සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ අද (11) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාය.Sri Lanka Latest News
ඒ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවැසීය,
‘‘පසුගිය ඉරිදා ලංකාව පුරාම විදුලිය බිදවැටුණ අවස්ථාවේදී ඇමැතිවරයා ප්‍රකාශ කළා පානදුර ග්‍රීඩ් උප පොළට වඳුරෙකු පැනීම නිසා විදුලිය බිඳවැටිම සිදුවුණා කියලා. 88 – 89 කාලයේ මෙගාවොට් 33000 ට්‍රාන්ස්ෆෝමර් පුච්චලා , ට්‍රාන්ස්ෆෝමර් කොටි ත්‍රස්තවාදින් විනාශ කරලත් ලංකාවටම එකවර විදුලිය බිදවැටුණේ නෑ. නමුත් බලශක්ති ඇමැතිවරයා කියනවා පානදුර ග්‍රීඩ් උප පොළට වඳුරෙකු පැනීම නිසා මුළු රටේම විදුලිය විසන්දි වුණා කියලා. ඉන්පසුව ඇමැතිවරයා ප්‍රකාශ කරනවා පසුගිය ආණ්ඩුවේ වැරදි නිසා මුළු රටටම විදුලිය නැති වුණා කියලා. පසුගිය ආණ්ඩු කරපු වැරදි කියලා තමයි ජාතික ජනබලවේගය බලය ලබා ගත්තේ. දැන් ජාතික ජන බලවේගය බලය ලබාගෙන මාස 4 කට වැඩියි. වංචාව දූෂණය නොමැතිව රට ඉදිරියට ගෙනයන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. ක්‍රමයේ වෙනසක් ඇති කරන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා.
නමුත් ආණ්ඩුවේ නොහැකියාව තමයි පෙන්වන්න උත්සහ කරන්නේ.
ඒ වගේම නොරොච්චෝලේ බලාගාරයේ නඩත්තු කටයුත්තක් නිසා දවස් කිහිපයක් විදුලිය කප්පාදු කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් පසුගිය ආණ්ඩු සමයේ නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වන විට සුනිල් හදුන්නෙත්ති මහත්තයා ප්‍රකාශ කළේ එය මාෆියාවක් කියලා. සුනිල් හදුන්නෙත්ති මහත්තයාට අනුව මේ දිනවල විදුලිය කප්පාදු කරන්නේ මාෆියාව නිසයි. මේ මාෆියාව ජාතික ජන බලවේගයට නවත්වාගන්න නොහැකි වෙලා තිබෙනවා. එදා සුනිල් හදුන්නෙත්ති එහෙමනම් කියලා තියෙන්නේ අසත්‍යයක්. නැත්නම් අද මාෆියාව අද ආණ්ඩුවට නවත්තගන්න නොහැකි වෙලා තිබෙනවා.
විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය ප්‍රකාශ කරනවා සුර්ය පැනලවලින් නිෂ්පාදනය කරන විදුලි ප්‍රමාණය වැඩියි කියලා. විදුලි බල මණ්ඩලයම තමයි අවුරුදු 10 ක් තුළ නිවාසවල සුර්ය පැනල ඉදිකරලා මෙගාවොට් 1000 ක විදුලි බලයක් ලබාගන්න කටයුතු කරනවා කියලා ප්‍රකාශ කළේ. මේ වනවිට මෙගාවොට් 1200 ක් පමණ සුර්ය පැනල වලින් විදුලිය නිෂ්පාදනය වෙනවා. ආණ්ඩුව මේ සිදුකරන්න යන්නේ සුර්යපැනල වලට ගෙවන මුදල අඩු කරන්න. ඩොලරය 180 කට තිබියදි සුර්ය බලය සඳහා ගෙව්වේ රුපියල් 22 ක මුලදක් , ඩොලරය 350 කට තිබියදි රුපියල් 37 ක මුදලක් සුර්ය බලය සඳහා ගෙව්වා. ඩොලරය 300 දක්වා අඩු වුණාට පස්සේ සුර්ය බලය සඳහා ගෙව්වේ රුපියල් 27 යි. අපට වාර්තා වන ආකාරයට මේ රුපියල් 27 රුපියල් 16 අඩු කරන්න තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ.
සුර්ය පැනල වලින් විදුලිය ලබා ගැනිම නිසා ගල්අගුරු මාෆියාවට සහ ඩිසල් මාෆියාවට තමයි පහර වදින්නේ. මේ පිටුපස සිටින්නේ කවුද කියලා ආණ්ඩුව දැන ගත යුතුයි. ආණ්ඩුව මේ මාෆියාවට අවශ්‍ය පරිදි දිගින් දිගටම කටයුතු කරන්න ඉඩ ලබාදෙනවාද ? රට තුළ සුර්ය බල ශක්තිය සහ සුළං බල ශක්තිය ප්‍රවර්ධනය කළ යුතු බව සියලු දෙනාම දන්නා කරණයක්. එවිට ඩිසල් සහ ගල් අගුරු වලින් විදුලිය නිෂ්පාදය අඩු වෙනවා. මේ මාෆියාවට අවශ්‍ය පරිදි ආන්ඩුව කටයුතු කරන්නද යන්නේ. මේ මාෆියාවට සම්බන්ධ පිරිස් ආණ්ඩුව සමග ගනුදෙනුවද සිටින්නේ. සුනිල් හදුන්නෙත්ති ඇමැතිවරයාට අනුව නොරොච්චෝලේ බලාගාර තුනම අක්‍රියවන වෙන්න ඉඩ ලබා දිලා තිබෙනවා. ජනතාව මේ ඇත්ත තේරුම් ගත යුතුයි. නාමල් කරුණාරත්න ඇමැතිවරයා විපක්ෂයේ සිටින කාලයේ කිව්වා සහල් නිෂ්පාදනය සඳහා රුපියල් 154 ක නිෂ්පාදන පිරිවැයක් යන බව ප්‍රකාශ කළා. ඒ අනුව රුපියල් 150 ක සහතික මිලක් අවශ්‍ය බව ප්‍රකාශ කළා. නමුත් දැන් නාමල් කරුණාරත්න මහත්තයා කෘෂිකර්ම ඇමැති. නමුත් වී වලට ලබාදෙන්නේ රුපියල් 120 ක මිලක්. එහෙනම් එදා නාමල් කරුණාරත්න මහත්තයා ප්‍රකාශ කළේ අසත්‍යයක්. ඔවුන් පැවැති ආණ්ඩුවට එරෙහිව ජනතාව තුළ වෛරයක් ඇති කරන්න තමයි මෙවැනි දේවල් ප්‍රකාශ කරලා තිබෙන්නේ. ආණ්ඩුව ගොවියා සහ පාරිභෝගිකයා දෙසත් සාධාරණව බැලිය යුතුයි. ආණ්ඩුව නියමති කාලයේදී වී වලට සහතික මිලක් නියම කළේ නෑ. පොහොර නියමිත කාලයේදී නිකුත් කළේ නෑ. විදුලි බල මාෆියාවට අද ආණ්ඩුවට යටවෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ නිවැරදි කාලයේදී තින්දු තිරණ ලබාගත්තේ නැති නිසයි. වේදිකාවල කයිවාරු ගැහුවාට ආණ්ඩු කරන්න ලේසි වෙන්නේ නෑ.
ඒ වගේම බහලුම් 323 ක් පන්නා දැමුවා. ඒ බහලුම් තවම මොන සමාගමට අයත් වෙන්නේ , හිමිකරුවන් කවුද , තිබුණේ මොනාද , කොතරම් බදු ආදායමක් අඩු වුණාද ? , ජාතික ආරක්ෂාවට තර්ජනය වෙන දේවල් තිබෙනවාද නැද්ද යන්න කිසිවක් ආණ්ඩුව සොයාබැලුවේ නෑ. වෙන ආණ්ඩුවක් යටතේ මේ ආකාරයට පරික්ෂාවකින් තොරව බහලුම් නිදහස් කරලා තිබුණානම් ජාතික ජනබලවේගය , ජනතා විමුක්ති පෙරමුණ පවත්වන විරෝධතා , උද්ඝෝෂණ අපිට බලාගන්න තිබුණා. අද ඒ කිසිවක් නෑ. ආණ්ඩුවේ නොහැකිව දවසින් දවස විවිධ හේතු කියමින් පෙන්වන්න උත්සහ කරනවා.
ඒ වගේම ජාතික ජන බලවේගයට කියන්න ඕන ජනතාව ඕනෑවට වඩා ගොනාට අන්දවන්න එපා කියලා. ජාතික ජනබලවේගයට තිබුණේ සියයට 3 යි. අනිත් සියල්ලම පා වෙන ඡන්ද. ඔවුන් තමයි නාමල් රාජපක්ෂලාව , ගෝඨාභය රාජපක්ෂලාව , මහින්ද රාජපක්ෂලාව බලයට ගෙනාවේ. ඔවුන්ම තමයි සිරිසේන ජනාධිපතිවරයාවත් බලයට ගෙන ආවේ. ජාතික ජන බලවේගය බලයට ගෙනාපු පිරිස ජාතික ජන බලවේගයේ ස්ථිර ඡන්ද පදනම නෙවෙයි. ඒ නිසා මේ පිරිස බොරු කියලා අන්දවන්න බැ කියලා අපි රජයට කියනවා.
ඒ වගේම සුළං විදුලි බලය සහ සුර්ය විදුලි බලය තමයි අපි ප්‍රවර්ධනය කළ යුතුයි. පරිසරයටත් එය වඩාත් යෝග්‍යයි. විදුලි මාෆියාවට සම්බන්ධ පිරිස ස්මාර්ට් ග්‍රිඩ් සිස්ටම් , බැටරි සිස්ටම් වලට කැමැති නැහැ. සුළං විදුලි බලය සහ සුර්ය විදුලි බලය ප්‍රවර්ධනය කළොත් පුද්ගලික අංශයේ ගල් අඟුරු සහ ඩිසල් බලාගාරවලින් ලබාගන්න විදුලිය ප්‍රමාණය අඩු වෙනවා. විදුලි මාෆියාවට ආණ්ඩුව යටවෙලා ඉන්නේ. පුද්ගලික අංශයේ විදුලි බලාගාරය ලබාදෙන විදුලි ඒකකයක මිල තිරණය කරන්නේ ඒ බලාගාරය හදන්න ගිය වියදම සහ නිෂ්පාදන වියදම එකතු කරලා. මේ ආකාරයට මිල තිරණය කරන්නේ පළමු එකඟතාවයේදී. දෙවන එකගතාවයේදී විදුලි ඒකකයට දෙන මිල තිරණය කරන්නේ නිෂ්පාදනය වියදම පමණක් සලකා බලලා. නමුත් ඇබිලිපිටිය බලාගාරය සඳහා වන එකගතාවය හතර වෙනි වතාවටත් දිර්ග කරන විට වැඩි මුදලක් විදුලි ඒකකයක් වෙනුවෙන් ගෙවලා තිබුණා. මේ බව කොප් කමිටුවේදී ප්‍රශ්න කරන විට උත්තර ලබාදෙන්න නොහැකිව නිලධාරින් අපහසුතාවට පත් වුණා.
ඒ වගේම ආන්ඩුව ප්‍රකාශ කරලා තිබෙනවා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනවා කියලා. ඒ සඳහා සමගි ජන බලවේගය සුදානම් වෙනවා. පළාත් පාලන මැතිවරණය පැවැත්වෙද්දි ජනාධිපතිවරයා ජනාධිපති වෙලා මාස 6 කට වඩා වැඩි කාලයක් ගතවෙනවා. ජනාධිපතිවයාගේ ධුර කාලයෙන් සියයට 10 ක් පමණ ගතවෙලා අවසානයි. ජනතාව අසිමිත බලාපොරොත්තු තබාගෙන තමයි මේ ආණ්ඩුවට බලයට ගේන්න ජනතාව කටයුතු කළේ. ජනතාව තුළ වෛරයක් ඇති කරමින් , ජාතික ජන බලවේග ආණ්ඩුවක් තුළින් දුෂිතයින් වංචාකාරයින් සියල්ල පැය 24 න් අත්අඩංගුවට ගන්නවා කියලා තමයි ජාතික ජන බලවේගය බලය ගත්තේ. නමුත් 2015 යහපාලන ආණ්ඩුව තුළින් මාසයක් තුළ ප්‍රෙට්රල් ලිටරය අඩු මුදලට ලබා දුන්නා , ගැබිනි මාතාවන් දිමනාවක් ලබාදුන්නා , රජයේ සේවක වැටුප වැඩිකළා. ගැස් සිලින්ඩරයක මිල අඩු කළා. වැඩ දන්නවනම්, කියන්නේ ඇත්තනම් බලය ගත්ත ගමන් සහන දෙන්න පුලුවන් වෙන්න ඕන. වර්තමාන ආණ්ඩුව වැඩ කරගන්න බැරුව කෙදිරිගානවා.
ඒ වගේම වර්තමාන ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් ලබාගෙන උද්දච්ච මානසිකත්වයෙන් තමයි හැසිරෙන්නේ. මහින්ද රාජපක්ෂටත් තුනෙන් දෙකක් ලැබුණා. ඊලග මැතිවරණයේදී පැරදුනා. ගෝඨාබයටත් තුනෙන් දෙකක් ලැබුණා අවසානයේදී අවුරුදු දෙකකින් ගෙදරයන්න වුණා. තුනෙන් දෙක හරියට භාවිතා කළොත් දිග ගමනක් තිබෙනවා. තුනෙන් දෙක අවභාවිතා කළොත් විනාශ වෙනවා. වර්තමාන ආණ්ඩුව ගැන විශාල බලාපොරොත්තු සහිතව තමයි ජනතාව විශාල ජන වරමක් ලබාදුන්නේ. නමුත් දැන් ආණ්ඩුව ජනතාවට කොකා පෙන්වනවා. නමුත් මැතිවරණයේදී දුන්න පොරොන්දු මතක් කරන්න , ජනවරමේ තරම මතක් කරන්න ආණ්ඩුවට විරුද්ධව මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සමග සිදුකරන සාකච්ඡා වලින් සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවීම යන කෙටි තැනකට සිමා විමක් නෙවෙයි. රටේ දක්ෂිනාංශික දේශපාලන කදවුරු එකතු විය යුතුයි. දක්ෂිණාංශික දේශපාලන කදවුරු බෙදුනාම ඡන්දයකදි ලක්ෂ 25 ක් පමණ ජනතාව ඡන්දය භාවිතා කරන්නේ නෑ. දක්ෂිනාංශික මතවාදය දරන සියලු දෙනා එකතු කරන්න තමයි අපි උත්සහ ගන්නේ. දක්ෂිනාංශික කදවුරේ සිටින හොරුත් එක්ක අපි කවදාවත් එකතු වෙන්නේ නෑ. මැතිවරණවලදී සමගි ජන බලවේගය පරාජයට පත් වුණාත් අපේ පක්ෂය තුළ දුෂිත දේශපාලඥයින් නැහැ. සමගි ජන බලවේගයේ සිටින්නේ පිරිසිදු කණ්ඩායමක්. දක්ෂිනාංශික කදවුරේ සිටින පිරිසිදු මිනිස්සු එකතු කරගෙන ඉදිරියට යන්න තමයි අපි කටයුතු කරන්නේ. ඒ වගේම ඡන්දය භාවිතා නොකළ ලක්ෂ 25 ක වගේ ප්‍රමාණයට ඡන්ද පොලට ගෙන්වා ගැනිම තමයි සමගි ජන බලවේගයේ අරමුණ. ඒ වගේම කදවුරු එකතුවිමක් සිදුවුණොත් එහි නායකයා බවට පත් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා.










