අද අපි කැලෑ කොලමෙන් කතා කරන්නේ ශ්‍රී ලාංකේය සංස්කෘතිය හා බැඳුණු විශේෂ උත්සව කිහිපයක් හා වර්තමානයේ ඒ පිළිබඳ සමාජය තුළ මතුව ඇති කතාබහ පිළිබඳවයි. යම් කිසි ශිෂ්ටාචාරයක චාරිත්‍ර වාරිත්‍ර, ඇදහිලි, විශ්වාසය, කලාව, සංගීතය එක්තැන් වූ ක්‍රියාදාමය සංස්කෘතිය ලෙස හඳුන්වන්න පුළුවන්.(Sri Lanka Latest News)
එය රටින් රටට, ජාතියෙන් ජාතියට වෙනස් වෙනවා. ලොවක් එකට බැඳී පවතින්නේ එකී විවිධාකාර සංස්කෘතික බැඳීම් නිසයි. ශ්‍රී ලාංකික අපටද අපටම ආවේණීක සංස්කෘතියක් තිබේ. එහි මහා මංගල්‍යය සෙංකඩගලපුර ඇසළ පෙරහැර වේ. මෙරට රාජ්‍යත්වයේ සංකේතය ලෙසද දළදාව හඳුන්වන බව ඉතිහාසයේ සිට අද දක්වාම පවතින මතයකි. රට කරවන පාලකයන් විසින් සියවස් ගණනාවක් පුරා ඇසළ මංගල්‍යය රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකරනු ලබනවා. යටත්විජිත සමයේද එය එසේම සිදුවී ඇත.
මීට වසර 1702කට පෙර දළදා පෙරහැර හෙවත් ඇසළ පෙරහැර මංගල්‍යය පළමුව ලක්දිව ආරම්භ වී ඇත්තේ කිත්සිරි මෙවන් රජ දවස ක්‍රි.පූ. 310දීය. වාර්ෂිකව දළදා වහන්සේ අභයගිරි විහාරය දක්වා වැඩමවා මහජනතාවට ප්‍රදර්ශනය කළ බව ඉතිහාසයේ සඳහන් වේ. එසේම දළදා පෙරහැර පැවැත්වූ බව දළදා සිරිත, මහාවංශය, දළදාවත ඇතුළු අනෙකුත් ඓතිහාසික ග්‍රන්ථවල සාක්ෂි සහිතව දක්වා තිබේ.
මෙරට රජකම නායක්කාර් වංශිකයන් අතට පත්වූ පසු දළදා පෙරහැර ආරම්භ වූවා යැයි මුසාවක් ජනගත කිරීමටද පිරිසක් උත්සාහ ගනිමින් සිටිති. ඊට පිළිතුරු සැපයීම මෙම ලිපියේ අරමුණ නොවුණත්, අතීතයේ සිට හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය වන දළදා පෙරහැර හා බැඳුණු අනෙකුත් චාරිත්‍රයන්ට සංවිධානාත්මක පිරිසක් අවලාද උපහාස ගැරහුම් කරමින් සිටින ආකාරය සිහියෙන් විමසා බලන්නකුට පෙනෙන්නට තිබේ. එය ක්‍රියාත්මක වන්නේ මහා සත්ව අවිහිංසාව යන්න තේමා කොට ගෙනය. ඔවුන් මහා රැඩිකල්වාදීන් ලෙස මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියි. දළදාව වැඩමවීම සඳහා අලි ඇතුන් සම්බන්ධ කරනු ලැබුවේ සියවස් ගණනාවක ඈත අතීතයේ සිටය. එය අද ඊයේ සිදුවූවක් නොවේ.
සත්ව අවිහිංසාව සතුන්ගේ ප්‍රමාණය අනුව වෙනස් විය යුතු නැත. අවිහිංසාව යනු අවිහිංසාවමය. ගෘහස්ථ හීලෑ අලි ඇතුන්ගේ නියාමනයක් සිදුවිය යුතුය. ඊට රාජ්‍ය මැදිහත් වීම අනිවාර්යයෙන් සිදුවිය යුතුය. වෛද්‍ය පහසුකම්, ආහාර හා සෙසු පහසුකම් සැලසීම හා නිසි කළමනාකරණය, නවීන පහසුකම් ලබාදීම වගකිව යුතු රජයක ප්‍රධාන වගකීම වේ. එය පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ හෝ උඩවලව ඇත් අතුරු සෙවණ මූලික කරගෙන සිදුවිය යුතුය.
වනයේ සිටින අලි අල්ලා හීලෑ කිරීම හෝ පෙරහැරට සම්බන්ධ කිරීම නීති මගින් තහනම් කළ යුතුය. දේශපාලනඥයන්ට හා පූජකයන්ට අවශ්‍ය පරිදි අලි ඇතුන් පූජා කිරීමද තහනම් කළ යුතුය. ඊට හීලෑ අලි ඇතුන්ගේ සංගම් අවනත විය යුතුය. බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ දර්ශනය යනු දෙකකි. බෞද්ධ දර්ශනයේ පෙරහැර නැත. නමුත් වසර දහස් ගණනක සංස්කෘතියකට උරුමකම් කියන අපට පෙරහැර සංස්කෘතියක් ඇත.
ඇසළ මංගල්‍යය දඩමීමා කරගෙන ඒ උදාර සංස්කෘතික උරුමය විනාශ කිරීම වර්තමාන නිගණ්ඨයන්ගේ උත්සාහයයි. ඔවුන් කලඑළි බසින්නේ සෑම වසරකම ජූලි මාසය ආරම්භ වන විටය. සැප්තැම්බර් මාසය අවසන් වන විට ඔවුන් දූරීභූත වේ. වසරක් පුරා වනයේ සිටින අලි ඇතුන් හා අනෙකුත් සතාසීපාවන්ට මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන හානි ගැන ඔවුන්ට වගේ වගක් නැත. මන්ද එයින් ඔවුන්ට මුදල් ඉපැයීමට නොහැකි බැවින්. ඔවුන්ගේ මහා සත්ව කරුණාව හා අවිහිංසාව මතුවන්නේ පෙරහැර ආරම්භ වන විටය. අද වන විට වැඩවසම් යුගය හමාර වී ඇත.
පරපුරෙන් පරපුරට ශිල්පය යෑම හෝ තාත්තාගෙන් පුතාට මාරු වීම සිදුවන්නේ අල්ප වශයෙනි. නමුත් දැන් එම ශිල්පය වාණිජකරණය වී ඇත. නූතන පරපුර, නැටුම්, ගැයුම්, වැයුම් ශිල්ප වෘත්තීය මට්ටමෙන් හදාරති. එය ඉතා හොඳ ප්‍රවණතාවකි. ලෝකයේ කිසිම රටකට මුදල් හා බලය තිබුණත් මෙවැනි උත්කර්ෂවත් සංස්කෘතික මංගල්‍යයක් පැවැත්වීමට නොහැකිය. ලොව නන්දෙසින් විදේශිකයන් මේ පෙරහැර මංගල්‍යය නැරැඹීමට පැමිණෙන්නේ ඒ නිසාය. ආර්ථික වශයෙන් ඉතා අහේනියකට ලක්ව සිටින අප වැනි රටකට එය කුඩා හෝ අස්වැසිල්ලක් වනු ඇත.
ගෘහස්ථ අලි ඇතුන් පාලනය කරන ක්‍රම හා විධි ලොව පුරා ප්‍රචලිත වී ඇත. ඉන්දියාවේද එය සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ. කිසිම සත්වයකු සිරකර තැබීම හෝ ගාල්කර තැබීම අනුමත නොකරන අතර, අවිහිංසාව වර්ගීකරණයද අනුමත නොකරන බව සඳහන් කළ යුතුය.
සංස්කෘතික පැවැත්ම රඳාපවතින්නේ පවතින කාල රාමුව තුළ නිරන්තරයෙන්ම සිදුවන වෙනස්කම් මතය. මෙරට සංස්කෘතියද ඊට ධනාත්මකව අනුගත විය යුතුය. කවුරු අකැමැති වුවත්, කෙතරම් අවලාද දෝෂාරෝපණ එල්ල වුණත්, කුමන බලවේග පැමිණියත් මෙවැනි සංස්කෘතික මංගල්‍යයක් චිරාත් කාලයක් පැවැතිය යුතුය. කිසිම දෙයක් ස්ථිර නැත. මේවාද යම් දිනෙක නැතිවනු ඇත. එයද නියතයකි.
අවසන් වශයෙන් කිව යුත්තේ ඔබ සැබෑ ශ්‍රී ලාංකිකයකු නම් පල්ලියේ මංගල්‍යය රසවිඳින්න. කෝවිලේ පේරු උත්සවය රසවිඳින්න. රාමසාන් දවසේ ඒ උත්සවයේ සංස්කෘතිය රසවිඳින්න. දළදා පෙරහැරේ සහ ඒහා සම්බන්ධ සංස්කෘතික උරුමයන් රසවිඳින්න. මෙවැනි විවිධාකාර සංස්කෘතීන් එක්තැන් වූ සමාජයක රසවිඳින්නට බොහෝ දෑ ඇත. ඉන්න ටික කාලයේ සතුටින් සිටින්න. අපගේ අගනා සංස්කෘතිය අනාගත පරපුරට උරුමකර දීමට ඔබත් නියම ශ්‍රී ලාංකිකයකු ලෙස පෙනී සිටින්න.
සමන් හල්ලොලුව










