පොලිසියේ දක්ෂ ලෙස සේවය කරන නිලධාරීන්ට හිමිවිය යුතු තැන ලබාදීමට කටයුතු කරන අතරම නවීන ලෝකයට ගැළපෙන පරිදි පොලිස් දෙපාර්තමේන්තුව තුළ පෙරළියක් සිදුකරන බව නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය. (Sri Lanka Latest News)
36 වැනි පොලිස්පතිවරයා ලෙස පසුගිය 29 වැනිදා උදෑසන පොලිස් මූලස්ථානයේදී නව තනතුරේ වැඩ භාරගැනීමෙන් අනතුරුව පැමිණ සිටි උසස් පොලිස් නිලධාරීන් අමතා ඔහු මේ බව සඳහන් කළේය.
පොලිස් ඉතිහාසයේ තමා තරම් විවේචනවලට ලක්වූ අයකු තවත් නොමැති බවද දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය.
පසුගිය දෙසැම්බර් 17 වැනිදා ආරම්භ කෙරුණු ‘යුක්තිය’ මෙහෙයුම ඉදිරියට ගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙරටින් සම්පූර්ණයෙන් තුරන් කරන බවද තෙන්නකෝන් මහතා පැවැසීය.
ඒ සඳහා ආරක්ෂක හමුදාවලින් ලැබෙන සහාය අගය කළ පොලිස්පතිවරයා සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකරන මෙහෙයුම්ද අඛණ්ඩව සිදුකරන බවයි සඳහන් කළේ.
මේ අතර, පොලිස් මූලස්ථානය සඳහන් කළේ ‘යුක්තිය’ මෙහෙයුමේදී මේ දක්වා හෙරොයින් වැටලීම් 22,420ක් සිදුකොට හෙරොයින් කිලෝග්‍රෑම් 146යි මිලිග්‍රෑම් 376ක්ද, අයිස් වැටලීම් 767ක් සිදුකොට අයිස් කිලෝග්‍රෑම් 211යි මිලිග්‍රෑම් 583ක්ද, ගංජා වැටලීම් 23,630ක් සිදුකොට ගංජා කිලෝග්‍රෑම් 3284කයි මිලිග්‍රෑම් 308ක්ද, වෙනත් මත්ද්‍රව්‍ය වැටලීම් 3235ක් සිදුකොට එම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 327ක් සොයාගත් බවයි.
මේ කාලසීමාව තුළ වැටලීම් 63,052ක් සිදුකොට සැකකරුවන් සහ සැකකාරියන් 62,720ක් අත්අඩංගුට ගෙන ඇත.
ප්‍රේමලාල් විජේරත්න










