සතුටින් ආරම්භ වුණු දවසක අවසානය, ජීවිතය පුරා අමතක නොවන දුක්ඛිත මතකයක් බවට පත්වීම කනගාටුවට කරුණක්. පියා තමාගේ බිරිඳ සහ දරුවන් අරගෙන මුහුදු වෙරළේ සුන්දරත්වය නරඹන්න ගියේ මොහොතකට හෝ ජීවිතයට සතුටක් ළං කරගැනීමේ අපේක්ෂාවෙන්. ඔවුන් සැරසුණේ ජීවිතය විඳින්න. නමුත් සිද්ධ වුණේ අනෙක් අයට ජීවිතය විඳවන්න ඉතිරි කර පියා ජීවිතයෙන් අනපේක්ෂිත ලෙස සමුගෙන යෑමටයි.Sri Lanka Latest News
මෙලෙස අනපේක්ෂිත මොහොතකට මුහුණපෑවේ වැලිගම වලාන ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස සේවය කළ තේජා ජයසේකර මහතායි. මේ වෛද්‍යවරයාගේ ගම වුණේද වැලිගමයි. වැලිගම දිසා රෝහලේ සේවය කළ ඔහු රෝගීන්ට ඉතා කාරුණිකව සැලකූ වෛද්‍යවරයෙක්. ඔහු බොහෝ දෙනෙකුට ජීවය දුන්නා. කොරෝනා වසංගත අවස්ථාවේ පවා ඔහු වැලිගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ රෝගීන් දසදහස් ගණනක් වෙනුවෙන් සිය කාලය කැපකර සේවය කරනු ලැබුවා. ඒ අවස්ථාවේ පවා ඔහුට රාජකාරිය එපාවන තරමට බාධා ඇතිවුවත් ඒවා දරාගෙන සේවය කරනු ලැබුවේ මිනිස්සුන්ට තියෙන ආදරය නිසාමයි. කොවිඩ් සමයේ වැලිගම ජනතාවට මේ වෛද්‍යවරයා, මහජන සෞඛ්‍ය නිලධාරිවරයා ලෙස ඉටුකරන ලද මෙහෙවර තවමත් එම ප්‍රදේශයේ ජනතාව සිහිපත් කරන්නේ හදපිරි ගෞරවයෙනි.
වෛද්‍යවරයා සිය පවුල සමග පසුගිය නත්තල්දා මෙම අනපේක්ෂිත ලෙස ජීවිතයෙන් සමුගෙන යෑම කාගේත් හදවත කම්පනයට පත්කරනු ලැබුවා. විවේකී මොහොතක් ලැබුණු ගමන් ඔහු කළේ බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග සතුටු වීමයි. නත්තල කියන්නේ බොහෝ දෙනකුට විවේකයක් ලැබෙන දවස්. එසේ වුවත් වෛද්‍යවරයෙක් කියන්නේ එහෙම නිවාඩු තෝරා බේරාගෙන කටයුතු කරන්න පුළුවන් කෙනෙක් නම් නෙවෙයි. ඒත් මේ තේජාන් වෛද්‍යවරයාට විවේකයක් ලැබුණු නිසා තමන්ගේ බිරිඳවත් දරුවන්වත් සතුටු කරන්න මිරිස්ස වෙරළට ගියේ හිතේ දහසක් බලාපොරොත්තු ඇතිවයි. ඔවුන් ඒ මොහොතේ ඒ සතුට වින්දත් අනපේක්ෂිත ලෙස මිරිස්ස වෙරළම නපුරු රළ පහරක් බවට පත්වුණා. රළින් රළ විශාල මුහුදු රළ පහරක් බවට පත්ව තිබුණා. මේ වෙරළේ දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් විනෝද වීමට පැමිණීම සුලබ දර්ශනයක්. ගතවුණේ නිමේෂයකි. තප්පර කිහිපයක් තුළ සිදුවූ දේ මොවුන්ට හිතාගන්නටවත් බැරිව ගියේ ජීවිතයේ හිස්තැනක් ඉතිරි කරමිනි. මේ වෛද්‍යවරයාව මුහුදු රකුසා ඩැහැගත්තේ කාටවත් වචනයක් කීමටවත් ඉඩ ඉතිරි නොකරයි. ඔහුව වහාම මාතර මහ රෝහලට ඇතුළත් කළද ඒ වනවිටත් ජීවිතයෙන් සමුගෙන තිබුණා.
වෛද්‍ය තේජාන්ගේ බිරිඳ වන තිළිණි කුමාරි හදවතේ කැකෑරෙන වේදනාව ඉකිගසමින් පිටකළේ මෙලෙසයි.
‘මගේ අතින් අල්ලගෙන කරට අත දාගෙන මාව එක්කන් ගියේ. මමයි මැරෙන්න යන්නේ කියලා කිව්වා. මම කිව්වා මගේ පුතාටත් පීනන්න බැහැ කියලා. අපි කෑම බීමත් අරන් ගිහින් තිබ්බා. අපි ඒවාත් වෙරළට ඇවිත් කකා හිටියේ. මමත් ගොඩට ආවා. ගොඩාක් කට්ටිය මුහුදු රැල්ලේ උඩ පැන පැන හිටියා. මටත් කිව්වා එහෙට යමු කියලා. ගොඩාක් ගැඹුරක් තිබුණේ නැහැ. එයාගේ ඉණ හරියට විතර වතුර තිබ්බේ. ගැඹුරු නැහැ. මං ඉන්නවනේ කියලා කිව්වා. එච්චර ආදරයෙන් කතාකරලා කරට අත දාගෙන මාව එක්කන් ගියේ. ඒ කතා කළ නිසාමයි මම ගියේ. මට එච්චර පීනන්නත් බැහැ. මම රැල්ලේ උඩ පැන පැන ඉන්නකොට එයා මට කිව්වා ඔහොම නෙවෙයි රැල්ල එනකොට උඩ පනින්න කියලා. මට එවාත් කියලා දුන්නා. එක පාරට ලොකු රැල්ලක් ආවා මගේ මට්ටමටත් වඩා උඩට ගියා. මම එතකොට පස්ස හැරිලා බැලුවා. මට මීටර 10ක් විතර පිටිපස්සෙන් එයා හිටියා. මම රැල්ලට මුහුණ දෙන්න ඉස්සරහ පැත්ත බලාගෙන හිටියා. එයා ගැන බලන්න මට බැරිවුණා. මාව ගිලෙන්න යනවා වාගේ මට දැනුණා. මට අඩිය ගහන්න බැහැ වතුර පිරිලා. ඒ තරමට මම අත්දෙකත් උස්සලා වැනුවා. ඒත් කාටවත් ඒක පෙනුණේ නැහැ. මට මීටර 25ක් විතර එහායින් ෆොරිනර් කෙනෙක් හිටියා. මම එයාට කිව්වා මට පීනන්න බැහැ උදව් කරන්න කියලා. එයා මං ගාවට ඇවිල්ලා මාව අල්ල ගත්තා. එයාට මාවත් අරන් පීනගෙන ගොඩට යන්න බැහැ.
මම එයාට කතා කරලා කිව්වා මට පීනන්න බැහැ උදව් කරන්න කියලා. ඒ දෙන්නා මාව කකුල ගහන්න පුළුවන් මට්ටමට වෙනකල් අරන් ගියා. පස්සේ මම හිතුවා තේජාන් පීනන්න දන්නවනේ එයාට කරදරයක් නැහැ කියලා. මම හිතුවා මමයි මැරෙන්න යන්නේ කියලා. මම කිව්වා මගේ පුතාටත් පීනන්න බැහැ කියලා. වෙන ෆොරිනර් කෙනෙක් පුතාව අරගෙන එනවා. ඊට පස්සේ මම ඇහුවා පුතේ තාත්තා කෝ කියලා. තාත්තා නැහැ කිව්වා. මට පේනවා තේජාව හොයාගෙන අනිත් අය ගොඩක් දුර යනවා. විනාඩි 10ක් විතර ගියාට පස්සේ බෝට් එහෙක දාගෙන එයාව අරන් ආවා. එයා කටිනුයි නහයෙනුයි සෙම දැම්මා. එයාට පීනගන්න බැරිවෙලා….’
වෛද්‍යවරයාගේ දේහය වැලිගම වල්ලිවල පිහිටි නිවසේ අවසන් ගෞරව සඳහා තැන්පත් කර තිබීමෙන් අනතුරුව අවසන් කටයුතු සිදුකරනු ලැබුවා.
මේ පියා තමන්ගේ පුතාගේ අත අල්ලගෙන මුහුදට ගියේ විශ්වාසයෙන් මං පුතාට ඉන්නවා කියලායි. ඒ තාත්තාගේ හදවතේ තිබුණේ සදාකාලික ආදරයයි. තමන්ගේ දරුවා ආරක්ෂා කරලා තමන් මේ ලෝකෙන් සමුගත්තත් කමක් නැහැ කියන හැඟීමයි ඔහු තුළ තිබුණේ. කිසිවෙක් බලාපොරොත්තු නොවූ අනපේක්ෂිත ලෙස මුහුදු රළ දරුණු වුණා. පියාගේ ශරීරය නොපෙනී ගියා. ඒ ගියේ තමන්ගේ පුතාට මේ ලෝකය ලස්සනට ජීවත් වෙන්න ඉතිරි කරමිනි. අවට සිටි අය පියාව ගොඩට ගෙනාවත් ඔහු ඒ වනවිටත් ජීවිතය හැරගොස් තිබුණා. පියා ජීවිතයේ දුන් ආදරය කැපවීම ආරක්ෂාව ඒ සියල්ල අදත් පුතාගේ ජීවිතය තුළ ජීවමානයි. කවදා හරි මේ පුතා උස්මහත් වෙලා මුහුද දකින හැම අවස්ථාවකදිම කඳුළු වැටෙන බව නම් නොඅනුමානයි.
වෛද්‍යවරයකු රටට වටිනවා වගේම වැඩියෙන්ම ඒ අඩුව දැනෙන්නේ තමන්ගේ ආදරණීයයන්ටයි. මේ වෛද්‍යවරයාට තමන්ගේ දරුවාට තමන්ගේ ජීවිතය දෙවැනි කොට සලකලා රැකගෙන මේ පියා යන්නම ගියා. ඒ කතාව තමයි බොහෝ දෙනකුගේ හදවතට දැනුණේ. පියෙකු කියන්නේ දරුවන්ට සඟවලා ආදරේ දෙන කෙනෙක්. අම්මලා වගේ තාත්තාලා දරුවන්ට ආදරේ පෙන්නන්නේ නැහැ. ඒක ඇත්ත. ඒ නිසාම තමයි මේ වගේ කැපකිරීමක් කරලා තමන්ගේ දරුවාව රැකලා ඔහු යන්නම ගියේ. නැත්නම් අද වෙකොට මේ දරුවත් මේ ලෝකේ නොහිටින්නට තිබුණා. ජල පහරෙන් පුතාව මුදාගන්න මේ පියා වතුරත් එක්ක පොරබදන්නට ඇති. තමන්ගේ දරුවාව රැකගෙන යළි ජීවත් වෙන්න වරම් ලබාදෙන්නට ඇති. ඒත් මේ පියාට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවුණා. බොහෝ දෙනකුගේ හදවත කම්පනයට පත්කරනු ලැබුවේ මේ පුංචි පුතාගේ වචනයි. ඒ, ‘තාත්තා මාව කකුල් දෙකෙන් උස්සලා ගොඩට දැම්මා’.
ඔහු වෛද්‍යවරයෙක් ලෙස ජීවිත දසදහස් ගණනකට හුස්ම ගන්න සලස්වන්න ඇති. තේජාන් වෛද්‍යවරයා මියයන විට 49 වැනි වියේ පසුවුණා. ඔහු වැලිගම රෝහලට පමණක් නොවෙයි මුළු රටටම ඉමහත් සේවයක් කළ වෛද්‍යවරයෙක්. මෙතුමා රෝහලේ වැඩ භාරගන්නා විට බොහෝ වෛද්‍ය උපාංගවල වගේම සේවකයන්ගේ අඩුවක් තිබුණා. ඒ සියලු දේවලට කඩිනම් විසඳුම් ලබාදෙන්න බොහෝ කැපවීමෙන් සේවය කළා ඔහුට උවමනා කරලා තිබුණේ මේ රෝහල දියුණු තත්ත්වයට ගෙනල්ලා ගම දියුණු කරන්නටයි.
දරුවකු වෙනුවෙන් පියකුට කළ හැකි ඉහළම පරිත්‍යාගය ඔහු කළා. අවසාන මොහොතේ තෝරාගත්තේ තම දරුවාගේ ජීවිතයයි. ඒ මරණය පරාජයක් නොව පියාගේ ආදරයේ උත්කෘෂ්ට ජයග්‍රහණයයි. යළි උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු.

නිලන්ති රේණුකා










