පාස්කු ප්‍රහාරය ගැන සිහිකරන්නට ලියුම්කරුට ඕනෑකමක් නැත. එහෙත් එකී ප්‍රහාරයෙන් මියගිය සහ වේදනාවට පත්වූවන් වෙනුවෙන් දිගුකලක් සටන් වැදි අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ උට්ඨාන වීර්යය ගැන නම් කතා නොකරම බැරිය. 2019 වසරේ අප්‍රේල් මාසයේ පාස්කු ප්‍රහාරය එල්ලවූ අවස්ථාව ඔබට මතක නම් එම අවස්ථාවේ කාදිනල්තුමන්ගේ හැසිරීම කෙතරම් ප්‍රශස්තදැයි අමතක වන්නට හැටියක් නැත. ලංකාවම ගිනිලමින් මුසල්මානුවන්ට එරෙහිව වෛරී ප්‍රහාරයක් සඳහා එදා ඇවැසි වූයේ කාදිනල්තුමන්ගේ එක් කුඩා ඉඟියක් පමණි. කෙතරම් පෙලඹවීම් කෙරුණද උන්වහන්සේගෙන් ඒ ඉඟිය ලැබුණේ නැත. දේව වචනය මනුසතුනට පහදා දෙන්නට හැර අන්කිසි දේකට තම වචන යොදා නොගත් අති උතුම් කාදිනල් හිමිපාණෝ සිය වගකීම්සහගත සන්සුන් ස්වරයෙන් රට ගිනිලන්නට බලා සිටි සාතන් පලවා හැරියෝය.
පාස්කු ප්‍රහාරකයන්ට යුක්තිය ඉටු නොවන බව සක් සුදක් සේ පෙනීයද්දී පවා කදිනල් හිමිපාණන් පෙන්වා සිටි ඉවසීමේ ගුණය අටලෝදහම දැන උගත් බෞද්ධයන්ට පවා ආදර්ශයකි. එවක පැවැති යහපාලන ආණ්ඩුව කල්මරමින් නින්දිත ප්‍රහාරයේ මහ මොළකරුවන්ට ගැලවී යන්නට ඉඩ සදද්දී යුක්තියේ මාවතට ඔවුන් ඇදගන්නට උන්වහන්සේ උත්සාහ ගත්හ. එහෙත් කතෝලික සභාව හෝ මෙරට කතෝලික ප්‍රජාව අපේක්ෂා කළ සධාරණය කෙදිනකවත් ඉටු නොවන බව දුටු උන්වහන්සේ බොහෝ ඉවසීමෙන් කටයුතු කළහ. වෙනත් විකල්පයක් නැති තැන උන්වහන්සේ තම අවනඩුව විපක්ෂ දේශපාලන බලවේග වෙත කීහ. එහෙත් මැතිවරණයක් අභිමුවේ එකී බලවේග පාස්කු වින්දිතයන්ගේ කඳුළ තම දේශපාලන වුවමනාවන් වෙනුවෙන් අවභාවිත කරනු දැක දැකත් කාදිනල් උන්නාන්සේ තවදුරටත් ඉවසා සිටියහ. එහෙත් ඉවසීම සහ නිහඬ බව යනු අයුක්තිය ඉවසන ක්‍රමයක් නොවන බව මේ වන විට උන්වහන්සේ සමාජයට පසක් කොට අවසන්ය.
පාස්කු ප්‍රහාරය යට දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බව උන්වහන්සේ එළිපිටම පැවැසූහ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මුක්තියට මුවාවී සිය වගකීමෙන් නිදහස් වන්නට බැලුවේය. ඉන්ද නොනැවතී වරද තම අවශේෂ නිලධාරීන්ට බෙදා අත සෝදාගන්නට බැලුවේය. ඒ සෑම තැනකදීම කදිනල්තුමෝ මේ මහා මනුෂ්‍ය ඝාතනයට සහ සිදුවූ මහා විනාශයට වගකිවයුත්තන්ට ව්‍යවස්ථාවේ වගන්තිවලට මුවාවී ගැළවීගත නොහැකි බව නොබියව පැවැසුවේය. පාස්කු ප්‍රහාරය එල්ල වූ අසුබ හෝරාව තම දේශපාලන ව්‍යාපාරයේ සුබ හෝරාව කරගන්නට මෙරට දේශපාලන පක්ෂ උත්සාහ ගත් බව නොරහසකි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රසිද්ධියේ කීවේ පාස්කු බෝම්බයේ දෝංකාරය මැකී යන්නටත් මත්තෙනි. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය අභිමුවේ සිටි කතෝලික ප්‍රජාවේ පමණක් නොව බහුතර ලාංකිකයන්ගේ තීරණාත්මක කොන්දේසිය වූයේ පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට දඬුවම් කිරීමය. ඒ සඳහා මුලින්ම ඉදිරිපත් වූයේ රාජපක්ෂවරුන් සිය පසමිතුරු බලවේග පාස්කු ප්‍රහාරයට වගකිවයුතු බව නොකියා කියන්නට විය. අවසානයේ පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම් කරනු දකිනු රිසින් කතෝලිකයෝද, කැලණියේ නාග ධාතුවලින් මුළාවූ බෞද්ධයෝද හැටනව ලක්ෂයක් ලෙසින් පෙරහැර සැදී ගොස් ඡන්දය දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරගත්තෝය.
මරණයේ සහ ළබැඳියන් අහිමි වීමේ කටුක වේදනාව සහ මිනිසුන්ගේ ආගමික භක්තිය තම දේශපාලනයට සිත්සේ යොදාගත් පොහොට්ටුව ජනපතිවරණයත්, අවසන මහා මැතිවරණයත් ජයග්‍රහණය කරගත්තේය. එහෙත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුවනු වෙනුවට එය බොහෝ ඈතට පලායනු දුටු කාදිනල් හිමිපාණෝ ඉන් තැති ගත්හ. පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සොයන්නැයි ආණ්ඩුවට වැඩි වැඩියෙන් බලකරන්නට උන්වහන්සේ කටයුතු කළහ. ඒ වන විටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිහිටුවා තිබූ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ කාලය දීර්ඝ කරමින් නව ජනපති ගෝඨාභය රාජපක්ෂ කල්මැරීම අරඹා තිබිණි. අවසානයේ පාස්කුවේ සිය ළබැඳියන් අහිමි වීමේ කතෝලිකයන්ගේ කඳුළ නිකම්ම වියැළෙන්නට දීම ආණ්ඩුවේ උපක්‍රමය බව කාටත් පහැදිලි වන්නට විය. අඛණ්ඩව කෙරුණු බලපෑම නිසා පාස්කු කොමිසමේ අවසන් වාර්තාව නිකුත් කිරීමට ආණ්ඩුවට සිදුවිය. එහෙත් එකී වර්තාවෙන් සැලකිය යුතු කොටසක් සංවේදී කොටස් ලෙස සඟවාගෙන වාර්තාවෙන් කොටසක් පමණක් නිකුත් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය.
මේ තත්ත්වය හමුවේ කදිනල්තුමෝ ලංකාවේ ආණ්ඩුවෙන් පමණක් පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටු නොවන බව වටහා ගත්හ. එහෙයින් තම ගැටලුව ජාත්‍යන්තරය වෙත ගෙන යන්නටත් ඊට සමගාමීව අධිකරණ ක්‍රියා මාර්ගයන්ට එළඹීමටත් උන්වහන්සේ තීරණය කළහ. වතිකානයේ වැඩවෙසෙන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ වෙත තම ගැටලුව යොමු කිරීමට උන්වහන්සේ පියවර ගන්නේ ඒ අනුවය. පාප්වහන්සේ වෙත ගැටලුව යොමුවීමත් සමගම එය තවදුරටත් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කරුණක් වූයේ නැත. ලෝකයේ සියලු රටවල් ඒ දෙස අවධානය යොමුකරන්නට විය. කාදිනල්තුමන් තම ගැටලුව වතිකානයෙන් නතර කළේ නැත. උන්වහන්සේ එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ගෙන ගියහ. 2022 මාර්තු 07 හෝ ඊට ආසන්න දිනයක ජිනීවාහි පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය අමතමින් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය මහා දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බව පැවසූහ. එමතුදු නොව පුද්ගලයන් 279 දෙනකුට මරු කැඳවමින්ද, 500කට ආසන්න සංඛ්‍යාවකට තුවාල සිදුකරමින්ද සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ‘දේශපාලන කුමන්ත්‍රණයක්’ ලෙස හඳුන්වමින් ඒ පිළිබඳ විමර්ශනය කරන ලෙස උන්වහන්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියෝය. එහෙයින් ලංකවේ ආණ්ඩුව පත්වූයේ බරපතළ අපහසුවකටය. පාස්කු ප්‍රහාරය නොවිසඳුණු අපරාධයක් නොව විසඳිය යුතු අපරාධයක් බවට පත්වෙන ලකුණු පෙනෙන්නට විය.
ලංකාවේ සිදුවූ නින්දිත දේශපාලන කුමන්ත්‍රණයට ලෝකයේම අවධානය යොමුවෙද්දී ශ්‍රී ලංකාවේ අධිකරණය හමුවේ පාස්කු නඩුව විභාග වන්නට විය. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් පාර්ශ්වකරුවන් ඉදිරිපත් කළ පෙත්සම් 12ක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව පසුගිය 12 වැනිදා ලබාදුන්නේ මුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත යොමුකර ගනිමිනි. අධිකරණ ඉතිහාසයට මතු නොව මානව ඉතිහාසයටද එක්වූ එකී තීන්දුව මගින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් මිලියන 100ක වන්දි මුදලක් නියම කෙරිණි. ඊට අමතරව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75 බැගින් වන්දි ගෙවන ලෙස අධිකරණය නියම කරන ලද අතර එවක ආරක්ෂක ලේකම්ව සිටි හේමසිරි ප්‍රනාන්දුට රුපියල් මිලියන 50ක වන්දියක්ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට රුපියල් මිලියන 10ක්ද පාස්කු වින්දිතයන්ට ගෙවන ලෙස අධිකරණය නියෝග කළේය. සියලු වගඋත්තරකරුවෝ මෙම වන්දි මුදල් මාස හයක් ඇතුළත සිය පුද්ගලික මුදල්වලින් ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී නියම කළේය. මීට අමතරව රජය රුපියල් මිලියනයක් වන්දි වශයෙන් ගෙවිය යුතු බවටද නඩු තීන්දුවේ සඳහන් වේ. ඊට අමතරව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.
මෙම අධිකරණ තීන්දුව ලද පමණින් කාදිනල්තුමෝ තම සටන නිමා කොට නැත. දැන් උන්වහන්සේ ප්‍රහාරයේ මහමොළකරු අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් තම සටනේ දෙවැනි අදියර අනුගමනය කරමින් සිටිති. එම සටනද හුදෙකලා සටනක් ලෙස නොව ජාත්‍යන්තරය සමග සන්ධානගතව කෙරෙන සටනක් ලෙස ඇරඹීමට උන්වහන්සේ කටයුතු කරනු ඇත. එහෙයින් ඉදිරියේදී ලංකාවේ පමණක් නොව ලෝකයේ සිදුවූ නින්දිතම දේශපාලන කුමන්ත්‍රණයේ සැඟවුණු මහමොළකරුවන් ඉදිරියේදී ලෝකයට හෙළිවීම අනිවාර්ය වනු ඇත.
ලංකාවේ කතෝලික ප්‍රජාව ඉලක්ක කර සිදුවූ නින්දිත ප්‍රහාරය සම්බන්ධ අධිකරණ තීන්දුව අපට පසක් කරන කරුණ වනුයේ කොතරම් හොඳ නෛතික රාමුවක් රටක පැවැතියද ඉන් උපරිම ප්‍රතිලාභ ලබාගැනීමට නම් සක්‍රීය සිවිල් නායකත්වයක් තිබිය යුතු බවයි. මන්ද යත් මින් කලකට පෙර මෙරට ආගමික ස්ථාන ඉලක්ක කර එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර කිසිවකටත් අපේක්ෂිත සාධාරණය ඉටු නොවූ බැවිනි. 1985 මැයි 14 වැනි දින පැහැරගත් බස් රියක් යොදාගෙන දෙමළ කොටි ත්‍රස්තවාදීන්, ඉන් අනුරාධපුරය ප්‍රධාන බස් නැවතුමට පැමිණ, එහි සිටි සාමාන්‍ය ජනතාව වෙත විවෘත වෙඩි ප්‍රහාර එල්ල කරමින්, පුද්ගල ඝාතනයන් සහ තුවාල සිදුකිරීම් කරන ලදී. අනතුරුව එම ත්‍රස්තවාදීන් ලෝකවාසී බෞද්ධයන්ගේ පූජනීය භූමියක් වූ ශ්‍රීමහා බෝධි පරිශ්‍රයට ඇතුළුවී, එහි සිටි භික්ෂුන්වහන්සේලා, මෙහෙණින්වහන්සේලා සහ පුදබිම වන්දනාමාන කිරීමට පැමිණි කුඩා දරුවන් ඇතුළුව සිවිල් වැසියන් සමූහයක්, පූජා භූමිය තුළදීම වෙඩිතබා ඝාතනය කරන ලදී. මේ ඝාතනවලින් අනතුරුව දෙමළ කොටි ත්‍රස්තවාදී පිරිස, විල්පත්තු ජාතික වනෝද්‍යානයට ඇතුළුව එහි සිටි සිංහල පුද්ගලයන් 18 දෙනකුද ඝාතනය කරන ලදී. මෙම සමස්ථ ප්‍රහාරයෙන් අතදරුවන් ඇතුළු පුද්ගලයන් 146 දෙනකු මරු වැලඳගති. අද වනතුරුත් එය ඉතිහාසයේ සැඟව ගිය අපරාධයක් පමණි.
එම ප්‍රහාරයෙන් වසර පහකට අපමණ පසු 1990 අගෝස්තු 03 වැනි සිකුරාදා දින කාත්තන්කුඩි අල්හුසේනියා හා මීරාජුම්මා පල්ලියේ යාඥා කරමින් සිටි ඉස්ලාම් බැතිමතුන් වෙත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. ඉන් බැතිමතුන් 147 දෙනකු ජීවිතක්‍ෂයට පත් වූ අතර තවත් 110ක පිරිසක් බරපතළ තුවාල ලැබූහ. ඉන් අට වසරකට පසු 1998 ජනවාරි 25 වැනි දින එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළහ. මරාගෙන මැරෙන කළු කොටි තිදෙනකු විසින් පුපුරන ද්‍රව්‍ය තොගයක් පැටවූ ට්‍රක් රථයක් රජවීදිය ඔස්සේ පදවාගෙන පැමිණ, අවට මාර්ග බාධකවල සිටි හමුදා භටයන්ටද වෙඩිතබා, මාලිගාවේ පිවිසුම් අංගණය වෙත කඩාවැදෙමින් සිදුකළ පිපිරවීමෙන් වයස අවුරුදු 2ක කුඩා දරුවකු ඇතුළු 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය. තවත් 25 දෙනෙක් තුවාල ලැබූහ. මේ කිසිම අපරාධයක් පිළිබඳ වගකිවයුත්තෙක් හෝ ආරක්ෂාවේ තිබූ අඩුපාඩුවක් පිළිබඳ සොයාබැලීමක් සිදු නොවූ අතර, කිසිදු වගකිව යුත්තකුට දඬුවම් නියම කිරීමක්ද සිදුවූයේ නැත.
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ශ්‍රී ලංකවට පමණක් නොව ලෝකයටම වැදගත් පණිවුඩයක් ලබාදී ඇත්තේය. ඒ, තම අනුගාමිකයන් වෙනුවෙන් ආගමික නායකත්වයට ඉටුකිරීමට බොහෝ යුතුකම් තිබෙන බවය. එවැනි යුතුකම් මහ ඉහළින් ඉටුකළ පූජකතුමෝ කිහිප නමක් ලක්දිව කිතුසමය විමසීමේදී අපට හමුවේ. වර්ෂ 2015 කොළඹ ගාලුමුවදොර පිටියේදී අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන දිව්‍ය පූජා යාගයේදී පාප්වහන්සේ ශාන්තුවර තත්ත්වයට ඔසවා තැබූ ජෝශප් වාස් මුනිතුමන් එවැනි එක් චරිතයකි. නින්දිත පාස්කු ප්‍රහාරය හමුවේ පවා බිඳකින් හෝ නොසෙල්වුණු කිතුනු ප්‍රජාවේ ලාංකේය සහෝදරත්වයට මඟ පාදමින් සියවස් ගණනකට පෙර ගෝවේ සිට මෙහි වැඩම කර කිතුනු සාහිත්‍ය හෙළ බසට නැඟූ ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමෝද එවැනි එක් චරිතයකි. කතෝලික පූජකවරුන් වුවද ඒ කිසිවෙක් ලාංකේය සමාජයට සහ සංස්කෘතියට විනා කතෝලික ආගමිකයන්ට පමණක් අයත් අය නොවෙත්. මැල්කම් රංජිත් කාදිනල්තුමන්ද ඒ ආකාරයේ ලාංකේය නායකයෙක් ලෙස ඉතිහාසයේ සඳහන් වීම ඒකාන්තය.
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු