අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයෙන් පුද්ගල මරණ 11 ක් වාර්තා වී ඇත.
දියේ ගිලීම් හේතුවෙන් සිදුවූ මරණ 5ක්, නායයාම් හේතුවෙන් සිදුවූ මරණ 4ක් සහ අකුණු සැර වැදීම හේතුවෙන් මරණ 2ක් මෙලෙස වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.
අද (09) අලුයම රඹුක්කන දොඹේමඩ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් මවක් සහ දැරියන් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් සිව්දෙනෙකු එම නිවසේ සිට ඇති බවය.
අනතුරින් 35 හැවිරිදි මව, 8 හැවිරිදි දියණිය සහ 13 හැවිරිදි ඥාති දියණියක් මියගොස් තිබේ.
පියා තුවාල ලබා රඹුක්කන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහල වෙත මාරුකර යැවූ බව රඹුක්කන රෝහලේ අධ්‍යක්ෂ සුමින්ද ගමගේ මහතා ප්‍රකාශ කළේය.
මේ අතර ඊයේ රාත්‍රී අලව්ව නාරම්මල වෙන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ එම තරුණියගේ මව සහ සොහොයුරා ද නිවසේ සිට ඇති නමුත් ඔවුන් දෙදෙනාට අනතුරක් සිදුව නොමැති බව පොලීසිය පැවසුවේය.
මියගිය තරුණිය කොළඹ ප්‍රදේශයේ පුද්ගලික රෝහලක හෙද නිලධාරිනියක් බව ද සඳහන්ය.
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 16ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 78 කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසුවේය.










