ලංකාවේ මේ වනවිට පොලී අනුපාතිකය ඉතා පහළ මට්ටමක පවතී. මෙවැනි තත්ත්වයක් තුළ වාහන ආනයනයට ඉඩ දීම තුළින් අනාගතයේ ගෙවුම් ශේෂය කෙරෙහි ඉතා නරක ලෙස බලපෑ හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සංඛ්‍යාන විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. Sri Lanka Latest News
2017-2018-2019 වැනි වර්ෂවල රටේ පොලී අනුපාතිකය සාපේක්ෂ වශයෙන් අඩු මට්ටමක පැවැති අතර, ඒ නිසාම ආනයන විශාල වශයෙන් වැඩිවීමක් පෙන්නුම් කරනු ලැබීය.
විශේෂයෙන් මෙම කාලයේදී මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 7%ත් 8%ත් අතර පැවැති අතර, 2014දී රටේ භාණ්ඩ ආනයන වියදම ඩොලර් බිලියන 20.98ක් පමණ විය. 2018 වනවිට එය ඩොලර් බිලියන 22.23 දක්වා ඉහළ යෑමක් පෙන්නුම් කරනු ලැබීය.
මහ බැංකුව සතු දත්ත විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වන්නේ රටේ පොලී අනුපාතිකය පහළ අගයක පවතින ඕනෑම විටෙක ආනයන වියදම් ඉහළ යන බවයි.
ඒ අනුව වර්තමානයේද මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8%ක් ලෙස පවතින අතර, මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8.5%ක් වැනි පහළ අගයක පවතී.
මෙම තත්ත්වය තුළ ආනයන ලිහිල් කිරීම විශේෂයෙන් පෞද්ගලික වාහන ආනයනයට ඉඩදීම තුළින් විදේශයට ගලා යන ඩොලර් ප්‍රමාණය විශාල වශයෙන් වැඩිවිය හැකි අතර, එය ගෙවුම් ශේෂයෙහි හිඟය තවදුරටත් වර්ධනය වීමටත් රුපියලේ අගය අනාගතයේදී පහළ යෑමටත් හේතුවිය හැකි බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ප්‍රේමලාල් විජේරත්න










