දේශීය සිනමාව ස්වර්ණමය යුගයක් කරා ගෙනයාමට උරදුන් තවත් ප්‍රබල සිනමාකරුවෙකි සේන සමරසිංහ. සිය චිරාගත සම්ප්රදායක රටාව තුළ ප්‍රබල සිනමා නිර්මාණ රැසක් එතුමා අතින් නිර්මාණය විය. සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයන් කැන්දූ සිනමා පට ඒ අතර විශේෂිතය.(Sri Lanka Latest News)
1937.11.25 වැනි දින කෑගල්ලේ රන්දෙණියේදී උපන් සේන සමරසිංහයන්ගේ මුල් නම නන්දසේන සමරසිංහය. බණ්ඩාරවෙල ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ හෙතෙම පාසල් සමයේදී ක්‍රීඩා අංශයෙන් දස්කම් දක්වමින් පාසලේ නායකත්වයේද කැපීපෙනුණු ශිෂ්‍යයකු වූවේය.
බණ්ඩාරවෙල විසූ එවක ජනප්‍රිය සිනමා නළුවකු වූ ආනන්ද ජයරත්න ‘පටාචාරා’ චිත්‍රපටයේ රඟන අයුරු ඔහුට දක්නට ලැබෙන්නේ එම රූපගත කිරීම තම පියාට අයිති වතුයායක සිදුවෙද්දීය. රූපගත කිරීම් දෙස විමසිලිමත්ව සිටි ඔහු, එම චිත්‍රපටයේ අධ්යක්ෂ විමලනාත් දිසානායක චිත්‍රපටය මෙහෙයවන අයුරු ඉතා වුවමනාවෙන් බලා සිටියේය. සිනමාව ගැන ඇල්මක්, ළැදියාවක් ඔහුගේ සිත තුළ ලියලන්නට පටන්ගත්තේ එම රූපගත කිරීම දැකීමෙන් පසුවය.
ව්‍යාපාරික පවුලකින් පැවැත ආ ඔහුට සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු, සිනමාව කෙරෙහි සිත් යොමුවීමට මූලික වූයේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා තම හිතවත් මිතුරකු වීම නිසාය.
1973 දී මිල්ටන් ජයවර්ධන සමග ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම ඔහුගේ සිනමා ගමන් මගේ ආරම්භයයි.
ගාමිණී, මාලිනී, ජෝ, සෝනියා වැනි සිනමාවේ ජනප්‍රිය සිනමා නළු නිළියන් යොදාගනිමින් එම චිත්‍රපටය නිෂ්පාදනය කළේය. එම චිත්‍රපටය තුළින් සිංහල සිනමාවට ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණය කරන තවත් විශිෂ්ට සංගීතවේදීයකු වන සරත් දසනායකයන්ව හඳුන්වා දුන්නේද මෙතුමාය.
සේන සමරසිංහයන් ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමෙන් පසුව 1974 දී ‘කස්තුරි සුවඳ’ චිත්‍රපටය තුළින් සිනමා අධ්යක්ෂවරයකු බවට පත්විය. එයද ජනප්‍රිය සිනමාව තුළ වාර්තා පිහිටුවීමට සමත් වූ චිත්‍රපටයක් විය.
- කස්තුරි සුවඳ (1974.03.03)
- නිල්ල සොයා (1976.11.12)
- ආශා දෑසින් (1978.04.28)
- මල් කැකුළු (1980.01.04)
- චංචල රේඛා (1981.12.18)
- ඈතින් ඈතට (1983.05.06)
- යළි හමුවෙන්නයි (1986.02.07)
- බමර කලාපේ (1991.12.06)
යන සිනමා නිර්මාණයන් එතුමා නිර්මාණය කරන ලදී.
මෙම සිනමා නිර්මාණයන් විවිධ කතා තේමාවන් රැගත් ප්‍රබල වාණිජ ධාරාවේ චිත්‍රපට වීම විශේෂත්වයකි. වාණිජමය අතින් අති සාර්ථක වූ එම චිත්‍රපටවල දේශීය නැඹුරුවක් දක්නට තිබිණි. ඉතා මිහිරි සංගීත තනු නිර්මාණයන් සේම ඉතා විචිත්‍රවත් නැටුම් දර්ශනයන් එම චිත්‍රපටවල ඇතුළත්ව තිබිණි.
සිනමාවේ කලා ශිල්පීන් කිහිප දෙනකුම එතුමාගේ සිනමා නිර්මාණ තුළින් සිනමාවේ නමක් දීනූ කලා ශිල්පීන් ලෙස මතුවිය.
බන්දු සමරසිංහ ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටයෙන් විකට නළුවකු ලෙස දොරට වැඩීම, සේනක පෙරේරා, රිචාඩ් වීරක්කොඩි (නිල්ල සොයා), මිල්ටන් මල්ලවාරච්චි ‘නිල්ල සොයා’ චිත්‍රපටයෙන් තිර කටහඬකට උචිත ගායකයකු ලෙස ස්ථාවර වීම, සරත් දසනායක ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටය තුළින් සිනමා සංගීතයේ නව පිබිදීමක් ඇති කිරීම, හරිස් ජයරත්න ‘ඈතින් ඈතට’ තුළින් සිනමා නළුවකු ලෙස දොරට වැඩීම, ග්‍රේෂන් ආනන්ද ‘මල් කැකුළු’ චිත්‍රපටයෙන් සිනමා ගීත ගායනයට පිවිසීම, ශ්‍යාමි ෆොන්සේකා ‘මල් කැකුළු’ තුළින් සිනමා ගීත ගායිකාවක් වීම, චන්ද්‍රලේඛා පෙරේරා ‘යළි හමුවෙන්නයි’ චිත්‍රපටයෙන් සිනමා ගීත ගායිකාවක් ලෙස ක්ෂේත්රයට පිවිසීම ඒ අතර කැපීපෙනෙන සිදුවීම්ය.
සිනමා අධ්‍යක්ෂකවරයකු මෙන්ම තිර නාටක රචකයකු ලෙසද සිනමා පටවල සේන සමරසිංහයන් සම්බන්ධ විය.
‘බමර කලාපේ’ ඔහුගේ තිර නාටකයකි. ගීත රචකයකු ලෙසද ගීත කිහිපයක්ම රචනා කර ඇති එතුමා, විජය කුමාරතුංග සමග චන්ද්‍රලේඛා ගැයූ ‘මංගල නැකත’ සහ ‘සුදු දුව’ කැසට්පටද නිෂ්පාදනය කළේය. එහි ආ ගීත අතර, විජය කුමාරතුංග සමග චන්ද්‍රලේඛා ගැයූ ‘ඈත එහා ඔබ සිටිනා’, ‘මංගල නැකතින් යන්න’ යන ගීතද එතුමාගේ පද රචනාය. චන්ද්‍රලේකා ගයන ‘මංගල නැකතේ චූටි නංගි මගේ’ ගීතයේ රචකයාද මෙතුමාය.
‘බමර කලාපේ’ චිත්‍රපටයේ ආ වික්ටර් රත්නායක ගැයූ ‘කොවුලන් හඬනා හිමිදිරි යාමේ’ ගීතයද එතුමාගේ පද සංකල්පනාවකි.
එසේම, ‘සමරසිංහ චිත්‍රපට’ නමින් සිනමා චිත්‍රාගාරයක්ද එතුමා පවත්වාගෙන ගියේය. එයින් වෙනත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට නිෂ්පාදන සඳහා කැමරා උපකරණ ආදිය සපයන ලදී. මෙසේ එතුමා සිනමා කර්මාන්තයට සුවිසල් සේවයක් ඉටුකළ සිනමාකරුවෙකි.
සිනමාව තුළ සිය චිරාගත සම්ප්රදායක ජනප්‍රියත්ව රටාවෙන් සිනමා ප්‍රේක්ෂකයන්ට සිනමාව ගැන සුන්දර ආකර්ෂණයක් ඇති කළ සේන සමරසිංහයන් පසු කලෙක ශ්‍රී ලංකා – පාකිස්තාන හවුල් නිෂ්පාදන කිහිපයක්ද ශ්‍රී ලංකාව වෙනුවෙන් අධ්‍යක්ෂණය කළේය.
එම චිත්‍රපට අතර,
- සදාකල් රැඳේවා
(නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය) - සිංහ පැටවු
(සම නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය) - දෝංකාරය
- අයියා නගෝ
- සෙබළියෝ
- ඔට්ටුයි බැරුවට
- සාගර පෙරළිය
- ඔක්කොම කපටියෝ
යන චිත්‍රපට වේ. එම චිත්‍රපටවල ශ්‍රී ලංකා අධ්‍යක්ෂණය සේන සමරසිංහගෙනි.
ජනප්‍රිය නිළි සබීතා පෙරේරා පාකිස්තාන චිත්‍රපටවල හඳුන්වාදීමේ ගෞරවයද හිමිවිය යුත්තේ සේන සමරසිංහයන්ටය ‘සදාකල් රැඳේවා’ චිත්‍රපටයේ රඟපෑමෙන් පසු සබීතා පාකිස්තානයේ ජනප්‍රිය නිළියක් බවට පත් වූවාය. සේන සමරසිංහයින් නිර්මාණය කළ ශ්‍රී ලංකා – පාකිස්තාන හවුල් නිෂ්පාදන කිහිපයකම ප්‍රධාන නිළිය වූයේද ඇයයි. මෙයින් ඇයට එරටේ මහත් කීර්තියක් අත්කර ගන්නට හැකි විය. එසේම ගාමිණී ෆොන්සේකා, ගීතා කුමාරසිංහටද පාකිස්තාන – ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදන සඳහා රංගනයන්ට අවස්ථාව ලැබුණේ සේන සමරසිංහයන් ශ්‍රී ලංකාව වෙනුවෙන් අධ්‍යක්ෂණය කළ හවුල් නිෂ්පාදන තුළිනි.
සමරසිංහයන්ගේ සිනමා නිර්මාණ කාර්යයෙහිලා රජ තුන්කට්ටුවක් සේ මෙතුමාට සහාය වූයේ සංගීතයෙන් සරත් දසනායකත්, කැමරාකරණයෙන් ඩැනී ඩබ්ලියු. පතිරනත්, තිරනාටක රචනයෙන් සෝමපාල ලීලානන්දත්ය. ඔවුන් තිදෙනාම එතුමාගේ සිනමා චාරිකාවට මහත් අත්වැලක් සැපයූ සිනමා කලාකරුවන්ය.
සංගීතවේදී සරත් දසනායකයන් තැනූ මිහිරිම තනු රාශියක් ඇතුළත්ව තිබෙනුයේ සේන සමරසිංහයන්ගේ නිර්මාණ තුළ වීමද විශේෂත්වයකි.
එම මියුරු ගී අතර,
- අමර පෙම් ලතාවේ
(ජෝති-ඇන්ජලීන-සදහටම ඔබ මගේ) - වාසනාව දොර ඇරලා බලනවා
(ජෝති-එම්.එස්-සදහටම ඔබ මගේ) - පෙම් රස වෑහෙන මංගල ගීතේ
(වික්ටර්-ඉන්ද්‍රානි පෙරේරා-
සදහටම ඔබ මගේ) - පාට පොදක් තිලකලා
(ජෝති-ඇන්ජලීන්-කස්තුරි සුවඳ) - ලස්සන ලෝකෙක ඉපදීලා
(ජෝති-කස්තුරි සුවඳ) - මල් වයසේ මධු මිහිරේ
(ජෝති-වික්ටර්-එම්.එස්.-කස්තුරි සුවඳ) - පෙම්වතියන්නේ
(ඇන්ජිලීන් ගුණතිලක-කස්තුරි සුවඳ) - හද විමන් දොරින්
(ජෝති-ඇන්ජලීන්-කස්තුරි සුවඳ) - මියුරු පෙම් මදිරාවේ
(මිල්ටන්-ඇන්ජලීන-නිල්ල සොයා) - යෞවන උයනේ
(මිල්ටන්-ඇන්ජලීන-නිල්ල සොයා) - කෙල්ලේ මා ආදර කෙල්ලේ
(මිල්ටන් මල්ලවාරච්චි-නිල්ල සොයා) - නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවේ
(මිල්ටන් මල්ලවාරච්චි-නිල්ල සොයා) - සිටු මැඳුරේ හෝ පුංචි පැලේ හෝ
(ඇන්ජිලීන් ගුණතිලක-නිල්ල සොයා) - මුව මඳහාසේ
(මිල්ටන් මල්ලවාරච්චි-ආශා දෑසින්) - විකසිත පැතුමන්
(මිල්ටන් මල්ලවාරච්චි-ආශා දෑසින්) - ආශා බැඳේ හදේ මා ආශා
(ලතා වල්පොල-ආශා දෑසින්) - අනංග රන් හී
(මිල්ටන්-ඇන්ජලීන්-ආශා දෑසින්) - ආරාධනා ඉවසා
(මිල්ටන්-ඇන්ජලීන්-ආශා දෑසින්) - බිඳු බිඳු කඳුළු ගලා
(ග්‍රේෂන්-ප්‍රියා-ශ්‍යාමි ෆොන්සේකා-
මල් කැකුළු) - සුරංගනා කතා පොතේ
(මිල්ටන්-ප්‍රියා-මල් කැකුළු) - මල් මල් වාරම්
(මිල්ටන්-ඇන්ජලීන්-මල් කැකුළු) - ලස්සන දෑසක්
(මිල්ටන්-ශ්‍යාමි ෆොන්සේකා-
මල් කැකුළු) - කීන දං මිටක්
(මිල්ටන්-නීලා-චංචල රේඛා) - මී අඹ අත්තේ කොහෝ කොහෝ
(මිල්ටන්-නීලා-චංචල රේඛා) - හස කැලුම් උදාවේවා
(නීලා වික්‍රමසිංහ-චංචල රේඛා) - කැන්දම් යන්නම් රන් මල් මාලා දාලා
(මිල්ටන්-ග්‍රේෂන්-ප්‍රියා-ඇතින් ඈතට) - බෝධියේ විහාරයේ
(නීලා වික්‍රමසිංහ-ඈතින් ඈතට) - ආදරයේ මන්දිරේ
(වික්ටර්-චන්ද්‍රලේඛා-යළි හමුවෙන්නයි) - සඳ පායා ආකාසේ
(මිල්ටන් මල්ලවාරච්චි-යළි හමුවෙන්නයි) - හිරු සඳු පායා
(මිල්ටන්-චන්ද්‍රලේඛා-බමර කලාපේ)
වැනි රසාලිප්ත සිනමා ගී රැසක් ඇත. මෙතුමාගේ ජනප්‍රියතම සිනමා නිර්මාණයක් වූ ‘චංචල රේඛා’ සිනමා පටයේ ඇතුළත් වූ මිල්ටන් සමග නීලා ගැයූ ‘මී අඹ අත්තේ කොහෝ කොහෝ’ ගීතය සෑම සිංහල අවුරුද්දකදීම සැබෑ සිනමා රසික ශ්‍රාවක අපගේ සවන් අග රැව්දෙන ගීතයක්ව අදටත් පවතී.
අයියා නගෝ දෙදෙනකුගේ සහෝදර ප්‍රේමයක් ගැන කියවුණු ඉතා සුන්දර සිනමා නිර්මාණයක් ලෙස එය සදා අප හදවත්වල රැඳී තිබීමට සමත්ය.
සිනමා සක්විති ගාමීණී ෆොන්සේකා සමග ප්‍රවීණ රංගවේදිනී නදීකා ගුණසේකරගේ සුන්දර රංගනයන් කිසිදා අමතක නොවන සිනමා මතක සටහන් අතර තිබෙන්නේය. එය සේන සමරසිංහයන්ගේ නිර්මාණ විශිෂ්ටත්වයේ සලකුණකි.
සිය නිර්මාණයන් තුළින් හරවත් සුන්දර සිනමා නිර්මාණයන් එළිදැක් වූ එතුමා සිනමාව පෝෂණය කරමින් සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයන් කැන්දූ චිත්‍රපට නිර්මාණය කර ‘බමර කලාපය’ චිත්‍රපටයට පසු සිනමා අධ්‍යක්ෂණයෙන් ඇත්වූයේය. සියලු කලා කටයුතුවලින් ඇත්ව සිය ජීවිතයේ සැඳැ සමය තම දූ දරුවන් සමග සතුටින් ගතකරන මෙතුමාගේ 86 වැනි ජන්ම දිනය පසුගිය 25 වැනිදාට යෙදී තිබිණි. සිය නිර්මාණකරණයෙන් සිංහල සිනමාවට විශිෂ්ට සේවාවක් කළ සේන සමරසිංහ සිනමාකරුවාට නිදුක්, නිරෝගී සුවය, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මා මෙම සටහන නිම කරනුයේ මෙය එතුමාට උපහාරයක් වේවායි ආශිංසන කරමිනි.
රොහාන් සෙනෙවිරත්න (විශේෂ ස්තුතිය – සජිනි සමරසිංහ)










