අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් සහිත 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය මුද්‍රණය කිරීමට මහජන මුදල් වැයකර ඇතැයි පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් පසුගියදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. පැමිණිල්ල භාරදීමෙන් අනතුරුව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වා සිටියා.
පා.ම. චමින්ද විජේසිරි
‘දැන් මහානායක හාමුදුරුවන්ට අගමැතිතුමිය ඇඟිල්ල තියලා පෙන්නනවා මේක තිබුණා, මේක දරුවන්ට බලන්න එපා කියන එක අපි කිව්වයි කියලා. එහෙනම් තිබුණා දැකලා තියෙනවනේ. එපා කිව්වාම දරුවෝ බලනවනේ උනන්දුවෙන්. ඒක තමයි එයාලගේ ප්‍රොමෝෂන් එක. අපි හිතුවේ නැහැ මේ අල්ලස් කොමිසමට මේ ආණ්ඩුවට විරුද්ධව පැමිණිලි දාන්න අපට එන්න සිදුවෙයි කියලා.’
පා.ම. වෛද්‍ය කාවින්ද ජයවර්ධන
‘ලක්ෂ 45ක් වෙච්ච දරුවන්ව අද මානසිකව පුහුණු කරනවා සෙක්ෂුවලිටිවලට. එතකොට ලක්ෂ 45ක් වෙච්ච මේ රටේ දරුවන්ගේ පොත්වලට දාපුවාම මේක සර්ච් කරන ලක්ෂ 45ක් වෙච්ච දැන් ඉන්න දරුවොත්, අනාගතයේ ඉන්න දරුවොත්, උපන් නූපන් දරුවොත්, මේ රටේ ගුරුවරුත් මේ සියලු දෙනා මේක සර්ච් කරපුවාම මොන තරම් මුදලක් මෙන්න මේ වෙබ්සයිට් එකට හම්බවෙනවද? ඒකෙන් කීයක් හරිනිට හම්බවෙනවද කියලා හෙළිදරව් කරන්න කියන ඉල්ලීම අපි කරනවා.
මහින්දානන්ද සහ නලින් ඇමැතිවරු හිරේ ගියා නම් ලක්ෂ 500කට, අවුරුදු 20කට 30කට. හරිනි ඇමැතිතුමිය අවුරුදු කීයකට හිරේ යන්න ඕනෙද කියලා අපි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ ඉඳගෙන ඇඟිල්ල දික්කරලා අහනවා.’
පා.ම. මුජිබර් රහුමාන්
‘දැන් මේ ආණ්ඩුව ආවේ පාස්කු බෝම්බ ප්‍රහාරය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය අල්ලන්න, ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය අල්ලන්න. පෝද්දල ජයන්තගේ කකුල කඩපු අයව අල්ලන්න. ඒ වගේම තාජුඩීන් මරපු අයව අල්ලන්න. දැන් හයවැනි ශ්‍රේණියේ මොඩියුල අන්තර්ගතය කළේ කවුද කියන එක හොයන්න දැන් ඒගොල්ලන්ට සිද්ධ වෙලා තියෙනවා. ආණ්ඩුව දන්නේ නැහැ ආණ්ඩුවේ අමුඩේ කවුදෝ පහරලා. දැන් ඒගොල්ලෝ වැරැද්ද පිළිඅරන් තියෙනවා. වැරැද්ද පිළිගත්තා නම් අනිවාර්යයෙන්ම ඇමැතිවරිය අයින් වෙන්න ඕනේ, ලක්ෂ 600 ගෙවන්න ඕනේ. ජනාධිපතිතුමාගේ වචනවලින් කියනවා නම් කාලයේ වැලිතලාවට යටවුණු සිද්ධියක් හැටියට තමයි දැන් ආණ්ඩුවේ සැලැස්ම තියෙන්නේ. ඒ හින්දා මේක යටපත් කරන්න ඔක්කොමලා එක මිටට ඇවිල්ලා තියෙනවා කියන එක නම් අපිට පේන්න තියෙනවා.’










