අතිවිශේෂ ප්‍රභූ පුද්ගලයකුගේ පුතකු පසුගිය දිනෙක ගාලු මුවදොර පිටියේ වැරදි මංතීරුවේ නීතිවිරෝධී ආකාරයට සිය රථය නවත්වාගෙන මුහුද දෙස බලා සිටියදී එම ස්ථානයට පැමිණි පොලිස් කොස්තාපල්වරයකු මෙම ප්‍රභූ පුත්‍රයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මෙහිදී දෙදෙනා අතර ඉතා උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවද දැනගන්නට තිබේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
පසුගිය දිනෙක මෙම පුත්‍රයා ගාලු මුවදොර පිටිය අසල වැරදි මංතීරුවේ සිය රථය නවත්වා මුහුදේ අසිරිය දෙස බලමින් සිට ඇත.
මේ බව දැක ඇති රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකු වහාම එම ස්ථානයට පැමිණ රථය ඉවතට ගන්නා ලෙස දැනුම් දීමක් කර තිබේ.
නමුත් ඊට අවනත වී නොමැති මෙම ප්‍රභූ පුත්‍රයා සිය පියාගේ තනතුර කෙටි ඉංග්‍රිසි අකුරු දෙකකින් සදහන් කරමින් තමන් අසවලාගේ පුතා බව සදහන් කොට ඇත.
කෙසේවෙතත් එම ඉංග්‍රිසි අකුරු දෙකේ තනතුරු නාමය නොදත් මෙම කොස්තාපල්වරයා ප්‍රභූ පුත්‍රයාට හොඳටම බැනවැදී වහාම රථය ඉවත්ට ගන්නා ලෙස ගෝරනාඩු කර තිබේ.
මෙයින් කෝපයට පත්ව ඇති ප්‍රභූ පුත්‍රයා රථය එම ස්ථානයෙන් ඉවත් කරගෙන ඇති නමුත් වහාම පළාතේ පොලිස් ප්‍රධානියකුට ඇමතුමක් ගෙන සිද්ධිය පිළිබද පැමිණිල්ලක් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව වහාම අදාළ පොලිස් කොස්තාපල්වරයා කැඳවා ඇති පොලිස් ප්‍රධානියා මේ පිළිබද විමර්ශනයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් එහිදී අදාළ පොලිස් කොස්තාපල්වරයා පවසා ඇත්තේ ‘ඉතින් සර් මම දන්නවාද ඒ ඉංග්‍රිසි අකුරු දෙකෙන් කියවෙන්න කා ගැනද කියලා. එයා පාරෙ වැරදි පැත්තෙ නවත්වගෙන මුහුද දිහා බලාගෙන හිටියා. ඒ නිසා මම වාහනේ ගන්න කිව්වා’ යැයි කියාය.
ඒ අනුව පොලිස් ප්‍රධානියාටද මෙම කොස්තාපල්වරයා පවසන්නේ සත්‍යයක් බව වැටහී ගොස් ඇති බැවින් දඩුවම් නොකොට ඔහු නිදහස් කොට ඇති බව දැනගන්නට ඇත.
මෙම පොලිස් කොස්තාපල්වරයා පිටිසර ගමකින් සේවයට පැමිණි නිලධාරියකු බවද පොලිස් ප්‍රධානියාට දැනගන්නට ලැබී තිබේ.










