පසුගිය දිනවල පැවැති අධික වර්ෂාව නිසා කුඹුරු ඉඩම් විනාශ වීම තුළ රුපියල් කෝටි 7,100කට ආසන්න ප්‍රමාණයක් අහිමි වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජවිද්‍යා පශ්චාත් උපාධි අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. (Sri Lanka Latest News)
සාමාන්‍යයෙන් මහ කන්නය තුළ කුඹුරු අක්කර 21,36,000ක් පමණ වගා කරනු ලබන අතර, එයින් 15%කට ආසන්න කුඹුරු ඉඩම් ප්‍රමාණයකට ගංවතුර තත්ත්වයන් බලපා ඇති බවයි සඳහන් වන්නේ.
මේ තුළින් මෙටි්‍රක් ටොන් 4,77,000කින් පමණ රටේ වී නිෂ්පාදනය පහළ යාහැකි අතර, ඒ තුළ සහල් නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් 3,24,000ක ප්‍රමාණයකින් පහළ යා හැකිය.
මෙහි නිෂ්පාදන වටිනාකම රුපියල් කෝටි 7,100කට ආසන්න ප්‍රමාණයකි.
මෙයට අමතරව විනාශ වූ ගොවිබිම් සඳහා රුපියල් කෝටි 1,350කට ආසන්න මුදල් ප්‍රමාණයක් වන්දි ලෙස ලබාදීමට රජයට සිදුවිය හැකිය.
නිෂ්පාදනයේ වියදම්වල වටිනාකම සහ රජයට ගෙවන්නට සිදුවන වන්දි මුදල සලකා බලන විට රුපියල් කෝටි 8,500කට ආසන්න පිරිවැයක් ඒ තුළ පෙන්නුම් කරනු ලබයි.
මීට අමතරව අනෙකුත් බෝග වගාවන්ට මෙන්ම නිවාස සහ ව්‍යාපාරික ස්ථානවලට සිදුවූ බලපෑම සලකා බලන විට එහි පිරිවැය මෙයට වඩා විශාල වශයෙන් වැඩිවිය හැකිය.
රට පුරා පවතින ඇළ මාර්ග, කානු පද්ධති සහ ජලය බැසයන ස්ථාන නිවැරැදි ආකාරයට නඩත්තු නොකිරීම මෙන්ම අනවශ්‍ය ඉදිකිරීම් මෙවැනි විශාල පිරිවැයක් දැරීම සඳහා වක්‍රාකාරයෙන් බලපා ඇති බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.
ප්‍රේමලාල් විජේරත්න










