ජේ.ආර්. ක්‍රිකට්කාරයෙකි. ඔහු ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකි. ඒ, 1952දීය. ජේ.ආර්. ජනාධිපති වූ විගස ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න ඔහුට ඕනෑ විය. ඔහු ඒ වැඩේ භාරදුන්නේ රනිල්ට නොව මහවැලි ඇමැති ගාමිණී දිසානායකටය. ජේ.ආර්.ගේ නියෝගය ඉටුකරන්න ගාමිණී ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති විය.Sri Lanka Latest News
ගාමිණී 1981 අගෝස්තු මාසයේ ඔස්ටේ්‍රලියාවේ සංචාරයක නිරත විය. ඒ සංචාරයේදී ඔහු ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු වන ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් හමුවිය. ගාමිණී, ගාර්ෆීල්ඩ් සෝබර්ස්ට පණිවුඩයක් යැවීය. එනම් ලංකාවේ ඇමැතිවරයෙක් ඔහු හමුවීමට අපේක්ෂාවෙන් සිටිනවා කියාය.
‘ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ කිසියම් කාර්යභාරයක් භාරගත හැකිද යන්න පිළිබඳ මම ඔහු හා රාත්‍රී ආහාර ගනිමින් කතා කළෙමි. ක්‍රීඩාවේ සියලු අංග පිළිබඳ ඔහුගේ සවිස්තරාත්මක දැනුම ගැන මම මවිත වීමි. ඔහු මෙල්බර්න්වලින් පිටත්ව යෑමට පෙර වතාවක් දෙකක් මට මුණගැසිණි. ඒ වනවිට ලංකාවට ගොස් පුහුණු කටයුතු භාරගන්නට මා දැඩි ලෙස තීරණය කර තිබිණි…’
ගාමිණී දිසානායක
යුග මෙහෙවරක කතාව
රංජිත් අමරකීර්ති පලිහපිටිය
ගාර්ෆීල්ඩ් ලංකාවට පැමිණි පසු ඔහුගේ බිරියත් සමග රාත්‍රී කෑමකට එන්න යැයි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඔහුට ආරාධනා කළේය. පහත දැක්වෙන්නේ ගාර්ෆීල්ඩ් ඒ ගැන ලියපු සටහනය.
‘ඒ රාත්‍රී කෑමට ගාමිණී දිසානායක සහ ඔහුගේ බිරිය හැර වෙනත් ආරාධිතයකු නොදුටු මම පුදුමයට පත්වූයෙමි. ජනාධිපති ජයවර්ධන ක්‍රිකට් පිළිබඳ බොහෝ දත්, සිනිඳු සුසිනිග්ධ පුද්ගලයෙකි. ඔහු වරක් ක්‍රිකට් පරිපාලනයේ ප්‍රධානියාව සිටි බවත්, එකල බටහිර ඉන්දීය කොදෙව්වෙන් ලියරි කොන්ස්ටන්ටයින් කෙටි කාලයකට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනුණු බවත් මම දැනගතිමි. ජනපති ජයවර්ධන ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ බොහෝ දේ කියවා තිබුණු අතර, රංජිත් සිංජි ‘කුඩා රාජ්‍යයක වුව, ක්‍රීඩාවෙහි දැවැන්ත රජකු’ ලෙස හැඳින්වීය. ගාමිණී දිසානායක ශ්‍රී ලංකා ක්‍රිකට් කෙරෙහි උනන්දුවෙන් ක්‍රියා කරන්නේ ඔහුගේම ගතිකත්වය නිසාම පමණක් නොව, ඔහුම හඳුන්වන පරිදි ‘වයෝවෘද්ධ මහත්මා’ගෙන් ලැබෙන සහයෝගය නිසා බව මම වටහා ගතිමි. ගාර්ෆීල්ඩ් ශ්‍රීමතාණෙනි, ඔබේ කාලයේ ඔබ ඒ තරම්ම ලකුණු රැස් කළේ කොහොමද? මම කොහොමද දිගින් දිගටම එසේ කළේ…?’ ඔහු මගෙන් ඇසීය. මම පිළිතුරක් පතමින් සිටි කීර්තිමත් ජයවර්ධන ආර්යාව දෙස බැලීමි. එදින රැයෙහි මා බොහෝ ආස්වාදයට පත්වූ හෙයින් එම ප්‍රශ්නයට ඍජු පිළිතුරක් දියයුතු විය. ‘මහතාණෙනි මා ඇස යොමුකළ විට මට මා වෙත එන බෝලය පෙනෙන්නේ ලොකු පන්දුවක් ලෙසයි. ඉතින් මගේ විකට්ටුව ඉවතට විසි කළේ නැතිනම් මා දැවීයන්නේ නෑ…’ යැයි මම පිළිතුරු දුනිමි. ‘ගාර්ෆීල්ඩ් ශ්‍රීමතාණෙනි, අපේ කොල්ලන්ටත් එවැනි ඇහැක් හදා දෙන්න බැරිද?’ ඇසූ ඔහු මහ හඬින් සිනාසුණේය. එය අනුස්මරණීය රාත්‍රියකි.
ගාමිණී දිසානායක
යුග මෙහෙවරක කතාව
රංජිත් අමරකීර්ති පලිහපිටිය
ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම ලබාගැනීමේ මෙහෙයුම ජේ.ආර්. භාරදුන්නේ ගාමිණීටය. ගාමිණී ලන්ඩනයේ ලෝඩ්ස් පිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේදී නියෝජිතයන්ගේ හද බැඳගන්නා කතාවක් කළේය. වහාම නැගීසිටි පාකිස්තානයේ නියෝජිතයන් දෙදෙනා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ ටෙස්ට් වරම ලබාදිය යුතු යැයි යෝජනා ස්ථිර කළහ.
ලංකාව පළමු වරට ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයක් ලබාගත්තේ 1985 දීය. තරගය නරඹන්න ආ ජේ.ආර්. පසු දින නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කළේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වෙමිනි. ඊළඟට 1986 ආසියානු කුසලානය ජයගත් විට ජේ.ආර්. පසු දින නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කළේ ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීමට කන් දීලාය.
ජේ.ආර්.ගේ මේ ක්‍රිකට් පිස්සුව එවක විපක්ෂයේ සිටි ශ්‍රීලනිපය, වාමාංශික පක්ෂ සහ ජවිපෙ ඉවසුවේ නැත.
‘ජේ.ආර්. මිනිස්සුන්ට ක්‍රිකට් පෙන්නලා බඩු මිල වැඩි කරනවා…’
‘ක්‍රිකට්වලින් මිනිස්සුන්ගේ ප්‍රශ්න යටගහනවා…’
ක්‍රිකට් සුද්දගේ ක්‍රීඩාවක්. ඒ ක්‍රීඩාව හරහා ලංකාව වහල්භාවයට පත්කරනවා…’
‘ක්‍රිකට්වලින් කොළඹ හතේ ළමයින්ව උස්සනවා. ගම්වල ළමයින්ට තැනක් නැහැ…’
‘ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන තැන මලල ක්‍රීඩාවලට නැහැ…’
‘ජේ.ආර්.ගේ ක්‍රිකට් පිස්සුවෙන් පෙන්වන්නේ ප්‍රභූ මාන්නයයි…’
මේ ශ්‍රීලනිප, වාමාංශික පක්ෂ, ජවිපෙ එදා ජේ.ආර්.ගේ ක්‍රිකට් පිස්සුවට ගහපු ගැහිල්ලය.
‘කකා බිබී නටන අතර, නරුම යහළු යෙහෙළියන් පන්දු කෙළින අතර, ඉහළ පාසල්වල අමනයන්…’
නන්දා මාලනී ජවිපෙ දෙවැනි කැරැල්ල වෙලාවේ මේ ගීතය ගැයුවේ ක්‍රිකට් කොළඹ හතේ ප්‍රභූවරුන්ගේ ක්‍රීඩාවක් බව පෙන්වන්නටය. ක්‍රිකට් ජවිපෙ සැලකුවේත් ප්‍රභූවරුන්ගේ ක්‍රීඩාවක් ලෙසය. ජවිපෙ තර්ජන හමුවේ 1988-89 කාලයේ ලංකාවේ කිසිදු ක්‍රිකට් තරගයක් පැවැත්වීමට නොහැකි විය. ජවිපෙ නිල නොවන ඇඳිරි නීති නියෝගවලින් රටම අඩපණ කර තිබියදී විදේශ ක්‍රිකට් ක්‍රීඩකයන් ලංකාවේ ක්‍රීඩා කරන්න බය විය.
ක්‍රිකට් ක්‍රීඩාව තුළ තිබෙන පන්ති භේදය ජේ.ආර්.ගේ ආණ්ඩුවේ අගමැති ප්‍රේමදාස තේරුම් ගත්තේ ජනාධිපති වූවාට පසුවය. ප්‍රේමදාසත් ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කළ අයෙක් විය. 1986 ප්‍රේමදාස ඛෙත්තාරාමයේ ක්‍රිකට් ක්‍රීඩාංගණය හදන්නේ ඒ වනවිට රාත්‍රී ක්‍රිකට් තරග සඳහා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා පිටියක් නොමැති වීමේ අඩුව පුරවන්නටය. ටෙස්ට් තරග පවත්වන්න මහා ක්‍රිකට් පිටියක් අවශ්‍ය වෙලාවේ නුවර අස්ගිරිය ක්‍රිකට් පිටිය හැදුවේ ගාමිණීය. ගාමිණී කොළඹින් ගමට ක්‍රිකට් ගෙනගොස් ගම්වල ක්‍රිකට් සමාජ, ක්‍රිකට් පිටි හැදුවත් ක්‍රිකට් නිසා අනෙකුත් ක්‍රීඩාවලට ලැබුණු කුඩම්මාගේ සැලකිලි නැතිකරන්න ප්‍රේමදාසට අවශ්‍ය වූයේ ඔහු නිර්ප්‍රභූ නායකයෙක් වූ නිසාත්, ක්‍රිකට් ප්‍රභූවරුන්ගේ ක්‍රීඩාවක් ලෙස විපක්ෂය මතයක් සමාජගත කර තිබුණු නිසාත්ය.
ප්‍රේමදාස දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකි. ක්‍රිකට් ක්‍රීඩාව වගේ මලල ක්‍රීඩාව, පාපන්දු ක්‍රීඩාව නංවන්න ක්‍රිකට් තරු මෙන් මලල ක්‍රීඩා, පාපන්දු ක්‍රීඩා තරු බිහිකරන්න ඔහුට අවශ්‍ය විය. අබලන්ව පැවැති සුගතදාස ක්‍රීඩාංගණය ඔහු නවීකරණය කොට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් බවට පත්කළේ ක්‍රිකට් ක්‍රීඩාවට සම තැනක් මලල ක්‍රීඩාවට ලබාදෙන්නටය. සුගතදාස ක්‍රීඩාංගණය ගෘහස්ථ ක්‍රීඩාංගණයක් බවට පත්කොට එවක ජනාධිපති ප්‍රේමදාස 1991 දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගය සඳහා එය විවෘත කරනු ලැබීය.
1991 දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගයේදී රන් පදක්කමක් දිනාගත් ශ්‍රියන්ත දිසානායක ක්‍රීඩකයාව ප්‍රේමදාස ක්‍රිකට් තරුවක් මෙන් ජනප්‍රිය කරනු ලැබීය. ඒ වෙනකොට ක්‍රීඩකයන්ට අනුග්‍රහ දැක්වූයේ වෙළෙඳ දැන්වීම් සඳහා තෝරාගත්තේ ක්‍රිකට් ක්‍රීඩකයන් විතරය. ප්‍රේමදාස මෙය වෙනස් කොට මලල ක්‍රීඩකයන්ට ඒ අවස්ථාව ලබාගන්න පාර කපා දුන්නේය. ප්‍රේමදාස 1992 ශ්‍රියන්ත දිසානායකට රටට කළ සේවය වෙනුවෙන් දේශබන්දු ගෞරව නාමය ලබාදුන්නේය. ඔහු ලංකා වේ පාපන්දු සංගම්වලට මූල්‍ය ආධාර ලබාදී පාපන්දු සංගම් වැඩිදියුණු කළේය. ඔහු මන්ත්‍රීවරු සමග පාපන්දු ක්‍රීඩා තරගයකට සහභාගි වී පාපන්දු ලංකාවේ ප්‍රවර්ධනය කළේය. මලල ක්‍රීඩා සඳහා ගම්වල ක්‍රීඩා පිටි ක්‍රීඩා සංගම් හැදුවේය. ශ්‍රියානි කුලවංශලා, සුසන්තිකා ජයසිංහලා, සුගත් තිලකරත්නලා පසු කාලයක ලංකාවේ ක්‍රීඩා තරු වූයේ ක්‍රිකට්වලට සමාන ප්‍රභූ ක්‍රීඩාවක් බවට මලල ක්‍රීඩාව සහ පාපන්දු ක්‍රීඩාව පත්කළ නිසාය.
ප්‍රේමදාසට පසු නිර්ප්‍රභූ ජනාධිපතිවරයකු බවට පත්වූ අනුර කුමාර පසුගියදා ඉන්දු-පාකිස්තාන ක්‍රිකට් තරගය බලන්න ගියේ දැන් පන්දු කෙළින්නේ ඉහළ පාසල්වල අමනයන් නොවේ කියා හිතාගෙනද දන්නේ නැත. ඔහු යාපනයට ගොස් කතා කළේත් ක්‍රිකට් ගැනය. ක්‍රිකට් ක්‍රීඩාංගණ හදන හැටිය. හැබැයි ජවිපෙ මෙන් නොව එල්.ටී.ටී.ඊ.ය ක්‍රිකට්වලට ප්‍රභූ ක්‍රීඩාවක් කියා වෛර කළේ නැත. යුද්ධ කාලයේත් ඔවුහු උතුරේ හන්දිවල තිර දමාගෙන ලංකාවේ කණ්ඩායමට හුරේ දැමූහ.
ජවිපෙ කියන පසුගිය 76 අවුරුදු ශාපය තුළ ජේ.ආර්. සහ ගාමිණීලා ලංකාවේ ක්‍රිකට් ලෝක පූජිත නොකරන්න අනුර කුමාරලාට ඉන්දු-ලංකා මැච් බලන්න යන්න වෙන්නේ නැත.










