පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමි. එහෙම කිව්වට කවුරුත් උන්වහන්සේව නමින් දන්නේ නැහැ. මොකද උන්වහන්සේ ටී.වී. චැනල්වල විචිත්‍ර ධර්ම දේශනාවලට සහභාගි වෙන්නෙ නැති නිසා. පත්තරවල ධර්ම දේශනා සම්බන්ධයෙන් ලිපි පළ නොකරන නිසා. හැබැයි උන්වහන්සේ සමාජ මාධ්‍ය ජාලවල නම් අතිශය ප්‍රසිද්ධ චරිතයක්. ඒ, නොබියව ආණ්ඩුව විවේචනය කරන්න, ජනාධිපතිවරයා, අගමැතිවරයා විවේචනය කරන්න කටයුතු කරන නිසා. ඒ නිසා අපි පසුගිය දවසක උන්වහන්සේට කතා කළා. උන්වහන්සේ කිව්වේ මට කිසිම පත්තරයකින් කතා කරලා නෑ කියලයි. ඒ වගේම පච පත්තරවලට කතා කරන්නෙ නෑ කියලත් උන්වහන්සේ කිව්වා. හැබැයි උන්වහන්සේ අපිත් එක්ක කතා කළා. මේ පළවෙන්නේ ඒ කතාකරපු විස්තර.
ඔබවහන්සේගේ ප්‍රකාශ සමාජ මාධ්‍ය මගින් බොහෝ දෙනෙක් දැක්කට ඔබ වහන්සේ කවුද කියල ඒ බොහෝ දෙනෙක් දන්නෙ නෑ. ඇත්තටම ඔබවහන්සේ කවුද? වැඩසිටින්නේ කොහෙද?
මම අනුරාධපුර ශ්‍රාවස්තිපුර, අලුත්වැව ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ විහාරාධිපති රාජාංගනේ සද්ධාරතන හිමි.
පවතින රජය, මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන් විවේචනය කිරීමත් එක්ක ඔබ වහන්සේ සාමාජ මාධ්‍ය තුළ චරිතයක් වෙනවා. ඇයි ඔබවහන්සේ මෙහෙම විවේචන එල්ල කරන්නේ?
ඒක එකපාරට වුණු දෙයක් නෙමෙයි. මම සාමාන්‍යයෙන් දීර්ඝ කාලයක් තිස්සේ වරද දුටු තැන පහර දෙනව. මෑත කාලීනව මම ඔය කරපු දේවල් සමාජ මාධ්‍ය කියන යූටියුබ්, ෆේස්බුක් හරහා තමයි ගොඩක් දෙනෙක් මාව හඳුන ගන්නෙ. නමුත් ඊට කලිනුත් වරද කාගෙද දුටු තැන මම බැනල තියෙනව.
බොහෝ දෙනෙක් තුළ මේ ආණ්ඩුවට වගේම මීට කලින් පැවැති ආණ්ඩුව පිළිබඳවත් විවේචනයක් තිබුණ. ඔබ වහන්සේ වරද දුටු තැන පහර දෙනව කිව්වට කලින් ආණ්ඩුව විවේචනය කරනව නම් අපි දැක්කෙ නැහැ?
මම කියන දේවල් සමාජ මාධ්‍ය හරහානෙ ප්‍රසිද්ධියට පත්වෙන්නෙ. ඒ කාලෙ ඔය විදිහට මම සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ වෙලා තිබුණෙ නැහැ. මම කරපු ප්‍රකාශ නිසා මේ වෙනකොට මගේ ෆේස්බුක් ගිණුම් 82ක් විතර මේ වෙනකොට අවහිර කරල තියෙනව. වැරැද්ද මොකක්ද ඒ වෙන්නෙ කොයි වෙලාවෙද කියල බලන්නෙ නැතුව මම විවේචනය කරන නිසා තමයි මගේ ෆේස්බුක් ගිණුම් ඔය විදිහට අවහිර කරල තියෙන්නෙ. ඊට පස්සෙ යූටියුබ් එක හරහා තමයි මගේ වීඩියෝ වැඩි පිරිසක් අතරට යන්න පටන් ගත්තෙ. නමුත් මගේ විවේචනය කොයි ආණ්ඩුව කාලෙත් තිබුණ දෙයක්.
දරුණු විදියට රාජ්‍ය නායකයගෙ ඉඳල ඉන් පහළට ඉන්න රාජ්‍ය නිලධාරීන් දක්වා ඔබවහන්සේ විවේචනය කරනව. මේ කරන විවේචන හින්දා ඔබ වහන්සේගේ ජීවතේ ගැන බයක් නැද්ද?
මට උපරිම දෙන්න පුළුවන් දඬුවම මරණයනෙ. ඒකට මම ඕනෙම වෙලාවක සූදානම්. අපිට අමුතුවෙන් රකින්න දේකුත් නෑ. රැකගන්න දේකුත් නෑ. මම උසස් පෙළ විභාගයෙන් පස්සෙ තරුණයෙක් විදිහට හැමදේම අත්හැරල මහණ වුණේ. මේ ආපු ගමන ආපහු යන්න ආපු ගමනක් නෙමෙයි. රටට, ජාතියට, ආගමට යමක් කරන්න ඕනෙ කියන අදහස තිබුණ හින්දම තමයි මම පන්සලක්ම හොයාගෙන ආවෙ. එහෙම නැතුව මම ගැනම විතරක් හිතුව නම් මම ආරණ්‍යයකට ගිහිල්ල භාවනානුයෝගීව ඉන්නව. එහෙම නැතුව පන්සලකට ආවෙ මිනිසුන්ට උදව් කරන්න. මම රජයට බණින ඒව විතරක් මිනිස්සු දැක්කට. ගෙවල් දොරවල් හදල දීල, රෝද පුටු දහ පහළොස් දාහක් දීල නැති බැරි මිනිසුන්ට ගොඩක් උදව් කරල තියෙනව. මට ලැබෙන පිරිකරේ පවා විකුණල අසරණ මිනිස්සු විශාල සංඛ්‍යාවකට මම උදව් කරල තියෙනව. ඒව ඉතින් කවුරුවත් දන්නෙ නැහැ.
දැන් ඔය විදියට විවේචනය කළාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවන්න මහන්සි වුණු කෙනෙක් නේද ඔබවහන්සේ?
මම ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්න සෑහෙන වැඩ කරපු කෙනෙක්. මගේ ෆේස්බුක් එකේ හිටියෙ ගෝඨාභය විතරයි. ඒත් ඒ මිනිස්සු රට විනාශ කරනකොට, හැටනව ලක්ෂයකට දීපු පොරොන්දු කඩ කරනකොට මට බලන් ඉන්න බෑ. ඒ දවස්වල මගේ පන්සලටත් මැති, ඇමැතිවරු නිතර දෙවේලෙ ඇවිල්ල ගියා. නමුත් ඒ සියලු දේ පැත්තකට දාල මම රටේ මිනිසුන්ගෙ පැත්තෙ හිටගත්තෙ. හරියට වීර කැප්පැටිපොළ සුද්දව දාල මහජනතාවගේ පැත්තෙ හිටගත්ත වගේ. අපි ඉන්නෙ රට, ජාතිය, ආගම රකින්න. ඒ දේවල් මේ පාලකයන්ගෙන් සිද්ධ වෙන්නෙ නැත්නම් අපිට සිද්ධ වෙනව ඒ වෙනුවෙන් හඬක් නඟන්න. ඒ දේ තමයි මම කරල තියෙන්නෙ.
රාජ්‍ය පාලනය වගේම භික්ෂුවගේ විනය පිළිබඳවත් බුදුදහම ගැඹුරින් කතා කරල තියෙනව. බොහෝ විට බුදුදහමෙ විශාල තැනක් විනයට හිමිවෙනව. නමුත් ඔබ වහන්සේගේ වචන භාවිතය තුළ ඒ හික්මීම අපට දකින්න ලැබෙන්නෙ නැහැ?
බෞද්ධ භික්ෂුවක් විදිහට මාත් කැමැති නෑ ඒ විදියට කතා කරන්න. මම රජයේ, පෞද්ගලික රූපවාහිනීවල, රේඩියෝ මාධ්‍ය නාලිකාවල බොහෝ ප්‍රමාණයක බණ කියල තියෙනව. ඒ ඔක්කොම පැත්තකට දාල තමයි මම දුප්පත් මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින්න වැඩපිළිවෙළක් පටන් ගත්තෙ. ඇත්තටම එහෙම වචන පාවිච්චි කරන්නෙ මේ පාලකයන්ට රිදෙන්න. බණ කියන භාෂාවෙන් කිව්වහම මුන්ට මේක තේරෙන්නෙ නැහැනෙ. නැතුව ප්‍රසිද්ධ වෙන්නවත් වෙන මොකවත් නිසා නෙමෙයි එහෙම බණින්නෙ. මම ඉන්නෙ ගමක. ඉතින් ගමේ මිනිස්සු ගොඩක් වෙලාවට මට ඇවිල්ල දුක කියනව. ඒ මිනිසුන්ට කියන්න වෙන කෙනෙක් නැහැ. ඒ නිසා මැරුණත් කමක් නෑ මේ මිනිසුන්ට යහපතක් වෙන්න කියන්න ඕනෙ එක කියනව කියන අදහසින් තමයි මම ඒ දේවල් කියන්නෙ.
ඔබවහන්සේගේ ඔය වැඩපිළිවෙළට මහනායක හිමිවරුන්ගෙන් විනය ක්‍රියාමාර්ග ගනී, ශාසනයෙන් නෙරපයි කියන බිය ඇතිවුණේ නැද්ද?
මගේ නිකාය වෙන්නෙ රාමඤ්ඤ නිකාය. ඇත්තටම මම ඔය නිකාය බලාගෙන නම් මහණ වුණේ නෑ. මහණ වුණාට පස්සෙ තමයි මම ඔය කියන දේවල් ගැන දැනගන්නෙ. මට ඔය කිසිම නිකායක් වැඩක් නෑ. මම බුද්ධ ශාසනයේ පැවිදි භික්ෂුවක් විදිහට සමාජයට යම්කිසි සේවයක් කිරීමේ උවමනාවයි තියෙන්නෙ. ශාසනය ගැන කතා කරනව නම් ගොඩක් දේවල් තියෙනව කතා කරන්න. මට දැනටත් එවල තියෙනව ශ්‍රමණ ආකල්පය ගැන විනය ක්‍රියාමාර්ගයක් ගන්නව කියල. මට ඒ කිසි කෙනෙක් එක්ක පෞද්ගලික කිසිම අමනාපයක් නෑ. නමුත් ශාසනයේ ලොකු විනාශයක් තියෙන බව නම් පේන්න තියෙනව. ඒකට විරුද්ධව තමන්ගෙ ලාභ ප්‍රයෝජන විතරක් බලාගෙන හැම කෙනාම කට පියාගෙන ඉන්නව. මට අත්වෙන ඕනෙම ඉරණමක් භාරගන්න සූදානමින් තමයි මම මේ ගමන යන්නෙ. සමහර විට ඉස්සරට මට ගහක් මුල ඉන්න වෙයි. මම හුදෙකලා වෙයි. තනි වෙයි. ඒත් මම මගේ ස්ථාවරයේ ඉන්නව කියන අධිෂ්ඨානයෙන් තමයි ජීවත් වෙන්නෙ.
ඔබවහන්සේ ඔය සමාජ මාධ්‍ය හරහා කරන වැඩෙන් මේ වෙනකොට යම්කිසි ප්‍රතිඵලයක් ලැබිල තියෙනවද?
මම දරුණු විදිහට විවේචනය කරන්න පටන් ගත්තෙ එන්නත් සිද්ධිය ගැන කතාබහක් ඇතිවුණාට පස්සෙ. කාලයක් තිබ්බනෙ මිනිසුන්ට එන්නත් නැතුව හිටිය. එතනදි මම රටේ ජනාධිපතිවරය විවේචනය කරල විඩියෝ එකක් දැම්ම උඹල මැරෙන්නෙත් නෑ. උඹලගෙ දරුවො මැරෙන්නෙත් නෑ රටේ අහිංසක මිනිස්සුයි මේකෙන් මැරෙන්නෙ කියල. ඒක ලක්ෂ ගානක් බැලුව. ඒකෙන් පස්සෙ දින කීපයකින් ඇඳිරි නීතිය වැටුණ, ඒකෙන් රජයේ ඉහළම නිලධාරීන්ගෙ පවා අවධානයට පවා මාව යොමුවෙලා තිබුණ. ඒ හින්ද මම හිතනව එහෙම කරන එකෙන් සුළුවෙන් ප්‍රතිඵල තියෙනව කියල.
භික්ෂු සමාජය තුළ නිකායන්වලට බෙදිලා එක එක භික්ෂු පිරිස විවිධ පැතිවලට හේත්තු වීම තුළින් දේශපාලනඥයන්ට වාසියක් වෙලා තියෙනවා. දැන් ඔබවහන්සේත් ඔය නිකායක් නියෝජනය කරනව ඇති නේද?
ආරණ්‍යවල වැඩ ඉන්න භික්ෂුන් වහන්සේ ඇරෙන්න අනෙක් හැම භික්ෂුන් වහන්සේ කෙනෙක්ම කිසියම් දේශපාලන පක්ෂයකට සම්බන්ධයි. ඉතින් ඒ ඒ අය ඒ එක එක පක්ෂවලට කඩේ යනව. ඒක තමයි ඇත්ත. මම ඉන්න මතය නම් මේ රටේ හාමුදුරුවරු කිසිම දේශපාලන වේදිකාවකට ගොඩවෙන්න හොඳ නෑ කියන මතයෙ. දේශපාලනඥයො තමයි පන්සල් හොයාගෙන ගිහින් ඒව විනාශ කරන්නෙ. මට අදටත් ආරාධනා එනව එක එක දේවල්වලට උදව් කරන්න කියල. නමුත් ඒ හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරලයි මම මෙතන ඉන්නෙ. දුප්පත්කමට, පන්සල හදාගන්න, ආවාස ගේ හදාගන්න අසරණ හාමුදුරුවරුත් උන්ගෙ ළඟ දණින් වැටෙන තත්ත්වෙට දේශපාලනඥයො හදාගෙන තියෙන්නෙ.
මේ වගේම රජය ගේන්න උදව් කරලා අන්තිමට විවේචනය කරපු භික්ෂුන් වහන්සේලාට යම් යම් තනතුරු ලබාදුන්නා. උන්වහන්සේලා අන්තිමට නිහඬයි දැන්. ඔබ වහන්සේත් අන්තිමට මෙහෙම විවේචනය කරලා මොකක් හරි තනතුරක් නැත්නම් පාර්ලිමේන්තුවේ පුටුවකට යන්නවත් හිතනවද?
ඕක තමයි ඉතින් නිවට නියාලු පාලකයන්ගෙ හැටි. මම කරන්නේ මගේ රට ජාතිය රැකගන්න මිසක් ඔය නිවට පාලකයන්ට කඩේ යන්න නෙවෙයි. යම් යම් ජාතීන් අතර රටේ යම් ප්‍රශ්නයක් තියෙනව නම් ඒ පාලකයට කොන්දක් තියෙන්නෙ ඕනෙ මහ නායකවරු වගේම අනෙකුත් ආගමික නායකයො කෙළින්ම ජනාධිපති මන්දිරයට ගෙනල්ල මොනවද ඔයගොල්ලො අතර තියෙන ප්‍රශ්න කියල සාකච්ඡා කරල ඒ ප්‍රශ්න විසඳන්න. එතකොට ඒ ප්‍රශ්න එතනදිම විසඳගන්න පුළුවන්. රටේ මිනිසුන්ට කන්න නෑ, බොන්න නෑ. ලොකු ප්‍රශ්න රාශියකින් මිනිස්සු පීඩා විඳිද්දි එක රටක් එක නීතියක් කියල ප්‍රශ්නයක් ගෙනල්ල ඉතිරි අවුරුදු දෙකෙත් මිනිස්සු අන්දන එකක් තමයි ඔය කරන්නෙ. ආණ්ඩුව පත්වුණු දවසෙ ඉඳලම මේ රටේ එක නීතියක් ක්‍රියාත්මක වුණේ නැහැනෙ. කොරෝන ආව දවසෙ ඉඳල එක එක ආණ්ඩුවේ හිතවතුන්ට නොයෙක් වරප්‍රසාද දීල මහජනතාව පීඩාවට පත්කරපු එකනෙ කරේ. එක නීතියක් ක්‍රියාත්මක කළා නම් අද ගොඩක් ඇමැතිවරු ඉන්න ඕනෙ හිරේ. ඉතින් ඔය එක එක දේවල් දැන් ගෙනල්ල මිනිසුන්ව රවට්ටන්න තමයි දැනුත් උත්සාහ කරන්නෙ.
රටේ මොන ප්‍රශ්නය ආවත් පාලකයෝ ගිහින් මහ නායක හිමිවරුන් හමුවෙලා අවවාද අනුශාසනා ලබාගන්නව. ඒ වුණාට ප්‍රශ්න නම් විසඳෙන්නෙ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ උන්වහන්සේලා දෙන උපදෙස්වල වරදක්ද? එහෙම නැත්නම් උන්වහන්සේලා උපදෙස් පාලකයෝ අහන්නේ නැති නිසාද?
අපේ රටේ නායක හිමිවරුන්ට පලතුරු වට්ටියයි, තව මොනා හරි පඬුරු පාක්කුඩම් ටිකක් ගිහින් දීපුවහම, පුළුවන් නම් බෙන්ස් එකක් දෙකක් යැව්වහම මොන ප්‍රශ්නය ආවත් හා ඔබතුමා කරගෙන යන්න කියනව. ජනාධිපති උපදේශක හාමුදුරුවරු කියල මාස දෙකෙන් දෙකට කණ්ඩායමක් පත්වෙනව. මොනවද ඒ අය කරන්නෙ. රට පුරා කසිප්පු, කුඩු, ගංජා, ගණිකා මඩම් වැහි වැහැල. මේක බෞද්ධ රටක්ද? මේව බලාගෙන ඉන්නෙ කොහොමද. ඔය උපදෙස් දෙන අයට මේව පේන්නෙ නැද්ද.
පාලකයෝ රටේ මිනිසුන්ව පීඩාවට පත්කරනවා නම් ඒ වෙනුවෙන් බෞද්ධ භික්ෂුවක් විදියට මොනවද කරන්න ඕනේ?
ලංකාවෙ තියෙන හැම පන්සලකින්ම, හැම ආගමික ස්ථානයකින්ම මුන්ව ප්‍රතික්ෂේප කරන්න ඕනෙ. පන්සලක් පැත්ත පළාතකටවත් වද්දගන්න හොඳ නෑ. දැන් අර මුරුත්තෙට්ටුව හාමුදුරුවන්ට කුලපතිකමක් දීලා උන්වහන්සේගෙ කට වැහුව. ඔය විදියට එක එක අයට එක එක දේවල් දීලා ඒ අයව රවට්ටනව. ඉතින් කොහොමද මේ රට හදන්නෙ.
අපි දැක්ක ඔබ වහන්සේ රන්ජන් රාමනායක මහතාව නිදහස් කරන්න ඕනෙ කියල ප්‍රකාශ නිකුත් කරල තියෙනව. මේ යන විදිහට ඔබ වහන්සේටත් එවැනි ඉරණමක් ඇතිවෙයි කියල හිතෙන්නේ නැද්ද?
මම එක හිතින් හිතන්නෙ මේ ශාසනය ගැන විතරයි. මට එතැනින් එහාට දෙයක් නෑ. ඉතින් මට දැන් මැරුණත් අවුලක් නෑ.
ඔබ වහන්සේට එවැනි තර්ජන ඇවිල්ල තියෙනවද?
එක දවසක් ඕස්ටේ්‍රලියාවෙන් මිනිහෙක් කතා කරල කිව්ව පැය 24ක් යන්න කලින් ඔළුවට වෙඩි තියනව කියලා. ඔය විදියට තව ගොඩක් තර්ජන ගර්ජන මට ඇවිල්ල තියෙනව. ඔය මොන දේවල් කිව්වත් මම යන ගමන නවත්වන්නෙ නැහැ.
ඉදිරියේදී දේශපාලනයට ඒමේ අදහසක් ඔබ වහන්සේ තුළ තියෙනවද?
මට දැනටමත් එක එක පක්ෂවලින් අය කතා කරල තියෙනව. අනුරාධපුරේ නායකකම දෙන්නම් කියනව, නියෝජ්‍ය නායකකම් දෙන්නම් කියනව, උපසභාපතිකම් දෙන්නම් කියනව. නමුත් එහෙම දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ. හැබැයි අපිට තියෙන මේ රත්තරන් රට ආරක්ෂා කරගන්න හොඳ බෞද්ධ නායකයෙක් ඕනෙ කියන මතයෙ ඉන්නව. හැබැයි මම කොයිම වෙලාවකවත් ඡන්ද හිඟාකන්න යන්නෙ නම් නෑ. පාර්ලිමේන්තුවට රිංගන්න, පළාත් සභාවට රිංගන්න, ප්‍රාදේශීය සභාවකට රිංගන්න කිසිම බලාපොරොත්තුවක් නෑ.
ඉන්දික වික්‍රමරත්න










