සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවැසීය,
‘‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සමාලෝචන වාර්තා කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු ජාතික ජන බලවේගය ඒ සඳහා විරුද්ධ වුණා. ඉන්පසුව මැතිවරණ කාලසීමාවේදී ජාතික ජන බලවේගයේ පිරිස් ප්‍රකාශ කළා ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම් නැවත සමාලෝචනය කරලා අලුත් ගිවිසුමක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගන්නවා කියලා. ජාත්‍යන්තර මූල අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම අනුව රටේ ආර්ථිකය ගොඩ ගැනීමට නොහැකි බව ජාතික ජනබලවේගය මැතිවරණ කාල සිමාවේදී ප්‍රකාශ කළා. ඒ නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම නැවත සමාලෝචනයට ලක් කළ යුතු බවයි ජාතික ජන බලවේගය ප්‍රකාශ කළේ. නමුත් අද වන විට ජාත්‍යන්තර මූල්‍යය අරමුදල කියන විදිහට නැටවෙන ආණ්ඩුවක් බවට ජාතික ජනබලවේග ආණ්ඩුව පත්වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍යය අරමුදලට ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ඉලක්ක ලබාදීමට හැකියාව තිබෙනවා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන පාරේම යා යුතු නැහැ. අපට ස්වාධීන තීන්දු තීරණ ලබාගෙන ඔවුන්ගේ අවසාන ඉලක්කය නැතිනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වෙන ආදායම් ඉලක්කයට යාම ලංකාවේ වගකීමක්.
ඒ වගේම ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතවරිය සමඟ සාකච්ඡා කිරීමේදී විදුලි බිල නැවත සංශෝධනය කිරීමටද එකඟ වී තිබෙනවා. දැනටමත් දකුණු ආසියාවේ ඉහළම විදුලි බිල තිබෙන්නේ ලංකාවේ. ඒ වගේම වර්තමාන ආණ්ඩුව බලයට පැමිණ පෙළඹෙන 21 වැනිදාට මාස හයක කාලයක් ගත වෙනවා. ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් සියයට දහයක් පමණ අවසන් වී තිබෙනවා. නමුත් ජාතික ජන බලවේගය ප්‍රකාශ කළේ බලය ලබා ගත් වහාම අධ්‍යාපනය , සෞඛ්‍ය සඳහා තිබෙන බදු ඉවත් කරලා වැට් බදු ඉවත් කරනවා කියලා. නමුත් මේ මාස හය තුළ කිසිදු බද්දක් ඉවත් කිරීමට කිසිදු භාණ්ඩයක මිල අඩු කිරීමට ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ. ඒ වගේම අධ්‍යාපනයට සම්බන්ධ කිසිදු භාණ්ඩයක මිල පහත දැමීමක් සිදුකිරීමට ආණ්ඩුවට නොහැකි වී තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කළා රුපියල් නව දහසේ විදුලිබිල රුපියල් හයදහස දක්වා අඩු කරනවා කියලා. හයදහසේ විදුලි බිල රුපියල් හාරදහස දක්වා අඩුකරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. විදුලි බිල තුනෙන් එකකින් අඩු කිරීමට හැකියාව තිබෙන බව ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කළා. එවැනි තත්ත්වයක් තුළ තමයි විදුලි බිල නැවත සමාලෝචනය කිරීමට ආණ්ඩුව සැරසෙන්නේ.
ඒ වගේම තෙල් සංස්ථාවේ සියලුම ණය මහ බැංකුවට පවරාගෙන තිබෙන නිසා මහ බැංකුවට ඉන්ධන ලීටරයකින් ගෙවන රුපියල් පනහ වහාම අඩු කරන බව ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කළා. නමුත් මේ මොහොත වනතුරු තෙල් මිල අඩු කිරීමට ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ.
ඒ වගේම හිටපු ඛනිජ තෙල් ඇමතිවරයාගේ සාක්කුවට යන මුදල් ප්‍රමාණය නැති කළ පසු තෙල් මිල අඩුවට ලබා දෙන්න හැකියාව තිබෙන බව ජාතික ජනබලවේගය ප්‍රකාශ කළා. අපි අහන්න කැමතියි හිටපු ඛනිජ තෙල් ඇමතිවරයාගේ සාක්කුවට තවමත් ඒ මුදල් යනවාද? නැතිනම් දැන් ඉන්න ඇමතිවරයෙකුගේ සාක්කුවට ඒ මුදල් යනවාද කියලා. අද වන විට ජලබිල , විදුලිි බිල , ඉන්ධන මිල , අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල , අධ්‍යාපනය සඳහා දරුවන්ට වියදම් කරන මිල , ඖෂධ සඳහා වියදම් කරන මිල සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව ජනතාවට වර්තමාන රජය දුන් සහන මොනවාද කියලා අපි අහන්න කැමතියි.
නමුත් ආණ්ඩුව සති දෙකකට වතාවක් කුමන හෝ ලයිස්තුවක් එලියට දමා සංදර්ශනයක් පෙන්වා ජනතාව සන්තර්පනය කරන්න උත්සාහ කරනවා. ලැයිස්තු දැම්මානම් ඒ ලැයිස්තුවලට ගත්ත ක්‍රියාමාර්ග මොනවාදැයි රටට හෙළි කිරීමට රජය කටයුතු කළ යුතුයි. ඒ ලැයිස්තුවල සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් ගත්ත නීතිමය පියවර මොනවාද කියා රටට හෙළි කර යුතුයි. ඒ වගේම මුලින්ම කළ යුත්තේ දූෂිතයන් නීතිය හමුවට ගෙන ඒමයි. දූෂිතයන්ට දඬුවම් දෙන ගමන් ජනතාව ජීවත් කරවීමට අවශ්‍ය වටපිටාව ආණ්ඩුව සකස් කිරිමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි.
ඒ වගේම ආණ්ඩුව ප්‍රකාශ කරනවා ජනතාවට සහන ලබා දෙන්න බිම් මට්ටමේ බලයක් අවශ්‍යයි කියලා. ප්‍රාදේශීය සභාවෙන් කොහොමද වැට් බද්ද අඩු කරන්නේ. ප්‍රාදේශීය සභාවෙන් කොහොමද ඉන්ධන මිල විදුලි බිල අඩු කරන්නේ. ප්‍රාදේශීය සභාවෙන් කොහොමද රටේ අධ්‍යාපනය දියුණු කරන්නේ , සෞඛ්‍ය දියුණු කරන්නේ. රටේ ආර්ථිකය දියුණු කරන්න , රටේ කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කරන්න ප්‍රාදේශීය සභා කොහොමද බලපාන්නේ කියන දේ පිළිබඳව අපට ප්‍රශ්නයක් මතු වෙනවා. වසර දෙකක් පළාත් පාලන මැතිවරණය නොපවත්වා සිටීමට පසුගිය රජයන් කටයුතු කර තිබුණා. ජනතා විමුක්ති පෙරමුණේ සහ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ එකඟතාවයකින් තමයි පළාත් පාලන මැතිවරණය කල් ගියේ. ඒ වගේම මහජන නියෝජිතයින් නොමැතිව රාජ්‍ය නිලධාරීන්ගෙන් ප්‍රාදේශීය සභා නගර සභා පවත්වාගෙන ගියා. පළාත් පාලන මැතිවරණයේ බොහෝ දුරට මැයි මාසයේ මුල් සතිය පැවැත්වීමට රජය කටයුතු කරයි කියලා මට සිතෙනවා. ඒ වන විට වර්තමාන ජනාධිපතිවරයාගේ දුර කාලයෙන් මාස හතක් පමණ අවසන් වෙනවා.
ඒ නිසා ජනතාවට ලබා දුන්නු පොරොන්දු ඉටු කර ගැනීම සඳහා , ජනවරම කුමක් සඳහා ලබා දුන්නාද , ඒ ලබා දුන්න අරමුණ ක්‍රියාත්මක කිරීමේ වගකීම ආණ්ඩුවට තිබෙන බව මතක් කිරීම එළඹෙන පළාත් පාලන මැතිවරණය භාවිතා කරන්න කියලා ඉල්ලා සිටිනවා.
ඒ වගේම ආණ්ඩුව ඉදිරිපත් කළ අයවය වාමාංශික රන් ආලේප දක්ෂිණාංශික අයවැයක්. ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවලදීත් ජනතාවට පොරොන්දු වුණේ වාමාංශික අයවැයක් ගෙන එන බවයි. නමුත් වාමාංශික ක්‍රමයට හුරු ආර්ථික වෙනස්කම් සිදුකිරීම ආණ්ඩුවේ අවසානය බව ජනාධිපතිවරයා හොඳින්ම දන්නවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ගෙන ගිය දක්ෂිණාංශික අයවැයේම අනුර දිශානායක ජනාධිපතිවරයාත් ගමන් කරනවා. ඒ වගේම ජනතාවට පොරොන්දු වුණ පොරොන්දු රකින එක ආණ්ඩුවේ වගකීමක්. ආණ්ඩුව ජනතාවට බොරු කියපු බව පිළිගන්නවා නම් ජනතාව මේ ආණ්ඩුව බොරු කරපු බව අනුමත කරනවා නම් ගැටළුවක් නැහැ. ජාතික ජන බලවේගයට මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ජනතාවට ලබා දුන් පොරොන්දු මතක් කරමින් ඒ ජනවරම ලබා දුන්නේ කුමක් අරභයාද කියන දේ මතක් කිරීම සඳහා වූ බලපෑම් කරන මැතිවරණයක් බවට පළාත් පාලන මැතිවරණය පත් කරගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජනතාව වර්තමාන රජයේ ආකර්ෂණීය ප්‍රකාශන ප්‍රකාශනවලට රැවටුන බව දැන් වැටහී තිබෙනවා. ඒ වගේම ජනතාවට පොරොන්දු වුණ පොරොන්දු ඉටුකර ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බවත් ජනතාවට වැටහී තිබෙනවා. ඒවගේම එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේදී ජනතාවට මේ බව තවදුරටත් හොඳින් වැටහේ වී.
ඒ වගේම සමගි ජන බලවේගය සහ එක්සත් ජාතිය පක්ෂය අතර පැවති සාකච්ඡාවල මූලික පරමාර්ථය වූයේ පක්ෂ දෙක එකතුවීම නෙවෙයි. දක්ෂිණාංශික කදවුරු එකතු කිරීමේ මූලික පියවරක් ලෙස තමයි එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡා පැවැත්වුණේ. ඒ සාකච්ඡා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් කඩාකප්පල් කළා. නමුත් දක්ෂිණාංශික කඳවුරේ ප්‍රබලම පක්ෂය ලෙසත් රටේ තිබෙන විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙසත් සමගි ජන බලවේගය වටා ප්‍රාදේශීය නායකයින් මේ වනවිට එකතු වෙමින් පවතිනවා. ඒ වගේම දූෂණයට වංචාවට සම්බන්ධ නොවුන පාලකයින් තමයි අපි සමගි ජන බලවේගයට එකතු කරන්නේ.
ඒවගේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ජසීරා නාලිකාවේ වැඩසටහනකට සම්බන්ධ වෙලා තිබුණා. ඒ සම්බන්ධයෙන් රට තුළ මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබෙනවා. කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා එම වැඩසටහනට සහභාගී වී තිබෙන්නේ කිසිදු සූදානමක් නොමැති බවක් තමයි පෙනෙන්නට තිබුණේ. ඒ වගේම ඒ වැඩසටහනේදී බටලන්දේ සිද්ධිය පිළිබඳව කතාබහක් සිදුවෙනවා. ඒ අසූවට අසු නමයේ කාලේ සිදුවුන දෙයක්. නමුත් බටලන්ද වාර්තාව සභාගත නොකළ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය සමඟ වර්තමාන ආණ්ඩුවේ සිටින පිරිසක් ඇමැතිධුර දැරුවා. ඒ වගේම රුපවාහිනි වැඩසටහන් පැවැත්විම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට අවබෝධයක් තිබිය යුතුයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා පුද්ගලයන් ඉලක්ක කරලා මඩ ප්‍රචාර දියත් කරන කොට ඒවා හොදයි. නමුත් ජාත්‍යන්තර නාලිකාවක ප්‍රචාරය වුණ දේවල් සංස්කරණය කරලා ප්‍රචාරය කරද්දි රනිල් වික්‍රමසිංහ මහත්තයාට රිදෙනවා. බුද්ධ ධර්මය අනුව ඒවා පල දිලා තිබෙනවා.
එ් වගේම චමල් රාජපක්ෂ මහත්තයා ප්‍රාදේශිය සභාවට ඉල්ලනවා කියලා පුවතක් ප්‍රචාරය වුණා. දේශපාලනයේදී හරි වෙලාව පැමිණියාම විශ්‍රාම යා යුතුයි. විශ්‍රාම නොගියොත් මිනිස්සුන්ගේ අප්‍රසාදයට ලක් වෙනවා. 2015 න් පසුව මහින්ද රාජපක්ෂ මහත්තයා දේශපාලනයට ආවේ නැත්නම් ඔහුගේ පිලිම හදලා මිනිස්සු වන්දනා කරනවා. ඒ ගෞරවය ලබන්න ඔහුට පින තිබුනේ නෑ. කතානායකවරයෙක් ප්‍රාදේශිය සභා මැතිවරණයට ඉල්ලිමත් හිරිකිතයි.‘‘










