අපේ විදුලි බිල වැඩිවෙනවාම තමයි. ඒක වළක්වා ගන්න කරන්න දෙයක් නෑ. යම් විදියකට අපට පුළුවන් අපේ ගෙදර ලයිට් පාවිච්චිය ටිකක් සීමා කරලා මේ ගැටලුවෙන් ගැළවෙන්න උත්සාහ කරන්න. හැබැයි ඒක ලේසි වැඩක් නෙවෙයි. කරන්න අමාරු වැඩක්. ඒ නිසා අපි මේ ගැන ටිකක් සැලකිලිමත් විය යුතුයි.
දැං ඔය අලුත් බිල වැඩි වෙන්නෙ මෙහෙමයි.
ඒකක 0-30 දක්වා රුපියල් 150 සිට රුපියල් 180 දක්වා.
ඒකක 31-60 දක්වා රුපියල් 300 සිට රුපියල් 360 දක්වා.
ඒකක 61-90 දක්වා රුපියල් 400 සිට රුපියල් 480 දක්වා.
ඒකක 91 සිට 120 දක්වා රුපියල් 1000 සිට රුපියල් 1,180 දක්වා.
ඒකක 121-180 දක්වා රුපියල් 1,500 සිට රුපියල් 1,770 දක්වා.
ඒකක 180 වැඩි රුපියල් 2,000 සිට රුපියල් 2,360 දක්වා ද වැඩි කරලා තියෙනවා.
ඊට අමතරව ඒක සඳහා වූ මුදලත් ඉහළ යනවා.
ඒ අනුව විදුලි ඒකක 0-30 සඳහා මිල රු 10 සිට රු 12 දක්වාත්,
විදුලි ඒකක 31-69 සඳහා මිල රු 25 සිට 30 දක්වාත්,
විදුලි ඒකක 61-90 සඳහා මිල රු 35 සිට 41 දක්වාත්,
විදුලි ඒකක 91-120 සඳහා මිල රු 50 සිට 59 දක්වාත්,
විදුලි ඒකක 121-180 සඳහා මිල රු 50 සිට 59 දක්වාත්,
විදුලි ඒකක 181ට වැඩි 75-89 දක්වාත් වැඩි වෙන්න නියමිතයි.
මේ විදියට විදුලි ඒකක 1ක් භාවිත කරන කෙනෙක්ගෙ මෙතෙක් බිල වුණේ රුපියල් 160යි. දැන් ඒක 192 දක්වා වැඩි වෙනවා. 30ක් භාවිත කරපු කෙනෙක්ට 450ක් වුණු බිල දැන් රුපියල් 540ක් වෙනවා. කෙළින්ම 20%ක මිල වැඩිවීමක්.
ඒකක 90ක් භාවිත කරන කෙනෙක්ට මෙතක් බිල විදියට ආවෙ රුපියල් 3,550ක්. ඒත් දැන් ඒක වෙනස් වෙනවා රුපියල් 4,170ක් විදියට.
බැරි වෙලාවත් තව එක ඒකකයක් ගියොත් බිල 6,549ක් වෙනවා. මේ විදියට ගණන් හදාගෙන බලන්න.
විදුලිය ඔබේ බෙල්ල මිරිකලා මරුවැලක් ඇදලා ඉවරයි. පාගගන්නව ද නැද්ද කියලා හිතන්න බෑ. කරන්ට් නොවැදුණත් බෙල්ල හිර කරලා තියෙන්නෙ.
ජීවන බර කෙළින්ම වැඩිවෙන සරල සමීකරණයක නරක ප්‍රතිඵල ඉතා ඉක්මනින් ඔබට සහ මට විඳින්නම වෙනවා.
ජීවන පහන් තිළිණ










