මගේ මිතුරෙක් නමසිය අසූ ගණන්වල (දෙපා කොටි කඳුකරයේ හොරගල් අහුලන සමයේ) මස්කෙළිය පොලිසියේ උපපොලිස් පරීක්‍ෂකවරයකු වශයෙන් රාජකාරි කරද්දී වතු නිවාසයක (ලැයිං) පවුල් දෙකක් අතර ගෝරියක් සංසිඳවීමට ගොස් එන අතරතුරේ කසිප්පු විකුණමින් සිටි මැදිවියේ වතුකම්කරුවකුද ජීප් එකට දමාගෙන ආවේය. හැන්දෑ වෙනතුරු තියාගෙන සිට අවවාද කර යවන අදහසින් කරුවල වැටෙන්න ඔන්න මෙන්න කියා තිබූ මොහොතේ “උඹ මොකටද කසිප්පු විකුණන්නෙ?”යැයි සැරෙන් ඇසුවේය.(Sri Lanka Latest News)
“මට ළමයි තුනක් තියෙනව සර්, උගන්නන්ඩ වත්තෙ පඩි සල්ලි මදි සර්” ඔහු කැඩිච්චි සිංහලෙන් කීවේය.
“ඉතිං වෙන රස්සාවක් හොයා ගනිංකො”
“රස්සා තියෙනව සර්. අපේ වත්තෙ කොල්ලො ඉන්දියං හමුදාවට බැඳිල ඉන්නව හොඳ පඩි සර් මට යන්ඩ බෑ.”
“ඇයි යන්ඩ බැරි?”
“මගෙ ලොකු දුවට අවුරුදු පහළොවයි සර්. කෝමද යෙනව සර්”
“මටත් දරුවොත් එක්ක ජීවත් වෙන්ඩ පඩි මදි, මාවත් ඉංදියං හමුදාවට බන්දල දුන්නොත් මම උඹට ගානක් දෙන්නං” මගේ යාළුවා කීවේය.
“මට සල්ලි එපා සර්, මම සර්ව බන්දල දෙන්නං”
“උඹ කීවට මාව ගන්න එකක් නෑ”
“නෑ සර් කොල්ලො ඉංදියං හමුදාවට බන්දන මයිකල් මාස්ටර් මගෙ යාළුව. ඉන්නෙ අපේ ගේ ළඟ” යැයි ඔහු දැඩි විශ්වාසෙකින් කීවේය.
“ඒක පස්සෙ බැරියැ, දැං රෑ වුණා. ළමයි බඩගින්නෙ ඇති. මේකෙං ළමයින්ට කන්ඩ මොනව හරි ඇරං පලයං, හැබැයි මීට පස්සෙ කසිප්පු විකුණන්න බෑ” කියමින් උපපොලිස් පරීක්‍ෂකවරයා මිනිහා පිටත් කර යැව්වේය. එහෙත් පසුදා එළිය වැටෙන කොටම ඒ ලැයිං පේළියට ගොස් කොල්ලන් ඉංදියං හමුදාවට බන්දන මයිකල් මාස්ටර් ගෙනැවිත් ප්‍රශ්න කළේය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටි කඳවුරු පිහිටුවන සැලසුමත් ඒ සඳහා පුහුණුව ලැබූ විසි තිස් ගණනකුත් අවි ආයුධ තොගයකුත් (ටී.56 පිස්තෝල සමග අත්බෝම්බ) අත්අඩංගුවට ගත්තේ ඉන් පසුවය.
පිදුරුතලාගල සම්ප්‍රේෂණ කුලුනට, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට, දිගම්පතනට, දළදා මලිගාවට ආදී ස්ථානවලට ප්‍රහාර එල්ල කළ කොටි හපුවන් ඉතා සූක්‍ෂ්ම අන්දමින් අත්අඩංගුවට ගත් (මෙතෙක් හරිහමං ඇගයීමකට පාත්‍ර නොවූ) හෙතෙම සහකාර පොලිස් අධිකාරිවරයකු වශයෙන් විශ්‍රාම ගොස් සිටියත් (පදිංචිය මහනුවර ආසන්නයේ) දවසකට දෙවරක් නොවැරැදීම මා සමග කතා කරන්නේය.
පිස්සු බේත් බී දඟලන උදවිය නිසා මේ රට යන්නේ කොහාටදැයි යන්න ගැන කතාකරන හෙතෙම මාස කීපයකට උඩදී මා (මේ ලියුම්කරු) සමග යෝජනාවක් කෙළේය. මා එය විහිළුවක් සේ තැකුවත් දැන්නං එය ඉතාම වටිනා එක්ක බව කිව යුතුය.
දැං ඉන්ධන මිල නැග තිබේ. ඔය ආරම්භයක් පමණි. හොඳ හරිය ඉස්සරහටය. පැට්‍රෝල් ඩීසල් නගිනවා කියන්නේ “අම්මට ඩෙන”. එමගින් ගණන් නොයන කිසිම මඟුලක් නැත. කෑමද බීමද ගමං බිමංද බේත්හේත්ද කියලා වැඩක් නැත.
මගේ මිත්‍රයා (කේ.ඇම්.ඇස් බෝවල) පැවැසුවේ “කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙං
සාදුකාරදී ඔරුවට නැගී වරෙං” ආදිය නැවතත් ඇසිය හැකි ඊරාවක් Era සිරාවටම පැමිණිය හැකි බවය.
ආදි කාලයේ කැලණි ගඟ දිගේ ඔරු පාරු පඩව්වලින් භාණ්ඩ පමණක් නොව මගීන් ද ප්‍රවාහනය කළ අන්දමටම යළිත් කැලණි ගඟේ සේම මාවැලි ගඟේත් අඩුතරමින් කටුගස්තොට පැත්තටවත් පුළුවං දුරකට හෝ යාත්‍රා ක්‍රමය ක්‍රියාත්මක කළ හැකිය. මීගමුව පැත්තේ සිට ලංදේසි ඇළ කොළඹට කැපුණේ ඔය නිසාය. එහෙම කළොත් මහජනයා ගොඩේ ගොඩය. නැත්තං වළ පල්ලේය. (දැනටමත් වළ කටේය. නොහොත් තනි පයිං ගැට්ටේය.)
ඕනෑ නං චීනෙට හෝ ඉන්දියාවේ අදානි මචංට හෝ වැඩේ පැවරුවොත් අදානිට පමණක් නොව අපේ අයටත් නිධානේය. දැං සියයට දහඅටේ වැට් එක නිසා ඔක්කොටම “කෙළවුනස්”ය.
ලොක්කා අඩව්ව අල්ලන්ඩ අමුඩ ගැටේ ගහන හැටියට නං 2048 මඟුල් ඊරා Smart Era බලන්ඩ මෙලෝ එකෙක් (මේ රටේ) ඉතුරු වෙයිද කියන එකත් සැක සහිතය.
මේ තියෙන ගාණට පැට්‍රෝල් ඩීසල් ඇරං ටැට්ටර්වලට භූතයින්ඩ (ගොයම් කපන මඬින, පාහින) ගසා ගොවිතැන් කරන්න ගියහොත් හාල් කිලෝව රුපියල් දාහකටවත් ගන්න පුළුවං උනොත් ඒක ලෝකෙ පුදුම අටෙන් එකකි. (දැං පුදුම කීයක් තියෙනවාදවත් නොදනිමි) එතකොට ගොවියා නිකං ගොයියෙකු නොවේ.
නුදුරු අනාගතයේදී ඇතිවන ඉන්ධන අර්බුදයට විකල්ප විසඳුමක් සොයා නොගතහොත් අහස උසට ගොඩනැගූ ගොඩනැගිලිවලට යාමට ක්‍රමයක් නැතිව පාළුව වවුලන් ලගින ස්ථාන බවට පත්වෙන බවත් දහස් ගණන් වාහන මාර්ගවලම දිරාපත්වන යුගයක් ඇතිවන බවත් පාඨලී චම්පික රණවක කීවේය. ඒ අන්දමට නොව මේ වන විටමත් යන්ත්‍රසූත්‍ර ට්‍රැක්ටර්වලින් කළ කෘෂිකර්මාන්තෙට ආයුබෝ කියන්නට සිදුවි ඇතැයි අපේ ගමේ ගොවියෝ කියති. ඒ නිසා නමසිය පනහට පෙර ‘හේ හෝ ජහ් ජහ්’ කියමින් කුඹුරට දමා දැක්කූ මීහරක් මාක් ගොම ටැක්ටර් යුගයට යළිත් ප්‍රවේශ වෙන්නට අපේ රනිල් මහත්තයාට පිං සිද්ද වෙන්න අවස්ථාව අතළඟටම පැමිණ තිබේ.
එපමණක් නොවේ. සී.ටී. ප්‍රනාන්දුගේ බරබාගේ යළිත් පාරට එන්නට පිළිවණ. හපුතලේ කන්ද පමණක් නොව කඩුගන්නාවෙ කන්ද දුටුවිටත් එවිට බඩ දන්නේය. බඩ පපුව පමණක් නම් මදෑ? තව ටික දවසකින් බඩු මිල නහුතෙටම නැග්ග විට පොඩි උන් අඬන විට බුදු බණේ කියන ගිජ්ජකූඨ පරුවතේ පවා දැවිල්ල පටන් ගන්නේය. තුන් සූත්තරේ පවා ගිනිගන්නේය.
“ඇදපං ගොනෝ විගසින් ගාල ගාවට” යැයි තණ්ඩලේ (ගැල්කරු) ගොන්නුන්ට අතීතයේ දී කීවත් දැං ඒ ටික කියන්නේ ජනාධිපතිතුමාය. ඒ අපටය. එහෙත් ගාල ගාවට නොවේය. 2048 වෙනකංය.
ලොක්කා අපව එහෙම දක්කන්න හැදුවත් ලොක්කා හිතං ඉන්නේ ලොක්කා ඔහොම්ම ඉඳියි කියන සංකල්පයේය. ඇයි එතකොට ලොක්කටත් අනූ අටක් විතර ඇතිනේ.
ලොක්කා අප එහෙම දක්කන්න ඇහැකි (හැකි) යැයි හිතුවත් දැන්නං පුතේ එහෙම හිතන තරම්ම අහුවෙන පිරිසක් නම් නැත්තෝය. නෑ කියන්නමත් බැරිය. ටික දෙනෙක් හරි ඉන්නවෝය. පසුගිය දොහේ (දවසක) සුගතදාසලගෙ පිට්ටනියෙ සමුළුවක්ද මොකක්ද තියන්නට ඉස්සර ඒක කියන්නට “දැං සැපද?” යැයි අමතක කර රට පුරා රැඟුවෝ කොඩි, කුඩ, ධජ, සේසත් දැමුවෝ උන්නැහේලාය.
අපට හදිස්සියකට යන්න එන්න ඉස්සර හැට (1960) ගණංවල සිට නමසිය හැත්තෑහත වෙනතුරු ටැක්සි Taxi (කුලීරථ) තිබුණේය. හැත්තෑ හතේ ජේ.ආර්. ගොයියා ඉංදියාවේ “ටුක් ටුක්ද? ටක් ටුක්ද? ටික් ටික්ද” කියන්නා වූද ආටා හෙවත් ත්‍රිරෝද නොහොත් රෝද තුනේ වාහනේ මේ රටට බෝ කෙළේය. වැඩේ නම් නයිස් (හොඳ)ය.
හැට ගණන් වෙනතුරු වැඩියෙන්ම තිබුණේ බක්කියය. බක්කිය යනු බක්කි කරත්තයය. ඇංජිමට ඩීසල් පැට්ට්‍රෝල් අවශ්‍ය වූයේ නැත. තණකොළ, පිදුරු සහ පුනැක් (ඉංගිරිසියෙන්) හෙවත් පුන්නක්කුය. ගම්පෙරළිය චිත්‍රපටියේ නන්දක්කා ජිනදාස අයියා එක්ක ගියේ බක්කියකිනි.
හනික යමං පුල්ලි ගොනෝ මෙල්ල නොවී තරගෙටා යැයි කියමින් මනමාල ජෝඩු එහෙම ගියෝ මක්කටෙයි දන්නවද? ඒ සින්දුවෙන්ම දැනගන්ටකෝ. “දෙන්නං මගෙ මැණිකා ගෙදර ගිහිං පැණි වරකා, ගෙදර ගිහිං පැණි වරකා” (මගදි බෑනෙ) මේ ඉන්ධනවල ගනං හැටියට වාහනවල මඟුල් හයර් බැරිය. බක්කිය නල්ලම් (හොඳ)ය.
ඉස්සර අප කුඩා කාලයේ (අවුරුදු හත අට කාලයේ) අපේ ගෙවල් කිට්ටුව “මාලා” නමින් කෙල්ලක් සිටියාය.
“ආං මාලො මාළුකාරය ඇවිත් තෝ හොයල ගියා” යැයි අප (කොල්ලන්) නක්කලේ දැමූ කල මූණ පුළුටු කරගන්නා ඒ බඩ්ඩ බට කැලේට ගිනි ඇවිලුනා සේ බැණවදින්නීය.
ඒ මාළු “කද” අරං එන “කත්”කාරයා ගමටම ඇහෙන්න “මාලෝ මාලෝ” යනුවෙන් බෙරිහං තලන බැවිනි. යතුරුපැදි නොවූ එකල මාළු පමණක් නොව එළවළු, වළං ආදියද ගමට ගෙනාවේ ඔය අන්දමට කදබැඳ ගෙනය. තාංතුවාවලට (`මගුල්) නෑහෙත්තුවේ ගියෙත් කද බැඳගෙනය.
දැං වෑන් එකේ තියා වන්නිලැ ඇත්තො කියන හුටුහුටු දඬුකජ්ජෙ (මොටෝ බයිසිකලේ-තැපැල් නයිංටියේ) තියාගෙන මාළු ගේන්න වෙන්නේ නැත.ඔය ගාණට ඉන්ධන ගසාගෙන ගමකට මාළු ගෙනාවොත් ගන්නෙ කීයෙං කීදෙනාද? ඇයි දන්නවද?
Vegetarian කියන ජාතියට අයත් මේ ලියුම්කරු හුදීජන පහන් සංවේගය සඳහා සුපසන් සිතින් මාළු විකුණන තැනකට ගිහින් බැලුවෙමි. අම්මට සිරි,
තලපත් කිලෝවක් පුවරුවේ සඳහන්ව තිබූ ගණන රුපියල් 3,400කි. බයන්න සිකල් ලයන්න ලයනන්නට පැට්‍රෝල් ගසාගෙන විකුණන්න ආවොත් දෙයියම්පා කිලෝ එකක් 5,000න් අඩුවෙන්නට බැරිකමක් නැත. (මේවා කෑවාම අජරාමර (අමරණීය) නොහොත් නොමැරෙන තත්ත්වයට පත්වෙනවාදැයි අහන්න හිතුණත් පහුගිය දොහක (දවසක) නරක හීනයක් දුටු නිසා ශරීර සෞඛ්‍යයට අහිතකර විය හැකි හෙයින් එසේ නෑසුවෙමි) සාලයා කිලෝව 700කි. ලින්නා රුපියල් 1050කි. මම ආපසු හැරුණෙමි. මා සමගම තවත් කෙනෙක් (නාඳුනන) හිස් අතින් ආපසු හැරුණේය.
“මහත්තය දැං කන්ඩ තියෙන්නෙ දෙකට නැමිල තමයි” ඔහු මූණ හපුටු කරගෙන පුපුර පුපුරා මා දිහා බලා කීවේය. චන්දෙ කල්දාන්න ඇප මුදල් ගන්න එපා යනුවෙන් චක්‍රලේකයක් ගැහුව හපුටුහින්නගේ මුහුණ මේ මනුස්සයාගේ මුහුණ දුටු විට මට මතක්විය.
“මෙහෙම ගියොත් පොඩි උන්ට මන්දපෝෂණේ නොහැදි තියෙයියැ” ඒ අසා සිටි කාන්තාවක් කීවාය.
“පොඩි උන්ට මන්දපෝෂණේ, මහ එකාට වෘෂණකෝෂණේ” අර මනුස්සයා කීවේය.
මම එළවළු පොළ පැත්තට ගැච්චුවෙමි. අලි මදිවට හරක්ය. බෝංචි සහ ගෝවා කිලෝව 650 බැගින්ය. බීට් සහ වම්බටු 550 ගණනේය. තක්කාලි 700කි. ලීක්ස් 400කි. අමු මිරිස් කිලෝව රුපියල්ම 2000කි. තවත් තැනක 1700ට තිබුණේය. මට මයෙ අප්පුච්චේ කියැවිණි. කාල වරෙල්ලකො.
අංගංගල (කුරුණෑගල) කළුවා යයි හුරතල් නාමයෙන් හඳුන්වන ලද පී.බී. අල්විස් පෙරේරාගේ කවියක පොඩි කෙල්ලක් මෙසේ කියන්නීය.
“බුදුන්ගේ හිසට ගල් පෙරලපු දවසෙ මම හිටියනං රාබොන අපේ ලොකු මාමට සත පනහක් දී දේවදත්තයාට දැනමුතුකමක් කරනවා (ගල් පෙරලපු දවසෙ ගිජිකුළු පව්වෙ සිට – මම හිටියනං සත පනහක් දී අතට – රා බොන අපේ ලොකු මාමා පිටත් කොට – දැනමුතුකමක් කරනව දෙවිදත් තෙරට)
නමසිය හතළිස් පනස් ගනං වෙනතුරු ගමක මත්පැන් වශයෙන් තිබුණේ “ගහේ බඩු”ය. (කිතුල් රාය) රා බොන අය ගමකට හිටියේද දෙතුන් දෙනෙකි. ගම්මුන් ඔවුන් සැලකනු ලැබුවේද ගමටම එපාකරපු එවුන් හැටියටය. රාකාරයින්ගේ බඩවල් නෙරා තිබුණේය. ඒ රා මණ්ඩි නිසා බව ඒ ගැන දන්නා අය කීවෝය. අනිත් අතට රා ගුඩ්ඩෝ ලොකුවට උඩු රැවුල වැව්වෝය. ඒ ගහේදී රා කළේට වැටී මැරුණු මීමැස්සන්, නිකං මැස්සන්, කිතුල්මල් කෑලි වැනි අපද්‍රව්‍ය පෙරාගෙන බොන්නට “මටුල්ලක්” (පෙරණයක්) වශයෙන් රැවුල නමා කටට තියා ගන්නටය.
හැට හැත්තෑව දශකයේ අරක්කු දෝරේ ගලා ගියේය. ගහේ බඩුවලින් ලැබුණු කික් එක මදිවීමද අරක්කු පැතිරෙන්නට එක් හේතුවකි. එහෙත් ටික කලක් යන විට ආණ්ඩුවලට සල්ලි (ආදායම්) උල්පත මත්පැන් වූයෙන් දවසින් දවස අරක්කු ගණං ගියේය. ඒ වෙනුවට ගලබමුණා (බැටරි කූරු සහ දෙහි ඇඹුල්), ගහපං මචං (වයින් ඉස්ප්‍රිට්, තේ කොළ, සීනි සහ දෙහි ඇඹුල්) ආදේශක වශයෙන් ආවේය.
ඊළඟට අඩු ගණනට (බෝතලේ රුපියල් හතරට) වල් ෆැන්ටා ආවේය. ප්‍රාදේශීය සභා පළාත් සභා අපේක්‍ෂකයන් බොහෝ දෙනකු ඡන්දවලට සල්ලි හොයාගත්තේ ඒ බිස්නස් එකෙනි. එසේ නොකළ භවතෙකුගේ නමක් අසන්නවත් නැති තරම්ය. පොලිසියෙන් නොපැන පැන්නෝය. එසේ පැන්නේද ගම්මුන් පෙත්සං ගැහූ නිසාය. ඒත් නොපැන බැරි නිසාය. කලාතුරකිනි.
ප්‍රාදේශිය මට්ටමේ එකාලගෙ අල්ලන්ඩ එපා යැයි මහ එකාලා උපදෙස් දී තිබුණෝය. ඒ නිසා ලූස් විකුණන තැන් කීපයක්ම නගර පුරා ඕසෙට (බොහෝ) පැතිරිණි. අපේ නගරයේත් එකක් තිබිණි. එහි අයිතිකාරයා මැතිවරණවලට අහවලාට ලෝස් නැතුව අතදිගහැර වියදං කෙළේය. ඕ ඉස්ථානෙට (පොට් එකට) කවුරු හරි ගියොත් කෝවැන්ද ඕනෑ යැයි විකුණන්නා ඇසුවේය.
දැං ඒ අවදිය “වරෙං වරෙං” කියා අත වනන්නා වගේය.
ඇයි මයෙ අප්පෙ මොකාද රුපියල් හාරදාහක් විතර දීලා, අරක්කු බෝතලයක් ඇන්න බොන එකා.
හැට හැත්තෑ ගණංවල මාර්කට් එකට ආ අනභිභවනීය “වල් ෆැන්ටා” තවමත් පෙරමුණේය.
First in the field and still in the lead ය.
ගමේ අමද්‍යප වීරයන් (මත්පැන් නොබොන්නන්) විසින් වල් ෆැන්ටාවලට දෙනු ලබන පරියාය (සමාන) අපදානනය (නම) වනාහි “බොකුදිරාස්”ය. ඒ, බොන එකා මාසෙං දෙකෙං බොක්ක කුණුවී පරලොව යන බැවිිනි. එසේ යන ගමන බුදුන් වහන්සේ විසින් හඳුන්වා දේශනා කරන ලද්දාවූ උපදේශන (ධර්මය) වාක්‍ය කණ්ඩය “සබ්බං පහාය ගමනීයං” යන්නය.
“භක්‍ෂණය කරන සුනඛයාට මොනවදෝ නොකා ඉන්න බැරිලු” බොන එකාටත් එසේමය. දැං පුතේ වල් ෆැන්ටා පමණක් නොව අයිස් මරිජුවානා කුඩුද “තක්කිට තරිකිට ගුජිතගුදං” තාලෙට සබේ (නගරෙ) නටයි.
කෑගල්ලේ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා පසුගියදා සාකච්ඡාවකදී පැවසුවේ සිසුන් හාරසියයක් සිටින පාසලකින් කුඩු ගහන සිසුන් සියයක් අඳුනාගත් බවය.
දැං අර බඩ්ඩ පඩික්කංවතී නයිට් බසාර් සංකල්පය මත ත්‍රෛලෝක විජය පත්‍රම් අලෙවිය නීතිගත කරවා ගන්නට ද බැරිකමක් නැත.
“නොදකිං නොදෝකිං, නොදකිං නොදෝමකිං” අපේ ගමේ උන්නු (සිටි) දොන්ත බබක්කගේ ප්‍රස්ථාව පිරුළ කියවෙන්නේ ඔන්න ඔය වෙලාවටය.
මේවා කියන්න ගියොත් මේ කපේදි (කල්පයේදි) කියා ලියා නිමකළ නොහැකිය. නොකියාම බැරි තවත් එකක් ඇත.
ඒ ඇමතුම් ගාස්තුවය. කොහෙං කොහෙං කෙළවර වෙද්දැයි කිව නොහැකිය. ඒකටත් නොසෑහෙන්ඩ වැට් වදින්ඩ යන පාටය. කාලිදාස ලොක්කාට නං වැහිවළාකුළුවත් තිබුණේය. රාහුල හාමුදුරුවෝ රජ බිසවුන්ඩ දරුවන් ලබාදෙන ලෙස ඉල්ලා සැලයන් වැනි කුරුල්ලන් පිටත් කළහ.
ඒ වුණාට අපේ සීයලා, අත්තලා, මුත්තලා, නත්තලා, පනත්තලා, කිරිමුත්තලා, කිරිකෑමුත්තලා පමණක් නොව කොස්පොත්තලා, පාංකිරිත්තලා පවා පණිවුඩ අරිනට දේශීය ඥානය උපනිශ්‍රීය (ප්‍රයෝජනයට) කරගත්තෝය. උහු (ඒ ඇත්තෝ) ගිනි ගොඩවල් ගසා දුම් රොටු දකින්නට සැලැස්සූහ. නැත්නම් දක්‍ෂ දුනුවායන් නිලකරවා දුනු හී පොළවල් ස්ථාපනය කර තිබුණේය. මේ යන ගමනේ හැටියට නං මේ රටේ ඉන්නට හිටින්නට නම් ඕවා (පණිවුඩ යැවීමේ දේශීය ක්‍රම) හැරෙන්නට වෙනත් විකල්ප මාර්ග නැත. ගාස්තුව නගින නැගිල්ල හිතන්ටත් බැරිය. එසේ නැත්නං මේ රටිං වෙන රටකට ගොස් මේ කාලකණ්ණි හැත්තගෙං දුරුවං වෙන්නම ඕනෑය.
නැතහොත් ප්‍රංශකාරයන් කන්න නැතිවූ විට හිරගෙවල් (බැස්ටිලය) කඩා පාරට බැස අරුං ටික ගිලටිනයට දැක්කුවා සේ මුනුත් දැක්කිය යුත්තේමය. පරක්කු වී වැඩක් නැත. අප්පමාදෝ අමත පදංය. ප්‍රමාදය (මහජනයාට) මරණයට (මාර මුඛයට) හේතුවන බැවිනි.
අපේ ජාතිය ගැන, රට ගැන උස් හඬින් බෙරිහං තැලූ උස්මුරුත්තෙ උන්නැහේලා උන්නෝය. කැලණි ගඟේ පාවෙනවා නිල් උණ බම්බු නොවේ නාගරාජයෝය. ඒ නයි නැටවූ නයි පණික්කියෝ (නයිකූඨාඬි) කොහි වෙසෙත්ද? උන්නාන්සේලා ඒ කරන ලද කුශල පුණ්‍යසම්භාරය හේතුකොටගෙන අවීචියෙන් මෙහා නවතින්නට නම් කාරණා නැත. අපේ ජනාධිපතිතුමාගේ Smart Era එක ගැන තප්පු ගහන හඬ ඇහෙන විට මතක් වෙන්නේ ඔන්න ඔය දේවල්ය.
චාල්ස් ඩිකන්ස්ගේ A tale of two cities කෘතිය පටන්ගෙන ඇත්තේ It was the best of time. It was the worst of time. It was the epoch of wisdom. It was the epoch of Foolishness. It was the era of light. It was the era of darkness ලෙසිනි. ආලෝකයේ යුගය වශයෙන් පෙන්නුවත් අවසානය අන්ධකාරය බව චාල්ස් ඩිකන්ස් පවසයි.
අපේ ජනාධිපතිතුමා අපව දක්කන්නේත් Smart Era ස්මාට් යුගයකටය. මේ යන ගමනේ හැටියට නම් 2048 වනවිට මොකෙක් හරි එකෙකු කාගෙ හෝ වාසනාවකට හෝ ඉතුරු උනොත් ඌට බලන්න හැකි වන්නේ මේ රට ගල් යුගයේ ඇති බවය.
“තුන්වැනි ලෝක යුද්ධයක් ඇතිවුවහොත් කුමක්වේදැ”යි මාධ්‍යවේදියෙක් බර්ට්‍රන් රසල්තුමාගෙන් ඇසුවේය.
“හතරවැනි ලෝක යුද්ධය කරන්නේ කොළ අතු ඇඳගත්තවුන් ලී කෑලිවලින් (පොලු මුගුරුවලින්) යැයි එතුමා පිළිතුරු වශයෙන් කීවේය.
ලොක්කගේ නව යුගයේ සංකල්පය අනුව 2048 වන විට සිද්ධ වෙන්නේත් ඔන්න ඕකමය.
තවත් එකක් කිව යුතුය.
මයිනා, කාක්කා, දිමිගෝඨා පැන ගියෝය. එහෙත් ටික දවසකින් ආපසු ආවෝය.
එහෙත් ලොක්කා ?
දෙන් නම් කියා ජාතියටම පොල් කට්ට – උන්ගේ රිහිරි ලේ ඇද බොන ඇම්බැට්ට
ගන්නට පළමු ජන මතයෙන් ඔළු කට්ට – දැන් වත් බැහැපියව් පාලකයිනි දොට්ට
චන්ද්‍රසේන මාරසිංහ