පහනක් දැල්වීමට නම් අත්‍යාවශ්‍ය කාරණා කිහිපයක් සැපිරිය යුතුය. ඉන් ප්‍රධානම අවශ්‍යතාව වන්නේ තෙල්ය. තෙල් නොමැතිව පහනක් දැල්වීම ගැන සිතිය නොහැක. කොහේ කොතැනක හෝ එවැන්නක් වූයේ නම් එය මහත් හාස්කමකැයි සැලකිය හැකිය. ඒ අනුව එවැනි අපූරු හාස්කමක් ගැන ජනප්‍රවාද හා ඉතිහාස කතා ඇසුරේ හඳුනාගත හැකිය. ඒ, ජලයෙන් පහන් දැල්වූ අයූරු පුවතකි. මේ විස්මිත සිදුවීම ජනප්‍රවාද ඇසුරේ හමුවන්නේ උණවටුන වැල්ලේ දේවාලය හා බැඳුණු අතීතයෙනි.
අතීතයේ දිනක් දේවාලය භාරව සිටි කපු මහතා මහත් අපහසුතාවකට පත්වූයේ දේවාලයේ පහන් දැල්වීම සඳහාවත් තෙල් ස්වල්පයක් සොයාගත නොහැකි වීම නිසාවෙනි.
ඔහු දන්නා කියන සැමටම පණිවුඩය යැව්වේ තමන් සතුව තෙල් ඇත්නම් ඉන් ස්වල්පයක් හෝ ලබාදෙන ලෙස ඉල්ලමිනි. එහෙත් තෙල් හිඟවූ කාලයක් බැවින් එදින දේවාලයේ පහන් දැල්වීමට කපුමහතාට නොහැකි විය. ඔහු අනෙකුත් කටයුතු සියල්ල ඉටුකොට පහන් නොදල්වා නින්දට ගියේ යම් පසුතැවීමක්ද සිතෙහි තබාගෙනය.
වෙලාව රාත්‍රී දහයට ආසන්නව තිබෙන්නට ඇත. කපුමහතාගේ කාමරයේ දොර කිරි කිරි ගා හෙමින් ඇරුණේය. කපුමහතා නින්දත් නොනින්දත් අතර සිටියේය. ඔහුට ඝන අන්ධකාරය අතරින් යම් ආලේකයක ස්වභාවයක් ඇසට දැනී තිබේ. ‘අද මොකද දේවාලය කළුවරේ’ කවුදෝ අඳුරේ සිට අසනු ඇසී ඇත. කපුමහතා නින්දෙන්ම ඊට පිළිතුරු සිහිපත් කර ඇත්තේ පියවි සිහියෙන් නොවුණද, ‘ඇයි තමුන්ට කපුවත්තෙ ළිඳේ වතුරෙන්වත් පහන පත්තු කරන්න බැරිද?’ යනුවෙන් අසන හඬ ඇසී තිබේ. වහ වහා පියවි සිහියට පැමිණි කපුමහතා එතැනින් කපුවත්ත ළිඳ සොයා ගොස් ඉන් ජල බඳුනක් රැගෙන විත් දේවාලයේ පහන්වලට දමා පත්තුකර ඇත්තේ සැකයෙනි. එහෙත් විස්මිත අයුරින් පහන් දැල්වීමට පටන්ගෙන ඇති අතර මෙය මහා දේව හාස්කමකැයි හඳුනාගත් කපුමහතා එම පුවත දේවාලයට සම්බන්ධ සියලු දෙනාට දැනුම් දී තිබේ. ඒ අනුව එදා සිට වැල්ලේ දේවාලයේ කප්සිටුවීමෙන් පසු කපුමහතා කපුවත්ත ළිඳෙන් ජල භාජනයක් රැගෙන විත් දෙවියන් උදෙසා පවත්වන සියලු පුද පූජා උත්සව ආරම්භ කිරීම චාරිත්‍රයක් සේ සිදුකරන අතර දේව මාලිගාවේ දොර විවෘත කිරීම ඉන් අනතුරුව සිදුකරනු ලබයි. මේ සියලු සිදුවීම් සිහිපත් කරමින් පුදබිමේදීම සිඳගත් තෙල් භාවිත කර පහන් දැල්වීමක්ද සිදුවෙයි. තවද දේවොල් දෙවියන් අවසන් දිනයේ සකසන කිරි දානයට සහල් පිරිසිදු කරනුයේ මහ මුහුදේ කරවටක් ගැඹුරේ ගිලෙමිනි.
ඉතා බලවත් දෙවිකෙනකු ලෙස අදද පිළිගැනෙන දෙවොල් දෙවියන්ගේ උපත සම්බන්ධ ජනප්‍රවාද පුවතක් වන්නේ මලය රටේ ශ්‍රී රාමන් රජුගේ පුතුන් සත් දෙනාගේ කතාවයි. පුත්‍රයන් සත්දෙනාගෙන් රජුට මහල් අපල ඇතැයි දැනගත් රාමන් රජු ඉඹුල් ලී නෞකාවක පුතුන් සත්දෙනා නංවා මහ සයුරේ පාකර හැර ඇති අතර මුහුද මැදදී කුණාටුවකට හසුවන නැව පෙරළී යෑම නිසා මුහුදු මණිමේඛලාවගේ ආධාරයෙන් සීනිගමට ගොඩබැස පසුව විවිධ ප්‍රදේශ කරා බෙදීගොස් තිබේ. දෙවොල් කුමරු උණවටුනට ගොස් දැහැමින් දිවි ගෙවූ අතර ඔහු මල පසු ජනයා ඔහුව දේවත්වයෙන් පුදා තිබේ. එදා සිටම දෙවොල් දෙවියන් ජනයාගේ දුකට පිහිට වූ බවත්, ජනයාට කිසිදු අගහිඟයක් වෙනවාට දෙවොල් දෙවියන් අකැමැති බවත් ජනප්‍රවාදයන්හි සඳහන් වෙයි. මේ හේතු නිසාම සිදුවිය නොහැකි දේ පවා කිරීමේ දේව හාස්කමක් බලයක් දෙවොල් දෙවියන් සතුව ඇතැයි ජනප්‍රවාදවල හඳුනාගත හැකිය.
කුමාර රත්නායක